පැය ගණනක් දුරකථනයේ ක්‍රීඩාවල යෙදිය හැකි දරුවෙකුට පාඩම් පොතක් සමග පැය භාගයක තරම්වත් කෙටි කාලයක් රැඳී සිටිම අපහසුය. එයට හේතුව ඒ සඳහා වූ නිසි අභිප්‍රේරණයක් නොමැති කමයි. විද්‍යාත්මකව මේ දෙස බැලූ කළ නිසි අභිප්‍රේරණයක් නොමැති කල මොළයේ විසින් ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය චර්යාවන් ආරම්භ කොට පවත්වා ගන්නේ නැත. දරුවෙකුට හෙඳින් අවධානය යොමු කොට සාර්ථකව අධ්‍යාපයේ යෙදීමට නම් මනස නරත විය යුතු වන්නේ ප්‍රබෝධකාරී මානසික ආතතිය තුළයි. නමුත් නිසි අභිප්‍රේරණයක් නොමැතිව ක්‍රියාත්මක වීම මගින් ආතතිය වර්ධනය වන අතරම එය පීඩාකාරී ආතතිය බවට පත් විය හැකිය.
චිත්තවේගික ලක්ෂණ – කුඩා දේට අධික සංවේදී විම, බිය, බලාපොරොත්තු විරහිත වී, නිතර පවතින නොරිස්සුම් ගතිය, සතුටක් නොමැති වීම, කලබලකාරී වීම
සමාජීය ලක්ෂණ – පාලුව/තනිකම දැනීම, අවිශ්වාසය, වගකීම් විරහිත වැඩ කිරීම, හීනමානය වැඩි වීඹ හෝ නිතර අන අයව පහත් කිරීම, සබඳතා පළුදු කර ගැනීම, පීඩාකාරී සන්නිවේදන රටා
කායික ලක්ෂණ – හිසරදය, ඇඟපත රුඳාව, හුස්ම ගැනීමේ අපහසුතා/හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, අධික හෘදස්පන්දනය, බඩ පිපුම/දැවිල්ල, ඔක්කාර ගතිය, මලබද්ධය, බඩ එළයේ යාම, කටේ තුවාල දැමීම, ආහාර අරුචිය/ අධික ලෙස අහාර ගැනීම, නිතර දහඩිය දැමීම, වැඩිපුර දහඩිය දැමීම, ප්‍රතිශක්තිය අඩු වීම
මානසික ලක්ෂණ – නින්දට බාධා වීම, නින්ද ආරම්භ කිරීමේ අපහසුව, පීඩාකාරී සිහින පෙනීම, අවධානය රඳවා ගැනීමේ අපහසුව, හීනෙන් බිය වීම, පොඩි දේ ලොකු කර සිතීම, කම්පා වීම,
චර්යාමය ලක්ෂණ – පාසල් කටයුතු මග හැරීම, රැකියාව අඩපණ වීඹ, මත්දුව්‍ය/දුම්වැටි කෙරේ ලොල් වීම, නිවස තුළ සහ රැකියාවේ ගැටුම් ඇති කර ගැනීම, සාමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම
අන්න ඒ නිසාම ඉගෙනුම් කාර්යය නිසි ලෙස පැවතීමට නම් දරුවා මෙන්ම ගුරුවරයාද පීඩාකාරී මානසික ආතතියෙන් මෙන්ම සායනික ආතතියෙන් තොරව ප්‍රබෝධකාරී ආතතියෙන් සිටිය යුතුමය. ඉහළ අභිප්‍රේරණයක් සහිත ඉගෙනුම් ක්‍රියවලියකදී මානසික ආතතිය ප්‍රබෝධකාරී මානසික ආතති කලාපය තුළ ස්ථාවරන පවත්වා ගැනීමට හැකියාව ලැබේ.
ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සතුටක්, විනෝදයක් ආස්වාදයක් ගොඩනැගෙද්දී ඇති වන අභිප්‍රේරණය හරහා මොළයට ලැබෙන ආතතිය හිතකර කලාපයට ක්ෂණිකව ළඟා වේ. ඉගෙනුම් ක්‍රියාවලිය දිගින් දිගට සාර්ථකව සිදු වීමට පටන් ගනී. නමුත් ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීම තුලින් සතුටක් විඳීමක් ප්‍රබෝධයක් ඇති නොවුණත් චිත්‍රපටයක්, ක්‍රීඩාවක් හෝ වෙනත් දෙයක් මෙන් ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට නොහැකියි. තමන් අකමැති ක්‍රියාවලියක දිගිත් දිගටම යෙදී සිටීමට සිදුවන විට මොළය හිතකර මානසික ආතති මට්ටම් කලාපය තුළ දිගටම රඳා පවතින්නේ නැත. බොහෝ විට සායනික ආතති කලාපයට ළඟා වේ.
නිසි අභිප්‍රේරණයක් නැති ඉගෙනුම් ක්‍රියාවලියේදී සක්‍රිය වන සෘණාත්මක සිතුවිලි
- එච්චර ගොඩක් පාඩම් කරන්න බෑ
- මේවා කොහොමද මතක තියා ගන්නේ
- මට නම් එපා වෙලා තියෙන්නෙ
- මේ පාඩම හරිම අමාරුයි
- මේ සැරෙත් අනිවාර්යෙන් ලකුණු අඩු වෙනවා
- මේ සැරෙත් මම පන්තියේ පහලටම යනවා, ඔක්කොම කට්ටිය මට හිනාවෙයි
මෙසේ සක්‍රිය වන සෘණාත්මක සිතුවිලි හේතුවෙන් එපා වීම, කලකිරීම, තරහ, කම්මැලිකම, නිදිමත, උනන්දුව අඩු වීම වැනි සෘණාත්මක හැඟීම් වර්ධනය වේ. මොලය සායනික ආතතියට ලක්වන විට ඉගැනුම් ක්‍රියාවලියට වැදගත් වන මානසික ක්‍රියා යටපත් වී සායනික ලක්ෂණ ජනිත වේ. ලක්ෂණ බොහෝ විට ශිෂ්‍යයන්ට දැඩි පීඩාවක් ඇති කරවයි. මානසික පීඩනය වැඩිවන විට එය අඩු කරගැනීම සදහා යොදා ගන්නා විකල්ප චර්යාවන් මනෝ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ඒවා වැඩ කල් දැමීමේ චර්යා ලෙස හඳුන්වයි.
එනම් පාඩම් කිරීම පසෙකලා රූපවාහිනී නැරඹීම, පොත් කියවීම, ව්‍යායාමවල යෙදීම වැනි දේ වල නිරත වීඹයි. මේවා නුසුදුසු දේවල් නොවුණද අදාල අවස්ථාවේ එය සිදු නොවීම පමණක් ගැටලුවක් වේ. ඇතැම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද දැක්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්ත්වයකි. දරුවන් මෙම විකල්ප චර්යාවන් වල යෙදීම තුළින් තාවකාලිකව සතුටක් විනෝදයක් ප්‍රබෝධයක් වින්දනයක් ලබයි. ඒවා තුළ ඇති ඉහළ අභිප්‍රේරණ ශක්තිය නිසා ක්‍රමානුකූලව පුරුදු බවට පත්වේ. දරුවා තත්ත්වය වටහා ගත්තත් එයින් මිඳීමට නොහැකි වේ. මෙසේ පැවතුනු මේ චර්යා කොරෝනා වසංගතය සමග තෙගුණ දෙගුණ වී ඇත. මේවා එක්ක දෙමාපියන් ඉතාම පීඩනයට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ වෙනුවෙන් ඔවුන්ගේ දැනුමේ හැටියට ක්‍රියාත්මක වනු ඇත. නමුත් මෙය වළක්වා ගැනීමට පාසැල තුළින් විශාල සහයෝගයක් ලැබිය යුුතුය. එනම් මෙය විසඳා ගැනීමට ගුරුවරුන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. පාසලට පැමිණෙන බොහෝ දරුවන් තුළ මෙවැනි චර්යාත්මක වෙනස්කම් සිදුවී ඇති බව ඇති බව ඔබට නිරීක්ෂණය වනු ඇත. දෙමාපියන් ලෙස ගුරුවරුන් ලෙස මෙවැනි චර්යා නිරීක්ෂණය වූ විට දරුවන් යහමගට ගැනීමේ නිරන්තර පෙළඹීම ඔබ තුළ ඇති වේ.
මෙවැනි දරුවන් නිසි මගට ගැනීමට ඔබ තෝරා ගන්නේ දඬුවම් කිරීම නම් අපි ඒ පිළිබඳවත් දැනුවත් වෙමු.
දරුවන්ට දඬුවම් දීමේදී වැඩිහිටියන් ලෙස අපි වඩාත් සැලකිලිමත් විය යුතුය. මොළයේ ප්‍රධාන කොටස් දෙකක් ඇති අතරම ලිම්බික් පද්ධතිය, ඇමික්ඩෙලා වැනි කොටස් සහිතයි. මෙම ඇමික්ඩෙලා කොටසේ චිත්තවේග ගබඩා කිරීම සිදු වේ. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරයට චර්යා වෙනස් කිරීමට පීඩාකාරී යමක් සිදු කළ හොත් එය ඇමික්ඩෙලා කොටසේ තැම්පත් වෙනවා.
අපට දඬුවම් අවශ්‍ය වන්නේ ඇයි?
අපට දඬුවම් අවශ්‍ය වන්නේ චර්යාවන් වෙනස් කර ගැනීමටයි.
- නොගැලපෙන චර්යා නැති කර ගැනීම
- ධනාත්මක චර්යා වැඩි දියුණු කර ගැනීම
- නව චර්යාවන් ඇති කර ගැනීම
- සමහර චර්යාවන් සාමාන්‍ය මට්ටමට රැගෙන ඒම
චර්යා වෙනස් කිරීම කොටස් දෙකකි.
- පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම – ප්‍රතික්‍රියාශීලී චර්යාත්මක වෙනස
උදාහරණයක් ලෙස කෑම කා අවසන් වූ පසු පිඟාන නොසේදූ කෑම කාලා ඉඳුල් පිඟාන තියලා ගියොත් ඒ පිඟානටම කෑම බෙදලා දෙනවා. යනවා ගිහිං පිඟාන හෝදනවා. වැඩිහිටි ඔබ බලාපොරොත්තු වන කාර්යය සිදු වුවත් එනම් චර්යාව වෙනස් වුවත් දරුවාට පීඩාවක් ඇති වෙනවා. එවිට මොළයේ ඇතුලේ පීඩාකාරී හැඟීමක් තැම්පත් වෙනවා.
- ප්‍රබෝධකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම – තිරසාර චර්යාත්මක වෙනස
උදාහරණයක් ලෙස චූටි දූට අද පිඟාන හෝදන්න අමතක වුණාද? කමක් නෑ ඉක්මනට හෝදලා එන්නකෝ.. මෙවිට ප්‍රබෝධකාරී අත්දැකීමක් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම සිදු වන අතරම එය ප්‍රබෝධකාරී හැඟීමක් වශයෙන් මොළය් තම්පත් වේ.
ශාරීරික පීඩාව ඇති කරමින් දඬුවම් කිරීමේ ක්‍රම
- තල්ලු කිරීම
- කන මිරීකීම
- කම්බුලට ගැසීම
- කෝටුවලින් වේවැල්වලින් ගැසීම
- දණ ගැස්වීම
- පුටු වල නැග්ග වීම
- කාමරවල දමා වැසීම
- බැද තැබීම
- කෙනිත්තීම
- ටොකු ඇනීම
මානසික පීඩාව ඇති කරමින් දඬුවම් කිරීම
- එකම දේ නැවත නැවත කීම
- පරුෂ වචන කීම
- සතුන්ගෙ නම් කීම
- තර්ජනය කිරීම
- අපහාස කිරීම
- බැන වැදීම
- අන් අය ඉදිරියේ බැන වැදීම
- අන් අය සමග සැසඳීම
- පොත් වල බලි ඇදීම
- පිටු ඉරා දැමීම
- පොත් විසිකිරීම
- කෑම උයන්නේ නැතිව සිටීම
- මුහුණ එල්ලා ගෙන සිටීම/ ගස්සා ගෙන යාම/ වෙන කාමර වල නිදා ගැනීම/ ගෙදරින් යාම
- ඇනුම් පද කීම/කැපෙන කතා කීව
ජපානය වැනි රට වල වැඩිහිටියන් පවා අදාල නීතිරීති පවා අකුරටම පිළිපදින අතරම එයට හේතුව ඔවුන් ප්‍රබෝධකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යාවන් හැඩගස්සවා තිබීමයි. නමුත් අපේ රටේ නීතිය පිළිපදින්නේ අදාල නිලධාරීන් ඉදිරියේ පමණි. ඒ අප හුරු වී ඇත්තේ පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීමට නිසයි. පීඩාකාරී අත්දැකීම් ලබා දෙමින් චර්යා වෙනස් කිරීම තිරසාර චර්යාත්මක වෙනසක් දැකිය හැකි බව ලොව පිළි නොගනී. ඒ නිසාම අපට අලුත් සම්ප්‍රදායක් අවශ්‍යයි. තිරසාර පරපුරකට පෙල ගැසෙන්නට නම් දරුවන්ගේ මනස තුළ පීඩාකාරී මතකයන් ගොඩ ගැසීම අවම කරවමු. මනස තුළ පීඩාකාරී මතකයන් ගෙඩනැගීම තුළින් තර්කනය, ආවේග පාලනය, විශ්ලේෂණය, පරිකල්පනය අඩපණ වනු ඇත.
දඬවම් ලබමින් ගොඩනැගන දරුවෙකු තුළ පරාරෝපණය, ජීවිත උනන්දුව බිඳ වැටීම, සතුටු වීමට නොහැකි බව, තීරණ ගැනීමට නොහැකියාව, උකටලී බව, කරදරකාරී බව, පහව නොයන සැකය, ජීවිතයේ අගය හීත වීම, තනිකම, ක්‍රියාශීලිත්වය ඇති නොවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ඉගෙනුම් පරිසරය ප්‍රබෝධකාරී කිරීමෙන් මෙම සියලු ගැටලූ අවසන් වනු ඇත. මේ තුළ ගුරුවරයාට ඇති වගකීම සුළුපටු නොවේ.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී