- Advertisement -

ගැබිනි මවට නිවසෙන් හා සාමාජයෙන් ඉටු විය යුතුකම්

-

මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්ම ස්භාවධර්මයා විසින් දායාද කරන ලද ස්වභාවිකවම වූ සංසිද්ධියකි ගර්භනීභාවය. එහෙත් මිනිසාගේ පරිණාමය සමගම සිදුවූ තාක්‍ෂණික දියුණුවත් සමගම විද්‍යාත්මක, සංස්කෘතික ලෙස හා සාමාජීය වශයෙන් විපර්යාසයනයට ලක්වීම හේතු කොටගෙන වර්තමානයේදී සංකීර්ණමය තත්ත්වයකට ගර්භනීභාවය පත්ව ඇත. මේ නිසා ගර්භනී කාලය තුල කාන්තාවක විසින් මුහුණදෙන සංකීර්ණ ගැටළු ඇය අවදානමකට ලක් කරයි. මේ නිසා කායික, මානසික හා සාමාජීය වශයෙන් ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට නම් ඒ සඳහා ඇයට ශක්තිය හිමිවිය යුතුයි. මේ ශක්තීන් මොනවාද ඒ ශක්තීන් ලාබදිය යුත්තේ කා විසින් කෙලෙසද කොයි කාලයේද යන්න පිළිබඳව අපි විමසා බලමු. 

විස්කෘත පවුල් සංස්කෘතියක උරුමකම් කියූ අපේ පැරණි ජන සමාජය තුල නිවසේ සිටි සාමාජීක සංඛ්‍යාව වැඩි වු අතර එනම් අම්මා, තාත්තා, ආච්චි, සීයා ආදී ලෙසින් පරම්පරා 2 කට අධික ප‍්‍රමාණයක් සිටීම මත සාමාජීය වශයෙන් පවුල් අතර බෙදී ගිය කාර්යභාරයන් සමගම හිමි වූ පිළිගැනීම හා ගෞරවය තුල ගර්භනී මවක කෙරෙහි විශේෂ සැලකිලි දැක්වීම නිතැතින්ම සිදුවුනි. නිවසට සෞභාග්‍යයක් ලෙසින් සැලකූ ගර්භනී මවකට සලකන්නන් ඇය සහා සුවිශේෂී වූ රැකවරණයක් ලබාදීමත් වැඩිහිටියන් මෙන්ම අසල්වැසියන් ගෙනුත් නොඅඩුවම සිදුවූවවක්. 

- Advertisement -

ගර්භනී වූ කාන්තාවක් තුල ඇති වන හෝමෝනමය වෙනස්කම් හේතුවෙන් ඇගේ ශරීරය තුල ඇතිවන වෙනස්කම් නිසා ඇගේ ශරීරය තුල ඇතිවන වෙනස් වීම් සමහර අවස්ථාවලදී දරාගැනීමට අපහසු වන අතරම රෝහල් ගත කර ප‍්‍රතිකාර ලබාදීමට සිදුවන අවස්ථාද ඇත. ගර්භනී වූ වහාම මේ වෙනස්කම් නිසා නිතර කටට කෙල ඉනීම, ඔක්කාරය, වමනය, ක්ලාන්තය, කරකැවිල්ල මෙන්ම කෑම අරුචිය වැනි තත්ත්ව මෙන්ම ඇගට දැනෙන වෙහෙස, විඩාව, කම්මැලිකම මෙන්ම සිතට දැනෙන බර ගතිය ආදිය මව නොසන්සුන් බවට පත් කරයි. එසේම ලබාගන්නා ආහාර අඩුවීම හා ජල පානය අඩුවීම නිසා මව විජලනයට පත්වීමත් සිදු වේ. 

එසේම සංසේචිත කලලය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීම සමග ගර්භාෂ පේශී ක‍්‍රියාකාරීත්වය නිසා යටිබඩ ප‍්‍රදේශයේ ඇතිවන වේදනාව, දියර පානය අඩුවීම නිසා ඇති වන මුත‍්‍රා දැවිල්ල ආදියද මව තවත් අසහනයට පත් කරයි. මේ ආදී වූ සුවිශේෂී අපහසුතාවයන් ඇය කායිකව මෙන්ම මානසිකවද දුර්වලතාවට පත් කරයි. 

මෙවන් අවස්ථාවකදී මේ මවගේ අපහසුතා පිළිබඳ සොයා බලා ඇය පිළිබද අවධානය යොමු කිරීම මෙන්ම ඇගේ රුචිකත්වය අනුව ආහාර පාන සපයා දීම හා ඇය හා එක්ව කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව ඇයට හැකි උපරිම අයුරින් පහසුකම් සලසා දීමත් ඇයගේ මනස සැහැල්ලූ වනසේ පාරිසරික සාධක ළඟා කරදීමත් හැකි සෑම වීටම සිදු කල යුතුයි. මේ ශාරීරික මානසික වෙනස්කම් නිසා ඇයට මානසික සහනය, ඇය පිළිබදවද දක්වන ඇල්ම, ආදරය හිතෛෂී බව මෙන්ම ඇයගේ වැඩ කටයුතු සඳහා දක්වන සහායද වැදගත් වේ. 

කාන්තාවක ගර්භනී වුවද ඇය නිවස තුල ගෘහණියක් ලෙස කටයුතු කරන හෙයින් ඇයට ගර්භනීභාවය සමග මේ ගෘහණියගේ කාර්යභාරයද කිරීමට සිදු වේ. මේ නිසා ඇයට දිරි ගැන්වීමක් ලෙස නිවසේ වැඩකටයුතු බෙදා හදා ගැනීම තුලින් ඇයට විවේකයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකියි. 

ඇයගේ රුචිකත්වය අනුව සුදුසු කෑමක් බීමක් සකස් කරදීමට/ ගෙන දීම ඇයගේත් ඇය කුස තුල දරුවාගේත් සෞඛ්‍යයට බෙහෙවින් බලපායි. අඩුවන හෝ ඌනතා ඇති විය හැකි පෝෂණ සංඝටක සම්බන්ධ විටමින් වර්ග ලබාගැනීම සඳහාද ඇයට උනන්දු කිරීම නිවැරදිව ලබාගන්නේදැයි සොයා බැලීම මෙන්ම අවශ්‍ය වේලාවන් වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය රසායනික පරීක්‍ෂණ සඳහා යොමු කිරීම මෙන්ම සායන සංරක්‍ෂණ කටයුතු සඳහා යොමු කිරීමත් ඒවා සඳහා ඇය සමගම සහභාගී වීමත් ඇයගේ හා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය නිළධාරීන් සමග මෙන්ම ඇය සමගත් සාකච්ජා කිරීම ඇය වෙනුවෙන් ස්වාමිපුරුෂයාට හෝ නිවැසියන්ට සිදු කළ හැකිම කරුණකි. 

අවදානම් තත්ත්වයන් මව තුල වේ නම් ඒවා පිළිබඳ නිරන්තර සොයා බලමින් සෞඛ්‍ය උපදෙස් අනුව ඇය රැකබලා ගනිමින් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු සමග සම්බන්ධ වීමත් වැදගත් වේ. මෙවැනි සංස්කෘතික, ආගමික, සහජීවනය ඇගේ මනස සැහැල්ලූ වීම තුලින් කායික නිරෝගීභාවයටද යහපත් වූ බලපෑමක් ඇති කරයි. 

දරුවා වැඩෙත්ම උදරය විශාල වීමත් සමග බර වැඩි වීම නිසා මවට උසුලාගෙන සිටීමට ඇති බර නිසා කොන්දේ වේදනාවත්, පාදවල වේදනාවත් සමහර විට නහර ගැට ගැසීම නිසා සිදුවන අපහසුතාවන් නිසා ඇයට විවේකය අවශ්‍ය වෙයි. නිවසේ කටයුතු වලදී ඇයට සහයෝගය ලබාදීම තුලින් යම් අස්වැසිල්ලක් ඇයට ලැබේ. මවට දරුවාට ඇඳුම් පැලඳුම් සැලසුම් කිරීම මෙන්ම රෝහල් ගත වන විට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා උදව් කිරීමත් ඒවා පිරිසිදු කර සකසා ගැනීම සඳහා උනන්දු කර සහය දීමත් ඇය සලසාලන මහඟු වූ සහනයකි. 

දරුවා ලැබුණු පසු නිවසේ දරුවා සඳහා සුදුසු ස්ථානයක් පිළියෙල කිරීමත් එය මුල් ළමා විය සත්කාරයට ඉඩ ලැබෙන පරිදි සැලසුම් කිරීමටත් ඇය හා අත්වැල් බැඳ ගැනීම පියෙකු ලෙස කළ හැකි තවත් මහඟුම වූ යුතුකමකි. දින ආසන්න වන විට රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් පිළිබඳව කතිකා කර තැබීමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර තබාගැනීමත් ඒ පිළිබඳව මව දැනුවත් කිරීමත් ඇයගේ හිතට ලැබෙන සහනයක් මහත් වේ. 

මෙසේ නිවැසියන්ගේ සහය මවට ලැබෙන විට සමාජයටද මේ මව රැකබලා ගැනීමේ වගකීම නිතැතින්ම හිමි වේ. රැකියාවක් කරන මවක් නම් රැකියා ස්ථානයේදී ඇයගේ රාජකාරී කටයුතු වලදී සහනයක් පහසුවක් සලසා දීමත්, රාජකාරියට පැමිණෙන හා පිටව යන විට ඒ සඳහා භාවිත කරන ක‍්‍රමවේද පිළිබඳව ඇයට සහනයක් සැලසෙන සේ කටයුතු කිරීම ඉතාමත් වටිනා වූ යුතුකමකි. මේ සඳහා රජයේ මැදිහත් වීමෙන් සකසා ඇති චක‍්‍රලේඛ අනුව හෝ ඇයට සහනයක් උදා කරදීමත්, අධික බර/ වෙහෙසකර රාජකාරී වලින් ඇය මුදවා සැහැල්ලූ රාජකාරියකට  ඇය යොමු කිරීමත් වටිනාකමක් ඇති කරයි. ආයතනය කෙරේ ඇයගේ ඇතිවන පැහැදීමත් ඇයගේ මානසික සෞඛ්‍යයට වැදගත් වේ. සමහර පුද්ගලික ආයතන වල ගර්භනී මව්වරු සඳහා අමතර ආහාර වේලක් පවා ලබාදීමට සැලසුම් කර ඇත්තේ මවට සලකන සුවිශේෂී වූ රැකවරණයක් පරිද්දෙනි. 

එසේම පොදු ප‍්‍රවාහන සේවය භාවිතයේදී ඇයට වාහනයට නැගීමට හා බැසීමට උදව් කළ යුතුවා මෙන්ම ආසනයක් ලබාදීමට කාරුණික වීමද මාතෘත්වයට සිදු කරන සමාජීය වගකීමකි. 

ගැබිනි මවට නිවසේද සමාජයේද පිළිගැනීමක් ඇති කිරීම ගෞරව කිරීම ඇයට අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය පරිදි උදව් ලබාදීම තුලින් ඇයට ඇතිවන පිබිදීම ඇයගේ දරුවාටද නිරෝගී ශක්තිමත් නිර්මාණශීලී නිදහස් සිතුවිලි සහිත දරුවකු වීමට මගපාදයි. 

සමාජයට යහපත් දරුවකු තනනා මවට සියලු තන්හිදී එක්ව සහයෝගය දැක්වීම තුලින් ඇයට දක්වන කරුණාබරිත බදන් සැලකීම් තුලින් සමාජය කෙරේ ඇයට ඇතිවන ප‍්‍රශංසනීය හැඟීම ඇගේ දරුවාද නිවුනු දරුවකු වීමේ අඩිතාලම ඇති කරයි. පොදු ස්ථාන වලදී පෝලිම් වලින් තොරව ඇයට සේවය සලසා දීමත් සාමාජීය වගකීමක් වේ. 

ගැබිනි මව වෙත නගනා සෙනෙහස මුදු මොලොක් හැඟීම් දැනීම් මවක් කායික, මානසික, සාමාජීය හා අධ්‍යාත්මික ලෙසින් ප‍්‍රබෝධයට පත් කරයි. මෙම ප‍්‍රබෝධය කුස තුල සිටිනා දරුවාද අත්විඳින හෙයින් ඔහු හෝ ඇයද එළිය දකින මෙලොව පිළිබඳව ප‍්‍රසන්න හැඟීම් ඇති කරනවා සේම වෛර ක්‍රෝධ සිතුවිලි වලින් තොරවූ ප‍්‍රසන්න සිතුවිලි ඇති ලොවට වැඩදායී පුද්ගලයෙකු වනු නොඅනුමානයි. එය මා පිය පදවිය දරන සියළුම දෙමාපියන්ට යහපත් වූ ආරංචියක් වනවා සේම ලොවෙහි පැවැත්මටද සමබර වූ ශක්තියක් එක් වේ. 

එසේ හෙයින් ලද සෑම අවස්ථාවකම උත්තරීතර මාතෘත්වයට නිවසින් සාමාජයෙන් කළ හැකි වූ යුතුකම් නොපිරි හෙලා ඉටු කිරීම තම රට ජාතිය වෙනුවෙන් කළ හැකි වූ උදාරතම වූ යුතුකම හා වගකීම වන්නේය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article