දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන මව් කුස පටන්ම උනන්දු වෙන්න.

ප්‍රතිශක්තිය කියන්නේ ආගන්තුක දෙයක් වෙනුවෙන් අපේ සිරුර විසින් දක්වන ප්‍රතිචාර .. සියළුම වෛරස සහ බැක්ටීරියා අපේ සිරුරට ආවත් ඒ සියලුම විෂබීජ වෙනුවෙන් ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව අපේ සිරුරට තිබෙනවා. උපතින්ම අපේ සිරුරට ලැබී තිබෙන ප්‍රතිශක්තිය ඉහළයි. නමුත් අපට හිමිව තිබෙන මේ සුවිශේෂී හැකියාව නැති කර ගන්නේ ඇයි…? අපේ ප්‍රතිශක්තිය රැක ගෙන පවත්වා ගෙන යන්නේ කොහොමද..?

අපේ ප්‍රතිශක්තිය කොටස් දෙකකට බෙදෙනවා

  • innate immunity-සහජ ප්‍රතිශක්තිය 
  • Adaptive immunity– අත්කර ගත් ප්‍රතිශක්තිය

innate immunity- සහජ ප්‍රතිශක්තිය

ඕනෑම පුද්ගලයෙකුට උපතින් ලැබෙන ප්‍රතිශක්තිය සහජ ප්‍රතිශක්තිය (innate immunity ) යනුවෙන් හැදින්වෙනවා. 

Adaptive immunity

අත්කර ගත් ප්‍රතිශක්තිය  (Adaptive immunity ) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙහිදී අපේ සිරුරට ඇතුළු වෙන විෂබීජයට එරෙහිව සිරුර ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිශක්ති එන්නතකින් ලැබෙන්නේ එවැනි ආරක්ෂාවක්. උදාහරණයක් විදිහට සරම්ප,පිටගැස්ම වැනි රෝග තත්වයන්හිදී සිරුරට ලබා දුන් ප්‍රතිශක්තිය මතක තබා ගෙන නැවත වෛරසයක් ඇතුළු වූ විට ඒ වෙනුවෙන් ඇති මතකය උපකාර කර ගෙන ඒ රෝග තත්වයෙන් ආරක්ෂාව ලබා දෙනවා.

සෞඛ්‍ය සමීකරනය…

අපේ සෞඛ්‍ය ගැන එහෙමත් නැත්නම්  නිරෝගි ජීවිතයක් පවත්වා ගැනීමේදී සෞඛ්‍ය සමීකරනය ගැන කතා කිරීමට අවශ්‍යයි. මෙම සමීකරණය නිර්මානය වෙන්නේ මේ විදිහටයි.

පරම්පරා ලක්ෂණ + ආහාර, , මානසික සෞඛ්‍ය සහ වයස

කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න කලින් පටන්ම තමාගේ දරුවාගේ නිරෝගිව හදා වඩා ගැනීමට පියවර ගත යුතුයි. 

පරම්පරා ලක්ෂණ

ඩෙනි ජොන්සන් විසින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන අන්දමට පරම්පරා දෙකක් අතර කාලයක් පුරා යම් වෛරයක් කාලයක් තිබිලා මේ පරම්පරා දෙකින් ගැහැනු පිරිමි දෙන්නෙක් විවාහ වුනොත් මේ අඹු සැමියන්ට දාව උපත ලබන දරුවන්ට බොහෝ විට ස්වයං ප්‍රතිශක්තිකරණ ඌනතාවයක් ඇති වෙන්න පුලුවනි. මේ ගැන තව දුරටත් අධ්‍යනයන් සිදු වෙමින් පවතිනවා. අපේ රටේ වුනත් සමීප ලේ ඥාතීන්ගේ විවාහය  , ඇවැස්ස නෑනා මස්සිනා විවාහයත් නිසා විවිධ ආබාධ සහිත දරුවන් උපත ලබන බැව් සදහන් වෙනවා.

අම්මාගේ පෝෂණය ලබා දීමත්

ගර්භණී කාලයේදී මව ලබන පෝෂණය නිරෝගී දරු උපතකට හේතු වෙනවා. මේ වෙන විට හැම ගර්භණී මවක්ම ඒ ගැන දැනුවත් වගේම සායන මගින් ඔවුන් දැණුවත් කිරීමත් සතුටට හේතුවක්.

මානසික සෞඛ්‍යයත් වැදගත්..

දරුවෙක් මව්කුස පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන්ම අම්මා තාත්තාගේ බලාපොරොත්තුව තමන්ගේම ලෙයින් මසින් ලැබෙන පැටියා නිරෝගී වගේම පෞරෂයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් කරන සිහිනයක පසු වෙනවා. ඒ හැම මව් කෙනෙකුටම පොදුගුණයක්.දරුවෙක් ගැබ් දරණ කාලයේදී කාන්තාවක් ඉතාම යහපත් සිතුවිලිවලින් ජීවත්වීම අවශ්‍යයි. විශේසයෙන්ම ආගමික කටයුතුවලින් යම් මානසික සුවතාවයක් ලැබෙනවා. අතීතයේ පටන්ම අපේ වැඩිහිටියන් ගැබ් දරණ කාන්තාවකගේ මානසික සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. අතීතයේදී දරුවෙක් ලැබෙන්න සිටින අම්මාට අසුබ සහ අවලස්සන දර්ශන නෙත ගැටෙන්න දුන්නේ නැහැ.වෙන දෙයක් තබා තමන්ගේ නිවසේ අළුත්වැඩියා කටයුත්තක් පවා කරන්න ඔවුන් පෙළඹුනේ නැහැ. ආයුධ සහ දැව එකටෙක ගැටෙන ශබ්ද පවා ගැබිණි මවට ඇසෙන්න ඉඩ දුන්නේ නැහැ.

කුස සිටින දරුවාට ආමන්ත්‍රණය කිරීම..

අපි නොසිතුවත් කුසේ සිටින දරුවාට අම්මාගේ සිතුවිලි හොදින් තේරුම් ගන්න පුලුවනි.ඒ නිසා කුසේ සිටින දරුවාට මවගේ ආදරණීය ආමන්ත්‍රණය වැදගත්. ගැබ මෝරන විට තමන්ගේ දරුවා සමග කථා කරන්න ඕන. දරුවා ඒ හඩ අදුනනවා. තමන්ට කතා කරන බව තේරුම් ගන්නවා. අම්මා වගේම තාත්තාත් මෙලොව එළිය දකින්න සුදානමින් සිටින පැටියාට ආමන්ත්‍රණය කිරීම අවශ්‍යයි. මව්පියන් සහ දරුවා අතර සමීප සම්බන්ධතාවය එතැනදී ගොඩ නැගෙනවා.එය දරුවාගේ ප්‍රතිශක්තියටත් බලපාන අපි නොහිතන පැත්තක්.

ප්‍රතිශක්තිකරණය සහ සාමාන්‍ය දරු ප්‍රසුතිය..

අද බොහෝ මව්වරුන් සාමාන්‍ය දරු ප්‍රසුතියකට වඩා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරන්න කැමැත්තක් දක්වනවා.

සිසේරියන් සැත්කමකින් බිහිවෙන දරුවෙකුට වඩා සාමාන්‍ය දරු ප්‍රසුතියකින් උපත ලබන දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත්. නමුත් විවිධ හේතුන් නිසා වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් ගැන තීරණය කරනවා නම් ඒ උපදෙස් පිලිපැදීමට අවශ්‍යයි

මුල් මාස තුන..

අතීතයේ වැඩිහිටිව් අලුත උපන් දරුවා මාස තුනක් ගෙවෙන තෙක් නිවසෙන් පිටතට ගත්තේම නැහැ. දරුවා බැලීමට පැමිනෙන නෑ හිත මිතුරන් පවා දරුවා සමග වැඩි වේලාවක් රදවා ගත්තේ නැහැ.මෙම සිදුවීමෙත් යම් සත්‍යක් තිබෙනවා.

අපේ මුතුන් මිත්තන් මාසයක් ගණනය කරන්නේ දින 28 කින්. වසරකට මාස දොළහක් තිබෙනවා. මව් කුසේ සිටින මාස දහයක් සිටින දරුවා  මව්කුසෙන් බිහි වීමෙන්  පසුව අලුත් පරිසරයක ජිවත් වෙනවා. ඒ නිසාම මේ පරිසරයට හුරු වීමට දරුවාට යම් කාලයක් අවශ්‍යයි.ඒ නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය මේ මාස තුනක කාලයේදී පවත්වා ගැනීම වැදගත්. අම්මා තම දරුවා සමග මුල් තුන් මාසය ගත කිරීම නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. බාහිර පරිසරයට ඔරොත්තු දෙන හැකියාව ලබා ගන්නවා.

මේ සම්ප්‍රදාය නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය වැඩි වුණා. මව සහ පවුලේ එකම වහලක් යට ජීවත්වෙන පිරිස හැර වෙනත් බාහිර පුද්ගලයන්ට දරුවා නිරාවරණය වුනේ නැහැ.නෙමුත් අද පවුල් පසුබිම සහ සමාජ රටාව තුළ අතීතයේදී සම්ප්‍රදායක්ව පැවැති මේ ඇවැතුම් පැවතුම් දුරස් වෙලා. මවක් ප්‍රසුති නිවාඩුවෙන් පසුව නැවත සේවයට යා යුතුයි. ඒ වගේම දැන් පවුලක් තුළ එදා වගේ අත්තම්මලා..නැන්දා.. එකට ජිවත් වෙන්නෙත් නැහැ. බොහෝ දුරට වැටුප් ගෙවා ලබා ගන්නා සේවිකාවක් දරුවා රැකබලා ගන්නවා. මෙවැනි වටපිටාවන් නිසා මවක් ලෙද අතීතයේ මවක් දැක්වු දරු සෙනහස සහ රැකවරණය අද දරුවන්ට අහිමි වීමකුත් සිදු වෙනවා. ඒ නිසා අම්මාට හැකි හැම විටම දරුවා සමග රැදී සිටීම, මව්කිරි ලබා දීම වැනි දරුවා රැකබලා ගැනීමේදී දක්වන උනන්දුවත් දරුවාගේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වීමට බෙහෙවින් හේතු වෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

තරිදු ප්‍රනාන්දු  CCII (IIPA) – USA

Iridologist

Integrated health practitioner

Iridologist of the year-2019

 

 


හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here