- Advertisement -

තරුණ දරුවන් කිසිදු විටෙක පවුලෙන් දුරස් කරන්න එපා.

-

අපේ පුතා කාමරයෙන් එළියට එන්නේ නැහැ. දවසට අපිත් එක්ක වචන දෙක තුනක්වත් කතා කරන්නේ නැහැ. එනවා….කනවා.කාමරයට යනවා…

අද කාලයේ බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මේ වගේ ගැටලු ඇති. අද කාලයේ පවතින අධ්‍යාපන රටාව හෙවත් මාර්ගගත අධ්‍යාපනය නිසා දරුවන්ට මේ තත්වය තවත් සාධාරණ වුණා. කොටින්ම කිව්වොත් පනින රිලවුන්ට ඉනි මං තැබුවා වගේ මාර්ගයක් හැදුනත් මේ ජීවන රටාව දරුවන් සම්බන්ධයෙන් එතරම් සුදුසු නම් නැහැ. ඒ වෙනුවෙනුත් බලපාන හේතු කීපයක් තිබෙනවා.

- Advertisement -

දරුවා පවුලෙන් දුරස් වීම…

කාලයත් සමග දෙමව්පියන් සහ දරුවන් අතර පුංචි කාලයේ පැවැති දැඩි සම්බන්ධතාවය දුරස් වෙනවා. ඉස්සර වගේ කවන්න පොවන්න අවශ්‍ය නැහැ.පාසල් වැඩ කටයුතු වුනත් දරුවන් තනියම කර ගන්න තැනට පත්ව සිටිනවා. ඒ වුනත් දරුවා සහ පවුල අතර පවතින සම්බන්ධතාවය දුරස් වීම කොහොත්ම අනුමත කරන්න බැහැ.මාර්ගගත පාඩම් කියමින් දරුවා පවුලෙන් විතැන් වීම නිසා ඇති වෙන ගැටළු ගැනත් දැනගෙන සිටීම  දෙමව්පියන්ට වැදගත්. දරුවා දුරස් වීමේ ප්‍රතිවිපාක බොහොමයක් තිබෙනවා.

දරුවා මානසිකව හුදෙකලා වීම

දරුවන් පිලිබදව සිතන විට ඔවුන්ටත් ගැටලු බොහොමයක් තිබෙනවා. කන්න අදින්න ලැබෙනවා නම් දරුවන් සිටින්නේ සතුටින් කියල දෙමව්පියන් හිතනවා නම් ඒ සංකල්පය වැරදියි.දරුවන්ටත් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අධ්‍යාපනය සම්බන්ධව වුනත් දැනෙන පීඩනය සමග ඔවුන් ජීවත් වෙනවා. ඒ වගේම මිතුරු ඇසුර තුලින් ඇති වෙන ප්‍රශ්න දරුවන්ට දරා ගැනීමට සිදු වෙනවා. මේ සියල්ල අතර අද දවසේ අන්තර්ජාල සම්බන්ධතාවයන් ඔස්සේ දරුවන් බිය වැද්දීම වැනි කටයුතු පවා සිදු වෙනවා.

දරුවන්ගේ ප්‍රශ්න අපි ගන්නද…?

දෙමව්පියන් විදිහට ඔබ එහෙම හිතනවා නම් වැරදියි. ඔබට දරුවන්ගේ ප්‍රශ්න ඉදිරියේ හොද සවන්දෙන්නෙක් වෙන්න පුලුවනි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් ඒ වෙනුවෙන් විකල්ප ඉදිරිපත් කරනවා විතරක් නොවෙයි, ප්‍රායෝගිකව දරුවන්ට ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුලුවනි. දරුවා ඇසුරු කරන මිතුරන් සම්බන්ධයෙන් ඇති වෙන ගැටුම් සහ ගැටළු ඉදිරියේදී වුනත් දරුවාගේ පීඩනය බෙදා ගැනීමට මැදිහත්කරුවෙක් විදිහට ක්‍රියාකරන්නෙක් වෙන්න පුලුවනි.

ඒ වුනාට සමාජජාලා  බියවැද්දීම් ඉදිරියේදී…?

ඇත්ත. අද දවසේ සන්නිවේදන තාක්ෂණය ඉදිරියේ දරුවන් සිටින්නේ බොහොම ඉදිරියෙන්.දෙමව්පියන් සතුව ඒ තාක්ෂනය අද නැහැ. ඒ නිසාම දරුවන් සමාජජාලා සමග ගණුදෙනු කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙනවා.දෙමව්පියන් විදිහට අනේ අපි ඔය තාක්ෂණය දන්නේ නැහැ කියනවාට වඩා ඒ ගැන යම් දැණුමක් ලබා ගැනීම වැදගත්. අද තරුණ දරුවන් සිටින දෙමව්පියන් කියන්නේ වයස අවුරුදු හැට ඉක්මවා ගිය අය නොවෙයි. අවම වශයෙන් ඔවුන් හතලිහේ දශකයේ විය හැකියි. ඒ නිසා සන්නිවේදන තාක්ෂණය ගැන යම් දැනුවත්බවක් ලබා ගැනීම ඉතාම වැදගත්.

දරුවා යන මාර්ගය ගැන ඉවෙන් දැන ගන්න පුලුවන්.

අද බොහෝ දරුවන් දෙමව්පියන් රවටා සමාජාලා පරිශීලනය කරන බැව් රහසක් නොවේ. ඒ වුනත් ඔබට යම් දැණුමක් තිබෙනවා නම්දරුවා මේ සිටින්නේ ”සූම් ” හෝ වෙනත් මෘදුකාංගයක් ඔස්සේ විකාශය වන අධ්‍යාපන වැඩසටහනකටද එසේ නොවේ නම් වෙනත් සමාජජාලා සමග සම්බන්ධතාවයකද යන බව දැන ගැනීමේ හැකියාව ලැබෙනවා.

සමාජාලා ඔස්සේ දරුවා බියවැද්දීමට පත්ව සිටිනවා නම්..

දෙමව්පියන් ලෙස ඔබ සමාජාලා ඔස්සේ ඇති විවිධ හිරිහැරකාරී තත්වයන් ගැන පැමිණිලි කිරීමට ඇති විදුලි සංදේශන ආයතන ගැන දැනුවත්ව සිටීම වැදගත්. දරුවා මෙවැනි ආයතන ගැන දැනසිටියත් ඒ ගැන තනි තීරණ ගැනීමට ඔවුන්ට දෛර්යක් නැහැ.නමුත් ඔබ දරුවා සමග සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරනවා නම් එවැනි ආයතනයක් සමග ශබට සම්බන්ධ වීමට පුලුවනි. වැඩිහියෙක් ලෙසින් එය කිසිදු අපහසුවක් නැති කාර්යක්.දරුවා පත්ව සිටින පීඩනයෙන් මුදවා ගැනීමට සාර්ථක විසදුම ඔබට ඉදිරිපත් කිරීමට පුලුවන්.

දරුවා මානසිකව දැඩි පීඩනයකට පත් වීම

දරුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් දුරස්ව සිටින විට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. දරුවන් සහ දෙමව්පියන් අතර පවත්නා සම්බන්ධතාවය යහපත් වන තරමටම දෙපාර්ශවය අතර සාර්ථක සන්නිවේදනයක් සිදු වෙනවා.දුරස්ව සිටින දෙමව්පියන් සමග දරුවන් කිසිමි දිනක තමන්ගේ ගැටළු ගැන සාකච්ඡා මාර්ගයකට පැමිණෙන්නේ නැහැ.හදවතින් දුරස් විට හදවතේ ගැටුම් සහ ගැටලු ඉදිරිපත් කිරීමටත් ඔවුන් උනන්දු වෙන්නේ නැහැ.

තරුණ දරුවන් සමග සම්බන්ධ නොවීම ඉතා දරුණු විදිහට ඔවුන්ගේ ජීවිතයට බලපාන්න පුලුවනි.

දෙමව්පියන් විදිහට ඔබේ දරුවා දැන් හය හතර තේරෙන වයසේ සිටින හොද ඉලන්දාරියෙක්. ඒ හින්දා දැන් ඉස්සර වගේ පිටුපස්සෙන් සිටින්න අවශ්‍ය නැහැ කියල හිතුවත්නිතරම දරුවාගේ හදවතට ඔබේ ශක්තිය ලබා දෙන්න. ඔබ දරුවාගේ හදවතට සමීප වුන තරමටම දරුවා තමන්ගේ ගැටලුවලදි දෙමව්පියන් සමග සාකච්ඡා කරන විට

  • දරුවාගේ මානසික පීඩනය ඉහිල් වෙනවා.
  • තමන්ගේ ශක්තියට දෙමව්පියන් සිටින බව දැන ගන්නවා.
  • ජීවිතය ගැන බලාපොරොත්තු ඇති වෙනවා.
  • සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සාර්ථක විසදුමක් ලැබෙනවා. 
  • ගැටලුවලට මුහුණ දීමේ ආත්ම ශක්තිය ඇති වෙනවා.

දරුවා හුදෙකලා වීමේ දරුණු විපාකත් තිබෙනවා..

ඔබේ තරුණ දරුවා පවුල තුළම විතැන් වීමේ ප්‍රතිවිපාක ඉතාම දරුණු අන්දමින් බලපාන්න පුලුවන්.තමන්ගේ ප්‍රශ්න ගැන කියන්න කෙනෙක් නොමැති නිසා දැනෙන පීඩනය අවසානයේදී සියදිවි නසා ගැනීමක් වැනි අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුලුවනි.

ඒ වගේම පාසලේ, පංතියේ ඇති ඉතා සුලු සිදුවීම් පවා දරුවෙක් ලෙසින් දැඩි පීඩාකාරි අත්දැකීම් වුනොත් දරුවා නිතරම මානසිකව දැඩි පීඩනයකින් ජීවත් වෙන්න පුලුවනි. ඒ නිසාම තමන්ගේ ජීවිතය පවා දරුවාට ඉතාම අසුන්දර අත්දැකීමක් බවට පත් වීමට ඉඩ තිබෙන නිසා ඔබේ තරුණ දරුවන් කිසිදු විටෙක පවුලෙන් විතැන් කරන්න එපා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article