- Advertisement -

ඉපදීමෙන් පසු දරුවා නිල්පාට වෙන්නේ ඇයි?

-

බොහෝ දරුවන් ඉපදෙන විට රත් පැහැයට හුරු දම්පාට, රෝස පැහැයක් ගනී. නමුත් සමහර දරුවන් ඉපදෙන විට නිල් පැහැ වේ. දරුවා හඬන විට හෝ චලනයේදී නොව ඉපදුණු විගසම නිල් පැහැයක් ගනී නම් බොහෝ විට ස්වසන පද්ධතියේ හෝ රුධිර සංසරණ පද්ධතියේ අපහසුතාවයක් ආබාධයක් විය හැක. හෘදය මඟින් ප්‍රමාණවත් ලෙස රුධිර සැපයුමක් පොම්ප නොකරන විට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ප්‍රමාණයක් පටක වලට නොලැබේ. මෙම නිල් පැහැයට හේතු වන්නේ ඔක්සිජන් අඩු (Deoxygenated blood) රුධිරයයි. 

දරුවා තනිව හුස්ම ගන්නා තුරු කුස තුල සිටින විට ඔක්සිජන් ලබාගන්නේ පෙකණි වැල සහ අපරාව/වැදැමහ (PLACENTA) හරහා වේ. දරුවා ස්වසනය ආරම්භ කරන විට ක්‍රමයෙන් සමේ පැහැය වෙනස් වේ. බොහෝ විට තද රෝස පැහැති හෝ රතු පැහැයට හැරේ. සමහර විට ඉපදී දින කිහිපයක් යනතුරු අත් හා පාද වල සාමාන්‍ය නිල් පැහැයක් තිබිය හැක. මෙයට හේතුව වන්නේ දරුවාගේ රුධිර සංසරණ පද්ධතිය තවමත් නොමේරු මට්ටමක පවතින නිසා ක්‍රමයෙන් මෝරන විට මෙම තත්ත්වය මඟහැරී යයි. 

- Advertisement -

දරුවන් නිල් පැහය සහිතව ඉපදීමට ප්‍රධාන හේතූ 2 කි.

  • නිලායනය – cyanosis – හෘදයේ හෝ ස්වසන පද්ධතියේ ආබාධ තත්ත්වයක් නිසා ඇති වේ. 
  • Acrocyanosis – දරුවා උපදින විට අත් හා පාද නිල් පැහැයට හැරේ. මෙහිදී දරුවාගේ කඳ කොටස රෝස පැහැයක් ගන්නා අතර පර්යන්ත කොටස් වල නිල් පැහැයක් දැකිය හැක. 

එසේම සමහර අවස්ථා වලදී දරුවා ඉපදෙන්නට ආසන්නයේදී පෙකණි වැල තදවීම හෝ වැරදි ස්ථාපිතයක් තිබීමේදී මෙම පැහැයේ වෙනසක් ඇති විය හැක. නමුත් එම තත්ත්වයෙන් පෙකණිවැල නිදහස් වූ වහාම නැවත රුධිරයට සම්පූර්ණයෙන් ඔක්සිජන් ලැබුණු විගස රෝස පැහැයට හැරේ. 

එසේම මව අධික රුධිර පීඩනය හෝ අඩු රුධිර පීඩන තත්ත්වයකින් පෙලෙයි නම් එම තත්ත්වය දරුවා ඉපදෙන විට දරුවාට ඇති කරන බලපෑම අනුව සමේ පැහැයේ වෙනස්කම් ඇති විය හැක. මෙවැනි තත්ත්වයක සිටින මවකගේ දරුවා ස්වසන අපහසුතාවයකින් සිටිනවාද නැද්ද යන්න ලඟින් නිරීක්‍ෂණය කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමකි. 

එසේම මව වේදනා නාශක ලෙස ලබාගන්නා ඇතැම් ඖෂධ (Narcotic drugs/opioids) මඟින් දරුවාගේ හද ගැස්ම දරුවා බිහිවන විට අඩුවීම හෝ නැවතීම සිදු විය හැක. මෙම ඖෂධ නිසා දරුවා බිහිවීමෙන් පසු ස්වසන අවපීඩන තත්ත්වයන්ද ඇති විය හැක. මේ හේතුව නිසා දරුවාගේ සම නිල් පැහැ විය හැක. 

 

දරුවා නිල් පැහැයට ඉපදුණහොත්

දරුවා නිල් පැහැතිව හෝ සුදුමැලි පැහැතිව ඉපදුණහොත් දරුවාට අමාරුවෙන් චලනය වේ නම් හෝ චලනය විය නොහැකි වේ නම් එසේම දරුවා නොහඬන්නේ නම් හෝ කෙඳිරිගෑමක් හෝ දුර්වල ලෙස හඬයි නම් මෙම ලක්‍ෂණ වලින් දරුවා හුස්ම ගැනීමට/ජීවත් වීමට ඉතා පරිශ්‍රමයක් දරන බව පෙනේ. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයෙකු (හෙදිය/වෛද්‍යවරයා) දරුවාගේ ස්වසනය පහසු කිරීම සඳහා උනන්දු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. හෙදිය විසින් දරුවා තදින් පිරිමැදීම, සෙලවීම ආදිය මඟින් ස්වසනය උත්තේජනය කිරීමට උත්සහ කරයි. එසේම සමහරවිට වා මඟෙහි ශ්ලේෂ්මල සිරවී තිබිය හැක. එය ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඉහත ක්‍රම කිහිපයෙන්ම දරුවා යථා තත්ත්වයට පත් නොවුනි නම් දරුවා කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ තිරීම මඟින් පෙනහළු වලට ඔක්සිජන් ලබාදීම සිදු කරයි. 

ඉහත තත්ත්වය තුලදී නිවැරදි ලෙස ඉක්මණින් ක්‍රියාත්මක නොවුනහොත් මොලයට ලැබෙන ඔක්සිජන් අඩුවීම හෝ නොමැති වීම නිසා දීර්ඝකාලීනව බලපා හැකි අහිතකර තත්ත්වයන් දරුවන්ට ඇති විය හැක. 

  • මස්තිෂ්ක අඝාතය 
  • Behavioural Disorders – දරුවාගේ හැසිරීමේ වෙනස්කම්
  • ආක්ෂේප (Fits/Convulsions)
  • බුද්ධිමත් බව/ඥානය ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වය (intellectual and cognitive disabilities)
  • මරණය

ආදී තත්ත්වයන් ඇති විය හැක. ඉහත සියළු තත්ත්වයන් ඇති වන්නේ මොළයට ඔක්සිජන් ලැබීමේ හිඟකම නිසා මොළයට තදබල ලෙස අනතුරු වීමෙනි.

Blue Baby Syndrome

දරුවා නිලායනය (cyanosis) තත්ත්වයට පත්වීමයි. දරුවාගේ සම විශේෂයෙන් හඬන විට නිල් පැහැයක් ගනී. විශේෂයෙන් දරුවාගේ අත් හා පාද වල මෙම නිල් පැහැය දැකිය හැක. මෙම තත්ත්වයට හේතු වන්නේ දරුවාගේ රුධිරය ඔක්සිජන් අඩු කමයි. අඩු ඔක්සිජන් මට්ටම දරුවාගේ සමේ පැහැය වෙනස් කිරීමට හේතු වේ. මෙම තත්ත්වයට හේතු ලෙස දකින්නේ හෘදය, පෙනහළු හෝ රුධිරයේ අසමාන්‍යතා වේ. සාමාන්‍යයෙන් ශරීරය පුරා බෙදාහරින රුධිරය පෙනහළු වලදී ඔක්සිජන් වලින් සංතෘප්ති වේ. ඒවා පුප්පුශීය ශිරා 4 ක් ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට පැමිණේ. ඒවා වම් කෝෂිකාව හරහා මහා ධමනියට ඇතුල්වී රුධිරය සිරුර පුරා බෙදා හරී. අවයව වල සිට ගෙන එන ඔක්සිජනිහෘත (Deoxygenated blood) රුධිරය පූර්රිව හා අපර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවටත්, ඉන් දකුණු කෝෂිකාවටත් පැමිණ ඉන් පුප්පුශීය මහා ධමනියට ඇතුල් වී ඔක්සිජන් ලබාගැනීම සඳහා පෙනහළු දක්වා ගමන් කරයි. 

හෘදයේ හෝ පෙනහළු වල අසාමාන්‍ය තත්ත්වයකදී ඉහත ආකාරයට රුධිරයට ඔක්සිජන් ඇතුල්වීම අඩපණ කරයි. මෙම රෝග තත්ත්වයේදී සිදුවන්නේ එයයි. 

 

හේතූ

  • Truncus arteriosus

හෘදයේ සිට රුධිරය ගෙන යන ධමනි 2 ක් වෙනුවට එක් ධමනියක් පිහිටීම. එසේම මෙහි පුප්පුශීය කපාටයද නොපිහිටයි. 

  • Total anomalous pulmonary venous return

කලාතුරකින් ඇති වන හෘදයාබාධයකි. මෙහිදී පෙනහළු වල සිට රුධිරය ගන එව රුධිරවාහිනී හෘදයට සම්බන්ධ නොවීම (වම් කර්ණිකාවට). අසාමාන්‍ය ලෙස හෘදයේ වෙනත් කුටීරයකට සම්බන්ධ වීමයි. 

  • Transposition of the great arteries

මෙහිදී මහා ධමනිය වම් කෝෂිකාවට සම්බන්ධ වීම වෙනුවට දකුණු කෝෂිකාවට සම්බන්ධ වීමයි. 

  • Tricuspid atresia

දකුණු කර්ණිකා කෝෂිකා අතර කපාටය (ත්‍රී තුණ්ඩ කපාටය) හැකිලීම/නොපිහිටීම. 

  • Pulmonary atresia

හෘදයෙන් පුෂ්පුශීය ධමනියට රුධිරය ඇතුළු වන ස්ථානයේ ඇති වන ආබාධයකි. එම කාපාට වල ඇති වන ආබාධයකි. එම කපාටය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවේ. එවිට රුධිරය ඔක්සිජන් ගෙන ඒමට පෙනහළු කරා රුධිරය ගෙන යාමේ අපහසුතා ඇති වේ. 

  • Atrioventricular canal defect

හෘදය සාමාන්‍යයෙන් කොටස් 2 කට බෙදීම නිසා රුධිරය මිශ්‍ර නොවේ. Pediatric Cardiologist කෙනෙකු හෝ Pediatric Pulmonologist හරහා ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article