- Advertisement -

ඔබත් කෑම කාපු ගමන් වැසිකිලියට දුවනවා නම් බඩවැල් ආශ්‍රිත රෝගයක් විය හැකියි

-

අනේ මට නම් කාපු ගමන් වැසැකිලි යන්න ඕනේ වෙනවා. කිසි තැනක ගිහින් ආස දෙයක් කන්න බයයි ඒක නිසා. ට්‍රිප් එකක් යන්න ගියත් ඒක හිතේ. ඇත්තටම මේක ලොකු මානසික වදයක් වෙලා දැන්නම් තියෙන්නේ.‍ 

ඔබටත් එහෙමද?  ඒ Crohn’s රෝගය නිසා විය හැකියි.

- Advertisement -

මෙය රෝගය බඩවැල් ආශ්‍රිතව ඇති වන (Type of Inflammatory bowel disease) රෝගයකි. මෙහිදී එක් එක් පුද්ගලයාගේ ආහාර මාර්ගයේ විවිධ වූ ස්ථාන රෝගයට ලක්විය හැක. මෙම රෝගය බඩවැල් වල ගැඹුරු ස්ථර/පටක දක්වා පැතිර යයි. මෙය වේදනාකාරී අත්දැකීමක් විය හැකි අතරම පුද්ගලයා ගිලන් බවට/දුර්වල බවට පත් කරන අතර සමහරවිට ජීවිත තර්ජනයක් පවා ඇති විය හැක. 

Crohn’s රෝගයේ ලක්‍ෂණ

මෙහිදී ඇති වන රෝග ලක්‍ෂණ සුළු අවස්ථාවේ සිට තීව‍්‍ර අවස්ථාව දක්වා පවතී. මෙම ලක්‍ෂණ ක‍්‍රමයෙන් පෙන්නුම් කරන අතරම සමහර අවස්ථා වලදී කිසිම පූර්ව සංඥාවක් නොමැතිව හදිසියේ වුවද රෝගය ඇති වේ. සමහරවිට මෙම රෝග තත්ත්වය පවතින කාලයේ වුවද රෝග තත්ත්වය තිබුණද ලක්‍ෂණ නොපෙන්වන කාල සීමාවක් ද පැවතිය හැක. රෝගය සක‍්‍රීයව ඇති විට පහත ලක්‍ෂණ පෙන්වයි. 

  • ආහාර ගත් විගස මල පිටකිරීමට අවශ්‍ය වීම/පාචනය
  • උණ
  • තෙහෙට්ටුව
  • උදර වේදනාව/උදරයේ පේශී පෙරලීම (Cramping)
  • මල සමග රුධිරය පිටවීම
  • මුඛය වණ වීම
  • කෑම අරුචිය
  • බර අඩුවීම
  • රෝගය හේතු කොට ගුදය වටා වේදනාවක් ශ‍්‍රාවයක් පැවතීම. 

රෝග තත්ත්වය තීව‍්‍ර ලෙස පවතින විට,

  • සම, ඇස් හා සන්ධි වල ප‍්‍රදාහය
  • අක්මාව හා පිත්ත ප‍්‍රනාල වල ප‍්‍රදාහය
  • වකුගඩු වල ගල් ඇති වීම
  • නීරක්තිය (යකඩ ඌනතාවය)
  • ළමුන්ගේ වර්ධනය හෝ ලිංගික සංවර්ධනය ප‍්‍රමාද වීම. 

 

Crohn’s රෝගය ඇති වීමට හේතූ

මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා නමුත් ආහාර රටාව හා ආතතිය ඒ සඳහා ඉවහල් වනු ඇතැයි සැක කෙරේ. නමුත් මෙම තත්ත්වය උග‍්‍ර වීමට පහත කරුණු හේතුව වේ. 

  1. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය- මෙම තත්ත්වය බැක්ටීරියා හෝ වෛරස මගින් වැඩි කරයි. නමුත් මෙහිදී ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ආක‍්‍රමණය වැලැක්වීම සඳහා සටන් කරන විට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තුලින් ඇති වන අසාමාන්‍ය ප‍්‍රතිචාර මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති සෛලවලට පහර දෙයි. 

2.ආරය – බොහෝ පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය සඳහා ආරයක බලපෑමක් නොමැති වුවද       සමහර එකම පවුලේ සාමාජිකයන් අතර පැවතීමද සුලබ වේ. 

 

Crohn’s රෝගයට අවධානම් සාධක

  1. වයස – ඕනෑම වයසකදී ඇති විය හැක. නමුත් තරුණ අයට වැඩිය. සාමාන්‍යයෙන් අවුරුදු 30 ආසන්න කාලයේදී රෝගය හඳුනාගනී. 
  2. ජාන වර්ග – ඕනෑම ජාන වර්ගයක් තුල ඇති වන නමුත් පෙරදිග යුරෝපය, උතුරු ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ කළු ජාතිකයන් අතර වැඩිය. 
  3. පවුල් ආරය – පළමු ඝනයේ ඥාතීන් (දෙමාපියන්, සහෝදරයන්/සහෝදරියන් හෝ දරුවන්) අතර ඇති විය හැක. මෙම රෝගය ඇති වන කාණ්ඩයේ 1/5  පවුල් ආරයක් පවතී. 
  4. සිගරට් දුම – Crohn’s රෝගය වර්ධනය පාලනය කළ ඇති අවධානම් සාධකයකි. 
  5. ඖෂධ වර්ග – Ibuprofen, Diclofenac Sodium වැනි Nonsteroidal Anti Inflammatory ඖෂධ වර්ග මගින් පවතින රෝග තත්ත්වය වැඩි දියුණු කරයි. 

Crohn’s රෝගය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා

  • බඩවැල් අවහිර වීම – මෙහිදී බඩවැල්වල බිත්තියේ සම්පූර්ණ ඝනකම වැඩි කරයි. එසේම සමහර අන්තක කොටස් තුල කැලැල් පටක ඇති වී පටු වේ. මෙමගින් ජීර්ණ වූ ද්‍රව්‍ය පරිවහනයට බාධාවක් ඇති වේ. මෙවිට ශල්‍යකර්මයක් මගින් අවහිර වූ බඩවැල් කොටස ඉවත් කරයි. 
  • තුවාල/වණ – ආහාර ජීර්ණ පද්ධතිය තුල විවෘත තුවාල ඇති කරයි. එසේම මුඛය, ගුදය, ලිංගික ප‍්‍රදේශය ආදී ස්ථාන වලද තුවාල ඇති වේ. 
  • Fistula – එනම් ශරීර අවයව කොටස් දෙකක් අතර ඇති වන අසාමාන්‍ය සම්බන්ධතාවයකි. සමහරවිට මෙම තුවාල අන්තක බිත්තිය තුලින් පිටතට මාර්ගයක් ඇති කරමින් විවෘත වේ. මේවා බොහෝ විට සම හා බඩවැල් අතර හෝ බඩවැල් හෝ වෙනත් අවයවයක් අතර ඇති වේ. මෙම Fistula බොහෝ විට ගුදය ආශ‍්‍රිතව ඇති වන සුලබ තත්ත්වයකි. මෙම Fistula බඩවැල් අතර මුත‍්‍රාශය හෝ යෝනිය හරහා සමට සම්බන්ධ වේ. බඩවැල් වල ඇති ද්‍රව්‍ය පිටත සම මත තිබිය හැක. 
  •  Anal fissure – ගුද ආස්තරය තුල ඇතිවන කුඩා ඉරීම් වේ. ගුදය වටා ඇතිවිය හැක. ක්‍ෂුද්‍ර ජීවී ආසාධන ඇති විය හැක. 
  • මන්දපෝෂණය – පාචනය, උදර වේදනාව, පේශී පෙරලීම ආදිය හේතුවෙන් නිසි ලෙස ආහාර ගැනීමට නොහැකි වීමෙන් ඇතිවිය හැක. එසේම යකඩ, විටමින් B12 වැනි පෝෂක කොටස් උරා ගැනීමට නොහැකි වීමෙන් නීරක්තිය ඇති විය හැක. 
  • මහා බඩවැල්වල පිලිකා – මෙම Crohn’s රෝගය ඇති අයට මෙම මහබඩවැල් පිලිකා ඇති වීමේ අවධානමක් පවතී. 

 

Crohn’s රෝගය නිසා ඇති විය හැකි වෙනත් සෞඛ්‍ය ගැටළු

ශරීරයේ වෙනත් පද්ධති තුල නීරක්තිය, සමේ රෝග, ඔස්ටියෝපොරෝසිස්, සන්ධි රෝග, පිත්තාශ හෝ අක්මා රෝග ආදියද ඇති කරයි. 

  • ඖෂධ – මේ සඳහා දෙන සමහර ඖෂධ මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය අවහිර කරයි. එසේම සමේ පිලිකා හා Lymphoma වැනි තත්ත්ව ඇති කරයි. එසේම ආසාධන ඇති වීම වැඩි වේ.  Corticosteroid ඝනයේ ඖෂධ මගින් ඔස්ටියෝපොරෝසිස්, අස්ථි බිඳීම, ඇසේ සුද ඇති වීම, ඇසේ ග්ලූකෝමා තත්ත්වය ඇති වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්ත්ව ඇති විය හැක. 
  • රුධිර කැටි ඇති වීම – ධමනි තුල රුධිර කැටි ඇතිවීම මෙම රෝග තත්ත්වයේ ඇති නමුත් අවධානම් තත්ත්වයකි

 

Crohn’s රෝගය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා X-ray, Coroscopy, Sigmoidoscopy, රසායනාගාර පරීක්‍ෂණ, රුධිර පරීක්‍ෂණ, මල පරීක්‍ෂාව, MRI Scan, CT Scan වැනි පරීක්ෂණ වලට යොමු කෙරේ.

Crohn’s රෝගය ප‍්‍රතිකාර

සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා ප‍්‍රතිකාර නොමැති වුවද ප‍්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ අඩු කිරීම හෝ පාලනය කිරීම සිදු වේ. 

ප‍්‍රතිකාර ආකාර 02 කි. ආහාර ජීර්ණ පද්ධතිය තුල ඇති වන රෝග තත්ත්වය අවම කිරීමට ඖෂධ (ස්ටීරොයිඞ්)  ද පෙති හෝ එන්නත් ලෙස ප‍්‍රදාහය නැවත ඇති වීම වැලැක්වීමේ ඖෂධ ද ආහාර ජීර්ණ පද්ධතියේ සමහර කුඩා කොටස් සඳහා ශල්‍යකර්ම ප‍්‍රතිකාර ද ලබා දෙන අවස්ථා ඇත. තවද එම ප්‍රතිකාර යටතට 

  • වේදනා නාශක
  • විරේචක ඖෂධ
  • පාචනය අඩු කරන ඖෂධ
  • පෝෂක ප‍්‍රතිකාර
  • යකඩ අඩංගු පෝෂක
  • කැල්සියම්, විටමින් D, විටමින් B12  ආදී වූ ප්‍රතිකාර ද ලබා දේ.

ප‍්‍රතිකාර වල අරමුණ වන්නේ, රෝගය පාලනය කිරීම මගින් ලක්‍ෂණ අවම කිරීම හා ඇති විය හැකි සංකූලතා  වලක්වා ගැනීමයි. මෙම තත්ත්වය සඳහා ජීවන රටාවේ වෙනස්කම්, ආහාර රටාවේ වෙනස්කම් කළ යුතු වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article