- Advertisement -

දරුවන්ට උපතින් පිළිකා ඇති වන්නේ කෙසේද?

-

පුංචි දරුවෙක්ට පිළිකාවක් කියලා අහන්න ලැබුණම කොයි කාගෙත් ඇඟ හිරිවැටෙනවා. ඒත් ඒ තත්ත්වය අපේ සමාජයෙන් මේ වෙද්දී නිතර නිතර අහන්න ලැබෙනවා. ඇත්තටම ඇයි මේ හය හතර නොදන්න පුංචි දරුවන්ටත් පිළිකා කියන රෝගය ඇති වෙන්නේ. පිළිකාව ගැන කියද්දි බොහෝ දෙනෙක්ගේ කටින් පිටවෙන්නේ කැන්සර් එකක් කියලයි. කැන්සර් කියන්නේ කකුළුවාට කියන තවත් ඉංග‍්‍රීසී වචනයක්. පිළිකාවට ඒ නම හැදෙන්න හේතු වෙන්න ඇත්තේ  කකුළුවාගේ අඬු ආකාරයට අවට පටක අල්ලාගෙන ඒවයේ සාරය උරාබොන නිසා විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෑදී ඇති සෛල ක‍්‍රමානුකූලව වර්ධනය, බෙදීම පාලනයක් සිදුවන්නේ යම් පාලනයක් යටතේයි. නමුත් පිළිකා සෛල වර්ධනය, බෙදීම සිදුවන්නේ පාලනයකින් තොරවයි. විවිධ වර්ගයේ පිළිකා පවතින අතර ඒවායේ පවතින්නේ එකම ස්වභාවයකි. 

- Advertisement -

පිළිකා සෛලවල, 

  • වර්ධනය පාලනයෙන් තොරයි
  • අසාමාන්‍ය ප‍්‍රමාණ හා හැඩයක් ගනී
  • වේගයෙන් අනෙක් සෛල අතර බැඳීම් ඇති කරමින් ඒවායේ පෝෂක කොටස් උරාගන්නා අතරම අවසානයේ අවට සෛල මිය යයි. 

උපතත් සමග දරුවෙකුට පිළිකාවක් ඇතිවීම එතරම් සුලබ තත්ත්වයක් නොවුණත් ඒ තත්ත්වය අපිට අහන්න දකින්න ලැබෙන තත්ත්වයක්. වඩාත් බහුලම පිළිකා වර්ගය වන්නේ ස්නායු සෛල හා සම්බන්ධ Neuroblastoma වර්ගයයි. මෙය වර්ධනය වන ස්නායු පද්ධතියේ කලාතුරකින් ඇති වන තත්ත්වයකි. මෙය පිටතට පෙන්නුම් කරන්නේ සුෂුම්නාවේ හෝ ඒ ආසන්නයේ ගෙඩියක් ආකාරයටයි. සමහරවිට මෙම ගෙඩි උදරය තුල හෝ අධි වෘක්ක ග‍්‍රන්ථිය ආශ‍්‍රිතවද ඇති විය හැක. 

මීට අමතරව ඇති වන තවත් වර්ගයක් වන්නේ Teratoma තත්ත්වයයි. Teratoma යනු කලාතුරකින් ඇති වන අර්බුදයකි/ගෙඩියකි. මේවා විවිධ පටක වල එනම් අස්ථි, දත්, පේශී, හිසකෙස් අතර ඇති පටක වල දැකිය හැක. මේවා බොහෝ විට ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ ආදියේ දැකිය හැක. සමහරවිට මෙම පිළිකා වර්ගය ස්නායු පද්ධතිය තුල හා උදරය තුලද දැකිය හැක. මේවා පිළිකා වීම හෝ නොවීම නිශ්චිතව කිව නොහැකිය. ශරීරයේ ඇති සෛල වෙනස්වීමේ ක‍්‍රියාවලියට ලක් වන අවධියේදී එහි ඇති වන සංකූලයන් ලෙස මේවා හැඳින්විය හැක. විශේෂයෙන් මේවා ඇති වන්නේ ජන්මානු සෛල තුළයි. දරුවා වර්ධනය වන විට ඔවුන්ගේ ජන්තරා සෛල, ශරිරයේ විවිධ ස්ථාන වලට ගමන් කිරීමට පටන් ගන්නා අතර ඒවා වෙනස්වීම් වලට බඳුන් වේ. එනම් ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බද වෘෂණය තුල ඇති ශුක්‍රාණු  ද මෙසේ වෙනසට බඳුන් වන සෛල වේ. මෙම ගෙඩිය තුල කෙස්, දත්, ඉටි, තෙල් හා සම දැකිය හැක. මේවායේ සාමාන්‍ය ලක්‍ෂණ වන්නේ ඉදිමුම, රුධිර වහනය හා වේදනාව යන ලක්ෂණයි. 

බෙහෝ පිළිකා වලට හේතුව නොදන්නා නමුත් උපතේදී ඇති වන ජානමය වෙනස්කම් හේතු විය හැකි අතරම බොහෝ විට ඒවා ඇති වන්නේ උපතට පෙරයි. ස්ථිර හේතුවක් දැක්විය හැකි නොවුණද අවධානම් සාධක ලෙස පහත ඒවා සැලකිය හැක. 

  1. ජීවන රටාවේ හා පාරසරික අවධානම් සාධක
  • විකිරණ වලට නිරාවරණය
  • දෙමාපියන් දුම්පානය කිරීම                                                                                                                                                                                                                           

2.ජානමය සාධක

සෛල තුලදී DNA වල ඇති වන වෙනස්කම් නිසා සමහර පිළිකා වර්ග ඇති වේ. DNA යනු අපේ ජාන සඳහා වූ රසායනිකයයි. ජාන මගින් අපේ සියළු ක‍්‍රියාවලියන් පාලනය කරන්නා මෙන්ම සමහර රෝග වර්ධනය කිරීම සඳහාද දායක වේ. දරුවෙකුට තම මවගේ හෝ පියාගේ පෙනුම/රූපය ලැබෙන ආකාරයටම විවිධ පිළිකා වර්ග ද ඇති වේ. සමහර ජාන මගින් අපේ සෛල වර්ධනය, සෛල විභේදනය හා මියයාම පාලනය කරයි. 

  • සෛල වර්ධනය, බෙදීම හා සජීවී ලෙස සෛල පවත්වා ගැනීම – Oncogenes වේ. 
  • සෛල බෙදීම සෙමින් සිදුවීම, සෛල වල ජාන, අළුත් වැඩියාව, වැරදි ලෙස සිදුවීම හෝ සෛල මිය යාමට හේතුවන ජාන tumour suppressor genes ලෙස හඳුන්වයි. 

ළමුන් අතර බහුල වශයෙන් පහත පිළිකා වර්ග  

  • ලියුකේමියාව
  • Lymphoma
  • මොළයේ පිිළිකා
  • නව යොවුන් වියේදී ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma) 

අළුත උපන් දරුවන්/කුඩා දරුවන්ට ඇති වන පිළිකා ජානමය වෙනස්කම් නිසා ඇති වන බවට විශ්වාස කෙරේ. එසේම ජාන විකෘතිතාවයක ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන 21 වන ජානයේ අසමාන්‍යතාවයන් (21 trisomy) ලෙස ඇති වන Down syndrome සහිත ළමුන්ට මෙම පිළිකා අවදානම් වැඩිය. 

ළමුන් අතර ඇති වන පිළිකා වල ලක්‍ෂණ 

  • අසාමාන්‍ය ඉදිමුමක් හෝ ගෙඩියක්
  • දරුවා තුල අසාමාන්‍ය, විස්තර කළ නොහැකි ලෙස සුදුමැලි බව, ශක්තිය හීන වීම, බර අඩු වීම 
  • සමේ පහසුවෙන් සිරීම් හෝ රුධිර වහනය
  • ශරීරයේ එකම ස්ථානයක දිගටම පවතින වේදනාව. 
  • නොනැවතී පවතින උණ
  • නිතර පවතින හිසරදය හා වමනය
  • හදිසියේ ඇති වන ඇස් වල පෙනීමේ වේගය අඩුවීම
  • තෙහෙට්ටුව

මීට අමතරව පහත තත්ත්වයන්ද දරුවන් අතර දැකිය හැක. ඒවායේ ලක්‍ෂණ පහත දැක්වේ. 

ලියුකේමියාව

  • සුදුමැලි බව
  • රුධිර ගැලීම හෝ සම තුලට රුධිර ගැලීම් (රතු පැහැති ලප ලෙස), නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීම
  • තෙහෙට්ටුව, දුර්වලභාවය, සීතල දැනීම
  • කරකැවිල්ල
  • හිසරදය
  • ස්වසන අපහසුතා/ කෙටි හුස්ම
  • නිතර ඇති වන දීර්ඝ කාලීන ආසාධන

මොළයේ පිළිකා

ළමා පිළිකා අතරින් 27% පමණ මෙම පිළිකා වැළඳීම සිදු වේ. බොහෝ පිළිකා ඇති වන්නේ මොළයේ සෛල කොටසේ එනම් මොළයේ කඳ මෂ්තිස්කය (brain stem cerebellum) කොටසේ වේ. මෙහි බහුලව දැකිය හැකි  ප‍්‍රධාන ලක්‍ෂණ පහත පරිදි වේ. 

  • හිසරදය
  • කරකැවිල්ල
  • ශරීර සමබරතාවයේ ගැටළු
  • දෘෂ්ඨි, ශ‍්‍රවණ හෝ කථන ගැටළු
  • නිතර වමනය ඇති වීම

Neuroblastoma

ළදරුවන් හා ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය නොමේරූ ස්නායු සෛල වලින් ඇති වේ. මූලිකවම අවුරුදු 5 වඩා අඩු දරුවන් තුල දැකිය හැක. මෙය නිතරම ආරම්භ වන්නේ අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් වේ. ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුල වැඩිය. 1 – 2% පමණ දරුවන්ට මෙය පවුල් ආරය නිසා ඇති වේ. 

  • ඇවිදීමේ හැකියාව නොමැති වීම
  • ඇස් වල වෙනස්කම් (ඇස් ඉදිරියට නෙරීම, ඇස් වටා කළු/අඳුරු රවුම් ඇතිවීම, ඇහිපිය කඩා වැටීම)
  • ශරීරයේ විවිධ ස්ථාන වල ඇති වන වේදනාව
  • පාචනය
  • අධික රුධිර පීඩනය

Wilms Tumour

ළමුන් අතර ඇති වන පිළිකා අතරින් බහුලව ඇති වන පිළිකා වර්ගයක් වන අතර වකුගඩු වලින් ආරම්භ වේ. බහුල වශයෙන් ඇති වන්නේ එක් වකුගඩුවක වන අතර කලාතුරකින් වකුගඩු දෙකටම ඇති විය හැක. අවුරුදු 3 – 4 දරුවන් අතර බහුල වේ. 

  • උදරය ඉදිමීම හෝ ගෙඩියක් ලෙස දැනීම
  • උණ
  • වේදනාව
  • ඔක්කාරය
  • කෑම අරුචිය අඩුයි

Lymphoma

මෙම පිළිකා තත්ත්වය ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වසා සෛල වල ඇති වේ. මෙම පිළිකාව මගින් වසා ගැටිති මෙන්ම වසා පටකද ආක‍්‍රමණය කරයි. උදාහරණ ලෙස ටොන්සිල් ග‍්‍රන්ථිය, තෛරොයිඩ් ග‍්‍රන්ථිය දැක්විය හැකිය. එසේම ඇට මිදුළු හා වෙනස් අවයව වලද ඇති විය හැක. ඇති වන ස්ථානය අනුව ලක්‍ෂණ වෙනස් වේ. ප‍්‍රධාන ලෙස ආකාර 2 කි. 

  1. HodgKin Lymphoma

අවුරුදු 5 ට අඩු දරුවන්ට ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මෙය වැඩිහිටියන්ගේ පිළිකා වලට සමානය. 

2.Non HodgKin Lymphoma

HodgKin Lymphoma ඇති වන දරුවන්ට වඩා අඩු වයසේ දරුවන්ට ඇති වේ. අවුරුදු 3 ට වඩා අඩු දරුවන්ට කලාතුරකින් ඇති වේ. ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය වැඩිහිටියන් අතර ඇති වන වර්ගයට වඩා වෙනස් වේ. ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා වර්ගයක් වන අතර දැඩි සත්කාර සාත්තුව අවශ්‍ය වේ. වැඩිහිටියන්ගේ මෙම පිළිකා වර්ගයට වඩා දරුවන්ගේ මෙම පිළිකා වර්ගය ප‍්‍රතිකාර වලට හොඳින් ප‍්‍රතිචාර දක්වයි. 

  • බෙල්ලේ, කිහිල්ලේ හෝ ඉකිලියේ වසා ගැටිති ඉදිමීම
  • බර අඩුවීම
  • උණ
  • දහදිය දැමීම
  • ශරීරය දුර්වල වීම

ළමුන් අතර ඇති වන පිළිකා ඉක්මනින් හඳුනා ගැනීම තුල ප‍්‍රතිකාර සාර්ථක වේ. මේ සඳහා,

  • පවුලේ සාමාජීකයන් හෝ දෙමාපියන් හෝ දරුවන් රැකබලාගන්නන් රෝග ලක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම
  • නිවැරදි ලෙස නියමිත වේලාවට සායනික ලෙස රෝගය විනිශ්චය වීම රෝගය හදුනාගැනීම හා දැනට සිටින මට්ටම (stage) හඳුනාගැනීම. 
  • ප‍්‍රතිකාර කළ හැකි විවිධ මාර්ග පිළිබඳ අවබෝධය

වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ට ඇති වන පිළිකා වලදීද ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රම සමාන වේ. 

  • chemotherapy – ඖෂධ ප‍්‍රතිකාර
  • Radiotherapy – විකිරණ ප‍්‍රතිකාර
  • Surgery – ශල්‍යකර්ම ප‍්‍රතිකාර
  • Bone marrow transplantation – ඇටමිඳුළු බද්ධ කිරීම

එසේම වැළ‍ෙඳන පිළිකා සියල්ලම සුව නොවන නමුත් ඒවායේ ලක්‍ෂණ වලින් මිදීමට හා ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිකර ගැනීම උදෙසා ලබාදෙන සාත්තුව (palliative care) ඉතා වැදගත් වන අතරම දරුවෙකුට ඉහත ප‍්‍රතිකාර ක‍්‍රම ලබාදෙන අතරේම පෝෂණය, මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article