- Advertisement -

Scoliosis හෙවත් පැතිකුදය ගැන තව තවත් දැනුවත් වෙමු

-

පැතිකුදය යනු කොදු ඇටපෙළේ ඇතිවන ත්‍රිමානාත්මක සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයයි. බාහිරින් බැලූ කල කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමක් පෙන්නුම් කරයි. මෙය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කුඩා ළමුන්ගේ හෝ නව යොවුන් වියෙහි දරුවන්ගේය. මෙහි පැතිරීම හා බලපෑම වැඩි වශයෙන් බලපාන්නේ පිරිමි ළමුන්ට වඩා ගැහැණු දරුවන් සඳහාය. කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමත් සමගම කොදුඇටපෙළෙහි කශේරුකා (vertebrae) එක් පසකට භ්‍රමණය (rotate) වීමට පටන් ගනී. එවිට ඉළ ඇට කූඩුව (ribcage) උරස් අස්ථිය (scapula) සමඟ  එක් පසකින් කැපී පෙනෙන ලෙස පිටතට නෙරායාමක් පෙන්නුම් කරයි. මෙසේ කොදුඇටපෙළෙහි ව්‍යුහය වෙනස් වීමත් සමගම, පහත ආකාරයට මිනිස් දේහයේ බාහිර වෙනස්කම් හටගනී.

1.ඉණ මට්ටමේ අසමානතාවය සමග උකුලේ එක් පැත්තක් අසාමාන්‍ය ලෙස ඉහළට උස් ව පිහිටයි. 

- Advertisement -

(Pelvic asymmetry)

  1. උරහිස් මට්ටම අසමාන වන අතර එක් උරහිසක් අනෙක් උරහිසට වඩා ඉහළින් පිහිටයි.

(Shoulder asymmetry)

  1. එක් උරහිස් තලයක් (උරස් අස්ථියක්) ඉහළ හා කැපී පෙනේ.

(Scapular prominence)

  1. අත සහ කද අතර අසමාන පරතරයන් පිහිටයි.

(Asymmetrical arm gap)

  1. ඉදිරියට නැමෙන විට උරස් කූඩුවේ එක් පසක් අනෙක් පසට වඩා ඉහළින් පිහිටයි.

(Rib hump/ Rib prominence)

  1. මුළු සිරුරම එක් පසකට නැඹුරු වීමත් සමගම හිස ශරීරය සමග කේන්ද්‍රගත නොවේ.

(Asymmetrical vertical alignment)

ඔබේ දරුවා කොන්දේ වේදනාවකින් පෙළෙනවා නම්, දෙමව්පියන් වන ඔබ මේ රෝගී තත්ත්වය හා ශරීර වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ. එමගින් දරුවන්ගේ වර්ධනයට සමගාමිව සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම පැතිකුද තත්ත්ව හදුනාගෙන, ඒවාට මූලික ප්‍රතිකාර ලබා එම තත්ත්ව මගහරවා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, බරපතල ලෙස වර්ධනය වන පැතිකුද තත්වයන් වලදී ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට පවා ගැටලු ඇතිවිය හැක. ඔබේ දරුවාට පැතිකුදය  තිබේදැයි නිවසේදීම පරීක්ෂා කල හැක. ඉහත රූපයේ ආකාරයට දණහිස් නොනමා ඉදිරියට නැමීමට සලස්වා අසමානතාවක් ඇත්නම් අදාළ වෛද්‍යවරයකු වෙත හැකි ඉක්මනින් යොමුකල යුතු වේ.

ගැහැණු දරුවන්ගේ ඉතා වැදගත් කාරණය වන්නේ ඔවුන් වැඩිවියට පත්වීමට ආසන්නයේ ඉතා සීඝ්‍ර දේහ වර්ධන වේගයක් පෙන්නුම් කිරීමයි. ඒ හේතුවෙන් පැතිකුද තත්ත්වයක් තිබුණහොත් මෙම කාල සීමාවේදී එය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ. එමනිසා වැඩිවියට පත්වීමට පෙර හෝ වැඩිවියට පත්වන කාලසීමාවේදී මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

පැතිකුදය ඇතිවන හේතු සහ එහි වර්ගීකරණය 

පැතිකුදය එය හටගන්නා හේතුව මත පහත ආකාරයට වර්ගීකරණය කළ හැක.

  • හේතුවක් නොදන්නා පැතිකුද තත්ත්ව (Idiopathic scoliosis)
  • මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුද තත්ත්ව (Neuromuscular scoliosis)
  • සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුද තත්ත්ව (Congenital scoliosis)
  • අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුද තත්ත්ව (Degenerative scoliosis)

මෙයින් පළමුවෙන් සදහන් කළ වර්ග 3 වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ පැතිකුද තත්වයන්ය.

 

හේතුවක් නොදන්නා පැතිකුදය (Idiopathic scoliosis)

මෙම පැතිකුද වර්ගය හටගන්නා හේතුව නොදන්නා අතර ඉතා බහුලව දක්නට ලැබෙන වර්ගයයි. එය හටගන්නා වයස් පරතරය අනුව වර්ග 3කට බෙදිය හැක.

1) ළදරු අවදියේ හටගන්නා පැතිකුදය (Infantile Idiopathic Scoliosis) – 0.5%

මෙය උපතේ සිට අවුරුදු 3ත් අතර ළදරුවන්ගේ හටගන්නා පැතිකුද තත්ත්ව වන අතර වෙනත් උපතින්ම හටගන්නා ආබාධ නොමැති අවස්ථාවලදී හඳුනාගනී. 

2) බාල අවදියේ හටගන්නා පැතිකුදය (Juvenile Idiopathic Scoliosis) – 10.5%

මෙම පැතිකුද තත්වය අවුරුදු 4ත් 10ත් අතර බාල දරුවන්ගේ හටගන්නා අතර වැඩි වශයෙන් පිරිමි දරුවන්ගේ දක්නට ලැබේ. මෙම පැතිකුද තත්ත්වය වැඩි වශයෙන් උරස් ප්‍රදේශයේ ඇතිවන අසාමාන්‍යතාවක් ලෙස දක්නට ලැබේ. එමනිසා මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් බරපතල ලෙස හෘදය හා පෙනහලු වලට බලපානු ඇත.

3) නව යොවුන් වියෙහි හටගන්නා පැතිකුද(Adolescent Idiopathic Scoliosis) – 89%

මෙය දරුවන්ගේ ඉතාමත් බහුලවම හටගන්නා පැතිකුද තත්ත්වය වන අතර අවුරුදු 10ත් 18ත් අතර කාලයේදී (අස්ථි පරිණතභාවයට පත් වීමට පෙර) හටගනී. ගැහැනු දරුවන්ගේ බහුලව දක්නට ලැබෙන අතර, 4 – 5% ක ප්‍රමාණයක නව යොවුන් දරුවන්ගේ මෙය හටගනී. කළින්  සදහන් කළ පරිදි වැඩිවියට පත්වන අවදියේ මෙය සීඝ්‍ර ලෙස වර්ධනය වේ.

 

මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුදය (Neuromuscular scoliosis)

කොදුඇටපෙළ ශක්තිමත්ව සහ ස්ථාවරව තබාගැනීමට උපකාර වන මාංශපේෂි නිසි ආකාරව ක්‍රියා නොකරන රෝගී අවස්ථාවලදී මෙම පැතිකුද තත්ත්වය හටගනී. එනම්, කොදුඇටපෙළ ශක්තිමත්ව තබාගන්නා මාංශපේෂි දුර්වල වූ අවස්ථාවල හෝ ඒවා ප්‍රමාණය ඉක්මවා තද වූ අවස්ථාවල මෙම පැතිකුදය හටගනී. එය පහත දැක්වෙන රෝගී අවස්ථාවලදී හටගත හැකිය.

ස්නායු ආශ්‍රිත ‍රෝග

  • මස්තිෂ්ක ආඝාතය (Cerebral palsy)
  • පෝලියෝ (Poliomyelitis)
  • කොදුඇටපෙළෙහි මාංශපේෂි ක්ෂීණවීම (Spinal muscle atrophy)
  • සුෂුම්නාව හා ස්නායු දේහයෙන් පිටතට නෙරායාමේ තත්ත්ව (Myelomeningocele)
  • කොදුඇටපෙළ ආශ්‍රිතව සුෂුම්නාවට හානිවන අවස්ථා (Spinal trauma)

මාංශපේෂි ආශ්‍රිත රෝග;

  • උපතින්ම සිදුවන හන්දි තදවීම් (Congenital joint contracture/Arthrogryposis)
  • ක්‍රමක්‍රමයෙන් මාංශපේෂි පරිහානි වීමේ තත්ත්ව (Duchenne Muscular Dystrophy)

සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුදය (Congenital scoliosis)

මෙම පැතිකුදය මිනිසුන්ගේ උපතේ සිටම ඇතිවන තත්වයකි. එයට හේතුව වන්නේ කොදුඇටපෙළ නිර්මාණය වීමේදී නිවැරදි ලෙස අස්ථි නියමිත හැඩයෙන් එකිනෙක සම්බන්ධ නොවීමයි. අලුත උපන් ළදරුවන්ගේ 10,000න් එක් අයෙකුට මෙම රෝගී තත්වය හටගනී. එය ඔබට පහත ආකාරයට සරළව උපකල්පනය කළ හැක.

“සෘජුකෝණාස්‍රාකාර ගඩොල් කැට එක මත එක තැබීමෙන් ලැබෙන සෘජු ආකාර ස්ථම්භය නීරෝගී කොදුඇටපෙළ යැයි උපකල්පනය කළහොත්, මෙම රෝගී තත්ත්වයේදී එහි මැදින් ත්‍රිකෝණාකාර ගඩොලක් පිහිටයි. එමනිසා මුළු කොදුඇටපෙළම එක් පසකට නැමීමක් හෝ වක්‍ර වීමක් සිදුවේ”

අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුදය (Degenerative scoliosis)

වයස්ගත වීමේදී සිරුරෙහි ඇතිවන ස්වභාවික වෙනස්කම් හේතුවෙන් සුෂුම්නාව සහ ඊට ආශ්‍රිත ව්‍යුහයන් පරිහානියට පත්වීම නිසා මෙය හටගනී. සාමාන්‍යයෙන් වයස අවුරුදු 65ක් පමණ වනවිට මේ තත්වය හටගනී.

පැතිකුදය සඳහා වන ප්‍රතිකාර සහ විසදුම්

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණයක් (spinal brace/spinal orthosis) මගින් පැතිකුද තත්ත්වයට ප්‍රතිකාර කිරීම සිදුකල හැක. පැතිකුදය නිවැරදි කිරීම සඳහා ඉතාමත් ඵලදායි සහ සරළම ක්‍රමය වන්නේ ආධාරක උපකරණ (spinal brace) පැළදීමයි. එමගින් කොදුඇටපෙළෙහි ඇතිවන වක්‍රතාවය තවතවත් වැඩිදියුණු වීම අඩාලවීම හෝ නැවතීම සිදුවේ.

Spinal orthosis brace

ඉතාමත් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීම සදහා මෙම උපකරණය අදාල කාලසීමාව තුල අදාල පැය ගණන (දිනකට) පැළඳිය යුතු වේ. අස්ථි වර්ධ‍නය නතර වන කාලසීමාව වන තෙක්ම මෙය පැළදීම වඩාත් යෝග්‍ය වේ. තවදුරටත්, මෙම පැතිකුද තත්ත්වය නිවැරදි කළ හැකි උපරිම මට්ටමට ළගාවීමට නම් භොතචිකිත්සක (physiotherapy) ප්‍රතිකාර ක්‍රම සිදුකිරීම අනිවාර්ය වේ. එමගින් කොදුඇටපෙළෙහි මාංශපේෂි සමබරව පවත්වා ගැනීමෙන් දේහ ඉරියව් නිවැරදි මට්ටමට හැඩගස්වා ගැනීම සිදුකළ හැකිවේ. මෙහිදී එක් එක් රෝගියාට වෙන් වෙන්ව විශේෂිත වූ ක්‍රම ඔස්සේ පැතිකුදයේ වක්‍රතාවය නිවැරදි කිරීමට අදාල ව්‍යායාම සිදුකරන අතර ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු වලදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනු ලැබේ. 

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණ (spinal brace/spinal orthosis) පිළිබඳව වැඩි විස්තර ඉදිරි ලිපියකදී බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අංගාදේශක හා ඍජුකරණඥවේදී (Orthotist and Prosthetist) අරුණ මදුරංග මහතා

ජාතික රෝහල

කොළඹ

 

 

මේ හා සම්බන්ධව වැඩි දුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් 0774116964 අංකයට අමතන්න. 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article