දරුවෙක් පොත් වලට හුරු කළ යුතුතේ ඇයි? එහි වැදගත්කම කුමක්ද?
අපේ බුද්ධි වර්ධනයෙන් සියයට අනූවක්ම සම්පූර්ණ වෙන්නේ ළමා කාලයේදී. අපිට කොයිතරම් මුදල් තිබුණත් කොයිතරම් ආසාවක් තිබුණත් දරුවෙකුගේ බුද්ධිය වර්ධනය කරන්න ඒ දේවල්වලට හැකියාවක් නැහැ. බුද්ධි වර්ධනය සම්පූර්ණ කිරීමට කියවීම හුරු කරවිය යුතුයි.
එමගින් දරුවෙකුට තමාගේ මුළු ජීවිත කාලය පුරාම අත්දැකිය හැකි ප්‍රතිලාභ හිමි වෙනවා. එයින් ලොකුම ප්‍රතිලාභය වන්නේ කියවීම තුළින් දරුවා ලබන සතුට.
අපි ජීවිතය තුළ සතුට එක් එක් විදයට සොයනවා. දරුවන්ට සතුට හොයගන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ කියවීම. අන්න ඒ නිසයි කියවීම හොඳම විනෝදාංශයක් කියන්නෙත්. ඒක එක ප්‍රතිලාභයක් විතරයි.
සතුටෙන් කියවන දරුවා තම පරිකල්පන ශක්තිය විශාල වපසරියක් තුළ ක්‍රියාත්මක කරනවා. පරිකල්පන හැකියාව කියන දේ අපිට අපේ දරුවෙකුට බාහිරව ලබා දිය නොහැකියි. එය දරුවා තුළින්ම ඇති විය යුතු දෙයක්. එමෙන්ම මේ පරිකල්පන ශක්තිය දරුවා තුළින්ම නිතැතින්ම ඇති කරගැනීමට දරුවා කියවන පොත් දායක වෙනවා.
පරිකල්පන ශක්තිය සංවර්ධනය කරගත් දරුවා ලෝකයේ අනෙක් මිනිසුන් දිහා බලන්නේ ලෝකය දකින්නේ ඒ පරිකල්පන ශක්තිය සමගයි. එනම් පොත පතෙන් තමා ග්‍රහණය කරගත් දේ සමගයි.
කියවීම තුළින් දරුවෙකුට ලෝකය දකින්න හුරු කරනවා වගේම දරුවා තුළ සහකම්පනය ඇති කරනවා. දරුවෙකුට තවත් කෙනෙකු ගැන සිතන්නට අවස්ථාව ඇති කරවනවා. ඒ, පොත් පත් හරහා තවත් පුද්ගලයෙකුට දැනෙන සිතුවිල්ල ඒ ආකාරයෙන්ම අපටත් දැනෙන්නට සලස්වනවා.
උදාහරණයක් විදියට Sugar කියන පොත ගත්තොත් ඒ පොත කියවන දරුවෙකු තවත් කෙනෙක් ගැන හිතන්න නිතැතින්ම පෙළඹෙනවා. ඒ පොතෙන් කතා වෙන්නේ මිසිසිපි ගංගා ද්‍රෝණියේ ජීවත්වෙන කුඩා දැරියක් හා සම්බන්ධ කතාවක්. ඇයගේ මව සහ පියා දෙදෙනාම උක් වත්තක සේවය කරන අතරම කම්කරුවන් ලෙස එහි චීන ජාතිකයන් පැමිණෙනවා. අපිට සීනි කොයිතරම් රසවත් වුණත් ඒ සීනි පිටුපස ඇති කතාව කොයිතරම් තිත්තද කියන එක එම කතාවෙන් කියවෙනවා. අන්න ඒ වගේ කතා තුළින් දරුවන් තුළ සහකම්පනය ගොඩ නංවනවා.
මේ වෙනුවෙන් තවත් උදාහරණයක් දැක්වූවොත් ඔටිසම් තත්ත්වයේ සිටින තම නිවුන් සහෝදරයාගේ දෛනික ජීවිතය ගැන ලියවුණු පොතක් වුණු My brother Charly කියන පොත දක්වන්න පුළුවන්. ඇත්තටම අපි ඔටිසම් කියන තත්ත්වය ගැන දැනගෙන හිටියත් එවැනි දරුවෙකුට කොහොමද ලෝකේ පේන්නේ කියන දේ ඔහුගේ මේ නිවුන් සොයුරියගේ පොතින් අපිටත් අත්දකින්න අවස්ථාව උදා වෙනවා. ඒ තුළින් අපේ සමාජයේ සිටින එවැනි දරුවන් ගැන සිතන්න හැකියාව, දැනුවත් බව අපට ලැබෙනවා.
පොත්පත් විතරක් නෙවෙයි, මෙතැනදී කතන්දරත් බොහොම වැදගත් වෙනවා. මේ හැම කතාවක් වගේම පොත් හරහා අපේ ජීවිතවලට ආදර්ශයන් එකතු කරනවා.
උදරහරණයක් විදියට ඕනෑම පුංචි දරුවෙකුට අපි කියා දෙන ඉබ්බගෙයි හාවගෙයි කතාව ගැන හිතන්න. ඒ කතාව පිටිපස්සේ ලොකු ආදර්ශයක් තියෙනවා. මෙතැනදී ඉබ්බා හා හාවා යන දෙදෙනාම තමන්ගේ අරමුණ දැනගෙන හිටියා. ඉබ්බා තමන්ගේ ශක්ති ප්‍රමාණය ගැනත් දැනගෙන හිටියා වගේම තමා යෙදිය යුතු ක්‍රමය (slow but steady) ගැනත් දැන සිටියා. හාවා එයාගේ හැකියාව ගැන දැනගෙන හිටියා වගේම ඒ ගැන අධිතක්සේරුවකින් හිටියා විතරක් නෙවෙයි ඉබ්බා ගැන අවතක්සේරුවකින් හිටියා. අන්න ඒ හේතු නිසා තමයි හාවාට සහ ඉබ්බාට දෙවිදියකට දිනුම් කණුව වෙත යන්න සිදු වුණේ. මේ විදියට ගත්තොත් අපේ කතාන්දරවලත් සරල කතාවේ සිට සංකීර්ණ කතාවකට යනකල් හැම වෙලාවෙම කතාවකින් ආදර්ශයක් ගන්න තියෙනවා.
පොත් ගැන තව දුරටත් කතා කළොත් දරුවන් වෙනුවෙන් වෙනුවුණු පොත් වල දකින්න ලැබෙන හොඳ ලක්ෂණයක් විදියට දරුවන්ගේ පොත්වල චිත්‍ර තිබීම දක්වන්න පුළුවන්. ඒ චිත්‍ර වලින් අර නොකියූ කතාවක් දරුවාට ගොඩනඟා ගත හැකියි. එමගින් දරුවෙකුගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරනවා. පරිකල්පන ශක්තියෙන් පොහොසත් දරුවෙක් (අකුරු කියවන්න බැරි වයසක හිටියත්) චිත්‍ර දිහා බලලා ඒ කතාව ගොඩනගා ගන්නවා.
පූර්ව ළමාවිය සංවර්ධනය වගේ දේවල් ගැන සාකච්ඡා කරද්දී අපේ සංවර්ධන ක්‍රියාවලිය අනුව ගත්තොත් දරුවෙක් අකුරු ඉගෙන ගන්නේ වයස අවුරුදු පහෙන් පස්සේ. නමුත් කතාවක් කියන්නේ අකුරු නෙවෙයි. ඊට කලින් දරුවෙක් මේ චිත්‍ර දිහා බලලා තමාගෙම කතාවක් නිර්මාණය කරනවා. අන්න ඒ නිසයි කුඩාම අවධියේ සිටම දරුවෙකුට කියවීම හුරු කළ යුතු වෙන්නේ.
ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපේ දරුවන් පාසැලට ඇතුළත් කරන්නේ වයස අවුරුදු හයේදී. එතැන පටන් ඒ දරුවා කියවීම තුළින් එයාගෙ ජීවිතයට උකහා ගත් හැකියාවන් එයාගෙ ඉගෙනුම් පැත්තට යෙදවීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි පොතක් කියවීමේදී හොඳ මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒ වගේම මනා විග්‍රහත්මක හැකියාවක් අවශ්‍යයි. මේ කරුණු දෙක දරුවෙක් තමන්ගේ පාසැල් විෂය මාලාව තුළත් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. තම සිත එකඟ කරගෙන විෂය මාලාව තුළින් ලබා දෙන දැනුම ග්‍රහණය කරගත යුතුයි. මේ හැකියාව කුඩා වියේ සිටම කියවීම ප්‍රගුණ කර සිටි දරුවෙකුට නිතැතින්ම හිමි වෙනවා.
ඒ වගේම කියවීමට හුරු වුණු දරුවෙකුට අතිරේක කියවීම් නිර්දේශ කොට ඒ පිළිබඳව නැවත නැවත ගුරුවරයෙකුට සැලකිලිමත් විය යුතු වන්නේ නැහැ. මන්ද ඒ දරුවා කියවීම හුරු කරගනිමින් පාසැලට පැමිණි දරුවෙක් නම්, එවැනි දරුවෙක් කිසිම විටෙක විෂයමාලාවට, පෙළපොත් වලට පමණක් සීමා වෙන්නෑ. එයාගේ කතාව, හැකියාව, තර්කන හැකියාව මේ සියලු දේ සමග ඒ දරුවා ඉදිරියට ගමන් කරනවා. ඒ මන්ද ඒ දරුවා තම ඉගෙනුම් ජීවිතය තුළින් බුද්ධිය ලබා තිබෙන නිසා. තමන්ගේ පෞද්ගලික ජීවිතයට වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමටත් විශාල අඩිතාලමක් කියවීම තුළින් දරුවාට හිමිවෙනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
රේණුකා තෙන්නකෝන් මහත්මිය
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය