රුධිරය ගැන ඔබ දන්නේ මොනවද?

රුධිරය යනු විශේෂිත වූ දේහ තරලයකි. මිනිස් දේහයේ බරින් 8% ක් රුධිරය සඳහා වෙන් වේ. ඒ අනුව වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ (බර 70kg ක පමණ) රුධිරය 5600ml පමණ ඇත. ඉන් 55% ක්ම දියර කොටස වූ ප්ලාස්මාවයි. ප්ලාස්මාව ජලය, ලවණ හා ප්‍රෝටීන වලින් සමන්විතයි. රුධිරය, රුධිර සෛල හා ප්ලාස්මාව ලෙස කොටස් දෙකකි. ප්ලාස්මාව දුර්වර්ණ ලා කහපැහැති පැහැදිලි තරලයකි. මෙම තරලය තුල පාවෙන සෛල දේහ වර්ග 3 කි. එනම්,

  • රතු රුධිර සෛල (Red Blood cells – RBC)
  • සුදු රුධිර සෛල (White Blood cells – WBC)
  • රුධිර පට්ටිකා (Platelets) 

රුධිර සෛල බොහොමයක්, එනම් රතු රුධිර සෛල, පට්ටිකා හා බොහොමයක් සුදු රුධිර සෛල  නිපදවන්නේ රතු ඇටමිදුළු (Red Bone marrow) තුලය. කලල අවධියේදී රුධිර සෛල අක්මාවේ හා ප්ලීහාවේ නිපදවයි. ළමා කාලයේදී සෑම අස්ථි කැබැල්ලකටම මිදුළු තුල රතු රුධිර සෛල නිපදවුවද අවුරුදු 20 පමණ වන විට ඒවා නිපදවන්නේ දිගු අස්ථි වල වූ මිදුළු තුලය. ක‍්‍රියාකාරී සෛලමය මිදුළු රතු ඇට මිදුළු වේ. පසු කලෙක ඒවා අක‍්‍රීය වී තෙල් තැම්පත් වී කහ පැහැ ගැන්වුණු විට කහ ඇට මිදුළු ලෙස හඳුන්වයි. 

රතු රුධිර සෛල (Red Blood Cells- RBC)

මේවා ද්වී අවතලය, පැතිලිය. කාන්තාවන්ගේ රුධිර ඝන මිලි මීටරයක මිලියන 4.2 – 5.4 දක්වාත් පිරිමින්ගේ රුධිර ඝන මිලි මීටරයක මිලියන 4.7 – 5.1 දක්වා දක්නට ඇත. රතු සෛලවලට මෙම රක්ත වර්ණය ලැබී ඇත්තේ හිමොග්ලොබින් නම් වර්ණකය මගිනි. රතු සෛල හිමොග්ලොබින් හා බැඳුනු ඔක්සිජන් ඔක්සි හිමොග්ලොබින් ලෙස පරිවහනය කර ශරීර පටක වලට ඔක්සිජන් ලබාදේ. එසේම පටක වලින් නිදහස් වන CO2 මෙම රතු රුධිරාණු හා බැඳී ප‍්‍රශ්වාසයේදී ශරීරය නිරෝගීමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය ක‍්‍රියාවලදී ශක්තිය බවට පත් වේ. 

රතු රුධිර සෛල Erythrocytes ලෙස හඳුන්වයි. රතු රුධිරාණු වල ප‍්‍රධාන කාර්ය වන්නේ පෙනහළු වල සිට සිරුර පුරා ඔක්සිජන් පරිවහනය කිරීමයි. එසේම පටක වල පරිවෘත්තිය ක‍්‍රියාවේ අපද්‍රව්‍යයක් ලෙස ඇති වන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් ඉවත් කිරීමට පෙනහළු කරාගෙන යාමටද රතු රුධිර සෛල  උපකාරී වේ. රතු රුධිර සෛලවල න්‍යෂ්ටිකාවන් නොමැති නිසා මේවාට ඇත්තේ සීමිත වූ ජීවිත කාලයකි. සාමාන්‍ය ආයු කාලය දින 120 කි (මාස 4 කි). 

රතු රුධිර සෛල ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිවීම නිසා ඇති වන රෝග තත්ත්වය බහු සෛලතාවය (Polycythemia) ලෙස හඳුන්වයි. අදාල ප‍්‍රමාණයට වඩා රතු සෛල අඩු වීම නීරක්තිය/රක්තහීනතාවය (Anemia) ලෙස හඳුන්වයි. සාමාන්‍ය හිමොග්ලොබින් ප‍්‍රමාණය වන්නේ 12.18gdl-1 වේ. ඔක්සිජන් පරිවහනයේදී පෙනහලු තුල ඇති වන ඔක්සි හිමොග්ලොබින් සංයෝගය පටක තුලදී ඔක්සි හිමොග්ලොබින් වලින් O2 මුදා හැර නැවත හිමොග්ලොබින් බවට පත් වේ. 

  • O2 + Hb – පෙනහලු තුල දී  – ඔක්සි හිමොග්ලොබින්
  • ඔක්සි හිමොග්ලොබින් – පටක තුලදී – Hb + O2

සුදු රුධිර සෛල – WBC

රුධිර ඝන මිලි මීටරයක (මයික්‍රො ලීටරයක) සුදු රුධිරානු 4000 – 11000 ප‍්‍රමාණයක් පවතී. මේවා Leukocytes ලෙස හඳුන්වයි. මේවායේ න්‍යෂ්ටියක් පවතී. ශරීරය විවේකීව ඇති විට සුදු රුධිර සෛල අඩු අගයක් ගන්නා අතර ශාරීරික වෙහෙස වීමකදී වැඩි අගයක් ගනී.  මේවාට න්‍යෂ්ටියක් පවතින අතර RNA (Ribonucleic Acid) සෑදීමේ හැකියාව ඇත. මේ නිසා ප්‍රෝටීන සංස්ලේෂණයක් සිදු කරයි. 

සුදු රුධිරාණු කනීකාමය සුදු රුධිරාණු (Granulocytes) හා කණීකාමය නොවන සුදු රුධිරාණු (Agranulocytes) ලෙස වර්ග කෙරේ. 

කනීකාමය සුදු රුධිරාණු (Granulocytes) පහත පරිදි වර්ග කිහිපයකි. 

  • නියුට්‍රොෆීල (Neutrophils) – මේවායේ  ප‍්‍රමාණය 12mm 15mm වේ. ඇමීබාකාර චලනයක් ඇත. වැඩිහියන්ගේ දිනකට ඇට මිදුළු තුල මේවා බිලියන 100 ක් පමණ නිපදවයි. මේවා මේරීමට සතියක පමණ කාලයක් ගත වේ. මෙම මේරූ සෛල පටකයට සංක‍්‍රමණය වී පැය කිහිපයක් පමණ ජීවත් වේ. ශරීරය තුල ආසාධනයක් (Infection) හෝ පටක අනතුරක් (Tissue injury) පවතින ස්ථානයට නියුට්‍රොෆීල සංක‍්‍රමණය වේ. බැක්ටීරියාවන් හා අනෙක් ක්‍ෂුද්‍ර ජීවීන් ගිලගන්නා ක‍්‍රියාවක් (Phagocytic action) පවතින අතරම මේවායේ ඇති මයලෝ පෙරෝකසයිඩ් නැමති එන්සයිමය මගින් එසේ  ගිලගන්නා ලද බැක්ටීරියාවන් ජීර්ණය වේ. 
  • ඉයසොනොෆිල (Eosinophils)රතු ඇටමිදුළු තුල නිපදවයි. නියුට්‍රොෆිල වල ප‍්‍රමාණයම වේ. ඉයසනොෆිල ඇට මිදුළු වලින් රුධිර සංසරණයට නිදහස් වී පැයක් තුලදී රුධිර සංසරණයෙන් නිදහස් වී සම, පෙනහළු ආදී අවයව පටක වලට සංක‍්‍රමණය වේ. මේවායේද ගිල ගැනී‍මේ (භක්‍ෂණ) ක‍්‍රියාව පවතී. 
  • බේසොෆිල Basophils – රුධිර සංසරණය නිදහස් වී පැය කිහිපයක් තුලදී සමාශ්ලේෂ්මය ආදී පටක වලට සංක‍්‍රමණය වේ. මේවා Histamine සංස්ලේෂණය ගබඩා කරයි. ප‍්‍රදාහමය තත්ත්වයකදී නිදහස් කරයි. 

කණීකාමය නොවන සුදු රුධිරාණු ද පහත පරිදි වර්ග කිහිපයකි. 

  • මොනොසයිම (Monocytes) – රුධිරයේ ඇති විශාලතම සෛල වේ. එහි විශ්කම්භය 15 18mm වේ. සුදු රුධිරාණු වලින් 7%  පමණ වේ. මේවා සක‍්‍රීය චලනයක් දක්වන අතර ක්‍ෂුද්‍ර ජීවී භක්‍ෂණය කරයි. මේවා සාමාන්‍යයෙන් ප‍්‍රදාහයට පත් පටක තුලට ඇතුළු වන්නේ කණීකාමය සුදු රුධිරාණු පැමිණීමෙන් පසුව වේ. කාලීන ප‍්‍රදාහමය තත්ත්ව වලදී දැකිය හැක. 
  • වසා සෛල (Lymphocytes) – සුදු රුධිරාණු වලින් 28 – 42% ප‍්‍රමාණයක් පවතී. ශරීරයට ඇතුල් වන ආගන්තුක දේහ වලට ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර දැක්වීම මෙහි කාර්ය වේ. බොහෝ වසා සෛල කුඩා වේ. මේවා විශාල ලෙස වසා ගැටිති, ප්ලීහාව, තයිමසය, ටොන්සිල් ග‍්‍රන්ථි, වසා පටක (ආහාර ජීර්ණ පද්ධතිය තුල ඇත) වල දැකිය හැක. මේවා සංසරණයට වඩා නාල හරහා ඇතුල් වේ. මේවා වරින් වර සංසරණය හැර යමින් නැවත ඇතුල් වෙමින් අවුරුද්දක් හෝ ඊට වැඩි කලක් ජීවත් වේ. මෙහි සෛල ආකාර 02 කි. එනම්, ප‍්‍රතිශක්තියට දායක වන immunoglobulin නම් ප‍්‍රතිදේහය නිපදවන B වසා සෛල හා ආගන්තුක ප‍්‍රතිජන්‍ය වෙත පුතිචාර දක්වන (Cell mediated immune Response) T වසා සෛලයි.

මේවා සාමාන්‍යයෙන් නිපදවන්නේ වසා ග‍්‍රන්ථි ලෙස නමුත් දරුවෙකු ඉපදුණු විගස සමහර වසා සෛල  රතු ඇට මිදුළු තුලද යම් කාලයක් නිපද වෙයි. නමුත් වැඩි ප‍්‍රමාණයක් නිපදවන්නේ වසා ගැටිති, තයිමසය හා ප්ලීහාව තුලය. මේවායේද ප‍්‍රමාණය අනුව වර්ග 02 කි. 

  • කුඩා වසා සෛල 
  • මහා වසා සෛල 

ප‍්‍රමාණයෙන් වෙනස් වුවද හැඩයෙන් සමානය. ප‍්‍රතිදේහ නිපදවීම මගින් රෝග මර්දනය කරයි. 

රුධිර පට්ටිකා – Platelets/Thrombocytes

රුධිර සෛලවලට අමතරව ඊට වඩා කුඩා සෛල වර්ගයකි. රතු ඇටමිදුළු තුල නිපදවේ. රුධිරය කැටි ගැසීම සඳහා ඉවහල් වේ. රුධිර වහනයකින් අනතුරකට පත්වී රුධිරය වහනය වන විට එම ස්ථානයට පැමිණ රුධිර කැටියක් සාදා රුධිර වහනය නවත්වයි. සාමන්‍ය පුද්ගලයෙකුගේ මෙම අගය මයික්‍රො ලීටරයකට 1,50,000 – 450,000 දක්වා පවතී. මෙම ප‍්‍රමාණයට වඩා වැඩිවීම thrombocytosis ලෙස හඳුන්වන අතර අඩුවීම Thrombocytopenia ලෙස හඳුන්වයි. රුධිර පට්ටිකා නිපදවන්නේ විශාල ඇට මිදුළු වන Mega Karyocytes වලයි. රුධිර පට්ටිකා අඩු වූ විට වැඩිකර ගැනීමට දෙළුම්, වට්ටක්කා, විටමින් C අඩංගු ආහාර, පැපොල් කොල, බීටී රූට් වැනි එළවළු දායක වේ. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 10,000 – 20,000 දක්වා අඩු වුවහොත් රුධිර ගැලීමක් ඇති විය හැක. 

රුධිර ප්ලාස්මාව – Plasma

රුධිරයෙන් 55% ප්ලාස්මාවට අයත් වේ. රුධිරයෙන් ප්ලාස්මාව වෙන් කළ විට ඒවා ලා කහ පැහැතිය. මේවා මගින් ජලය, ලවණ, එන්සයිම පරිවහනය කරයි. 

රුධිර ප්ලාස්මාව මගින් ඉටුකරන කාර්යය

ද්‍රව්‍ය පරිවහනයේදී වැඩි කාර්යයන් පැවරෙන්නේ රුධිර ප්ලාස්මාවට වේ. 

  • CO2 වායුව බයිකාබනේට අයන වශයෙන් පටක වල සිට පෙනහළු කරා ගෙන යයි.
  • බහිස‍්‍රාවී ද්‍රව්‍ය එහි අවයව වල සිට ඒවා බැහැරලන අවයව දක්වා (අක්මාවේ සිට වකුගඩු දක්වා)
  • නිර්නාල ග‍්‍රන්ථි වලින් නිපදවෙන හෝමෝන ඒවායේ ක‍්‍රියාකාරී ස්ථාන කරා යැවීම
  • ක්‍ෂුද්‍රාන්තයේදී උරාගත් ආහාර සියලුම පටක කරා යැවීම
  • පේශි වල හා අක්මාවේ නිපදවන තාපය ශරීරයේ සෑම කොටස් කරා යැවීම. 
  • දේහ තරල යාමනය සඳහා අයන හා ජලය පරිවහනය. 
  • සුදු රුධිර සෛල හා ප‍්‍රතිදේහ ආසාධිත තැන් කරා යැවීම. 
  • රුධිර පට්ටිකා හා ප්‍රෝටීන අදාල තැන් කරා යැවීම. 
  • ශරීරයේ රුධිර පීඩනය හා පරිමාව පාලනය
  • pH අගය සමබරව පවත්වා ගැනීම. 

රුධිර ඝන – Blood Groups

රුධිර ඝන ප‍්‍රධාන ලෙස 4 කි. 

  • Group A
  • Group B
  • Group AB
  • Group O

දෙමාපියන්ගෙන් ආරමය වශයෙන් ලැබෙන ජාන මගින් රුධිර ඝන තීරණය වේ. එසේම මේවායේ රිසස් සාධකය (Rhesus factor) ඇති නැති භාවය අනුව වර්ග කෙරේ. රුධිර ඝන හඳුනාගන්නේ රුධිරයේ ඇති ප‍්‍රතිජන්‍ය (antigen) හා ප‍්‍රතිදේහ (antibody) අනුව වේ. ප‍්‍රතිදේහ යනු ප්‍රෝටීන වන අතර රුධිර ප්ලාස්මාව පවතී. එය ස්වභාවික ආරක්‍ෂණයකි. ඒවා මගින් ආගන්තුක ද්‍රව්‍ය හඳුනාගනී. උදාහරණ ලෙස විෂබීජ හඳුනා විනාශ කරයි. Antigen (ප‍්‍රතිජන්‍ය) යනු ප්‍රෝටීන අණුවන අතර රුධිර සෛල මතුපිට පිහිටයි. 

ABO System 

මෙම ක‍්‍රමය මගින් රුධිර ඝන 4 ක්ම වර්ග කරයි. 

  • රුධිර ඝන A – මෙහි A ප‍්‍රතිජන්‍ය රතු සෛල මත පවතින අතර anti B ප‍්‍රතිදේහ ප්ලාස්මාවේ පවතී. 
  • රුධිර ඝන B – මෙහි B ප‍්‍රතිජන වන anti A ප‍්‍රතිදේහ සෛල ප්ලාස්මාවේ ඇත. 
  • රුධිර ඝන O – මෙහි ප‍්‍රතිජන්‍ය (antigen) නොමැති අතර anti A හා anti B ප‍්‍රතිදේහ ප්ලාස්මාවේ පවතී. 
  • රුධිර ඝන AB – මෙහි A හා B ප‍්‍රතිජන්‍ය පවතින අතර ප‍්‍රතිදේහ නැත.  

වඩා බහුල රුධිර ඝන වන්නේ O වේ. මෙය සර්ව දායකයා ලෙස හඳුන්වයි. මෙම රුධිර ඝනය සහිත රුධිරය  ඕනෑම රුධිර ඝනයක් සහිත පුද්ගලයෙකුට ලබාදිය හැක. නමුත් ලබාගත හැක්කේ O ගෙන් පමණි. AB සර්ව ප‍්‍රතිග‍්‍රාහකයායි. සියළු රුධිර ඝන සහිත රුධිරය ලබාගත හැකි නමුත් ලබාදිය හැක්කේ AB ට පමණි. රුධිරය ලබාදීමේදී Rh සාධකය සැලකිය යුතුවේ. O රුධිරය ඕනෑම පුද්ගලයෙකුට ලබාදිය හැක. රුධිර කාණ්ඩ කිරීම හා රීසස් සාධකය සම්බන්ධව සැලකූ විට,

  • කාණ්ඩය AB – සර්ව ප‍්‍රතිග‍්‍රාහකයා දිය හැක්කේ AB ට පමණි.
  • කාණ්ඩ A – කාණ්ඩ A හා O ගෙන් ගත හැකිවන අතර AB ට හා A ට දිය හැක. 
  • කාණ්ඩ B – කාණ්ඩ B හා O ගෙන් ගත හැකි වන අතර කාණ්ඩ AB ට හා B ට දිය හැක. 
  • කාණ්ඩ O – සර්ව දායකයා ගත හැක්කේ O ගේ රුධිරය පමණි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here