- Advertisement -

දරුවනේ …. නුඹ අවදියෙන් නම් – මේ ලොවේ සොඳුරුම වෙලාවයි.

-

මව්කුසයේ සිට මෙළොවට පැමිණෙන පුංචි පැටියා හැමදාම තොටිල්ලට සීමා වෙන්නේ නැහැ. තොටිල්ලේ ලී වැටෙන් පැනලා ලෝකය දකින දවසක් උදා වෙනවා.අපි හැමදෙනෙක්ම පුල පුලා බලා සිටින්නේ ඒ දවස උදා වෙන තෙක් දෙමව්පියන් ඇගිලි ගනිනවා.

ඉතින් මේ විදිහට දිනෙන් දින ගෙවන පැටියා පරිසරයත් සමග සමීප කිරීමත් ඉතාම වැදගත්. ඉස්සර කාලයේදී මාස හතරක් විතර වෙන විට පැටියා නිවසෙන් පිටතට අරගෙන ඇවිත් වත්තේ පිටියේ ඇවිදිනවා. මේ කාලයට දරුවාට කොළ පැහැයෙන් මල පහ පිටවෙනවා. විද්‍යාත්මක සත්‍ය කුමක් වුනත් අතීතයේ අත්තම්මලානම් කිව්වේ ගස් වැල් දකින විට දරුවාගේ මලපහ කොළ පැහැයට හැරෙන බවයි.නමුත් මේ ක්‍රියාවලිය ජීවවිද්‍යාත්මක සම්බන්ධයක් සමග ගැලපෙනවා ඇති. ඒ කොහොම වුනත් අතීතයේ පටන්ම දෙමව්පියන් දරුවා පරිසරයට සමීප කිරීමට දැක්වූ කැමැත්ත පට එයින් පෙනී යනවා.

- Advertisement -

අද බොහෝ දරුවන් කොටුවකට සීමා වෙනවා…

අද කාලයේ නිවසක පිහිටි වපසරිය අනුව මිදුලක් හෝ වටපිටාවක් ඇත්තේම නැහැ.ඒ නිසා බොහෝ දරුවන් ගේ මැද සාලෙයේ කොටුවක් සාදා එහි තබා දෙමව්පියන් තම තමන්ගේ වැඩ කටයුතු කර ගන්නවා. කාලයේ හැටියට එහි වරදක් නැති වුනත් ඔබට අවස්ථාවක් ලද විටක හෝ දරුවා සමග අවට පරිසරයට සම්බන්ධ වෙන්න. දරුවාට යම් දැණුම් තේරුම් කාලයක් එලැඹෙන විට ගහ කොළ , මල් පළතුරු පෙන්වන්න. දරුවන්ගේ සිත් මල් මෙන් මුදු සුමුදු බැව් අපි දන්නවා. ඒ වගේම මලකත් පෙති බොහොම මුදු මොලෙක් ගතියෙන් යුක්තයි. මලක පෙති විහිදෙන අන්දම දරුවාට පෙන්වන්න.මලක් පිපෙන්නේ පරිසරය ලස්සන කිරීමට බැව් දරුවාට කියා දෙන්න.

පරිසරයට ආදරය කරනවා…

අද පරම්පරාවම පරිසරයට ආදරය නැතැයි අපි චෝදනා කරනවා. ඇත්තටම ගහ කොළ කියන්නේ  ජීවයක්. පරිසර සංවේදී සිත් ඇති දරුවන් කිසිම දිනක ගහ කොළ මල් පළතුරු විනාශ කරන්නේ නැහැ. එක් දාමරික ත්‍රස්තවාදී පුද්ගලයෙක් පාසල් වයසේදී පවා සාක්කුවේ ලේනුන් අරගෙන ගොස් බ්ලේඩ් තලයෙන් කපන විනෝදාංශයක් තිබ්බා. ඇත්තටම ඔහු පසුකාලීනව බිහිසුනු අපරාධකරුවෙක්. ඔහුගේ ලෝකයම ලේ පිපාසයෙන් පිරී ගියා.ඒ නිසා බාලකාලයේ පටන්ම පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මානය කරන්න.එය ලෝකයටම ආශිර්වාදයක්.

පරිසරයේ රිද්මය කියා දෙන්න…

අපේ ජීවිතයට වගේම පරිසරයේත් රිද්මයක් තිබෙනවා. සුළඟ හමන විට, වළාකුලක් ගමන් කරද්දී, සීතල දිය දහරාවක් සෙලවෙන විට පවා යම් රිද්මානුකූලබවක් තිබෙනවා. ඒ බැව් දරුවාට පෙන්වා දෙන්න. ඔබ නිවස අවට පුංචි දියපාරක් නොමැති නම් එවැනි ලස්සන දොළක , ඇලක සීතල ජලය දරුවාගේ පයට දැනෙන්න ඉඩ දෙන්න. කරුවල වැටෙන විට කුරුල්ලන් කූඩු කරා යන අන්දම වගේම වවුලන් වැනි පක්ෂින්  ආහාර සොයා නිශාචර ගමනේ යෙදෙන රිද්මය කියා දෙන්න.

වැළි පෑගෙන්න ඉඩ දෙන්න…

අපි දරුවන්ට වැළි පෑගෙන්න දැන් ඉඩ දෙන්නේම නැහැ. පාවහන් නොමැතිව ඇවිදින විට යටිපතුලේ ඇති රුධිරනාල උත්තේජනය වීම සිදුවෙනවා. මෙම සංසිද්ධිය විදයාත්මකව පවා තහවුරු වී තිබෙනවා. ඉතින් ඔබේ පුංචි පැටියා පන්සලේ වැලිමලුවේ හෝ නිරාවරනය වුන දෙපා මතින් ඇවිද්දවන්න. එහි සැබෑම වාසිය දරුවාට ලැබෙනු ඇති.

උද්‍යානයකට යන්න….

විවේකයක් ඇති දිනක දුර ගමනක් සැලසුම් කරනවාට වඩා ළමා උද්‍යානයකට දරුවා කැටුව යන්න. එහි ඇති ඔන්චිල්ලාව, සී සෝ වැනි උපාංගවල  විනෝදයෙන් ක්‍රිඩා කිරීම නිසා ශාරිරික ව්‍යායාම පද්ධතියකට සම්බන්ධ වුන වාසිය දරුවා ලබනු ඇති. සුපිරි අවන්හලක පවා දිනක් ගත කරනවා නම් ඔබට එහි ඇති ළමා උයන, පිහිනුම් තටාකය අමතක කරන්න එපා. මේ හැම ඉසව්වකින්ම දරුවාට වටිනා ශාරිරික ව්‍යායාම ලබා ගැනීමට උදව් වෙන්න.

කවි ගීත ගායනා කරන්න..

සඳ පහන් රුයක දරුවා සමග මිදුලේ කොනක සිට පරිසරයට සම්බන්ද කවි ගීත කියා දෙන්න. 

තරු , සඳ ගැන කවි කියන්න. ඔවුන්ටත් සොබාදහම ගැන කවි ලියන්න කියා දෙන්න. පරිසරයට ආදරය කරන දරුවන්ට කිසිම දිනක වරදින්නේ නැති බැව් කියා දෙන්න. ගහක් යට ගිමන් හැරියත් එතැන පිරිසිදු කර පිටත් වීමට කියා දෙන්න. එවිට සුපිරි වාහනවලින් විත් මහපාරට හෝ අසල්වැසි නිවසක් අසලින් කුනු කසල මල්ල පාරට දමා යන පරම්පරාවක අවසානයක් ගොඩ නැගේවි. ගලන ජලයට කුනු කසල දමා අපිරිසිදු කිරීම පාපයක් බවත් ජලය පුජණීය බවත් කියා දෙන්න.දැණුම් තේරුම් වයසේ සිටින දරුවාට නම් සියැටල් නැමැති රතු ඉන්දීය නායකයා විසින් ඇමරිකාවේ ජනාධිපතිට යවන ලද පනිවිඩයේ ඇති අගය පෙනවා දෙන්න.

රකිමි මම පරිසරය- පරිසරය මා රකී…යන තේමාවට අනුව තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්නා අන්දම කියා දෙන්න.

සෑම විශිෂ්ට දෙයක්ම ආරම්භ වෙන්නේ තමන්ගේ හදවත තුලින්….

බිත්තරට පිටතින් බිදුනොත් එය ජීවයේ අවසානයයි….ඇතුලතින් බිදුනොත් ජීවයක ආරම්භයයි…..මේ සිදුවීම ජීවිතයේ පාඩමක් කර ගැනීමට උපදෙස් ලබා දෙන්න. ඒ නිසා නිතරම බිත්තරයක් පිටතින් බිඳ දමනවා වෙනුවට එය ඇතුලතින් බිඳී ජීවයක ආරම්භයක් වීමට ඉඩ දෙන මානසිකත්වය දරුවාගේ හදවතේ ගොඩ නගන්න. කැත දළඹුවා දුටු විට පිලිකුල් කරනවා නම් මේ කැත දළඹුවා අනාගත දිනක ලස්සන සමනළයෙකු වෙන ආකාරය කියා දෙන්න.ලෝකයම අවදි කරන කුරුළු ගීතයක මිහිර ඇසෙන්න සලස්වන්න.

පරිසරය නිසා සෞන්දර්යාත්මක සිතුවිලි ගොඩ නැගේ…

පරිසරය සමග සම්බන්ධ වීම යනු දරුවාගේ පෞරෂය වෙනුවෙන් අනාගත ආයෝජනයක් බවත් අමතක කරන්න එපා. ඒ වගේම දරුවන්ගේ නිර්මාණාත්මක සිතුවිලි සහ සෞන්දර්ය රස බාවයන් අවදිවීමට පරිසරයෙන් ලැබෙන දායකත්වය ගැන සුලුවෙන් සලකන්න බැහැ. මාර්ටින් වික්‍රමසිංහයන්ට සිය නිර්මානාත්මක  හැකියාවන් අවදි වීමට සිය මහගෙදර පිහිටි නිවසේ පරිසරය බෙහෙවින් බලපෑ බැව් එතුමා විසින්ම සදහන් කර තිබේ. ගුණපාල මළලසේකර වැනි වාග්විද්‍යාඥයෙකුටත් උදෑසන ගොස් මුහුදු වෙරලේ රැළි උස් පහත්වෙන රිද්මය දෙස බලා සීටීමෙන් මහත් සේ තෘප්තියක් ලද බැව් සදහන් කර තිබේ.

ඒ නිසා ඔබට හැකි විටෙක දරුවා සමග පරිසරයේ පැයක් වැනි කෙටි කාලයක් හෝ ගත කිරීමට වේලාවක් සොයා ගන්න. අවශ්‍යතාවයක් ඇත්නම් එය අපහසුවක් නොවේ.බොහෝ දෙනෙකු තුළ පරිසරයෙන් ලබන අත්දැකීම් මත ජීවිතය පෝෂණය වන බව වටහා ගෙන නැහැ. ඒ නිසා පරිසරය පුජණීය බව සිතන්න. දරුවන්ට ඒ පණිවිඩය ලබා දෙන්න. පරිසර හිතකාමී පමණක් නොව ලෝකයට වැඩදායක දරුවෙක් නිර්මානය කිරීමේ පළමු පාඩම එයයි.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article