- Advertisement -

සුන්දර ළමා කාලයක් කෙනෙකුගේ ‍ජීවිතයට වැදගත් වන්නේ ඇයි?

-

අද වැඩිහිටියෝ වුණු අපිට සුන්දර ළමා කාලයක් තිබුණා මතක ඇති. ඒත් අද වෙද්දී අපේ දරුවන්ගේ ළමා කාලය ගැන දැනෙන්නේ දුක්මුසු හැඟීමක් කිව්වොත් නිවැරදියි. දරුවාගේ මනස හඳුනා නොගැනීම නිසා අද වන විට බොහෝ ගැටළු ඇති වී තිබුණත් අපි අපේ ළමා කාලය ගැන ආපස්සට හිතද්දී අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සතුටින් නිදහසේ ගත කිරීමට ඇති කාලය අවමයි. සුන්දර ළමා කාලයක් කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි? 

ලෝකයේ දියුණු රටවල් වල වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක දරුවන්ගේ ළමා මනස පිළිබඳ, ළමා කාලය පිළිබඳ බොහෝ අවධානය යොමු කරනවා. ඒ අද දරුවන් පසු කාලීනව වැඩිහිටියන් බවට පත්වෙලා රටේ සංවර්ධනයට දායක වී රට‍ට ලෝකයට සම්පතක් වෙනවා. නමුත් ඒ දියුණු රටවල තරම් අපේ රට තුළ දරුවෙකුගේ ළමා කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. 

- Advertisement -

වෛද්‍යතුමනි,මේ ගැන අපි කතා කළ යුතුයි නේද?

ඔව්… ඇත්තටම. දරුවන්ගේ ළමා කාලය කියන එකේ වැදගත්කම අද ඊයේ ඉඳලා ඇති වෙච්ච එකක් නෙමෙයි. බෞද්ධාගම, ක‍්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම මේ හැම ආගමකම දරුවන්ගේ ළමා කාලයේ වැදගත්කම පිළිබඳව කතා කලා. ඊට පස්සේ හිටපු දාර්ශනිකයෝ, විශේෂයෙන් රූසෝ නම් වූ අධ්‍යාපනික දාර්ශිනකයා මේ ළමා කාලය පිළිබඳ ලස්සන ප‍්‍රකාශයක් කලා. ඔහු කියනවා, දරුවන්ගේ ළමා කාලය කියන එක ඔහු විශේෂයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ රූසෝගේ අදහස තමයි දරුවෙකුට ළමයෙක් ලෙස වැඩෙන්න අයිතිය දෙන්න කියන එක. මොකද දරුවන් මිනිස්සුන් වීමට පෙර දරුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එතන විශේෂයෙන් හඳුන්වනවා දරුවෝ කියන අය වැඩිහිටියන්ගෙන් වෙනස් වෙන පිරිසක්. ඒගොල්ලෝ වැඩිහිටියෝ වගේ නෙමෙයි. එයාලා හිතන විදිය, කල්පනා කරන විදිය, දේවල් තේරුම් ගන්න විදිය, දේවල් සාමාන්‍යයෙන් හසුරුවන විදිය වැඩිහිටියෝ වගේ නෙමෙයි කියන එක. 

විශේෂයෙන් දරුවෝ පිළිබඳ ලෝකයේ ඉතාම ගැඹුරුම අධ්‍යයනය කරපු විද්‍යාඥයා තමයි ජීන් පියාජේ කියන විද්‍යාඥයා. ජීන් පියාජේ දරුවන්ගේ මනෝ විද්‍යාත්මක කාරණා ගොඩක් හොයාගත්තා. ඔවුන්ගේ ප‍්‍රජානනය වැඩෙන හැටි, ඒ දරුවන්ගේ සදාචාරය වැඩෙන හැටි. හැබැයි ඒ වගේම ඔහු ඉතාම ලස්සන ප‍්‍රකාශයක් කරනවා දරුවෝ ගැන. මොකද ඔහු කියනවා දරුවෝ හිතන්නේ වැඩිහිටියන් හිතන විදියට නෙමෙයි කියලා. මේක තමයි පියාජේගේ විශිෂ්ඨම සොයාගැනීම දරුවෝ ගැන.

ඒ වගේම මේ සම්බන්ධයෙන් අයින්ස්ටයින් හරි ලස්සන ප‍්‍රකාශයක් කරනවා. ජීන් පියාජේ ගැන, අයින්සටයින් කියනවා දරුවෝ හිතන්නේ වෙනම විදියකට කියලා තේරුම් ගත්ත එක තමයිලූ ජීන් පියාජේගේ තියෙන විශිෂ්ටම බුද්ධිය කියන එක කියලා. ඉතින් මේ දරුවෝ ගැන කතිකාව අවුරුදු ගාණක් තිස්සේ ඈත අතීතයේ ඉදලම වැඩිච්ච කාරණාවක්. හැබැයි පසුකාලීනව විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, ස්නායු විද්‍යාව මේ වගේ විද්‍යාවන් දියුණු වීමත් සමග පෙනෙන්නට ගත්තා මේ අපේ සමාජ ගැටළු වල, ආර්ථික ප‍්‍රශ්න වල හැම එකකම මුල කොහෙද කියන එක. විශේෂයෙන්ම මොළය පිළිබඳ දියුණු වෙච්ච ස්නායු විද්‍යාව. අපි කියනවා නියුරෝ සයන්ස් කියලා. ඒ වගේම මනෝ විද්‍යාවේ සමහර දේවල් එක්ක පැහැදිලිව පේන්න ගත්තා අපි දරුවෙක් හදන විදිහ අනුව ඔහුට හැදෙන්න අවශ්‍ය ඒ වටපිටාව දෙන විදිය අනුව තමයි ඒ රටේ අනාගතය, ඒ රටේ ආර්ථිකය, ඒ රටේ මිනිස්සුන්ගේ හැසිරීම, ඒ රටේ සදාචාරය, ඒ සෑම කාරණාවක්ම තීරණය වෙන බව. 

අද වෙද්දී දරුවන් හා සම්බන්ධව සමාජයේ විවිධ ප‍්‍රශ්න දකින්න ලැබෙනවා. රිය අනතුරු වැඩියි. සමාජ අපචාරයන්, ඇබ්බැහිවීම් විශේෂයෙන් අරක්කු, සිගරට්, ගංජා වලට ඇබ්බැහිවීම්. පවුලක් තුල තියෙන ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය කියන එක. දරුවන්ගේ විවිධ අපගමනය චර්යා, සොරකම්, මිනීමැරුම්, ස්ත‍්‍රී  දූෂණ අපිට මාධ්‍යයයෙන් වාර්තා වෙනවා. එතකොට මේවගේ මුල කොහෙද?

 

වෛද්‍යතුමනි, දරුවෙකුට තමන්ගේ ආවේග පාලනය කරගන්න බැරි ඇයි?

අපිට තරහ යන්න පුළුවන්නේ, තරහ ගියහම තව කෙනෙකුට හානි නැති විදියට ඒ තරහා පිට කරගන්න බැරි ඇයි? මට මගේ ආවේග පාලනය කරගන්න බැරි ඇයි? ඊලඟට මට ඉලක්කයට වැඩ කරන්න බැරි ඇයි? අපි හිතමු ළමයෙකුට බොහෝම වැදගත් දෙයක් තමයි තමන්ට හොඳ ඉලක්ක ටිකක් තියාගෙන ඒකට වැඩ කිරීම. හැබැයි අපි දකින බොහෝ ළමයින්ට ඉලක්කයකට වැඩ කරන්න බැහැ. එක අරමුණකට වැඩ කරන්න බැහැ. හොඳින් සමාජ සම්බන්ධතා හසුරුවන්න බැහැ. පුංචි දේවල් දරාගන්න බැහැ. සියදිවි නසාගන්නවා, අතවල් කපාගන්නවා, ඔළුව බිත්තියේ ගහගන්නවා. ඒවගේ ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ තියෙන මේ විවිධ හැසිරීම් වල මුල තියෙන්නේ ළමා කාලය ඇතුලේ. විශේෂයෙන්ම අපි හොයාගෙන තියෙනවා ස්නායු විද්‍යාඥයෝ පවසන ආකාරයට දරුවෙක් ඉපදෙන විට මොලේ ස්නායු සෛල බිලියන 100 ක් විතර තිබෙනවා.  ස්නායුවක් කියලා කියන්නේ පොඩි වයර් කෑල්ලක්. ඒ කියන්නේ පොඩි බෝලයක් තියෙනවා සෛල දේහය කියලා. ඒකේ ලොකු කෙන්දක් තියෙනවා, ඒකේ පොඩි කෙඳි ගොඩක් තියෙනවා. එතකොට මේවා බිලියන 100 ක් තමයි ළමයින්ගේ මොලය කියන්නේ. ළමයා ඉපදෙනකොට මේ මොලේ ගොඩක් කොටස් හැදිලා නැහැ. එතකොට මේ මොලේ ක‍්‍රමානුකූලව හැදීගෙන එනකොට පසුකාලීනව තමයි මේ වයර් සම්බන්ධ වීමෙන්, ස්නායු වයර් කෑලී සම්බන්ධ වෙවී, සම්බන්ධ වෙවී හැදෙන්නේ. දැන් මේකේ තියෙන විද්‍යාත්මක අනාවරණය තමයි ලෝකයට ළමයෙක් බිහිවෙන කොට මොලේ 80% විතරම වැඩිලා නැහැ. එතකොට විශේෂයෙන් මුල් ළමා විය ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉදලා අවුරුදු 4, 5 සහ ඒ කියන්නේ මුල් අවුරුදු 3 දී විශාල කොටසක් මොලේ හැදෙනවා. බුද්ධිය, ප‍්‍රජානනය, ආවේග පාලනය, චිත්තවේග පාලනය ඒ වගේම සමාජ සම්බන්ධතා හැසිරවීමට අවශ්‍ය මූලික කුසලතා. ඒවගේම දරුවෙකුට අවශ්‍ය කරන භාෂාව. අපේ පෞරුෂයේ තියෙන ඉතාම වැදගත් කොටස් ටික හැදෙන්නේ ඔය මුල් අවුරුදු පහ තුළයි. ඊට පස්සේ මුල් අවුරුදු 12, 13 විතර වෙනකන් ළමයෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත් කාලයක්. එතකොට අපි මේ කාලයේ වරද්ද ගත්තොත් මේ කාලයේ ළමයා විනාශ කලොත්, මේ කාලයේ අපි ළමයට වැරදි විදිහේ උත්තේජන මොලයට දුන්නොත් අර අපි හිතන බුද්ධිය, ඒ දරුවගේ ප‍්‍රජානනය, ඒ දරුවගේ හැඟීම් පාලනය කරගැනීම්, චිත්තවේග, අනාගතයේ සමාජ සම්බන්ධතා හසුරුවන ආකාරය මේ හැම එකකම විකෘතිතා ඇති වෙනවා. ඒ නිසා තමයි අපිට මේ ළමා කාලය ඉතාම වැදගත් වෙන්නේ. 

 

මානසික පීඩනය, අවපීඩනය වැනි දේ දරුවන්ට දැනෙන්නේ නැද්ද? දරුවන්ගේ මානසිකත්වය මේ වගේ දැඩි පීඩනයක් එල්ල වෙලා හානියක් වෙන්නේ නැද්ද?

කොයිතරම් දුරට ජීවිතයට පුද්ගලයෙකුගේ ළමා කාලය වැදගත් වෙනවද කියන එක ගැන අළුතින් සිතන්නට හොඳම අවස්ථාවක් මේක. 

දැන් ඉස්සෙල්ලම අපි සරලව තේරුම් ගන්න  ඕන, මානසික පීඩනය කියන එක අපේ රටේ fashionable වචනයක්. ඒක මේ හැමෝම භාවිත කරන වැඩමුළුවල තියෙන වචනයක්. අපි සරලව තේරුම් ගන්න අවශ්‍යයි මොකක්ද මානසික පීඩනය කියන්නේ කියලා. මානසික පීඩනය කියන එක ස්නායු මනෝ විද්‍යාත්මකව නැත්නම් මනෝ විද්‍යාත්මක පැත්තෙන් පැහැදිලි කලොත් අපේ ජීවිතයේ තියෙනවා එක එක අභියෝග. Situation demand කියලා අපි ඒවා ඉංග්‍රිසී බසින් හඳුන්වනවා. අපිට තියෙන එක එක අවස්ථානුකූල ජීවන අභියෝගයන්. දැන් මේ ජීවන අභියෝගයන්ට මුහුණ දෙනකොට එක එක විදියට අපේ ඇති වන එක එක ප‍්‍රතික‍්‍රියා උදාහරණයක් විදියට අපිට යම් යම් ගැටලු ඇති වූ විට  අපේ ශාරීරික ගති ලක්‍ෂණ වෙනස් වෙනවා. පපුව ගැහෙන්න පුළුවන්, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. දාඩිය වැටීම, ඇඟ හිරි වැටෙනවා වගේ ගති ලක්‍ෂණ මතු විය හැකියි. මේ වගේ කායික ලක්ෂණ වගේම මානසික ලක්ෂණ ඒ කියන්නේ තරහ, අවධානය යොමු කරන්න අපහසු වීම, පුංචි දේටත් කරහා යෑම, කුඩා දේ ලොකු කරමින් සිතීම වැනි දේ ඇති විය හැකියි. මානසිකව යම් කිසි ප‍්‍රශ්නයක් එනකොට ශාරීරික ලක්‍ෂණ, මානසික ලක්‍ෂණ අපේ චර්යාත්මක ලක්‍ෂණ, ඒවගේ අපේ චින්තනයේ, අපි හිතන විදියේ ගැටලු ඇති විය හැකියි‍. 

ඇතැම් වෙලාවට හොඳ අවධානයෙන්, හොඳට කල්පනා කරලා, හොඳට සංසන්දනය කරලා හොඳට අවබෝධයෙන් වැඩ කරගන්න පුළුවන්. ඒත් මානසික පීඩනය වැඩි වෙච්ච ගමන් මනසින් කරන වැඩ ටික  කරගන්න බැහැ. එතකොට ඒ තත්ත්වය තමයි මානසික පීඩනය කියලා අපි හඳුන්වන්නේ.

 

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද 

බොහෝ විට වැඩිහිටි අපි සිතන්නේ මානසික පීඩනයක් ඇති විය හැක්කේ වැඩිහිටි අපට පමණක් බවයි. එය එසේ නොවන බව මින් පෙර සටහන් කළ ලිපි තුළිනුත් අපට අ‍වබෝධ වන්නට ඇත.

වෛද්‍යතුමනි, දරුවන්ටත් වැඩිහිටියන්ට මෙන්ම මානසික පීඩනය ඇති වෙනවා නේද?

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද කියන දේ ගැන කතා කරද්දී ටිකක් වෙනස් විදියට තමයි අපි  ඕක දකින්නේ. දරුවන්ගේ මානසික පීඩනය කතා කරනකොට අවස්ථා තුනක් යටතේ තමයි ඒ ගැන කතා කරන්නේ. 

  1. ධනාත්මක මානසික ආතතිය කියලා, Positive stress
  2. අතරමැද්දේ ඇති මානසික පීඩන
  3. දෘලක මානසික ආතතිය Toxic Stress

ධනාත්මක මානසික ආතතිය Positive stress කියන්නේ අපේ මොළයේ හොඳට වැඩෙන්න සිදුවන සම්බන්ධතා හරහා හොඳින් සම්බන්ධ හොඳින් සකස් වීමට මොළයට එක්තරා විදියකට පීඩනයක්  අවශ්‍යයි. උදාහරණයක් ලෙස දරුවෙක් අම්මා ගාව ඉඳලා ඉඳලා මොන්ටිසෝරියට යනවා. එතැන අලුත් පරිසරයක්. අපි දැකලා තියෙනවා සමහර ළමයි යන්න බැහැ කියනවා, බය වෙනවා, පෙරලෙනවා, අඬනවා. හැබැයි අපි දකිනවා ඒ දරුවෝ ටික දවසක් ගියහම එතනට හොඳට හුරු වෙනවා. මෙන්න මේ වගේ හැම දරුවෙකුටම මොළය හොඳට ගොඩනැගෙන්න ඒ වගේ පොඩි පොඩි අභියෝග අවශ්‍යයි. ඒවගේ ඒවලට අපි කියනවා ධනාත්මක පරිසරයන් කියලා. ඒ ධනාත්මක පරිසරය තුළින් දරුවෙකුට නිතර නිතර අභියෝගාත්මක කාරණා ලැබෙන විට මොළය හොඳින් වර්ධනය වෙනව‍ා. අපි හිතමු දරුවෙකුට තනියෙන් කොහෙට හරි නඟින්න, පඩියක් නඟින්න, ගහකට නඟින්න මේවා පොඩි දරුවන්ට තියෙන අභියෝග. හැබැයි ඒවා එයාට මානසික පීඩනයක්. හැබැයි මොළය වැඩෙන්න ඒවා අපිට අවශ්‍යයි. 

ඒ වගේම අතරමැද්දේ තියෙන මානසික පීඩන. ඒවා අර තරම්ම සරල නැහැ. උදාහරණයක් විදියට හිතන්නකෝ තමන්ගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ. තමන්ගේ ළඟ ඉන්න ඥාතියෙක් මිය යනවා, තාත්තා එකපාරට පිටරට යනවා. එතකොට ළමයෙකුට සමහර වෙලාවට ලැබෙනවා පෙරට වඩා ටිකක් ප‍්‍රබල මට්ටමේ ආතතීන්. තමන්ගේ සහෝදරයා හදිසියේ නැති වෙන්න පුළුවන්, තමන්ගේ ළඟ හිටිය තමන්ව ආදරයෙන් හදපු සීයා එක පාරට මිය යනවා. අන්න ඒ වගේ තැනකදී ළමයෙකුට ඒ විඩාව දරාගන්න අපහසුයි. හැබැයි මනෝ විද්‍යාඥයින් පෙන්නනවා ඒ වගේ ප‍්‍රබල විඩාවකදී පවා දරුවෙකුට හොඳ සහයෝගයක් ලබා දිය හැකි ආකාරයේ මානසික තත්ත්වයක් ඇති විටආතතියෙන් මිදෙන්න අපහසු නැහැ. සීයා නැති වුණහම අම්මයි තාත්තයි ළමයට හොඳින් උදව් කරනවා, ඒ කියන්නේ එයාට හොඳට ඥාතියෝ, සහෝදරයෝ උදව් තියෙන පද්ධතියක් තිබුණොත් ඒ වගේ මානසික පීඩනයන් දරුවෙකුට දරාගෙන ජීවත් වෙන්න පුළුවන්. එයින් ළමයින්ට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 

නමුත් දැන් ලෝකයේ හොයාගෙන තියෙන බරපතලම දෙය තමයි දෘලක මානසික ආතතිය (Toxic Stress) කියන්නේ. මේ දෘලක මානසික ආතතිය දරුවන්ට එල්ල වුණොත් ඔවුන්ගේ මොළය ඇතුලේ ඔවුන්ගේ චර්යාවේ, බුද්ධියේ, මානසික වර්ධනයේ, ප‍්‍රජානන වර්ධනයේ විශාල ගැටළු ඇති වෙලා සමාජ ප‍්‍රශ්න ගණනාවකට ඒක හේතු වෙනවා. දෘලක ආතතියේ ස්වභාවය තමයි ඒ ළමයට එල්ල කරන පීඩනය එක දිගට මොළයට පවතිනවා. අපි හිතමු තාත්තා කෙනෙක් ගෙදර හොඳටම බීලා හැමදාම රණ්ඩු කරනවා. අම්මට ගහනවා, ළමයින්ට ගහනවා, අසභ්‍ය වචන පාවිච්චි කරනවා, බඩු පොලේ ගහනවා. එවැනි තත්ත්ව ඉවරයක් නැතිව මොළයට පීඩා කරනවා. එමගින් මොළයේ වර්ධනයේ විශාල වෙනස්කම් වෙනවා. විශේෂයෙන් මේ නළල කොටස. මේ නළල කොටසේ තමයි අපිට ජීවිතයට ඉතාම වැදගත් ක‍්‍රියාවන් ටික පාලනය කරන්නේ. ඒවට කියනවා Executive functions, නැත්නම් මොළයේ විධායක ක‍්‍රියාවලිය කියලයි. මේ කොටසින් තමයි අපි ආවේග පාලනය කරන්නේ, සමාජ සම්බන්ධතා හොඳට හසුරවගන්නේ, තරහ ගියහම ඒක පිටකරන විදිය හසුරවගන්නේ, ඉලක්කයකට වැඩ කරන විදිය හසුරුවගන්නේ, දෙයක් සැලසුම් කරන්නේ, දෙයක් සංවිධානය කරන්නේ. මොළයේ තියෙන ඉතාම වැදගත් කොටස පවා මේ විදියට කරන්නේ මේ විධායක ක‍්‍රියාවලියේ තියෙන ගුණාත්මක භාවය මත. 

ඒත් ළමයෙකුට දිගින් දිගටම ධෘලක මානසික පීඩනය  එල්ල වෙනකොට මෙන්න මේ කොටසේ වෙනස්කම් වෙනවා. උදාහරණයක් විදියට, Pets Scanning ඒ කියන්නේ මොළය අපිට බලන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. Pet Scan වල පෙන්වලා තියෙනවා අපරාධකාරයෝ, අපයෝජනයට ලක් වෙච්ච ළමයින්ගේ Pet Scan බලද්දී ක‍්‍රියාකාරීත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා. මං හිතන්නේ අපිට පැහැදිලිව පෙනෙන දේ තමයි දෘලක ආතතිය තමයි දරුවන්ට නරක. ඒ නිසා මං හිතනවා දෘලක ආතතිය එල්ල වන ප‍්‍රධාන කාරණා මනෝ විද්‍යාවේ අදුරගෙන තියෙනවා. ලංකාවේ බහුලම එකක් තමයි ළමයින්ට චිත්තවේගී වශයෙන් වෙන අපයෝජන. සමහර අම්මලා ගෙවල් වල එක දිගට ළමයින්ට කියවනවා. අපි හිතමු දැන් ළමයෙකුට ලකුණු අඩු වුණා, විභාගයට පාඩම් කරන්න බැරි නම් අම්මලා දිගට එකම දේ නැවත කියවනවා. ඒ කියන්නේ ළමයෙකුගේ චිත්තවේගී අපයෝජනය කියන එක හරි අමාරුයි ළමයෙකුට.  හැම වෙලාවෙම මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ, අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද ඔන්න ඔහොම එක දිගට වැල වගේ දම්වැල් ආකාරයට අම්මලා මෙහෙම දරුවන්ට කියවගෙන කියවගෙන යනවා. ඊලඟට සමහර ළමයින්ට අක්කලා, පුංචි අම්ම්ලා, විශ්ව විද්‍යාලේ ගිය ළමයිව උපමාවට අරගෙන තමන්ගේ ළමයව පහත් කරලා කියවනවා. ගොඩක් පාසල් වල මේක හරියට සිද්ධ වෙනවා, ළමයින්ට එක එක වෙනස් විදියේ වචන, මැට්ටා, බූරුවා, ගොනා, හරකා. ඒ කියන්නේ ළමයෙකුට පහත් හැඟීම් ඇති වන ආකාරයට ඉතාම ප‍්‍රභලව තර්ජනාත්මකව කියවනවා. 

මෙන්ම මේ තත්ත්වයන් විඩිහිටියන් විදියට අපි හඳුනා ගත යුතුයි. නිදහස් මනසක් ඇති දරුවෙක් බිහි කිරීම අනාගත ආයෝජනයක් බව දෙමාපිය වැඩිහිටියන් සිතිය යුතුමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article