- Advertisement -

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද?

-

බොහෝ විට වැඩිහිටි අපි සිතන්නේ මානසික පීඩනයක් ඇති විය හැක්කේ වැඩිහිටි අපට පමණක් බවයි. එය එසේ නොවන බව මින් පෙර සටහන් කළ ලිපි තුළ්නුත් අපට අ‍වබෝධ වන්නට ඇත.

වෛද්‍යතුමනි, දරුවන්ටත් වැඩිහිටියන්ට මෙන්ම මානසික පීඩනය ඇති වෙනවා නේද?

- Advertisement -

දරුවන්ට මානසික පීඩනය එල්ල වෙන්නේ කෙසේද කියන දේ ගැන කතා කරද්දී ටිකක් වෙනස් විදියට තමයි අපි  ඕක දකින්නේ. දරුවන්ගේ මානසික පීඩනය කතා කරනකොට අවස්ථා තුනක් යටතේ තමයි ඒ ගැන කතා කරන්නේ. 

  1. ධනාත්මක මානසික ආතතිය – Positive stress
  2. දරා‍ගත හැකි ආතතිය – Tolerable stress
  3. ධූලක ආතතිය – Toxic stress

ධනාත්මක මානසික ආතතිය – Positive stress

ධනාත්මක මානසික ආතතිය Positive stress කියන්නේ අපේ මොළයේ හොඳට වැඩෙන්න සිදුවන සම්බන්ධතා හරහා හොඳින් සම්බන්ධ හොඳින් සකස් වීමට මොළයට එක්තරා විදියකට පීඩනයක්  අවශ්‍යයි. උදාහරණයක් ලෙස දරුවෙක් අම්මා ගාව ඉඳලා ඉඳලා මොන්ටිසෝරියට යනවා. එතැන අලුත් පරිසරයක්. අපි දැකලා තියෙනවා සමහර ළමයි යන්න බැහැ කියනවා, බය වෙනවා, පෙරලෙනවා, අඬනවා. හැබැයි අපි දකිනවා ඒ දරුවෝ ටික දවසක් ගියහම එතනට හොඳට හුරු වෙනවා. මෙන්න මේ වගේ හැම දරුවෙකුටම මොළය හොඳට ගොඩනැගෙන්න ඒ වගේ පොඩි පොඩි අභියෝග අවශ්‍යයි. ඒවගේ ඒවලට අපි කියනවා ධනාත්මක පරිසරයන් කියලා. ඒ ධනාත්මක පරිසරය තුළින් දරුවෙකුට නිතර නිතර අභියෝගාත්මක කාරණා ලැබෙන විට මොළය හොඳින් වර්ධනය වෙනව‍ා. අපි හිතමු දරුවෙකුට තනියෙන් කොහෙට හරි නඟින්න, පඩියක් නඟින්න, ගහකට නඟින්න මේවා පොඩි දරුවන්ට තියෙන අභියෝග. හැබැයි ඒවා එයාට මානසික පීඩනයක්. හැබැයි මොළය වැඩෙන්න ඒවා අපිට අවශ්‍යයි. 

දරා‍ගත හැකි ආතතිය – Tolerable stress

ඒ වගේම අතරමැද්දේ තියෙන මානසික පීඩන. ඒවා අර තරම්ම සරල නැහැ. උදාහරණයක් විදියට හිතන්නකෝ තමන්ගේ අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ. තමන්ගේ ළඟ ඉන්න ඥාතියෙක් මිය යනවා, තාත්තා එකපාරට පිටරට යනවා. එතකොට ළමයෙකුට සමහර වෙලාවට ලැබෙනවා පෙරට වඩා ටිකක් ප‍්‍රබල මට්ටමේ ආතතීන්. තමන්ගේ සහෝදරයා හදිසියේ නැති වෙන්න පුළුවන්, තමන්ගේ ළඟ හිටිය තමන්ව ආදරයෙන් හදපු සීයා එක පාරට මිය යනවා. අන්න ඒ වගේ තැනකදී ළමයෙකුට ඒ විඩාව දරාගන්න අපහසුයි. හැබැයි මනෝ විද්‍යාඥයින් පෙන්නනවා ඒ වගේ ප‍්‍රබල විඩාවකදී පවා දරුවෙකුට හොඳ සහයෝගයක් ලබා දිය හැකි ආකාරයේ මානසික තත්ත්වයක් ඇති විටආතතියෙන් මිදෙන්න අපහසු නැහැ. සීයා නැති වුණහම අම්මයි තාත්තයි ළමයට හොඳින් උදව් කරනවා, ඒ කියන්නේ එයාට හොඳට ඥාතියෝ, සහෝදරයෝ උදව් තියෙන පද්ධතියක් තිබුණොත් ඒ වගේ මානසික පීඩනයන් දරුවෙකුට දරාගෙන ජීවත් වෙන්න පුළුවන්. එයින් ළමයින්ට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 

ධූලක ආතතිය – Toxic stress

නමුත් දැන් ලෝකයේ හොයාගෙන තියෙන බරපතලම දෙය තමයි ධූලක මානසික ආතතිය (Toxic Stress) කියන්නේ. මේ ධූලක මානසික ආතතිය දරුවන්ට එල්ල වුණොත් ඔවුන්ගේ මොළය ඇතුලේ ඔවුන්ගේ චර්යාවේ, බුද්ධියේ, මානසික වර්ධනයේ, ප‍්‍රජානන වර්ධනයේ විශාල ගැටළු ඇති වෙලා සමාජ ප‍්‍රශ්න ගණනාවකට ඒක හේතු වෙනවා. ධූලක ආතතියේ ස්වභාවය තමයි ඒ ළමයට එල්ල කරන පීඩනය එක දිගට මොළයට පවතිනවා. අපි හිතමු තාත්තා කෙනෙක් ගෙදර හොඳටම බීලා හැමදාම රණ්ඩු කරනවා. අම්මට ගහනවා, ළමයින්ට ගහනවා, අසභ්‍ය වචන පාවිච්චි කරනවා, බඩු පොලේ ගහනවා. එවැනි තත්ත්ව ඉවරයක් නැතිව මොළයට පීඩා කරනවා. එමගින් මොළයේ වර්ධනයේ විශාල වෙනස්කම් වෙනවා. විශේෂයෙන් මේ නළල කොටස. මේ නළල කොටසේ තමයි අපිට ජීවිතයට ඉතාම වැදගත් ක‍්‍රියාවන් ටික පාලනය කරන්නේ. ඒවට කියනවා Executive functions, නැත්නම් මොළයේ විධායක ක‍්‍රියාවලිය කියලයි. මේ කොටසින් තමයි අපි ආවේග පාලනය කරන්නේ, සමාජ සම්බන්ධතා හොඳට හසුරවගන්නේ, තරහ ගියහම ඒක පිටකරන විදිය හසුරවගන්නේ, ඉලක්කයකට වැඩ කරන විදිය හසුරුවගන්නේ, දෙයක් සැලසුම් කරන්නේ, දෙයක් සංවිධානය කරන්නේ. මොළයේ තියෙන ඉතාම වැදගත් කොටස පවා මේ විදියට කරන්නේ මේ විධායක ක‍්‍රියාවලියේ තියෙන ගුණාත්මක භාවය මත. 

ඒත් ළමයෙකුට දිගින් දිගටම ධූලක මානසික පීඩනය  එල්ල වෙනකොට මෙන්න මේ කොටසේ වෙනස්කම් වෙනවා. උදාහරණයක් විදියට, Pets Scanning ඒ කියන්නේ මොළය අපිට බලන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. Pet Scan වල පෙන්වලා තියෙනවා අපරාධකාරයෝ, අපයෝජනයට ලක් වෙච්ච ළමයින්ගේ Pet Scan බලද්දී ක‍්‍රියාකාරීත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා. මං හිතන්නේ අපිට පැහැදිලිව පෙනෙන දේ තමයි ධූලක ආතතිය තමයි දරුවන්ට නරක. ඒ නිසා මං හිතනවා ධූලක ආතතිය එල්ල වන ප‍්‍රධාන කාරණා මනෝ විද්‍යාවේ අදුරගෙන තියෙනවා. ලංකාවේ බහුලම එකක් තමයි ළමයින්ට චිත්තවේගී වශයෙන් වෙන අපයෝජන. සමහර අම්මලා ගෙවල් වල එක දිගට ළමයින්ට කියවනවා. අපි හිතමු දැන් ළමයෙකුට ලකුණු අඩු වුණා, විභාගයට පාඩම් කරන්න බැරි නම් අම්මලා දිගට එකම දේ නැවත කියවනවා. ඒ කියන්නේ ළමයෙකුගේ චිත්තවේගී අපයෝජනය කියන එක හරි අමාරුයි ළමයෙකුට.  හැම වෙලාවෙම මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ, අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද ඔන්න ඔහොම එක දිගට වැල වගේ දම්වැල් ආකාරයට අම්මලා මෙහෙම දරුවන්ට කියවගෙන කියවගෙන යනවා. ඊලඟට සමහර ළමයින්ට අක්කලා, පුංචි අම්ම්ලා, විශ්ව විද්‍යාලේ ගිය ළමයිව උපමාවට අරගෙන තමන්ගේ ළමයව පහත් කරලා කියවනවා. ගොඩක් පාසල් වල මේක හරියට සිද්ධ වෙනවා, ළමයින්ට ඒක එක වෙනස් විදියේ වචන, මැට්ටා, බූරුවා, ගොනා, හරකා. ඒ කියන්නේ ළමයෙකුට පහත් හැඟීම් ඇති වන ආකාරයට ඉතාම ප‍්‍රභලව තර්ජනාත්මකව කියවනවා. 

මෙන්න මේ තත්ත්වයන් විඩිහිටියන් විදියට අපි හඳුනා ගත යුතුයි. නිදහස් මනසක් ඇති දරුවෙක් බිහි කිරීම අනාගත ආයෝජනයක් බව දෙමාපිය වැඩිහිටියන් සිතිය යුතුමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article