ඔබත් සමග වෙසෙන වැඩිහිටියාගේ වේදනාවට සහාය විය යුත්තේ කෙසේද?

වියපත්බව සමඟ ඇතිවන දුර්වලතා  සහ රෝගාබාධ හේතුවෙන් වැඩිහිටියන්ට වේදනාව ඇති වීම වැලැක්විය නොහැකි තත්ත්වයක් වුවද එය දරා ගැනීමට සහාය වීම සහ වේදනාව අවම කිරීමට රැකවරණය සපයන්නාට විශාල වගකීමක් ඇත. වේදනාව වැඩිහිටියා‍ගේ ජීවිතයේ ගුණාත්මක බව අඩු කරයි.   වේදනාව වයසට යෑමේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවේ.  වේදනාව සෑමවිටම  අසාමාන්‍ය දෙයක් බව මතක තබා ගතයුතු වේ. දීර්ඝ කාලීන වේදනාවන් ඇති කරන ඇතැම් තත්ත්වයන් වැඩිහිටියන් තුළ බහුලයි. මෙම තත්ත්වයන්ගෙන් සමහරක් වන්නේ, සන්ධි රෝග, ඔස්ටියෝපොරෝසිස්, ස්නායු දුර්වල වේදනාව  හා පිළිකා වැනි රෝගයි.  වේදනාව  සම්බන්ධව ඇති ලෙඩ රෝගවලට පමණක් ප්‍රතිකාර කිරීම පමණක් නොව වේදනාව සඳහා මතුපිටින් නොපෙනෙන හේතුව තේරුම් ගැනීම  ද වැඩිහිටි රැකවරණයේ දී වැදගත් වේ.

සමහර අවස්ථාවල වියපත් අයට ඔවුන්ගේ වේදනාව ගැන කතා කිරීමට නොහැකි අවස්ථා තිබේ. ඩිමෙන්ෂියාව, මොළයට හානි විම්  හෝ ආඝාතය වැනි රෝග තත්ත්වයන්  නිසා මෙය තවත් සංකීර්ණ විය හැකිය. මේ නිසා වැඩිහිටියාගේ වේදනාව  හඳුනා ගැනීමට පවුලේ අයට සහ රැකවරණය ලබා දෙන්නාට  ඉතා අපහසු වේ. කනස්සල්ල, නොසන්සුන්කම, ශෝකය සහ උද්වේගය බොහෝ විට වේදනාව පෙන්වන සංඥා වන නමුත් ඒවා වේදනාවේ නිශ්චිත සංඥා නොවේ.

නිර්වින්දන හෝ වේදනා නාශක බෙහෙත් ලබා දීම  අධීක්ෂණය කිරීමට විශාල කාලයක් ගතවේ. සාත්තු නිවාසවල හෝ වැඩිහිටි නිවාස වල කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවේ නම් වේදනා කළමනාකරණය සීමා විය හැකිය.

නොසැලකිලිමත්කම, නොසැලකිල්ල හේතුවෙන් වැඩිහිටියාගේ වේදනාව සැලකිල්ලට නොගන්නා  අවස්ථා වැඩිහිටි රැකවරණයේ දී වාර්තා වන අවස්ථා ඇත. වැඩිහිටියකුගේ වේදනාව අඩු කිරීම සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ වෛද්‍යවරයා, හෙද කණ්ඩායම හා රැකවරණය ලබා දෙන්නා  සමඟ සාකච්ඡා කරන්න. එසේම ගැටලුව පිළිබඳ වාර්තා තබා ගන්න.

වේදනාව පිළිබඳ මිත්‍යාවන්

  • නිදන්ගත වේදනාවක් තමාට ඇතැයි පිළිගැනීම  පුද්ගලික දුර්වලතාවක සලකුණකි.
  • නිදන්ගත වේදනාව අතීතයේ කරන ලද වැරදි සඳහා දඬුවම් කිරීමකි (කර්මයයි)
  • නිදන්ගත වේදනාව යනු මරණය  ආසන්න බවට සලකුණකි.
  • දරුණු වේදනාවක් සෑම විටම බරපතල රෝගයක් ඇති බව පෙන්නුම් කරයි.
  • වේදනාවක් ඇතැයි පිළිගැනීමෙන් ස්වාධීන බව අහිමි වනු ඇත.
  • විශේෂයෙන්ම සංජානනමය වශයෙන් දුර්වල වූ වැඩිහිටියන්ට වේදනාව දරා ගැනීමේ ඉහල හැකියාවක් තිබේ.
  • දිගුකාලීනව රැකවරණය ලබන වැඩිහිටියන් අවධානය යොමුකරවා ගැනිමට  ඔවුන් වේදනාවකින් සිටින බව පවසති.
  • වැඩිහිටියන් වේදනා නාශක ඖෂධවලට ඇබ්බැහි වීමට ඉඩ ඇත.

වේදනාව සහ එහි තීව්‍රතාව පිළිබඳව වඩාත්ම නිරවද්‍ය හා විශ්වසනීය සාක්ෂි වන්නේ නිවැසියන්ගේ හෝ රැකවරණය ලබා දෙන්නාගේ  ස්වයං-වාර්තාවයි. වැඩිහිටියා බොහෝ විට වේදනාව  විස්තර කරන්නේ  ” වේදනාව” යන වචනයට  වඩා අපහසුව , කැක්කුම වැනි වචන භාවිත කිරීමෙන්ය

 

වැඩිහිටියන්ට වේදනාව ඇති කරවන බහුල තත්ත්වයන්

  • හන්දිපත් වේදනාව 
  • කොන්දේ වේදනාව
  • අස්ථි බිදියාම්
  • ඇඳ වණ  
  • ස්නායු තෙරපුම්  
  • මුත්‍රා ආසාදන 
  • හෘද රෝග 
  • අපහසු ඉරියව් 
  • පිළිකා  
  • කෘතීම පළඳනා
  • මුඛ රෝග ‍
  • මළ බද්ධය

වේදනාව නිසා වැඩිහිටියන්ට  ඇතිවන බලපෑම් 

  • සුවපත් නින්දක් නොලැබීම 
  • ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වීම 
  • මානසික ආතතිය  
  • ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන මන්ද පෝෂණය 
  • දීර්ඝ කාලීන රෝහල් ගතවීම 
  • ජිවන රටාවේ වෙනස්කම් 
  • සෞඛ්‍ය සඳහා යොදවන ප්‍රතිපාදන වැඩිවීම 

 

වැඩිහිටියන් වේදනාව සන්නිවේදනය කරන්නේ කෙසේද?

වාචිකව හෝ වාචිකව  නොවන  ආකාරයට වේදනාව සන්නිවේදනය කිරීමට වැඩිහිටියා පෙළඹෙන අතර එය ඒ ආකාරයෙන්ම තේරුම්ගෙන ප්‍රතිචාර දැක්වීමට රැකවරණය සලස්වන්නාට හැකිවිය යුතුය. වේදනාව ප්‍රකාශ කරන ක්‍රම පහත දැක්වේ.

මුහුණේ ඉරියව්  –      දුක් බර ඉරියව්, රවාගෙන සිිටිම , බිය , නොසතුට 

වාචික ප්‍රකාශන – ඇඬීම , වැලපීම සහ අදෝනා කීම බොහෝ විට සිදුවන අතර වේගයෙන් හුස්ම ගැනිම, තොල මැතිරීම , කෙඳිරි ගෑම ද දක්නට ලැබේ

ශාරීරික චලන වැලක්වීම – නොරිස්සුම් සහගත ඉරියව්, අනම්‍ය බව ,  ශරීරය ඇඹරීම , ශරීරය අද්දමින් ගමන් කිරිම, කොර ගැසීම, නොන්ඩි ගැසීම , ඉරියව් මාරුකිරීමට හෝ ඇවිදීමට ප්‍රතික්ෂේප කිරීම 

පුද්ගල චර්යාවන් වෙනස් වීම – කළහකාරී විම, විනාශ කාරී වීම , ප්‍රතික්ෂේප කිරීම , සමාජ සබඳතා අඩු කිරීම , හුදකලා වීම 

මානසික තත්ත්වයේ වෙනස් වීම් – වික්ෂිප්ත බව , කේන්තියාම, ඇඬීම , ආවේගශීලී වීම

සාමාන්‍ය චර්යාවේ වෙනස්කම් – ආහාර ප්‍රතික්ෂේප කිරීම, ආහාර රුචිය අඩු වීම, නිද්‍රා රටාවන් වෙනස් වීම, ඉබාගාතේ ඇවිදීම

 

වේදනාව අඩු කිරීම සඳහා යෙදිය හැකි ක්‍රම

ශාරීරික  චිකිත්සක ක්‍රම 

  • අයිස් ‍යොදා ගෙන කරන තැවීම
  • රස්නයෙන් කරන තැවීම
  • අල්ට්‍රාසොනික්  චිකිත්සාව (ultrasonic theropy)
  • ලේසර් චිකිත්සාව (laser therapy)
  • විදුලි තෙරපුම (infrared light therapy)
  • කම්පන තෙරපුම  (shockwave therapy)
  • ඉලෙක්ට්‍රොනික තෙරපුම (electrotherapy)
  • වේදනාව වෙන ස්ථානයකට යොමු කිරීම (mobilization)
  • වේදනාවට ප්‍රතිරෝදය ලබා දීම (manipulation)
  • වතුර තෙරපුම Hydro therapy 

මනෝ විද්‍යාත්මක චිකිත්සාව

  • මානසික ඉහිල් කිරීම් – ගැඹුරින් හුස්ම ගැනීම, සංගීතයට හෝ ස්වභාවික පරිසරයේ ශබ්දයන්ට සවන් දීම, භාවනා, යෝග සහ සතිමත් බව
  • සංගීත චිකිත්සාව – ඔවුන් කැමති සංගීතයට සවන් දීමට සැලැස්වීම, එක්ව ගායනා කිරීම, සංගීත භාණ්ඩ වාදනයට හෝ සවන් දීමට සැලැස්වීම
  • රංග චිකිත්සාව 

අවධානය වෙන අතකට යොමු කිරීම

  • රූපවාහිනිය බැලීම, සංගීතයට සවන් දීම ,  සුරතල් සතුන් ඇති කිරීම , 
  • තමාට මානසික සතුට ගෙන දෙන දෙයක් පිළිබඳව මවා ගැනීම
  • හාස්‍ය ඇති කිරීම –  හාස්‍යය ජනක කාටුන් වැඩසටහන්, නාට්‍ය සහ පොත් කියවීම, විනෝද ජනක ක්‍රීඩා හඳුන්වා දීම

 

වැඩිහිටියාට තම වේදනාව  විස්තර කිරීමට අවස්ථාව ලබා දිය යුතුතේ කෙසේද? 

වැඩිහිටියාගේ වේදනාව ගැන ඔබ සමඟ කතා කිරීමට ඔහු දිරිමත්  කරන්න. මෙම වේදනාව ඇතිවිය හැකි ආකාරය සහ එය ප්‍රතිකාර කිරීම සඳහා හොඳම දේ ඉගෙන ගැනීමට මෙය උපකාරවත් වේ. වැඩිහිටියාට කතා කිරීමේ හෝ කන් ඇසීමේ දුර්වලතාවයක් වේ නම් ඔවුන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න . හැකි සෑම ක්‍රමයක්ම භාවිත කර වේදනාව පිළිබඳ වැඩිහිටියා සමඟ සන්නිවේදනය කරන්න. 

 

  • වේදනා දිනපොතක් තබා ගැනීමට වැඩිහිටියාට උදව් කරන්න 

වේදනා දිනපොතක්  තබා ගැනීමෙන්  වැඩිහිටියාගෙන් රැකවරණය ලබා දෙන පුද්ගලයන් හෝ වෛද්‍යවරුන් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට පහසු වනු ඇත. සෑම දිනකම සිදුවූ දේ නිවැරදිව සිහිපත් කිරීම සඳහා වේදනා දිනපොත්   උපකාර කරනු ඇත. වැඩිහිටියාගේ  වේදනාව ගැන අදාල පුද්ගලයන්ට පැවසීමට  එය උපකාරවත් වන අතර වේදනාවට හේතුව කුමක්දැයි වටහා ගැනීමට එය උපකාරයක්  වනු ඇත.  වේදනාව විස්තර කිරීමට  එන සියලු වචන ලියන ලෙස වැඩිහිටියාට පවසන්න . දිනපොත වේදනා චක්‍රය නිරීක්ෂණයට උපකාර කරයි. මෙය වේදනාව වැඩි වන විට සහ එය අඩු කළ හැකි ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක්  අන්අයට ලබා දෙනු  ඇත.

 

වැඩිහිටියාගේ වේදනාව තේරුම් ගැනීම සඳහා ඔබට ප්‍රශ්න ඇසිය හැකියි.

  • වේදනාව පවතින්‍නේ  කොහේද? වේදනාව එක් තැනක සිට තවත් තැනකට ගෙන යයිද?
  • 0 සිට 10 දක්වා පරිමාණයෙන් වේදනාව ගණනය කරන්නේ කෙසේද? (0 වේදනාවක් නොමැති අතර, දරුණුතම වේදනාව 10 වේ). එවිට ඔබේ වේදනාව ඉලක්කම් ගත කිරීමට අවශ්‍ය අංකය තීරණය කරන්න.
  • වේදනාව දැනෙන්නේ කෙසේද

මෙහිදී වේදනාව ගැන  පැවසීමට වචන පාවිච්චි කිරීමට ඉඩ දෙන්න. උදාහරණ ලෙස වැඩිහිටියා වේදනාව තියුණුය,  මිරිකනවා සේ දැනෙයි  නැත්නම්, වේදනාව පිහියෙන් අනිනවා වැනිය , දැවෙනවා වැනිය නැතහොත් ඉඳිකටු අනිනවා වැනි යනුවෙන් පැවසිය හැකිය.  වේදනාව සඳහා නිවැරදි වචන නොමැත. 

  • වේදනාව ආරම්භ වුණේ කවදාද? එය ඉක්මන් හෝ සෙමින් ආරම්භ වූයේද? වේදනාව ස්ථීරවද? නැතහොත් එය වරින් වර පැමිණෙන දෙයක්ද?
  • වේදනාව  කොපමණ වේලාවක් පවතින්නේද?
  • වේදනාව ඔබේ දෛනික ජීවිතයට බලපානවාද? වේදනාව තිබියදීත් ඔබේ ප්‍රියතම ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්නට පුළුවන්ද? වේදනාව නින්දෙන් අවදිවන විට තිබේද? 
  • කැස්ස හෝ වේදනාව ඇති ප්‍රදේශය ස්පර්ශ කිරීම නිසා වේදනාකාරී තත්ත්වයන් ඇති වීමට හෝ වේදනාවට හේතු වේද?
  • වේදනාව  ඇතිවන්නේ කෑමට  පෙර හෝ පසු  වේද?
  • ස්ථාන වෙනස් කිරීම, විවේක ගැනීම, ඖෂධ හෝ ආහාරයට ගන්නා දේ වෙනස් කිරීම වැනි යමක්  කිරීමෙන් වේදනාව අඩුවේද?

 

මේ සෑම ආකාරයකින් ම වැඩිහිටියා තුල පවතින වේදනාව තේරුම් ගැනීමට රැකවරණය සලසන පුද්ගලයා කටයුතු කළ යුතු අතර එය ප්‍රතිකාර කිරිමට මෙන්ම රැක බලාගැනීමට ද පහසුවක් ඇති කරයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here