- Advertisement -

දරුවන්ට එන්නත් ලබාදීමේදී මව දැනුවත් විය යුතු කරුණු මොනවාද?

-

බෝවන රෝග පැතිර යාම වළක්වා ගැනීම සඳහා සුදුසු ප‍්‍රතිකර්ම සොයා යෑමේදී 1796 දී බ්‍රිතාන්‍ය ජාතික එඞ්වඞ් ජෙනර් නම් විද්‍යාඥයා විසින් සිදු කළ පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව රෝග නිවාරණය පිළිබඳව එතෙක් තිබූ දැනුම නව මං පෙතකට හැරීමට හේතුවක් විය. ඒ අනුව දිගින් දිගට සිදු කළ පරීක්‍ෂණ හේතුවෙන් බැක්ටීරියා හා වෛරස් මගින් සෑදෙන රෝග වළකාලීමට හැකි එන්නත් නිෂ්පාදනය කරන ලදී. මේ අනුව බෝවන රෝග වළක්වාලීම සඳහා ලෝක සංවිධානය විසින් 1974 වසරේදී ගෝලීය වශයෙන් ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන ව්‍යාප්ත කරන ලදී. 

මේ ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන මගින් එන්නත් ආවරණය ඉහළ නැංවීම තුලින් බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කිරීමටත්, සමහර රෝග සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් හැකියාව ලැබී තිබේ. 

- Advertisement -

ශ‍්‍රී ලංකාවේ පළමුවරට 1886 වසරේදී වසූරිය සඳහා එන්නත්කරණය ඇරඹී ඇති අතර මේ සඳහා එන්නත් පිළිබඳ අඥා පනත (Vaccination ordinance) ක‍්‍රියාත්මක වූ අතර ඒ අනුව සෑම පුද්ගලයෙකුම වසූරිය එන්නත ලබාගැනීම අනිවාර්‍යය කෙරුණි. එහි ප‍්‍රතිඵල අනුව ලෝකයේම ක‍්‍රියාත්මක වීම තුලින් වසූරිය රෝගය මේ වන විට ලෝකයෙන්ම තුරන් කළ රෝග අතර ප‍්‍රමුඛ තැනක් ගනී. 

ලෝක ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහාය ඇතිව 1978 වර්ෂයේදී ලංකාවේ ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන ඇරඹි අතර කාලීන අවශ්‍යතා අනුව යමින් වරින් වර සමාලෝචනයන් සිදුවෙමින් එන්නත් ලබාදීම හා එන්නත් ලබාදෙන වයස් සීමාවන් වෙනස් වීම් අනුව පවත්වාගෙන යනු ලැබේ. 

මේ අනුව මේ වන විට අපගේ ජාතික ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන මෙසේ වේ. 

  • උපතේදී – බි.සී.ජී – ක්‍ෂය රෝගය සඳහා

මාස 2 සම්පූර්ණ වූ විට 

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් – එනම් පංච සංයුජ එන්නත (Penta Valent) පළමු මාත‍්‍රාව
  • මුඛ පෝලියෝ පළමු මාත‍්‍රාව (OPV)
  • අජීවී විදින පෝලියෝ එන්නත (IPV)

මාස 4 සම්පූර්ණ වූ විට

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් – එනම් පංච සංයුජ එන්නත 
  • මුඛ පෝලියෝ දෙවන මාත‍්‍රාව (OPV)
  • අජීවී විදින පෝලියෝ එන්නත (IPV)

මාස 6 සම්පූර්ණ වූ විට 

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් (Peta Valent) තුන්වන මාත‍්‍රාව
  • මුඛ පෝලියෝ තුන්වන මාත‍්‍රාව (OPV)

මාස 9 සම්පුර්ණ වූ විට 

  • සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා එන්නත පළමු මාත‍්‍රාව (MMR)

මාස 12 සම්පූර්ණ වූ විට

  • සජීවී ජැපනිස් එන්සෙෆලයිටීස් එන්නත (LJE)

අවුරුදු 1 ½සම්පූර්ණ වූ විට

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම එන්නත් වල හතර වන මාත‍්‍රාව ත‍්‍රිත්ව එන්නත් (DPT)
  • මුඛ පෝලියෝ හතරවන මාත‍්‍රාව (OPV)

අවුරුදු 3 සම්පූර්ණ වූ විට 

  • සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා එනනත් දෙවන මාත‍්‍රාව MMR

අවුරුදු 05 සම්පූර්ණ වූ විට

  • පිටගැස්ම හා ගලපටලය එන්නත් වල පස්වන මාත‍්‍රාව ද්විත්ව එන්නත (DT)
  • මුඛ පෝලියෝ පස්වන මාත‍්‍රාව (OPV)

අවුරුදු 10 සම්පූර්ණ වූ විට (6 ශ්‍රේණියේදී)

  • ගැහැණු දරුවන් සඳහා ගැබ්ගෙල පිළිකා සඳහා පළමු එන්නත (HPV)
  • පළමු එන්නතින් මාස 6 කට පසු ගැබ්ගෙල පිළිකා දෙවන එන්නත (HPV)

අවුරුදු 11-14 අතර (7 ශ්‍රේණිය)

  • පිටගැස්ම හා ගලපටල එන්නත් වල හයවන මාත‍්‍රාව. වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත (aTd)

මේ අනුව ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. 

සෑම මවක්ම තමා ප‍්‍රසූතියට සූදානම් වීමේදී මෙම එන්නත් වැඩසටහන පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි. උපත සිදු වූ රෝහලේදීම බි.සී.ජී (BCG) එන්නත ලබාගත් බවට මව දැනුවත් විය යුතුය. උපතේ සිට ලබන එන්නත් ලබාදීමේ කාලසීමාව හඳුනා ගැනීම වයසට නිසි එන්නත් ලබාදීමේ අවස්ථාව තහවුරු කරන හෙයින් මව්වරුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව උපතේදී ලබාදෙන එන්නත මුල් පැය 24 තුල, මාස 2, 4, 6 එන්නත් සඳහා වයස සම්පූර්ණ දිනයේ සිට සති දෙකක් ඇතුලත මාස 9 න් පසුව ලබාදෙන එන්නත් නිසි වයස සම්පූර්ණ වූ දිනයේ සිට මාසයක් ඇතුලත ලබාදීම, වයසට නිසි එන්නත් ලබාදීම සාර්ථක කරයි. මේ අනුව නිසි පරිදි වයස සපිරීම පිළිබඳ මව දැනුවත් විය යුතුයි.

එන්නත් ලබාදීම ප‍්‍රමාද කළ යුතු අවස්ථා

  • තීව‍්‍ර රෝග තත්ත්වයක් ඇති විට
  • දිනෙන් දින උග‍්‍ර වන ස්නායු ආබාධ ඇති විට
  • ප‍්‍රතිශක්තීකරණ ඌනතා ඇති කරන රෝගයකින් පෙලීම. 
  • උදා: ලේ පිළිකා, ලිව්කෝමා, තීව‍්‍ර පිළිකා අවස්ථා (ලියුකේමියා, HIV)
  • ප‍්‍රතිශක්ති ඌනතා ඇති කරන ඖෂධ ලබාගන්නා අය. 
  • ප‍්‍රතිශක්තී ඌනතා ඇති කරන ප‍්‍රතිකාර ක‍්‍රම වල යෙදී සිටින අය. 
  • උදා: ස්ටිරොටිඞ් කාණ්ඩයේ ඖෂධ වැඩි මාත‍්‍රා ලබාදෙන දරුවන්
  • විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන දරුවන්. 

මෙවන් තත්ත්ව වලදී අදාල වෛද්‍යවරයාගේ උපදෙස් මත ප‍්‍රමාද වී එන්නත් ලබාදීම සිදු කරයි. 

දරුවන් එන්නත් ලබාදීමේදී මවක් තම දරුවාගේ වයස ගැන සැලකිලිමත් විය යුතුයි. එසේම එන්නත් ලබාදීම නුසුදුසු අවස්ථා හෝ ප‍්‍රමාද කළ යුතු අවස්ථා, ලබාදෙන්තේ අතටද, කකුලටද, එන්නත් ලබාදීමෙන් වළක්වන රෝග, එන්නත ලබාදීමෙන් පසු ඇති වන අතුරු ආබාධ පිළිබඳව මවට දැනුවත් වීම වැදගත් වේ. මේ සඳහා මවට ලැබෙන ළදරු වර්ධන සටහන් පොතේ සියලු කරුණු අඩංගු අතර එය කියවා බැලීම තුලින් මවට අවශ්‍ය දැනුම ලබාගත හැකිවා මෙන්ම ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී තුමියගෙන්ද විමසා දැනගත හැකියි. 

එන්නත් ලබාදීමෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ නම් එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම, ගැටයක් ඇතිවීම, උණ ඇති වීම, වේදනාව, වමනය හෝ පාචනය ඇතිවීම, මලානික බව, නොසන්සුන් බව, කෑම අරුචිය, නොනවත්වා හැඬීම ආදිය මෙන්ම උණ වැඩි වී වලිප්පුව ඇතිවීම වැනි තත්ත්ව දක්වාද බලවත් ආසාත්මිකතා තත්ත්වද ඇති විය හැකියි. මෙසේ හෙයින් එන්නත් දීමෙන් පසු සායනය තුල විනාඩි 20 ක කාලයක් රැඳී සිටීමද, ඉන් පසු නිවසේදී දරුවා කල්පනාවෙන් රැකබලා ගැනීමද වැදගත් වේ. 1000C ට වඩා උණ වැඩිවන අවස්ථා වලදී පැරසිටමෝල් ඖෂධය ශරීරයේ බරට අනුව නියමිත කාලාන්තරයන් වලදී ලබාදීම කල හැකිය. 

එන්නත් ලබාදීම ශීත දාමය ආරක්‍ෂා කරමින් කරන ක‍්‍රියාවලියක් හෙයින් එන්නත් ලබාදීමෙන් පසු එන්නත් ලබාදුන් ස්ථානය තැවීම, පොඩි කිරීම නොකළ යුතුයි. ඇග සේදීම / නෑම, වතුරින් තෙමීම හා එන්නත් අතර සම්බන්ධතාවයක් නොමැති හෙයින් එන්නත් ලබාදීමෙන් පසුව පහසුව සඳහා සනීපාරක්‍ෂක ක‍්‍රම භාවිතා කළ හැකියි. උණ ඇති විටදී නෑවීම නොකළ යුතු මුත් දරුවාගේ දහදිය සේදීම මගින් දරුවාට සුව පහසුව ළඟා වේ. පැරසිටමෝල් ලබාදීමෙන් දින දෙකට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු වේ. නොනවත්වා හඬන්නේ නම් දරුවාගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වීම (බඩගින්න, උෂ්ණය, ශිතල) ද සලකා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකර්ම යෙදීමෙන් පසුත් දරුවා හඬන්නේ නම් වෛද්‍ය උපදෙස් ලැබීම සුදුසු වේ. 

  • වරක් එන්නත් ලබාදීමෙන් පසු ඇති වූ අතුරු ආබාධය පිළිබඳව නැවත එන්නත් ලබාදීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම කළ යුතුයි. 
  • ඇති වූ අතුරු ආබාධයේ ස්වභාවය අනුව ඊලඟ එන්නත පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් උපදෙස් පැතිය යුතුයි. 
  • දරුවාට එන්නතකින් මෙන්ම වෙනත් ඖෂධ හෝ ආහාර සඳහා ඇති වූ ආසාත්මිකතා පිළිබඳ ද දැනුවත් කළ යුතුයි. 
  • දරුවාට එන්නතක් ලබාදුන් විට එය කාඩ්තෙහි සටහන් කිරීම පිළිබඳවද මව සොයා බැලිය යුතුයි. 
  • සෑම විටම ලබාදුන් එන්නත පිළිබඳ ලිඛිත සාක්‍ෂි සටහන් මෙන්ම අතුරු ආබාධ පිළිබඳවත් සටහන් තිබේදැයි පරීක්‍ෂාකාරී වන්න. 
  • ජීවිත කාලයටම ලැබෙන ප‍්‍රතිශක්තී ආවරණයක් හෙයින් මෙම කාඩ්පත ආරක්‍ෂාකාරීව තබාගැනීමත්, එය අවශ්‍ය අවස්ථා වලදී ඉදිරිපත් කිරීමත් සෞඛ්‍යමය තීරණ සඳහා වැදගත් වේ. 
  • ලබාදෙන එන්නත් ලබාදිය යුතු වයස් මෙන්ම එම එන්නත් අතර පරතරය පිළිබඳවත් දැනුවත් වීම මවක සතු යුතුකමකි. 

එන්නත් ලබාදීමට පෙරාතුව මවක විසින් ලබාදෙනු ලබන එන්නත් සඳහා අවශ්‍ය වයස් සීමාවන්, ලබාදෙන එන්නත, එන්නත් ලබාදීමෙන් පසු ලබාදිය යුතු රැකවරණය මෙන්ම එන්නතකින් පසු ඇති විය හැකි අතුරු ආබාධ පිළබඳව දැනුවත්ව සිටීම තුලින් පහසු අයුරින් ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රියාවලිය සිදුකරගත හැකිවනවා මෙන්ම ඇති වන සියළුම තත්ත්වයන් සඳහා සැහැල්ලූ මනසකින් මවකට මුහුණ දියහැකි ශක්තිය ලැබේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article