- Advertisement -

විභාග වෙහෙස හෙවත් exam stress

-

මේ දවස්වල දරුවන්ගේ හිතේ විභාග මානසිකත්වය ටිකක් දුරස් වුනත් අනාගත දිනයකදී නැවතත් දරුවන් ඔවුන්ගේ සුපුරුදු ඉගෙනුම් රටාවට යොමු වෙනවා.මේ දවස්වල අතිරේක පංති සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් නැති හින්ද දරුවන්ට තමන්ගේ අනාගත විභාග කටයුතු වෙනුවෙන් සැලසුමක් ගොඩ නගා ගැනීම බොහොම පහසුයි. සෑම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තිබෙනවා වගේ මේ ලැබුන කාලයේදී ඔබට විභාගය ගැන මනා සැලසුමක් ගොඩ නගා ගන්න පුලුවනි. ඉතින් කොහොමද මේ අනාගත විභාගය ඔවුන් අද සැලසුම් කරන්නේ…?

ඉතින් විභාගය ඉලක්ක කර ගෙන සිටින ඔබ තව ඉදිරියට තිබෙන කාලය ගැන යම් වැටහීමක් තිබෙනවා. ඒ වගේම විභාගය වෙනුවෙන් තිබෙන විෂය නිර්දේශය ගැනත් දැණුවත් බවක් තිබෙනවා. ඒ නිසා විෂය නිර්දේශය ඔබේ කාලරාමුව සමග ගලපා ගන්න. ඒ නිසා දැන් ඔබට බොහොම විවේකී කාලසටහනක් සකස් කර ගන්න පුලුවනි.අනාගත සැලසුම තුළ විවේකය, විනෝදාංශය වෙනුවෙනුත් යම් කාලයක් ඇතුලත් කරන්න.

- Advertisement -

පුංචි විවේකයක් ගන්න..

පාඩම් කරලාම දවස ගෙවන්නත් බැහැ. විභාග මානසිකත්වය නිසාම අපට තෝරා ගන්න බැරි ආකාරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්.ඒ නිසා පාඩම් කරන පැය අතරවාරයේම පුංචි විවේකයක් ගන්න. මේ වෙලාවේ සිංදුවක් කියන්න, නැටුමක් නටන්න…ඔබට වෙලාව වෙන් කර ගන්න පුලවනි.

තවත් වෙලාව තිබෙනවා නම් මල්පාත්තියට යන්න..නිවසේ බල්ලා ,බළලා සමග ටිකක් විනෝද වෙන්න. කොවිඩ් සමග ගැටෙන අපේ හෙද හෙදිය සහ වෛද්‍යවරුන් පවා විවේකය ලද විට ගීත ගයන…රංගනයේ යෙදෙන අවස්තා ඔබ දැක ඇති. කොවිඩ් වසංගත තත්වයට පෙරාතුව මේ අයගේ මෙවැනි දර්ශන අපි දැක්කේ නැහැ. නමුත් දැන් ඔවුන්ගේ සේවාව සමග ඇති මානසික වෙහෙස නිදහස් කර ගන්න මේ විදිහට පුංචි පුංචි විනෝදවීම්වල යෙදෙනවා.ඉතින්…විභාගය වෙනුවෙන් වෙහෙසෙන ඔබත් ඒ ගැනම සිතමින් සිත වෙහෙස කර ගන්න එපා. පුංචි විවේකයක් ගන්න. ඒ විවේකය හිතට සතුට වගේම යම් ඵලදායක බවක් ඇති වෙන අන්දමින් සැලසුම් කර ගන්න.

සිත එකග කරන භාවනාවක්..

අතීතයේදී නම් භාවනාවක් කිව්වාම අපේ වැඩිහිටි උදවිය මතක් වුනත් අද දරුවන්ට බාල කාලයේ පටන්ම ”සතිමත්බව ” පිහිටුවා කටයුතු කිරීමට උපදෙස් ලැබෙනවා. එවැනි සතිමත් භාවනාවක් මගින් ඔබේ විසුරුන සිත එකතැන් වෙනවා. ඒ වගේම මානසිකව ඇති වෙහෙස අඩු වෙනවා. ඉතින්…පාඩම් කරන අතරවාරයේ මනසට ව්‍යායාමයක් සහ සිත එකග කරන භාවනාවක යෙදෙන්න.

සමාජ න්නිවේදනයත් වැදගත්…

මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා..එහෙම නැත්නම් උසස් පෙළ කියන්නේ ජීවිතයේ කඩඉම. මෙවැනි වෙහෙසක් හිතට ගන්න එපා.පාඩම් කරන අතරවාරයේ ඔබේ ගැටලු මිතුරන් සමග බෙදා ගන්න.ඔවුන්ගේ ගැටළුවලටත් සවන් දෙන්න. එවිට ඔබේ ගැටළුවලටත් එතැනින්ම පිලිතුරු ලැබේවි.ජංගම දුරකථනය මහා හානියක් විදිහට දැක්කත් ඔබට හිතමිතුරන් සමග වීඩියෝ ඇමතුමක් ගැනීමටත් අවස්ථාව තිබෙනවා. පාඩම් සාකච්ඡා කරන්න..දැණුම බෙදා ගන්න..ගැටළු බේරා ගන්න ඔන්න දැන් අවස්ථාවක් තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරී රටාවක් නිසා ඔබේ හිතේ දරුණු අන්දමින් බලපාන විභාග වෙහෙස  (exam stress )ඉතාම පහසුවෙන් මග හැර ගැනීමට පුලුවනි.

 අවදානමත් තිබෙනවා..

විභාගයක් කියන්නේ අපි දන්නා දැනුම පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉදිරිපත් කරන කලාවක්. ඒ නිසා ඔබ පාඩම් කළත් මේ දැණුම ඉදිරිපත් කිරීමේදී කාලය සහ දැණුම ගලපා ගැනීම වැදගත්. වැදගත් කරුණුවලට ප්‍රමුඛතාවය ලබා දීම , ලකුණු ලබා දීමේ පරිපාටිය ගැනත් දැණුවත්ව සිටීම ඉතාම වැදගත්. ඒ නිසා කාලයට අනුව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමේ වේගය වගේම හැකි තරම් පැරනි ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු ලිවීම වැදගත්. ඔබ ලියන පිලිතුරු ලකුනු දීමේ පරිපාටිය සමග ඔබටම සංසන්දනය කරන්න. එවැනි පරිපාටියක් නොමැත්තේ නම් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සහභාගී වන ඔබේ ගුරුතුමාගේ  සහය ලබා ගන්න. ඔබ දක්වන උනන්දුව අනුව ගුරුතුමා ඔබට ප්‍රතිචාර දක්වනු ඇති.

විශ්වාසයෙන් විභාගයට යන්න…

බොහෝ දරුවන් විභාගය ගැන වැඩි විශ්වාසයක් තබන්නේ නැහැ. ඇතැමුන් එය පමණට වඩා සරලව සිතනවා.තවත් පිරිසක් අවශ්‍ය විදිහට සූදානම් වෙන්නේ නැහැ. අප දන්නා බොහෝ දරුවන් විභාගයේදී ලියන ප්‍රශ්න ගැන කල් තබාම තීරණය කරනවා. විෂය නිර්දේශයේ ඔවුන් කැමැති කොටස් වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන අතර සමහර කොටස් සම්පූර්නයෙන්ම ඉවත් කරමින් පාඩම් කරනවා. එහෙත්…ඔබ සූදානම් වූ අන්දමේ ප්‍රශ්න නොලැබුනොත්…? එසේත් නොමැති නම් සූදානම් නොවුන ප්‍රශ්නයක් අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වුනොත් ඇති වෙන මානසිකත්වය ගැන හිතා ගන්නත් බැරි තරම් වෙහෙසක්. ඒ නිසා ඉදිරි කාලය වුනත් ප්‍රමාණවත් නිසා සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරනය වන පරිදි සූදානම් වෙන්න.

විභාගයට පිලිතුරු ලියන විට ඔබ හොදින් සූදානම් වුන පාඩම් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වැඩි ඉඩක් ලබා දිය හැකියි.නමුත් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සූදානම් වීම වැදගත්. එසේ නොමැති වුනොත් පිලිතුරු ලියන අවස්ථාවේදී ඔබ බෙහෙවින් අසීරුතාවයකට පත් වෙනු ඇත.

 ධනාත්මකව සිතන්න..

අපි විභාගයක් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ අසමත් වීමට නොවේ.ඒ නිසා අපේ සිත සාර්ථක ප්‍රතිඵලයක් ලැබීම වෙනුවෙන් මානසිකවත් සූදානම් විය යුතුයි. කියමනටත් කියන සේ ”ඉර ඇල්ලීමට ගන්නා උත්සාහය නිසා අඩුම වශයෙන් තරුවක් ඩැහැ ගැනීමට හැකි වේ…” ඒ නිසා නිතරම යාන්තම් ලකුණු 40 ක් ගැනීමට සීමා නොවන්න. හැකි උපරිම ලකුණ වෙනුවෙන් උත්සාහ කරන්න.එවිට ඔබ කිසිදා පරාජය නොවනු ඇත.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article