ඩෙංගු රෝගය නිවසේදීම කළමනාකරණය කරගන්නේ කොහොමද?

අද වන විට ඩෙංගු රෝගයත් සීග්‍රයෙන් හිස ඔසවන බව අමුතුවෙන් කිව යුත්තක් ‍නොවේ. එය එසේ වුවත් ඒ පිළිබද බියක් මිනිසුන් අතර නොමැති තරම්ය. රෝහල් වාට්ටු ඩේංගු රෝගීන්නේ පිරී යන්නේ අන්න ඒ නිසාම විය යුතුයි. තම වටපිටාව පිරිසිදුව තබා ගන්නට බොහෝ දෙනෙකු තුළ වැඩි උනන්දුවක් නැති වුවත් මාරාන්තික ඩෙංගු රෝගයෙන් බේරීමට නම් ඩෙංගු මදුරුවා බෝවිය හැකි වටපිටාව පිරිසිදු කිරීම අපි අපේ ජීවිත වෙනුවෙන්ම ඉටු කරගන්නා මහඟු යුතුකමක් බව කිව යුතුමය. අද වන විට රෝහල්වල රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති නිසාම සෑම රෝගියෙකුටම රෝහල් ගත වීමට නොහැකි විය හැකියි. එවැනි තත්ත්වයකදී අපි ගෙදරදීම රෝගය කළමනාකරණය කර ගත යුතු වෙනවා. ඔබ ඩෙංගු රෝගියෙකු බව තහවුරු වූවොත් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත නිවසේ සිට රෝගය කළමනාකරණය කරගැනීමට ඔබට හැකියි. කෙසේ වුවද වෛද්‍ය උපදෙස් මත සිදුකරන රුධර පරීක්ෂණ අනුව ඔබ අනිවාර්යෙන්ම රෝහල්ගත විය යුතු නම් ඒ බව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරාවි. අන්න ඒ නිසාම ඔබ නිවසේ සිටිනවා යැයි සිතා වෛද්‍ය උපදෙස් ලබාගැනීම නතර නොකළ යුතුයි. 

ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් හා නිර්දේශයට අනුව පැය 12 කට වරක් හෝ පැය 8 කට වරක් සම්පූර්ණ රුධිර පරීක්‍ෂාවක්  (Full Blood Count – FBC) සිදු කරන්න. එසේම අදාල වාර්තාව හැකි ඉක්මණින් (අවම පැය 2ක් ඇතුලත) වෛද්‍යවරයාට පෙන්විය යුතුය. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 130,000/mm3 ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය බව මතක තබාගන්න. වෛද්‍යවරයා වෙත පැමැණීමේදී ඔබේ සියලු රුධිර පරීක්ෂණ වාර්තා පිළිවෙළින් රැගෙන එන්න. 

ඩෙංගු වැලදීමත් සමගම ඔබේ ඇඟට දැනෙන අපහසුතාවය මෙන්ම උණ වැඩි වීම දැකිය හැකි අතරම හිත්මතේ වේදනා නාෂක ඖෂධ වර්ග හෝ උණ අඩු කරන ඖෂධ ලබා ගැනීම කිසිසේත්ම සිදුසු නොවන බව හොඳින් මතක තබාගන්න. වෛද්‍ය උපදෙස් මත ඔබට ලබා ගත හැකි එකම වේදනානාශකය වන්නේ පැරසිටමෝල් පමණක් බවත් එය වෛද්‍යවරයා උපදෙස් දුන් මාත්‍රාව හා වාර ගණන පමණක් ලබා ගැනීමට සැලිකිලිමත් වෙන්න. මෙවැනි තත්ත්වයකදී NSAIDs වර්ගයේ වේදනානාශක මෙන්ම ස්ටිරොයිඩ් වර්ගයට අයිති ඖෂධ වර්ග ද නොගත යුතුය. තද උණ ඇත්නම් උණු වතුරෙන් තෙමාගත් පිරිසිදු රෙදි කඩක් වතුර මිරිකා ගෙන ඉවත් කොට උණුසුම යාමට පෙර ශරීරය පිස දැමීම සිදු කළ හැකිය. 

ඩෙංගු රෝගියෙකුට විවේකය අත්‍යවශ්‍ය වේ. රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වන තුරු නිසි ‍විවේකයක් ලබාගැනීඹ අත්‍යවශ්‍ය බව තරයේ සිහිතබා ගන්න.

එසේම හැකිතාක් දියර වර්ග ලබා ගැනීම වැදගත් වන අතරම ආහාර අරුචියක් නැතිනම් සාමාන්‍ය පරිදි ආහාර ලබාගැනීමට ඔබට හැකියි.  මේ තත්ත්වයේදී ආහාරයේ වර්ණ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ රුධිර වහන තත්ත්වයක් ඇති වුවහොත් එය හඳුනා ගැනීමට බාධාවක් නොවිය යුතු නිසාය. 

දියර වර්ග ලබාගැනීමේදී පළතුරු යුෂ, තැඹිලි, කැඳ, ජීවනී වැනි ලවණ සහිත දියර පානය කිරීම ඉතා වැදගත් වන අතරම නිරෝගී දින වලට සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම වැදගත් වේ. 

දියර පානය කිරීමේදී ඔබ විසින් පැයකදී පානය කළ යුතු දියර ප‍්‍රමාණය වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් විය යුතු අතරම දියර මැනීමට නිසි ලෙස ක‍්‍රමාංකනය කරන ලද කෝප්පයක් භාවිත කළ යුතුය. 

ශරීරයේ බර පැයකදී පානය කළ යුතු දියර ප‍්‍රමාණය
5kg 20ml
10kg 40ml
20kg 60ml
30kg 70ml
40kg 80ml
50kg 100ml
50kg ට වඩා වැඩි 100ml

 

මුත‍්‍රා පිටවීම

සාමාන්‍යයෙන් ශරීරයේ බරට (කිලෝග‍්‍රෑම් වලින්) සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් (මිලි ලීටර වලින්) පැයකට පිටවන තරමට දියර පානය කළ යුතුය. අවම වශයෙන් පැය 4 කට වරක් වත් මුත‍්‍රා පිට කිරීම හා එම ප‍්‍රමාණය මැන බැලීම කළ යුතුය. 

රෝගියාගේ බර පැයකදී පිට කළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය පැය 4 කදී පිට කළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය
20kg 20ml 80ml
40kg 40ml 160ml
60kg 60ml 240ml

 

මුත‍්‍රා ප‍්‍රමාණය මෙයට වඩා යම් ප්‍රමාණයකින් වැඩි වීම ගැටළුවක් නොවන අතරම යම් හෙයකින් මුත‍්‍රා ප‍්‍රමාණය මෙයට වඩා අඩු නම්, මුත‍්‍රා ප‍්‍රමාණය වැඩි කර ගැනීමට දියර ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි කළ යුතුය. මීට අමතරව පිපාසය ඇත්නම් වැඩිපුර දියර ප‍්‍රමාණයක් දිනකට කිහිප වරක් පානය කිරීමේ වරදක් නැත. එහෙත් පිපාසය දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය බව අමතක නොකරන්න. ඔබ වෛද්‍යවරයා හමුවීමට යන විට පහත වගුවේ ආකාරයට තොරතුරු සටහන් කරගෙන යාම ඉතා වැදගත් වනු ඇත. 

දිනය සහ වේලාව පානය කළ දියර ප‍්‍රමාණය දිනය සහ වේලාව පිට කළ මුත‍්‍රා ප‍්‍රමාණය

 

නොනවත්වා පවතින පාචනය හෝ වමනය (එම නිසා ඇති වන විජලනය ඇති වීමේ අවදානම), තද තෙහෙට්ටු ගතිය, ඕනෑම ස්ථානයකින් රුධිර වහනය, තද හිසරදය, උදරයේ තද වේදනාව වැනි තත්ත්ව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඩෙංගු රෝගයේදී උණ බැස යාම යනු රෝගය සුව වූ බවට සාධකයක් නොවිය හැකි බැවින් ඔබට යම් අපහසුතාවයක් ඇත්නම් නොපමාව රෝහලක් වෙත යන්න. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here