වර්ණ මගින් දරුවෙකු උත්තේජනය වන්නේ කෙසේද?

දරුවන් උපන් විගස ආලෝකයට සංවේදීයි. ඉපදී මුල් දින කිහිපය තුලදී දීප්තිමත් ආලෝකයක් දුටු විට දෙනෙත් පියා විසිරුණු ආලෝකය දෙසට නෙත් හරවනු දැකිය හැකියි. එහෙත් මාස තුනට අඩු දරුවන්ට වස්තුවක් පිහිටි දුර අනුව ඇස් දෙකම එක එල්ලේ යොමු කල නොහැකියි. එහෙත් සෙන්ටිමීටර 30 ක් පමණ දුරින් පිහිටි වස්තූන් වෙත මාස 3 ට අඩු දරුවන්ට දෑස් යොමු කළ හැකියි. ඉපදී සති 3 ක් පමණ වන විට මව කතා කරන විට, මව්කිරි ලබා දෙන විට මවගේ මුහුණ දෙස බලා සිටින බව දැකිය හැකියි.  

සති 3 ක් පමණ වයස දරුවකුට මවගේ මුහුණ එහා මෙහා චලනය වන විට එය බලා සිටින්නටත් අංශක 900 කෝණයකින් ඇස් හරවා බැලීමටත් හැකිවේ. එහෙත් ආලෝක ප‍්‍රතීකය (ඇසට ආලෝකය වැටුණු විට ඇසෙහි කණීනිකාව කුඩා වීම) කුඩා දරුවකු තුලින් දැකීමට මසක් පමණ ගත වේ. මාසයකට පමණ පසු ජනේලයකින් වැටෙන එළිය හෝ මේස ලාම්පුවක ආලෝකය දකින්නට දෙඇස් හා බෙල්ල හැරවීම දැකිය හැකියි. 

මෙසේ දරුවන් ආලෝකයට සංවේදී වීම උපතින් මාසයක් පමණ ගත වූ තැන සිදු විය හැකි අතරම මුහුණ ඉදිරිපිට දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩුවක් තැබූ විට ඒ දෙස ඔවුන්ගේ දෑස් යොමු කරයි. එහෙත් එක දිගට බලා සිටීමට නොහැකි අතර තත්පරයක් දෙකක් පමණ එදෙස බලාහිඳී. එසේම මාස 3 ක් පමණ වන විට දෑස් ඉදිරිපිට ඇති සෙල්ලම් බඩුව තිරස් හා සිරස් අතට චලනය වන ආකාරය අංශක 800 ක කෝණයකින් මුහුණ හරවා බැලීමටද හැකියාව ලබයි. 

මෙසේ වර්ණ හා උත්තේජනය ලබන දරුවා මාස 6 ක පමණ වන විට සෙන්ටිමීටර 30 ක් දුරින් ඇති වර්ණවත් සෙල්ලම් උපකරණ දෙස හිස හා ඇසුත් හරවා බැලීමට හැකියාව ලබනවා සේම දෑත් විදා එම සෙල්ලම් උපකරණය අල්ලා ගැනීමටද උත්සහ දරයි. එසේම මෙම දරුවාගේ අතට දුන් සෙල්ලම් බඩුව වැටුණේ නම් එය පෙනෙන ආසන්න තැනක තිබේ නම් ඒ දෙස බැලීමටත් නොපෙනෙන දුරක තිබේ නම් දෙඅත් හා දෑස ඉලක්කයකින් තොරව සොයා බලා එය සෙවීම අත්හරී. එසේම මාස 6 දීද තියුණු ආලෝකය දුටු විගස ඇස් වසා ගනී. 

මාස 6 ආසන්නයේ සිටින දරුවන් අනෙක් අය කරන කියන දේ පිළිබඳව විමසිලිමත්ව බලා හිඳීන අතර මොවුන් ප්‍රතිචාර දැක්වීමේදී ඇස් දෙකම එකට චලනය වේ. එසේ නොවන දරුවන් තුල ඇති දෘශ්‍ය ගැටළු එනම් වපරය මේ වන විට හඳුනාගත හැකි වනවා මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමද කළ යුතු වේ. 

දරුවා වැඩෙත්ම විමසිලිමත් බව වැඩිවන හෙයින් මාස 9 දී පුද්ගලයින් හෝ සිද්ධීන් දෙස අවධානයෙන් බලා සිටින්නටත් ඒ වෙත ප‍්‍රතිචාර දැක්වීමත් හොඳින් සිදු කරයි. වසරක් වන විට දරුවා දන්නා හඳුනන පුද්ගලයින්ගේ මුහුණු හඳුනා ගන්නටත් ගහකොළ, සතුන්, මල් ආදිය දෙස බලන්නටත් උගනී. එසේම පින්තූර දෙස බලා සිටින්නටත් ඒවා අනුව ප‍්‍රතිචාර දක්වන්නටත් පුරුදු වන්නේ දෘශ්‍ය සංවර්ධනය වැඩි වන හෙයිනි. 

වයස මාස 15 – 18 වන විට හුරු පුරුදු පුද්ගලයන් හඳුනා ගන්නට හැකියාව ලබන අතරම ඔවුන් ඈත් මෑත් වන විට ඒ දෙස බලා සිටී. වයස අවුරුදු 2 ක් වන විට පින්තූර දෙස බලමින් ඒවායේ දේ හඳුනාගන්නටත් දරුවා සමත් වේ. එසේම මවගේ හෝ වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් වරක් පෙන්නූ විට එය නැවත පෙන්වන විට හඳුනා ගැනීමට දරුවා සමත් වේ. 

වයස අවුරුදු 2 ½  දී පොතක ඇති පින්තූර, කතා විස්තර කර දුන් පසු නැවත එය හඳුනා ගන්නට මෙන්ම දරුවාගේම පින්තූරයක් පෙන්වා පසුව නැවත පෙන්වීමේදී හඳුනා ගන්නට හැකිවා සේම වයස අවුරුදු 3 වන විට වැඩිහිටියෙකු තරමටම දුර බැලීමට පුළුවන් වේ. 

උපතේදී කළු හා සුදු වර්ණ පමණක් හඳුනන අතර ක‍්‍රමයෙන් වැඩෙත්ම වර්ණ සඳහා සංවේදන දක්වන මුත් මූලික වර්ණ හඳුනා ගැනීමට වයස අවුරුදු 3 දී පමණ වේ. එහෙත් උපතේ සිටම පැහැදිලි වර්ණවත් ක‍්‍රීඩා උපකරණ දකින්නට සැලැස්වීමත් ඒවායේ චලනයන් දැකීමට සැලැස්වීමත් තුලින් ඇස් වල ස0වේදීතාව වැඩි දියුණු කල හැකියි.

බිත්තර සුදු පාටයි, මැද කහපාටයි, පොල් මද සුදු පාටයි, ආදී ලෙසින් ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන සෑම අවස්ථාවකම ඒවා දරුවාට ඇසෙන ලෙසින් කීම මගින් පවා වර්ණ පිළිබඳ උත්තේජන වැඩි කල හැකි වේ. එසේම ඇඳුම් අන්දවන විට ඒවායේ පාට ගැන කතා කිරීම ද, කෑම කවන විට ආහාරයේ පාට ගැන කතා කිරීම ද දරුවාගේ වර්ණ පිළිබඳ උත්තේජනයන් වැඩි කළ හැකි වේ. තවද විනෝදාස්වාදය සමගින් ගීත ගායනය කිරීමේදී නිර්මාණශීලී ලෙස වර්ණ හඳුන්වා දීමට හැකි වේ. 

ජම්බු ජම්බු රතු පාටයි

ඉදුණු ජම්බු රතු පාටයි

 

මගෙ පොඩි තාරා- පී. පී. ගෑවා

හොට රතු පාටයි – ඇඟ සුදු පාටයි

 

ගිරවගේ හොට රතු පාටයි – උගෙ බෙල්ලත් රතු පාටයි

තනිකර ඇඟ කොල පාටයි – ලස්සන ගිරවා

 

මේ ආදී ලෙසින් ක‍්‍රීඩාවෙන් මෙන්ම විනෝදයෙන් දරුවන් සඳහා උත්තේජන ලබාදීම තුලින් මොලයට ලැබෙන සංවේදන හරහා දරුවන් වර්ණ පිළිබඳ උත්තේජන ලබා මොලයේ සංවර්ධනය තීව‍්‍ර කරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here