- Advertisement -

උපතේ සිට දරුවාගේ බර සටහන අඩු වැඩි වෙන්න බලපෑ හැකි හේතූ

-

ළමා වර්ධනය තක්සේරු කිරීම සඳහා දරුවාගේ බර, දිග/පළල බලා ඒවා වර්ධන අගයන් සමග සංසන්දනය කිරීම කරනු ලබයි. මෙහිදී වර්ධනය නියමිත පරිදි සිදු වේද නැතහොත් වර්ධන ගැටළුවක් ඇති ද යන්න සොයා බලා ඒ අනුව මැදිහත් වීම් සිදු කරනු ලබයි. 

මෙම බර සටහන නිර්මාණය කර ඇත්තේ නිර්දේශිත සෞඛ්‍ය හුරු පුරුදු වලින් යුතු එනම් මව්කිරි ලැබීම්, රෝග වලට නියමිත පරිදි ප‍්‍රතිකාර ලැබීම්, මව දුම්පානය නොකිරීම වැනි රටවල් 6 ක දරුවන්ගෙන් ලබාගත් නියැදි සාම්පල් මත පදනම් කොට විශ්ලේෂණය සිදුකොට සකසාය. මෙම අධ්‍යයනය සඳහා උපතේ සිට වසර 2 ක් යනතුරු එක කණ්ඩායමක්ද වයස අවුරුදු 11/2 – 6ත් අතර වූ තවත් දරුවන් කන්ඩායමක්ද වූ තවත් දරුවන් කණ්ඩායමක්ද යොදා ගෙන මෙම නියැදි දෙකෙන්ම ලබාගත් දත්ත ඒකාබද්ධ කර උපතේ සිට වයස අවුරුදු 5 දක්වා දරුවන් සඳහා මෙම වර්ධන සම්මතය සකස් කර ඇත. 

- Advertisement -

මෙම සම්මතයන්ගෙන් පෙන්වා දෙනු ලබන්නේ නිර්දේශිත පරිදි ආහාර හා සෞඛ්‍ය රැකවරණය එනම් ප‍්‍රතිශක්තීකරණය හා රෝගී රැකවරණය ලබාදීම තුලින්  ඕනෑම රටක දරුවන් එකම වර්ධන රටාවක් පෙන්නුම් කරනු ලබන බවයි. මෙසේ සැමට එකම වර්ධන රටාවක් පෙන්නුම් කරන බර සටහනක් තිබියදී අපේ දරුවන්ගේ බර සටහන් අඩු වැඩි වීම් ඇති වන්නේ ඇයි යන්න විමසා බැලිය යුත්තක්. 

ගර්භනී කාලය තුල මවගෙන් ලබාගන්නා පෝෂණය අනුව සෑම දරුවකුගේම උපත් බර තීරණය වේ. මේ සඳහා මවගේ ශරීර ස්කන්ධ දර්ශකය, රෝගී තත්ත්ව, මව වටා පරිසරයේ බලපෑම වගේම ඒ හේතූ නිසා හෝ ජානගත ලක්‍ෂණ මගින් ඇති වන ආබාධ තත්ත්ව මගින්ද දරුවාගේ උපත් බරට බලපෑම් ඇති කරනු ලබනවා. ඒ කෙසේ උනත් නිවැරදි සෞඛ්‍ය තත්ත්වයකදී සිදුවිය යුත්තේ උපතේදී බර සටහනේ හිමි වූ තැනට අනුරූපීව වර්ධනය සිදුවීමයි. මෙය පැහැදිලි කරගැනීමට දරුවකුගේ සෞඛ්‍ය වර්ධන සටහනේ පහත බර ප‍්‍රස්ථාරය දෙස යොමුවන්න. එහිදී කලාප සලකුණු  කල අන්දමට බර ප්‍රස්ථාරය ගමන් කරනු දැකිය හැකිය .

මෙම ප‍්‍රස්තාරයේ උපත් බර පළමු ඉර මත ලකුණු කළ පසු ඒ බර වර්ධන රේඛාව පිහිටි තැන සඳහා කලාප ලෙස වර්ණ ගන්වා ඇතිවා මෙන්ම එම උපත් බරට අනුපාතික ලෙස එම කලාපය තුල ගමන් කල යුතු අන්දම රේඛා මගින් දක්වා තිබෙනවා. එම වර්ධන රේඛාව ගමන් කළ යුත්තේ ඒ අනුවයි. 

එහෙත් ප‍්‍රමාණවත් බර වැඩිවීමක් සිදු නොවූ විට/ප‍්‍රමාණයට වඩා බර වැඩි වූ විට, අඩු වූ විට වර්ධන රේඛාව කලාපයෙන් බැහැරව පහළට, සමාන්තරව / ඉහලට  ගමන් කිරීම තුලින් වර්ධනය ගැටලු සහගත බවත් හඳුනාගත හැකි වනවා. 

මෙසේ බර සටහන අඩු වැඩි වීමට හේතූ වන්නේ දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට පෝෂණය නොලැබීම හෝ යම් රෝගී තත්ත්වයක් හෝ විය හැකියි. මෙය සිදු වන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. 

මව්කිරි පමණක් දෙන මාස 6 ට අඩු දරුවකුගේ නම්,

  • ප‍්‍රමාණවත් තරම් කිරි නොලැබීම
  • මව්කිරි ආරම්භය ප‍්‍රමාද වීම
  • කිරි දීමට දරුවා නිවැරදි ලෙස අල්වා ගැනීමට හෝ ස්ථාපිත කිරීමට මවට නොහැකි වීම
  • පියයුරෙහි වරකට විනාඩි 20 ක් එනම් එම පියයුර හිස් වන තුරු කිරි නොදීම
  • එක කිරි වේලකදී පියයුරෙන් පියයුරට මාරු කරමින් මුල් කිරි පමණක් ලබාදීම යන කරුණු හේතු විය හැකියි.

මව්කිරි පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් මව ලබා නොතිබීම මීට හේතු විය හැකිවා මෙන්ම බාහිර බලපෑම් මගින් මව වෙත එල්ල වෙන දරුවාට කිරි මදි/කිරි නෑ, පියයුර කුඩා නිසා ප‍්‍රමාණවත් ලෙස කිරි එරෙන්නේ නෑ වැනි මිත්‍ය මත නිසා මවට ඇතිවන මන්දෝත්සාහයද හේතු විය හැකියි. එසේම මවගේ රෝගී තත්ත්ව මත හෝ මවට ඇති විය හැකි අපහසුතා ආදියද මීට හේතූ විය හැකියි. එසේ හෙයින් අලුත උපන් දරුවා සඳහා ප‍්‍රමාණවත් ලෙස මව් කිරි ලැබෙන බවට වගබලා ගැනීම වටී. එසේම දරුවාගේ හෘදය හෝ වෙනත් ආබාධ තත්ත්ව, තොල් වල ඇති වන විකෘතිතා, ආහාර මාර්ග පද්ධතිය ආශ‍්‍රිත ගැටළු නිසාද නියමිත බරක් හෝ නිවැරදි වර්ධන වේගයක් දරුවාට අහිමි විය හැකියි. 

මෙසේ හෙයින් ගර්භනී කාලයේ සිටම මව්කිරි පිළිබඳ දැනුමින් මව පෝසත් වීමත්, ප‍්‍රායෝගිකව මව්කිරි දීම සඳහා දැනුම ලබාගත හැකි සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමත් වැදගත් වේ. 

එසේම කිරි මවකට අවැසි ශක්තිය ධෛර්ය සඳහා ස්වාමිපුරුෂයා, නිවැසියන් හෝ නිවසේ වැඩිහිටියන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙතින්ද ලැබෙන සහය සැලකිල්ල ඉතාමත් වටී. එමෙන්ම ගර්භනී කාලය තුලම ඇති කරගන්නා චිත්ත ශක්තිය මම මගේ දරුවාට මව්කිරි වලින් පෝෂණය කළ හැකියි යන ධනාත්මක චින්තනය වැදගත් වේ. 

මාස 06 ඉකුත්ව අමතර ආහාර ආරම්භ කරන අවස්ථාව සඳහා සූදානමක් තිබිය යුතුවා මෙන්ම නිවැරදි හා අවශ්‍ය ලෙස පෝෂණ සංඝටක සපිරි ආහාරයන් ලබාදීම පිළිබඳව දැනුවත් විය යුතුයි.

අමතර ආහාර ආරම්භ කිරීමේදී,

  • අර්ධ ඝන ආහාර වලින් පටන් ගත යුතුයි. 
  • ආහාරයේ දියර ස්වභාවය වැඩි නොවිය යුතුයි (මන්ද එවිට අවශ්‍ය පෝෂණය අහිමි වේ) 

 

පෝෂණය අවශ්‍ය පරිදි නොලැබීම නිසා බර සටහනේ බර අඩු වැඩි වේ. එසේ විය හැකි අවස්ථා වනුයේ, 

  • නියමිත කාලයේදී අමතර ආහාර ආරම්භ නොකිරීම. 
  • නියමිත කාලයට පෙර අමතර ආහාර ආරම්භ කිරීම (මාස 6 ට පෙර)
  • වයස අනුව ලබාදෙන ආහාර ප‍්‍රමාණාත්මකව වැඩි නොකිරීම. 

ආහාර ලබාදීමේදී

තේ හැඳි 2 /3 න් පටන් ගෙන ක‍්‍රමයෙන් වැඩි කරන්න 

වයස මාස 7 දී අඩු කෝප්ප ½  ක්

මාස 8 – 9 දී අඩු කෝප්ප ½  ට වඩා ටිකක් වැඩියෙන් 

මාස 9 – 12 දී අඩු කෝප්ප ¾  ක්

මාස 12 දී අඩු කෝප්පයක්

  • ආහාරයේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් නොවීම. 
  • විශේෂයෙන් සීග‍්‍ර වර්ධනයක් ඇති කාලයේ ආහාරයේ ප්‍රෝටීන ආහාර බහුල නොවීම. 
  • ආහාරයේ ඉක්මන් හා පහසුවෙන් ශක්තිය ලබාදිය හැකි තෙල් අඩංගු නොකිරීම. 
  • එකම ආහාරය දිගටම දීම නිසා දරුවා ආහාර ප‍්‍රතික්ෂේප කිරීම. 
  • ආහාර එකම ආකාරයට පිළියෙල කිරීම නිසා දරුවා ආහාර ප‍්‍රතික්‍ෂේප කිරීම. 
  • බලෙන් ආහාර ලබාදීම. 
  • අවශ්‍ය වේලාවල් වලදී ආහාර ලබා නොදීම. 

 

මීට අමතරව දරුවා රෝගී වූ විට ආහාර රුචිය නැති වීම හෝ අඩු වීම විය හැකියි. එවිට බර අඩු වීම සිදු විය හැකියි. එවැනි අවස්ථා වලදී රුචිය අනුව ආහාර ලබාදීමෙන් බර අඩාල වීම පාලනය කරගත හැකි වේ. එසේම සුව වූ පසු නැවත වර්ධන වේගය අත් කරගැනීම සඳහා ආහාර වල ගුණාත්මකභාවය හා වේල් ගණන වැඩි කල යුතු වේ. මීට අමතරව හෘද රෝග, මුත‍්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති විට නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුව දරුවා රැකබලා ගත යුතුය. එසේම අවශ්‍ය අවස්ථාවන්හිදී නිසි පරිදි වෛද්‍ය පරීක්‍ෂණ සඳහා දරුවා ලක් කල යුතුය. ඖෂධ නිසි පරිදි ලබාදිය යුතුයි. 

එසේම ඇදුම, පණු රෝග, නීරක්තිය, වෙනත් පෝෂණ ඌනතා සහිත රෝගී තත්ත්ව වලදීද දරුවාගේ බර අඩු වැඩි වීම විය හැකියි. මේවා සඳහා ද නිසි පරිදි අවධානය යොමු කොට අවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් මත කටයුතු කල යුතුයි. 

මේවාට අමතරව මව රැකියාවට යාම හෝ කාර්යබහුල වීම මත රැකබලාගන්නන්ගේ නොදැනුවත්කම හෝ නොසැලකිලිමත් බවද දරුවාගේ බර අඩු වැඩි වීමට හේතු විය හැකියි. එසේම තද පාලනයක් සහිතව වැඩෙන දරුවෙකුට ඇති වන පීඩනයද බලපෑම් එක් කරයි. 

මෙසේ පෝෂණයට බලපෑම් එක්කල හැකි ඉහත සියල්ලටම අමතරව නිවසේ අපිළිවෙළ, අඩ දබර සහිත වීම හෝ පවුල් ආරවුල්, අසමගිය මෙන්ම දුරාචාර, මත් ලෝලීන් නිවසේ සිටීමද දරුවාගේ පෝෂණයට ලොකු බලපෑමක් එල්ල කල හැකියි. එසේම මව හෝ පියා හෝ රැකබලාගන්නන් විදේශ ගත වීම මානසික රෝගීන් වීම, අපරාධකරුවන් වීම, සිරගත වීම මෙන්ම මව හෝ පියාගේ රැකබලාගන්නන්ගේ වියෝවද දරුවාගේ වර්ධනයට බලපෑම් එල්ල කල හැකිවා මෙන්ම දුම්පානය කරන්නන් සිටීමද එම දරුවාගේ පෙනහලු ආසාදනය කරන හෙයින් වර්ධන ගැටළු ඇති විය හැකියි. උපත් දරුවාගේ පමණක් නොව දරුවා තුල සිටියදී මවට දුම අඝ‍්‍රාණය වීමක් සිදුවීම කුස තුලදීමත් දරුවාගේ වර්ධනයට මහත් බලපෑමක් එල්ල කරයි. 

මෙසේ බලන කල දරුවන්ගේ වර්ධනය අඩු වැඩි වීම සඳහා ආහාරය පමණක්ම බලනොපාන බවත් සමස්ත ජීවිතය පුරා දරුවාට අත්වීඳීමට ඇති සියළු තත්ත්වයන් හොඳ හෝ නරක ලෙසින් වර්ධනයට බලපෑම් තදබල ලෙසින් එල්ල වන බවත් මනාව පැහැදිලි වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article