දරුවන්ගේ වැරැදි පුරුදු මනසේ ලියාපදිංචි කරන්න එපා…

දරුවන් අතින් සිදු වෙන පුංචි පුංචි වැරැදි අපි කාලයටම ඉඩ දෙනවා. අනේ ඉතින් මොනවා තේරෙනවාද…? හය හතර නොතේරෙන පුංචි අයනේ කියලා අපි දරුවන් වෙතින් වෙන වැරැදි ඉවසා සිටියොත් ඒවා දරුවන් සමගම සංවර්ධනය වෙනවා. කොටින්ම මේ වැරැදි දරැවන්ගේ මනසේ ලියාපදිංචි වෙනවා කිව්වොත් නිවරැදියි. එහෙමනම් පුංචි කාලයේ සිද්ධ වෙන පුංචි පුංචි වැරැදි දරුවාගේ මනසේ ලියාපදිංචි වීමට ඉඩ නොදී දරුවා ඒ වැරැදි වලින් නිදහස් කර ගන්නේ කොහොමද…?

වැරැද්ද ගැන දරුවාට ආදරයෙන් කියා දෙන්න….

දරුවා වරදක් කරනවා නම් ඒ වැරැද්දේ ආදීනව ආදරයෙන් කියා දෙන්න.වරද නිවරැදි කරන්නේ දරුවාට ආදරයෙන් බැව් ඔවුන්ට ඒත්තු යන අන්දමින් කියා දෙන්න.උදාහරණයක් විදිහට කෑම මේසයේදී ඉඳුල් අතින් හැන්ද. වීදුරුව අල්ලන දරුවාට ඒ පිලිවෙල ඉතා අශෝභන බැව් කාරුනිකව කියා දෙන්න. ඒ වගේම දරුවා එම වරද නොකරන අවස්ථාව අගය කරන්න.

දරුවන් ප්‍රංශසාවට කැමැතියි…

දරුවන් ප්‍රංශසාව ලබන්න සතුටු කොටසක්. ඒ මනෝභාවයන් නිසා දරුවා වරද නිවරැදි කරන අවස්ථාවන්හිදී ඔබ ඒ ගැන ඇගයීමෙන් කතා කරන්න.තමාට ලත් පිලිගැනීම නිසාම දරුවා නැවත නැවත ඒ වරද නොකරන තැනට පත් වෙන මානසිකත්වයක් නොදැනීම ගොඩ නැගෙනවා. ඒ නිසා ඔබගේ අවවාදයට අනුකූලව දරුවා යම් වරදකින් දුරස් වෙන විට ඒ ගැන ප්‍රංශසාවක් කිරීමට අමතක කරන්න එපා.

නරක පුරුදු වලක්වන්න තෑගි එපා…

සමහර අවස්ථාවලදී දරුවාට කොතෙක් ආදරයෙන් කිව්වත් ඒ වරද දිගින් දිගටම කරනවා විය හැකියි. නමුත් කිසිම දිනක වරද නොකර සිටිනවාට තෑගි දීම නොකළම යුතුයි. හිතා මතාම වැරැදි කරන දරුවාට ඒවා නොකර සිටිනවා නම් තෑග්ගක් දෙන්න පුරුදු කරන්න එපා. හොඳින් සහ ආදරයෙන් කියන විටත් ඒ ගැන නොසලකන විට දරුවාගේ වයසට ඔරොත්තු දෙන අන්දමින් පුංචි පහරක් දීමත් වරදක් නොවේ.

අත්වැරැදීමකට දඬුවම් කරන්න එපා…

වැඩිහිටියන්ට වගේම පුංචි දරුවන් අතින්ද අත්වැරදීම් සිදු වෙන්න පුලුවනි.නමුත් ඒවා ගැන උරන නොවන්න. උදාහරණයක් විදිහට දරුවාගේ පිඟාන හදිසියේ අතින් ගිලිහී බිම වැටී බිදෙන්න පුලුවනි. එය බොහෝ විට අත්වැරැදීමක් විය හැකියි. නමුත් බොහෝ දෙමව්පියන් මෙවැනි අවස්ථාවලදී ආර්ථික හානිය ගැන සිතා දරුවාට දඩුවම් කරනවා විය හැකියි.ඒත් ඔබ අසා තිබෙනානේ…ඉහිරුන කිරට හඬා පලක් නැති බව…ඒ වගේම බිඳුන දෙයක් වෙනුවෙන් දරුවාට දඬුවම් කිරීම සුදුසු නැහැ. බොහෝ විට එය අත්වැරැදීමක් විය හැකියි. නමුත් දරුවා හිතා මතාම සිය ආවේගයන් මත පිඟාන, කෝප්පය පොළවේ ගසනවා නම් එවැනි අවස්ථාවන්හිදී ගැලපෙන පරිදි අවවාද කිරීම හෝ දඬුවමක් දීමේ කිසිදු වරදක් නැහැ.

වටමේසයක් අවශ්‍ය නැහැ…

ඔබේ දරුවාගේ යම් වැරැදි පුරුද්දක් දුටු විට ඒ වෙනුවෙන් අවවාද කිරීමට වටමේසයක් අවශ්‍ය නැහැ.වරද ගැන පමණක් කතා කිරීමට අම්මා..තාත්තා.. හෝ ඒ අවස්ථාවට අදාල පවුලේ වැඩිහිටියා පමණක් සෑහේ. එසේ නොමැතිව නිවසේ සිටින සියලු දෙනාම එක්ව දරුවාට අවවාද කිරීම නිෂ්ඵලයි. ඒ වගේම දරුවන්ගේ වැරැදි පුරුදු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න එපා. සමහර විට ඔබ හිතන්නේ ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසා දරුවා වැරැදි පුරුදුවලින් මිදෙන බව වුනත් ඔබේ අනුමානය බොහෝ විට වැරැදියි. ඒ නිසා වැරැදි පුරුදු වලින් දරුවා මුදවා ගැනීමට කිසිම විටෙක වටමේසයක සිට පහර දීමක්  අවශ්‍ය නැහැ.මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ ඔබ විසින් ලබා දුන්න අවවාදවල සංඛ්‍යාව නොව දරුවා එයින් ලබා ගත් ගුණාත්මක බලපෑම බැව් අමතක කරන්න එපා.

පුරුදු නිවරැදි කර ගැනීමට කාලය අවශ්‍ය වෙනවා….

පුරුදු  නිවරැදි කර ගැනීමට කාලය අවශ්‍ය වෙනවා. ඔබ සිතන අන්දමට එය ප්‍රාතිහාර්යක් නොවෙයි. ඒ නිසා යම් පුරුද්දකින් වෙනස් වී නව රටාවට අනුගත වීමට කාලයක් ලබා දෙන්න. නියපොතු හපන දරුවෙකුට ඒ පුරුද්දෙන් මිදෙන්න යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ හෙමින් සීරුවේ මෙම පුරුද්දෙන් දරුවා මුදවා ගැනීම වැදගත්.

හේතුවත් සොයන්න…

අපි බොහෝ විට දකින්නේ දරුවන්ගේ නරක පුරුදු පමණයි.නමුත් ඒ පිටුපසින් ඇති මානසික හේතු අපි දකින්නේ නැහැ. ඒ නිසා නිතරම දරුවාගේ පුරුද්දට වඩා දරුවාගේ මානසිකත්වය ගැන අවධානයක් ලබා දෙන්න. බොහෝ දරුවන් ඇඟිලි ඉරිම, දත්මිටි කෑම හෝ නියපොතු විකීම වැනි පුරුදු වෙත යොමු වෙන්නේ මානසික ආතතිය, දුක, සාංකාව වැනි මනෝභාවයන් නිසා බැව් ඔබ නොදන්නවා විය හැකියි. ඒ නිසා නිතරම දරුවාගේ පුරුද්ද පිටුපසින් දිවෙන හේතු සාධක ගැනත් ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

අනාගතයට බලපානවා..

දරුවා පුංචි බැව් ඇත්ත….ඔවුන්ගේ පුරුදුත් බොහොම අහිංසක වෙන්න පුලුවනි.නමුත් මේ පුරුදු දරුවා සමග වැඩිදියුනු වුනොත් අනාගතයේදී එයින් ඇති වෙන බලපෑමත් සරලව සිතන්න බැහැ. උදාහරණයක් විදිහට පුංචි කාලයේදී නාසය සොටු කබළු හාරන..එසේත් නැත්නම් තමන්ගේ අවයව නිතරම ස්පර්ශ කරන දරුවාගේ පුරුදු ඔවුන් උස් මහත් වුන  වෙන විටත් පුරුදු විදිහට පවතින්න පුලුවනි. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි…. වචනයටත් කියන්නා සේ මෙවැනි පුරුදු වලින් දරුවන්ට දුරස් වෙන්න අපහසුයි. ඒ වුනත් සමාජය ඔවුන්ට දොස් නගනවා පමණක් නොවෙයි,බෙහෙවින්ම පිළිකුල් කිරීමට පවා පුලුවනි.

එසේනම් දරුවන්ගේ මේ පුරුදු ඔවුන් සමග ඉදිරියට යෑමට ඉඩ දිය යුතු නැහැ. යම් පුරුද්දක් මනසේ ලියාපදිංචි වුනොත් එයින් දරුවා මුදවා ගැනීම ඉතාම අපහසුයි. කොටින්ම කිව්වොත් නිපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කපන තැනට පත් කර ගන්න එපා. ඒ නිසා දරුවාගේ වැරැදි පුරුද්දක් දුටු විට ඒ ගැන අවවාද කරන්න හෙට වෙන තෙක් ඉන්න එපා. දුටු තැන වැරැදි පුරුදු නිවරැදි කරන්න. එය දරුවාගේ අනාගතයට ඔබ විසින් ලබා දෙන හොදම දායාදය විය හැකියි.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here