- Advertisement -

දරුවන් සම්මානනීය චරිත ලෙසින් සමාජයට දායාද කරමු.

-

දෙමව්පියන් විදිහට ඔබ ලබන විශාල ජයග්‍රහණයක් වෙතොත් ඒ කුමක්ද..? ඇත්තටම කිවහොත් ඔබේ ආදරණීය දරුවන් සමාජයේ දොසක් අසන්නේ නැති  සහ ලෝකයට බරක් නැති පුරවැසියන් ලෙසින් ස්ථානගත කිරීමට හැකි නම් එතරම් වාසනාවක් තවත් ඔබට නැතුව ඇති. එවන් වාසනාවන්ත මව්පියන් ලෙසින් වගේම වැඩදායක පුරවැසියන් ලෙසින් ඔබේ දරුවන් සම්මානයටට පත් වීමට නම් අද දවසේ ඔබේ මෙහෙවර කුමක්ද…?

දරුවන් නොමග ගියොත් දොස් අහන්නේ මව්පියන්

- Advertisement -

ඔබේ දරුවා අනාගතයේදී ලෝකයට බරක් එහෙම නැත්නම් අනර්ථකාරී චරිතයක් වුනොත් සමාජය විසින් ඔබට දොස් නගනු ඇති. ඒ අන්දමින්  දෝෂාරෝපනයට පත් වීමට ඔබ කිසිදු ලෙසකින් ඔබ කැමැත්තක් දක්වන්නේ නැහැ.ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා වැඩදායක චරිතයක් ලෙසින් ගොඩ නැගීමට නම් අද දවසේ දෙමව්පියන් විදිහට ඔබේ කාර්යභාරය අමතක කරන්න එපා.

නීතියක් නැතුවත් බැහැ

සමාජයේ පැවැත්මට නීති පද්ධතියක් අනිවාර්ය බැව් රහසක් නොවෙයි.පවුලක වුනත් ඒ තත්වයේ වෙනසක් නැහැ. ඒ නිසා පුංචි පවුල තුළ වුනත් දරුවන් වෙනුවෙන් නීති පැනවීම වැදගත්. ඒවා දරුවාගේ කායික හෝ මානසික පැවැත්මට හානිදායක නොවන ලෙසින් පැනවීම ඉතාම වැදගත්. සුචරිත දරුවෙක් නිර්මානය කිරීමේදී යම් නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. නීති පනවා ගැනීමෙන් දරුවාගේ නිදහස සීමා වෙන්නේ නැහැ. නිදහස ලබා දීම තුළ වුනත් යම් සීමාවක් තිබෙනවා. දරුවෙක් බාල කාලයේ පටන්ම ශික්ෂණයක් ලැබීම වැදගත්. දෙමව්පියන් විදිහට ඔබ අද සමාජයේ දෙපයින් සිටින්නේ බාල කාලයේදී ඔබේ මව්පියන් විසින් යම් නීති රීති මාලාවක් අනුව ඔබේ ජීවිතය හැඩ ගසා ගැනීමට අවශ්‍ය පසුබිම සූදානම් කළ නිසා බැව් අමතක කරන්න එපා. ඒ නිසා ඔබත් ඔබේ දරුවා වෙනුවෙන් යම් නීති රාමුවක් පුංචිම පවුල් ඒකකය වන නිවසේදීම පනවා ගන්න.

නීති කැඩුවොත් දඬුවම් දෙන්න

ඔබ පනවන නීති රීති රාමුව තුළ දරුවා කටයුතු කරන විට යම් අවස්ථාවකදී දරුවාගෙන් අතපසුවිමක් හෝ එම නිති අනුව කටයුතු නොකරන රටාවක් ගොඩ නැගෙනවා නම් ඒ වෙනුවෙන් දඬුවම් ලබා දීමත් වැදගත්. නීතිය පමණක් පැනවීම ඵලදායක නොවේ. නීතිය කැඩුන තැනදී ලබා  දෙන දඬුවම නිසා දරුවා ඔබ විසින් පනවන නීති රීතිවලට අනුගතව කටයුතු කිරීමට උත්සහ ගනු ඇත.

ජාතක කථාවක එන මේ ආදර්ශය ඔබටත් මතක ඇති. මහලු කාන්තාවකගේ තල පැදුරෙන් තල මිටක් සොරකම් කළ රජකුමාරයාට ගුරුතුමා විසින් දඬුවම් ලබා නුදුන්නා නම් අනාගතයේදී ඒ රජකුමාරයාට සිහසුන වෙනුවට බන්ධනගාරය උරුම වෙනු ඇත. බන්ධනාගාරගතව සිටින බොහෝ පුද්ගලයන් පවා ඔවුන්ගේ අතීතාවර්ජනයන්හිදී පවසන්නේ බාල කාලයේදී ඔවුන්ට යා යුතු මග නොමග කියා දුන්නා නම් අද දවසේ ඔවුන්ගේ ජීවිතය මේ අන්දමින් අවාසනාවන්ත තත්වයට පත් නොවන්නට ඉඩ තිබුන බවයි. ඒ නිසා නීති කඩන විට ඒ වෙනුවෙන් දඬුවම් ලබා නොදෙනවා නම් අපේක්ෂිත අන්දමින් දරුවාගේ චරිත සංවර්ධනයත් සිදු වෙතැයි බලාපොරොත්තු වීමත් සැකයක් විය හැක.

තමන්ගේ කටයුතු කර ගැනීමට ඉඩ දෙන්න

මගේ මිතුරියක් එක් දිනයක මෙහෙම කිව්වා…සින්ක් එකට උස වුන දවසේ පටන් පුතාගේ කෝප්පය , පිඟාන හෝදන්න මම නියම කලා. ඒ වගේම එයාගේ සර්වියට් එක, මේස් දෙක අනිවාර්යෙන්ම හෝදා ගන්න ඕන. දැන් ලොකු ළමයින්ගේත් බත් කාපු පිගාන අම්මා හෝදනවා කිව්වාම මට නම් ලැජ්ජයි. එදා නීති පනවලා මගේ දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු පුරුදු පුහුණු කරන්න නීති සහ රීති පනවපු නිසා අද කිසිම කරදරයක් නැතුව ඒ අයගේ වැඩ කර ගන්න පුලුවනි.

ඒ නිසා හැම විටම දරුවාගේ වැඩ කටයුතු හැකි අන්දමින් කර ගැනීමට ඉඩ දෙන්න. නමුත් ඔබ පසුවිපරම් කිරීමටත් අමතක කරන්න එපා. සමහර විට දරුවාගේ වයසට අනුව මේ දේවල් ඔවුන් විසින් සිදු කළත් ඒවා සර්ව සම්පූර්ණයෙන්ම සාර්ථක තත්වයක් නොතිබෙන්න පුලුවනි. ඒ නිසා අඩු පාඩු තැන් බලා නිවරැදි කරනු මිස දරුවාට දොස් නගන්නත් එපා.

කාලය ඉතා වැදගත්

කාලය තරම් වටිනා දෙයක් තවත් නැති බැව් දරුවාටත් කියා දෙන්න. අද දවසේ කළ යුතු කටයුතු අද දිනයේ ඉටු කර ගැනීමට නම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට පුරුදු  කරන්න.දරුවාගේ වයසට වුනත් ඔවුන් විසින් කළ යුතු වැඩ කොටසක් ඇති නිසා ඒ වැඩ කොටස අනුව දවස සැලසුම් කරන ආකාරය කියා දෙන්න. පංතියේ වැඩකටයුතු පවා කාලසටහනකට අනුව සැලසුම් සහගතව සිදු කරන්නේ නම් අනාගතයේදී දරුවා ඉදිරියේ ඇති ඉලක්ක ජය ගැනීම වඩාත් පහසුවෙන් මෙන්ම ඵලදායී අන්දමින් සිදු වෙනු ඇත.

අද දවසේ බොහෝ වැඩිහියන්ට පවා කලට වේලාවට අනුව යම් දෙයක් කිරීමට අපහසුව ඇත්තේ කාල කළමණාකාරනයේ මුලික පාඩම් ඔවුන් බාල කාලයේ ඉගෙන ගෙන නොමැති නිසා බැව් රහසක් නොවේ. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවාත් වේලාවට වැඩක් කිරීමට නොහැකි අයගේ ලැයිස්තුවට එක් වීමට ඉඩ දෙන්න එපා.

ආචාරශීලීව හැසිරෙන ආකාරය උගන්වන්න

අද දවසේ ඔබේ දරුවාගේ සමාජය බෙහෙවින් කුඩා බැව් ඇත්ත. එයින් අනතුරුව පෙර පාසල් සහ දිනපතා පාසල් වයස සමග ඔවුන් තවත් සමාජයක් ගොඩ නගා ගන්නවා. බොහෝ අවස්ථාවන්හිදී දරුවාගේ ආචාරශීලිත්වය සමග ඔවුන් සමාජයේ ප්‍රසන්න චරිතයක් ලෙසින් බැබලෙන්න ඇවැසි වාතාවාරණය දෙමව්පියන් වන ඔබ විසින් සූදානම් කරන්න. අනුන්ගේ උස් මිටි තැන්, ඕපා දූප කථා වලින් දුරස් කරන්න. ඔබ දරුවා ඉදිරියේ තබා ගෙන මෙවැනි අනවශ්‍ය කතා බහ කරන විට දරුවන්ද ඔබ අනුගමනය කරමින් අනාගතයේදී සමාජයට අහිතකර ලෙසින් වචන හසුරුවන චරිතයක් බවට පත් වෙනු ඇත. 

ගරුත්වය ලබා දීම

අද බොහෝ දරුවන් වැඩිහිටියන්ට , ගුරුවරුන්ට ගරුත්වයක් නොදෙන පිරිසක් බවට පත්ව සිටිනවා. ගුරුවන්රුන්ට ආමන්ත්‍රණය කිරිමේදී අසංවර අන්දමින් වචන හසුරුවන එවැනි අසංවර හැසිරීම් අහිතකර බැව් දරුවාට කියා දෙන්න. වැඩිහිටියන් සහ ගුරුවරුන් මෙන්ම ඥාතීන්, හිත මිතුරන් සහ අසල්වැසියන් යන මේ සෑම දෙනාම දරුවා සමග අනාගත සමාජය තුළ ජීවත්වෙන බැවින් ඔවුන් සමග සහජීවනය ගොඩ නගා ගන්නා අන්දම දරුවාට කියා දෙන්න.

අම්මා තාත්තා වගේම හොඳ දරුවෙක් යන සංකල්පය ඔබේ දරුවා මුල් කර ගෙන සමාජයෙන් ඇසෙනවා නම් ඒ තරම් වාසනාවක් තවත් නැති බැව් ඔබටත් සිතේවි.

අවවාද වැදගත්…

දරුවෙක් යහමගට ගැනීමේදී අවවාද ඉතාම වැදගත්. නමුත් අවවාද ලබා දීමේදී එය දරුවාට අනවශ්‍ය පීඩනයක් නොවිය යුතුයි. නිරන්තරව අවවාද ලබා දීම නිසා දරුවා අවවාද වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා සෑම දෙයකම සීමාවක් තිබෙනවා සේම අවවාද ලබා දෙන විටත් එයින් දරුවාගේ ජීවිතයට අවශ්‍ය ආලෝකය ලැබෙන පරිදි අවවාද ලබා දීම වැදගත්.නිරන්තරව  ලබා දෙන අවවාද නිසා කම්මලේ බල්ලා හෙණහඩටත් බිය නැති වන්නා සේ , ඔබ විසින් ලබා දෙන අවවාද ගැන දරුවා කිසිදු ලෙසින් තක්සේරුවක් නොකරන තැනට පත් වෙනු ඇති.

එහෙමනම් ඔබේ දරුවා අනාගතයේදී සමාජයට හිතකාමී චිරිතයක් ලෙසින් ගොඩ නැගීමට නම් අද දවසේ දෙමව්පියන් ලෙසින් ඔබෙන් ඉටු විය යුතු යුතුකම්…වගකීම් ගැනත් අවධානයක් දීමට අමතක කරන්න එපා.

 

 




LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article