ස්පර්ශය තුලින් සංවේදන හඳුනා ගැනීමට දරුවාට අවස්ථාව ලබා දිය යුත්තේ ඇයි?

අප සැමගේ ක‍්‍රියාකාරකම් පාලනය කරන ප‍්‍රධානම ඉන්‍ද්‍රිය වන්නේ මොළයයි. ඇසීම, දැකීම, රස දැනීම, ගඳ සුවඳ දැනීම හා ස්පර්ශය දැනීම අපගේ සංවේදන ඉන්‍ද්‍රියයන් හරහා සිදු වේ. මෙම ඉන්‍ද්‍රියයන් වන්නේ ඇස, කන, නාසය, දිව හා සම නම් පංච ඉන්‍ද්‍රියයන්ය. මේවා කලල විකසන අවස්ථාවේ විකසනය ආරම්භ කරන අතරම ගැබ් කාලය තුලදීම ඉන්‍ද්‍රියයන් ක‍්‍රියාත්මක වීම සිදු වේ.

කිසියම් සංවේදන ඉන්‍ද්‍රියයකට උත්තේජනයක් ලැබුණු විට එම ඉන්‍ද්‍රියය මගින් අදාල උත්තේජනයට මොළයේ ඒ සඳහාම වෙන් වූ කොටස වෙත යවනු ලබන පණිවුඩය මගින් හඳුනා ගන්නා අන්දමට ප‍්‍රතිචාර දක්වනු ලබයි. එසේ හෙයින් කුස සිටින දරුවාගේ සිට උපන් සියළු දරුවනටම තම ළමා කාලය තුලදී සංවේදන පිළිබඳ අත්දැකීම් නිවැරදි ලෙස හඳුනා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම කිරීම අප සැමගේ යුතුකමයි. 

මේ අනුව බලන විට පංච ඉන්‍ද්‍රියයන් හරහා ලැබෙන සියලු උත්තේජන ඉගෙනීම් අවස්ථා ලෙස අප තේරුම් ගත යුතු අතරම එම උත්තේජන අවස්ථා මත මොළයේ ස්නායු සෛල හරහා උපාගම සම්බන්ධතා ආරම්භ වීම හා ඒ හා සම්බන්ධ ස්නායු පරිපථ නිර්මාණය වීම ඉගෙනීම නම් ක‍්‍රියාවලිය වේ. 

මොළය තුල උපාගම හට ගැනීම වැඩිපුරම සිදුවන්නේ ගර්භණී සමයේ 25 වන සතියේ සිට ඉපදී මුල් අවුරුදු තුන කාලය තුලයි. ස්නායු සෛල (නියුරෝන) බිලියන 100ක් පමණ මොළය තුල රඳවා ගෙන උපත ලබන දරුවන් ස්නායු සෛල අතර ගොඩනැගෙන සම්බන්ධතා මත ඒ හැකියාවන් වර්ධනය කරගන්නා සේම භාවිත නොවන හෝ ඉඳහිට භාවින වන ස්නායු පරිපථ ක‍්‍රමයෙන් දුර්වල වීම හෝ අකර්මණ්‍ය වීම මත දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතා ගිලිහී යයි. 

කුස තුලදී මව විසින් කුස පිරිමැදීම මගින් දක්වන සෙනෙහස දරුවා ස්පර්ශය ලෙසින් හඳුනා ගන්නා අතරම බිහි වූ මොහොතේ සිටම මවගේ දෑත, පපුව, මුහුණ ස්පර්ශ වීම මත මේ මගේ මව යන්නත් ඇගේ උණුසුම, ආදරය, රැකවරණය පිළිබඳ සුවිශේෂී බවත් විඳ ගනී. මවගේ සමට දරුවාගේ සම ගැටීම තුලින් මේ සංවේදනය ලබාගනී. එසේම මුඛය අසලට ස්පර්ශයක් දැනුන වහා කිරි ලැබෙන සංඥාවක් සේ හඳුනාගනී. මෙසේ හෙයින් ඇඟිල්ලක් හෝ මුවට ලංවෙන  ඕනෑම දෙයක් ඒ අනුව දරුවා උරන්නට ගනී. එහෙත් එය පියයුර නොවන බව හඳුනාගත් පසු හඬන්නට පටන් ගනී. 

දරුවා සිප වැළඳ ගැනීම ආදරයෙන් තුරුළු කරගැනීම තුලින් හා ස්පර්ශය දරුවාට ආරක්‍ෂිත ආදරණීය හැඟීම් ඇති කරයි. 

මෙසේ දැනෙන ස්පර්ශය ක‍්‍රමයෙන් සංකීර්ණ ක‍්‍රියාවලියක් දක්වා ක‍්‍රමයෙන් වර්ධනය වේ. අතින් අල්ලන්නට යමක් හැකි වූ විට එය අල්ලා ගැනීමට පෙළඹේ. මෙසේ අල්ලා ගන්නා උපකරණයේ ස්වභාවය මගින් දරුවාට උණුසුම, ශීතල, රළු බව සිනිඳු බව හඳුනා ගැනීමට ලැබේ. එසේම ගැටෙන දෙය අත්ලින් තද කිරීම, ගුලි කිරීම මගින් එහි ස්වභාවය වෙනස් කළ හැකි බව ඉගෙනීමට හැකි වේ. 

අල්ලා ගන්නා දෙය අත හැරෙන බව දැනේ නම් තදින් ග‍්‍රහණය කරගන්නට පෙළඹේ. මෙහි ප‍්‍රතිඵලය ලෙස අල්ලාගෙන නැගිටීමට හෝ ආධාරයක් මත ඇතිව ඇවීදීමට හැකි වයසේදී එම ආධාරකය අත නොහැරීම හෝ අත්හැරුණු විට වෙනත් යමක එල්ලීම හෝ නිරායාසයෙන් සිදු වේ. මෙයින් හඳුනා ගැනෙනුයේ ස්පර්ශය මතින් දරුවා ලබාගන්නා වූ අත්දැකීම් වල සංවර්ධනයයි. 

පරිසරයේ ඇති දේශගුණික වෙනස්වීම් හඳුනා ගැනීමට දරුවා පෙළඹෙන්නේ හමට දැනෙන ඒ ස්පර්ශය නිසයි. මේ නිසා ශීතලට හොඳින් ආවරණය කර උණුසුම්ව තැබූ විට දරුවා හොඳින් නිදා ගනී. එහෙත් උණුසුම් සහිත විටකදී ආවරණ ඉවත් කරමින් දරුවන් කෑගසන්නේ එම සංවේදනය හේතුවෙනි. උපන් මොහොතේ සිට දරුවා අත පත ගෑම මගින් ඇති වන ස්පර්ශීය හැඟීම දරුවා තුල ජනිත කරන හැඟීම් මෘදු මොළොක් ලෙස මෙන්ම ආදරණීය බවින් පිරී යයි. ස්පර්ශය තුල මව හඳුනා ගැනීම පියා හඳුනා ගැනීම හෝ රැකබලාගන්නන් හඳුනා ගැනීම දරුවා තුල ඇති වන්නේ සංවේදනය පිළිබඳ ඇති කරනු ලබන උත්තේජනයන් හෙයිනි. 

මීට අමතරව අලුත උපන් දරුවාගේ මවගේ සම දරුවාගෙ සමට ස්පර්ශ වීම තුලින් මවගේ හමමත ඇති ආසාදන පාලන හැකියාව දරුවා වෙත නිතැතින් ගමන්කිරීම  මගින් දරුවා ආරක්ෂා කිරීමද එලෙසින්ම ඉටුවේ.

දරුවකුගේ හිස අතගෑම, කර වටා අත යවා තුරුළු කරගැනීම, මවගේ ලයට තුරුළු කරගැනීම, අතින් අල්ලා ගැනීම ආදී ලෙසින් ආදරණීය බව දැනීම මෙන්ම කේන්තිය නිසා අසහනකාරී ලෙසින් තදින් අල්ලා ගැනීම, අනවශ්‍ය ලෙස සෙලවීම ආදිය මගින් දරුවා තුලද ආතතියක් ඇති වීමට මෙන්ම දුරස්ථභාවයක් ඇති වීමටත් එය හේතුවක් විය හැකියි. 

කුඩා කල සිට අතින් අල්ලා ගැනීමට හෝ අතෙහි ස්පර්ශය තුලින් සංවේදන හඳුනා ගැනීමට අවස්ථාව ලබාදීමද මොලයේ සංවර්ධනයට මහත් රුකුලකි. ලැබෙන ක‍්‍රීඩා භාණ්ඩ අතින් අල්වා ගැනීමේදී සංවේදන ලබාදීම සඳහා මෙම ක්‍රීඩා භාණ්ඩයේ නිර්මාණය පිළිබඳව විමසිලිමත් වීම වටී. එහිදී සුරතල් සතෙකු නම් බඩ පැත්ත සිනිඳු පිට පැත්ත ගොරෝසු බව ආදී ලෙසින් මෙන්ම ඒ ඒ ලැබෙන සංවේදන අනාගත ජීවිතයට මහත් රැකුලකි. දරුවන් ඉගෙනුම ලබන්නේ මේ සංවේදන ලැබෙන අයුරින් හා ඒ හා ගැටීමට ඉඩ හසර ලැබෙන අයුරිනි. 

එසේම මවත් සමග මව කරන ක‍්‍රියාකාරකම් හා එකතු වීම තුලින් ස්පර්ශය සඳහා අත්දැකීම් ලබාගත හැක. එළවළු හෝ පලාවර්ග, ඇට වර්ග ආදී ලෙසින් ඒවායේ අතට දැනෙන සංවේදන කෙඳි ස්වභාවය, දාරමය ස්වභාවය, හැඩය හෝ හැඩතල ආදියද හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. කැපීම්, කෙටීම් වැනි ක‍්‍රියාකාරකම්ද, පොල් කුඩු මිරීකීම, මැටි ඇනීම වැනි ක‍්‍රියාකාරකම් තුලින්ද ඇඟිලි පුරුක්, අත්ල හා සම්බන්ධ පේශී හරහා ලබන සංවේදන පසුව දරුවාගේ අතින් පෑන්, පැන්සල් හුරු වීම සඳහාද ඇති හැකියාව වැඩි දියුණු කරයි. 

ජලය, සබන් ආදී දේවල් සමග ගැටීම තුලින්ද ලිහිසි බව, ගලා යන විට අතට දැනෙන සංවේදන, උණුසුම, සීතල බව ආදියද ස්පර්ශය හරහා හොඳින් හඳුනා ගැනීමට දරුවන්ට අවස්ථාව උදා වේ. 

මෙසේ බලන කල සෑම ක‍්‍රියාවලියක්ම දරුවා සම්බන්ධීකරණය කර කිරීම තුලින් දරුවාගේ ස්පර්ශය සමග ඇති උත්තේජනය වඩාත් තීව‍්‍ර කරයි. ස්පර්ශය යනු ආදරය, කුතුහලය හා සම්බන්ධ වූ ධනාත්මක මෙන්ම කෝපය, අප‍්‍රසන්න බව කැටි වූ සෘණාත්මක හැඟීම්ද වර්ධනය හෝ මර්දනය කළ හැකි ක‍්‍රියාකාරකම් බවට හඳුනාගත හැකියි. එසේම මේවා සම්බන්ධ අත්දැකීම් ලබන දරුවා හොඳ සමාජානුයෝගී දරුවකු කිරීමට ඇති ඉඩ කඩ වඩාත් ප‍්‍රබල හෙයින් අප සැමගේ යුතුකම විය යුත්තේ ඉගෙනුම් අවස්ථා ලබාදීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලි මනා ලෙස හසුරුවා හොඳ පුරවැසියෙකු බිහිවීමට හැකි ඉඩ ප‍්‍රස්ථා ලබාදීමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here