මානසිකව නිරෝගි වෙමු.

මනසින් උසස් නිසා අපි මිනිසුන් විදිහට හඳුන්වනවා. අපේ මනසට සංකීර්ණ ක්‍රියාවන් කරන්න පුලුවනි. අපට ගැටළු ඇති වෙන්නේ, හැඟීම් සහ භාවයන් ඇති වෙන්නේ අපේ මනස උසස් නිසා. ඒ නිසා අභියෝගවලට මුහණ දීමට අපට මානසික නිරෝගිතාවය අවශ්‍යයි.

මානසික සෞඛ්‍ය බිඳ වැටීමට හේතු වෙන්නේ  මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවයක් ඇති වීමයි. මානසික සෞඛ්‍ය පිරිහුන තත්වයට පත් වුන පුද්ගලයෙකුගේ මොළයට යන රුධිරය, ඔක්සිජන් සැපයුම සහ ග්ලුකෝස් වැනි පරිවෘත්ත්තිය ක්‍රියාවල අඩු පාඩු පර්යේෂණ මට්ටමේදී පෙන්නුම් කරනවා.මේ නිසා ඇති වෙන මානසික රෝග ගැන දැනගත හැකි ලක්ෂණ කීපයක් තිබෙනවා.

මානසික සුවතාවය නැති වීම සහ දැනෙන අපහසුතාවයන්

  • ඇඟට ශක්තිය නැතිවීම
  • හිත සහ ගත කඩා වැටුනා වගේ දැනීම
  • දුක
  • දැඩිව දැනෙන කනස්සල්ල
  • ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති වීම.

මානසික සුවතාවය පිළිබඳව ගැටලු ඇති වෙන්නේ ඇයි..

  • ජාන

මානසික සෞඛය සඳහා ජාන ඉතා සමීපව බලපාන කරුණක්. පවුල් ඉතිහාසයේ මානසික රෝගීන් පිළිබඳ වාර්තාවන් තිබෙනවා නම් එවැනි පවුලකින් මානසික රෝගීන් බිහිවෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

  • සෘණ  ආකල්ප

හැම දෙයක්ම ඉතාම අසුබ විදිහට සහ කළ නොහැකිය යන සෘණ  ආකල්ප නිසාත් මානසික රෝගවලට ගොදුරු වීමට ඇති ප්‍රවනතාවය වැඩි විය හැකියි.

  • මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරණ

මානසික සෞඛ්‍ය පිරිහුන පුද්ගලයන් තුළ සියදිවි හානි කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති වෙනවා.සිය දිවි නසා ගැනීම ගැන මාධ්‍යමගින් ලබා දෙන ප්‍රචාරය නිසා දරුවන් විසින් ඒවා  අනුකරණය කරනවා. තමාගේ ලෝකයේ සිටින ජනප්‍රිය චරිතයක් සිය දිවි හානි කර ගත් අන්දම, එහෙම නැත්නම් සම වයසේ දරුවෙකු සිය දිවි හානි කර ගත්තාට පසුව ඒ වෙනුවෙන් ලබා දුන් ප්‍රචාරය නිසා දරුවාගේ මනසේ සියදිවි හානි කර ගැනීම ගැන යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා. ඒ නිසා සිය දිවි හානි කර ගැනීම බොහොම රසවත් වීර ක්‍රියාවක් විදිහට ඉස්මතු කිරීම එතරම් යහපත් දෙයක් නොවෙයි.

මානසික සුවතාවය සුරක්ෂිත කර ගැනීමට නම්

  • ආහාර රටාව

අපේ ආහාර රටාවත් මානසික සෞඛ්‍යට බලපානවා.අද බොහෝ දෙනාගේ ආහාර රටාව ක්ෂනික ආහාර..එහෙම නැත්නම් සකස් කළ ආහාර වලින් සමන්විත වෙනවා. අලුත් එළවලු , පළතුරු ආහාර වේලට ඇතුලත් වෙන්නේ නැහැ. කොළ පැහැති එළවළු, මත්ස්‍ය ආහාර  සහ පළතුරු මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම යෝග්‍යයි.

  • ව්‍යායාම නැති ජීවිත

ව්‍යායාම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතා යෝග්‍යයි. ව්‍යායාම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය ඉතාම යහපත් අන්දමින් සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුනත් ඇවිදිම, පිහිනීම, ක්වායු ව්‍යායාම , සුම්බා වැනි ව්‍යායාම මානසික සුවතාවය පවත්වා ගැනීමට ඉතාම වැදගත්.

  • ජලය පානය කිරීම-

පුද්ගලයෙක් විසින් දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීම අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනා විසින් මේ තත්වය ගැන සැලකීමක් කරන්නේ නැහැ. සිරුරේ විජලන තත්වය වලක්වා ගැනීමට වගේම මානසික ප්‍රබෝධයටත් ජලය ඉතාම වැදගත්.

  • විනෝදාංශයක යෙදෙන්න…

අපේ ජීවිතයේ රටාව සමග හිතටත් යම් සතුටක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් විනෝදාංශයක් තෝරා ගන්න. විනෝදාංශයක් වෙනුවෙන් මුදල් අවශ්‍ය නැහැ.ඔබේ පුංචි ගෙවත්තේ එහෙම නැත්නම් කොන්ක්‍රිට් ස්ලැබ් එක මත පුංචි පැලයක් හදන්න. පොහොර උරයක වුනත් කමක් නැහැ. එළවළු පැලයේ අස්වැන්න ලැබෙන විට එහෙම නැත්නම් මල් පැලයේ මලක් පිපෙන විට එය ඔබ සතුටට පත් වේවි.

  • සුරතල් සතුන් ඇති කිරීම

ඔබේ නිවසේ සුරතල් සතෙකු ඇති කරනවා නම් දවසේ යම් කාලයක් නිවැසි සුරතලාගේ කටයුතු වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම සුරතලාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කිරීමත් මානසිකව විශාල සතුටක් ලබා දෙන සිදුවීමක් බැව් අපි අත්දැකීමෙන්ම දන්නා දෙයක්.

  • සංචාරයේ යෙදීම…විනෝද චාරිකා…

අද බොහෝ ආයතන විසින් තම ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවය වෙනුවෙන් සේවකයන්ගේ සානකිස සතුට ගැන වැඩි අවධානයක් දක්වනවා. ඒ නිසාම ආයතනයේ සුබසාධක සංගමය මගින් වාර්ෂිකව චාරිකා සැලසුම් කිරීම වාර්සික සැලසුමේ කොටසක්. චාරිකාවන් නිසා සේවකයන්ගේ සතුට,සමගිය වගේම අලුත් අත්දැකීම් ලබා ගන්නවා. ආයතනගත එකාකරි පරිසරයෙන් මිදී සිතට සතුටක් ලැබෙන මෙවැනි කටයුතු නිසා සේවකයන්ගේ මානසික සතුට ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවයට වැඩි වටිනාකමක් ලබා දෙනවා.

  • වියපත් අයගේ මානසික සෞඛ්‍ය ගැනත් වැඩි අවධානයක් ලබා දෙන්න..

ජෛව විද්‍යාත්මකව අපේ මනස වයසට නොගියත් කය වයසට යනවා. අද න්‍යෂ්ටික පවුලක් තුළ කාලයත් සමග වැඩිහිටියන් හුදෙකලා වෙනවා. ඔවුන්ගේ දරු මුනුපුරන් දුරස් වීම කාලය සමග සිදු වෙන සාමාන්‍ය සිදුවීමක් වුනත් ඒ නිසාම වියපත් මව්පියන්ගේ ශක්තිය නැති වෙනවා. ඇතැම් දෙමව්පියන් ආර්ථික ලෙසින් අසරණ වෙනවා. තවත් විටෙක ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නැති වෙන්න පුලුවනි.

අපේ රටේ සංස්කෘතිය තුළ වැඩිහිටියන් ජීවිතාන්තය දක්වාම දරුවන්ගේ නිවෙස්තුළ සිටින ගතානුගතික සංකල්පයක් තිබෙනවා. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් පුංචි සමාජයක් අවශ්‍යයි. එවිට ඔවුන්ට පොත් පත් කියවීම, කතා කරන්න, විනෝදාංශයක යෙදෙන්න වගේම තමන්ගේ කායික සෞඛ්‍ය ගැනත් විවිධ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවනි.

  • පරිගණක ක්‍රිඩා වැඩිහිටියන්ට හොඳයි..

දරුවන් විද්‍යුත් උපාංඟ සමග නිරත වීම සුදුසු නැති වුනත් වේගවත් පරිගණක ක්‍රිඩා නිසා වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජය වෙනවා.

  • වැඩිහිටියන් රැකබලා ගැනීමේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම..

දරුවන් වගේම වැඩිහිටියන්ටත් යම් වයසකදී ඔවුන් රැකබලා ගැනීමට පිළිසරණක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක්. ඒත් 

සමිති සමාගම් අවශ්‍යයි…

මිනිසා කියන්නේ සමාජ ජීවියෙක්. ඔවුන් සමාජය සමග ජීවත් විය යුතුයි. අද සමාජ ජාලා ඔස්සේ අතාත්වික (virtual ) මිතුරන් සිටියාටම ප්‍රමාණවත් නැහැ.අපට සෘජු වශයෙන් කොටින්ම ඇස්  (eye contact) සම්බන්ධතාවයෙන් සම්බන්ධ විය හැකි මිතුරන් අවශ්‍යයි. එතැන අමුතුම ප්‍රාණවත් බවක් තිබෙනවා. 

  • හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි…

අපේ හැම දෙයකටම මනස බලපානවා.නමුත් එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. පරිසරය, රැකියාව, අධ්‍යාපනය වැනි කරුණු මත එක් එක් අය ඒවාට මුහණ දෙන පිළිවෙල වෙනස්. පුද්ගලයෙකුට යම් ගැටළුවක් ඇති වුනාම එය දරා ගෙන සිටීම එතරම් සුදුසු නැහැ. හිතේ පීඩනය නිදහස් කර ගැනීමට හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි. අපේ රටේ මානසික උපදේශන සේවාව ගැන ජනතාව දැණුවත් නැහැ. ඒ නිසා බොහෝ දෙනා මනෝවෛද්‍යවරුන් ගේ සේවාව ලබා ගන්නවා. මානසික සුවතාවය පිරිහිනු පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් වෙත යෑමටත් එතරම් උනන්දුවක් නැහැ. ඒ නිසාම ඔවුන් ගැටලු හිතේ තබා ගෙන විඳවනවා.

  • ජීවන කුසලතාවයන් ගැන අවබෝධයක් ලබා දෙන්න..

අපේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ  විNdග මුල් කර ගෙන මිසක ජීවත්වෙන කලාව ගැන දරුවන් දැනුවත් කරන්න නොවෙයි.ගණිතයේදී දෙකයි දෙකයි එකතු කළාම හතර බව ඇත්ත. නමුත් ජීවිතයේදී ඇති වෙන ප්‍රශ්නවලට මෙවැනි පොදු උත්තර නැහැ.ඒ නිසා නිවරැදි වේලාවට නිවරැදි තීරණය ගැනීමේ හැකියාව සහ ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකල්ප ගොඩ නැගීම මගින් මානසික නිරෝගි පරපුරක් බිහි කරන්න හැකියාව ලැබේවි.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා..

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here