- Advertisement -

අම්මාටත් පවුලේ ආදරය, ආරක්ෂාව සහ අවධානය ඕන…

-

දරුවෙක් කියන්නේ අම්මාගේත් තාත්තාගේත් ජීවිතයේ උතුම් බලාපොරොත්තුව ඉෂ්ට වීමක්.දරුවා වෙනුවෙන් උපත ලබා දීම තරම් දුෂ්කර වේදනාකාරී අත්දැකීමක් තවත් නැහැ. ඒ වුනත් අම්මාට මේ සියළුම වේදනාවන් දරුවාගේ මුහුණ දැකීමත් සමග අමතක වෙනවා.

නමුත් සිදුවීම එතැනින් අවසාන නැහැ.නීරෝගි දරු උපතකින් පසුව සියල්ල අවසාන නැහැ. දරුවා නිවසට රැගෙන ආ දිනයේ පටන් පවුලේ ජීවන රටාව වෙනස් වෙනවා.අම්මාට නින්ද, ආහාර වගේම විවේකය අවශ්‍යයි. නමුත්  පවුලේ උදවියගෙන් අලුත් අම්මාට සැලකිල්ල නැති වීම නිසා ඇය පසු ප්‍රසව විශාදය  නැමැති රෝග තත්වයට ගොදුරු වෙන්න පුලුවනි. දරුවා උපත ලබා අවුරුද්දකදී කුමන හෝ අවස්ථාවක මේ තත්වය ඇති වෙන්න පුලුවනි. සමහර විට එක්වරම හෝ ක්‍රමයෙන් ඇති වෙන්නත් පුලුවනි. දරුවා උපත ලබා පළමු සතියේදී ඇති වෙන කාංසාව,පීඩාව වැනි මානසික පසුබෑම ”බේබි බ්ලුම්ස් “ විදිහට හැඳින්වුවත් මේ තත්වය දරුණු විදිහට බලපාන අවස්ථාවනුත් තිබෙනවා.ඒ විතරක් නොවෙයි. සැමියාගේ ආදරය , ආරක්ෂාව සහ අවධානයත් ඉතාම වැදගත්. 

- Advertisement -

පසු ප්‍රසව විශාද රෝග තත්වයේ ලක්ෂණ

  • දැඩි වෙහෙස
  • හේතුවක් නැතුව දුක්වීම
  • දරුවා අනාරක්ෂිත බව සිතීම

වෙනදා නැති මේ අන්දමේ මානසික තත්වයක් ඇති වීමට ප්‍රධාන වහයෙන් බලපාන්නේ මවගේ හෝර්මෝන සංයුතියේ ඇති වෙන අසමතුලිතතාවයයි. ඇතැම් විට මේ තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. එසේ නොමැති වුනොත් සමහර විට දරුවා විනාශ කිරීම හෝ මන සිය දිවි නසා ගැනීම තරමටම තත්වය බරපතල වෙන්නත් පුලුවනි.

ඖෂධ ප්‍රතිකාර පමණක් මදි..

හැම දෙයටම බේත් විතරක් ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය කියමනට කියන්නා වගේ වෙදකම වගේම හෙදකමත් අවශ්‍ය වෙනවා. හෙදකමේදී අලුත් අම්මා වෙනුවෙන් පවුලේ අයගේ විශේෂයෙන් සැමියා දක්වන ප්‍රතිචාරත් ඉතාම වැදගත්.දරුවන් වැදීම කාන්තාවගේ කාර්යය බව ඇත්ත වුනත් තමන්ගේ බිරින්දෑ පසු ප්‍රසව විශාදය තත්වයෙන් ආරක්ෂා කර ගැනීමට නම් බිරිඳ වෙත සැමියා දක්වන අවධානය ලැබිය යුතු අන්දම ගැනත් ඔබ දැන ගෙන සිටීම ඉතාම වැදගත්.

බිරිඳටත් දරුවාටත් දැනෙන්න ආදරය කරන්න…

එදා ඔබේ පෙම්වතිය අද මවක්. දැන් ඉතින් අම්මා කෙනෙක් වුනාම වෙනදා වගේ ලාමක ලපටි හැසිරීම් බැහැ. දැන් වගකීමක් ඇතුව කටයුතු කළ යුතයි කියන පිලිගැනීමත් වැරදියි. ඒ වගේම දෙවැනි ,තුන්වැනි දරුවා නම් දැන් ඉතින් දරුවන් ලැබීම ගැන අත්දැකීම්ඕනෑතරම් ඇති නිසා සැමියාගේ සහයෝගය අවශ්‍ය නැතැයි හිතන්නත් එපා. ඇයට සැමියාගේ ආදරය මේ කාලයේදී දැනෙන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේම පසු ප්‍රසව විශාදය තත්වයේදී දරුවා අනාරක්ෂිතය යන සිතුවිල්ලෙන් මව පීඩා විඳින්න පටන් ගන්නවා. ඒ නිසා සැමියා විදිහට ඔබ බිරිඳට වගේම දරුවාටත් ආදරය කිරීම ඉතාම වැදගත්.එහෙම නැති වුනොත් බිරිඳගේ හිතේ ඔබ දරුවාට ආදරය නැතැයි යන සැකය ඇති වෙන අතර ඒ මත්තේම ඇය රැඳී සිටීම නිසා කාලයත් සමග විශාදයේ ගොදුරක් බවට පත් වෙන්න පුලුවන්.

විනෝදාංශයකට ඉඩ දෙන්න….

දැන් ඉතින් අම්මා කෙනෙක්…එහෙමත් නැත්නම් දැන් දරුවන් දෙතුන් දෙනෙකුගේ අම්මා කෙනක්. මේ විදිහට ඔබ බිරිඳ ගැන සීමා පැනවිය යුතු නැහැ. ඇය අම්මා කෙනෙක් බව ඇත්ත. ඒ වගේම ඇය සාමාන්‍ය කාන්තාවක්. වෙනදා තිබුන ජීවන රටාවේ තිබුන විනෝදාංශවලටත් අවස්ථාව ලබා දෙන්න. සමහර විට ඇය පොත් පත් කියවීමට කැමැත්තක් දැක්වූ අයෙක් නම් ඒ වෙනුවෙන් විවේකයක් ලබා දෙන්න.ඇය කැමැති රූපවාහිනී කතාවක් හෝ වැඩ සටහනක් නරඹන්න අවසර දෙන්න. ප්‍රසවයෙන් මුල් මාස කීපයක් තුළ ඇති වෙන මේ අපහසුතාවයෙන් ඇය මුදවා ගැනීම ඉතාම වැදගත්. මේ කාලයේදී පිටස්තර ගමන් බිමන් පවා දරුවාගේ පහසුව වෙනුවෙන් සීමා වෙනවා. විනෝද චාරිකාවන්, නෑ ගමන් බිමන් බිලින්දා කැටුව යෑම අපහසු නිසා බිරිඳගේ ජීවිතය එකාකාරී විදිහට ගෙවෙන්න පුලුවන්. නමුත් ඇයට ඉඩ ලැබෙන අන්දමින් පන්සලකට, පල්ලියකට එහෙම නැත්නම් ආසන්න තැනකට හෝ යෑමට අවස්ථාවක් සලසා දීමට සැමියා කාරුණික විය යුතුයි.

බිරිඳ සමග සායනයට යන්න…..

දරු ප්‍රසුතිය සඳහා වූ කාලයේදී බොහෝ විට බිරිඳගේ සායනයට සහභාගී වීම තනියෙන් සිදු වුනත්, දරුවා ලැබීමෙන් පසුවත් ඒ අන්දමින්ම බිරිඳ සායනයට සහභාගී වීම අපහසුයි. ඊට හේතුව දරුවා සමග රැගෙන යන උපකරණ සහ දරුවා වඩා ගෙන සිටීම, කිරි පොවන විට යම් යම් උදව් ලබා ගැනීමට අත්උදව් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් බිරිඳට සිටින හොඳම සහයෝගය ලැබෙන්නේ සැමියාගෙන්. ඒ නිසා හැම අවස්ථාවකදීම නොවුනත් බිරිඳ සමග සායනයට යෑමට සැමියා සූදානමින් සිටින බව ඒත්තු ගියොත් එය බිරින්දෑගේ හිතට විශාල ශක්තියක් .

බිරිඳගේ සහ දරුවාගේ කටයුතුවලට සහය දෙන්න…

අම්මා කෙනෙක් වුනොත් ඇගේ වැඩ කොටස් සහ දරුවාගේ වැට කටයුතු කර ගැනීම සාමාන්‍ය දෙයක් බැව් පවසමින් සැමියා මේ කාර්යන්ගෙන් නිදහස් වීම එතරම් සුබ නැත. ඊට හේතුව මේ කාලයේදී බිරිඳ වඩාත් කාර්ය බහුලයි. දරුවා නිසා රාත්‍රිය කාලයේ සැප නින්දක් නැති වෙන්නත් පුලුවන්.ඒ සමග එක් වෙන වැඩ කොටස් නිසා ඇය මානසිකවත් දැඩි වෙහෙසකට පත් වීම නිසා පසු ප්‍රසව විශාදය තත්වයට ඉතාම පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවන්. මේ තත්වයෙන් ඔබේ බිරින්දෑ මුදවා ගැනීමට නම් හැකි හැම විටම බිරිඳගේ සහ දරුවාගේ වැඩ කටයුතු වෙනුවෙන් සැමියාගේ සහයෝගය ලබා දීම ඉතාම වැදගත්.

නෑදෑ හිතමිතුරන් ඉදිරියේ බිරිඳ අගයන්න…

ඇගයීමට හැම දෙනෙක්ම කැමැතියි.ඒ නිසා සැමයාගේ ඇගයීමත් බිරිඳට වඩාත් විශේෂයි.ඕවා සාමාන්‍ය දේවල්. හැම කාන්තාවක්ම දරුවන් ලබනවා..දරුවන් හදනවා යැයි සාමාන්‍යකරණය කිරීමට වඩා ඇයට ඇගයීමක් ලබා දෙනවා නම් එයින් ලැබෙන සතුට ඇගේ මානසික නීරෝගීතාවයට වඩාත් වැදගත් විය හැකියි.

අතපසුවීම් ගැන කලබල වෙන්න එපා..

සමහර විට බිරිඳගේ ජීවන රටාවේ ඇති අවිවේකීබව නිසා සැමියාගේ කටයුතු හෝ දරුවාගේ කටයුතු පිලිබඳව යම් අතපසුවීමක් ඇති වුනොත් ඒ ගැන ඇයට දොස් පවරන්න එපා. 

ඔයාට ඉතින් දරුවාගෙන් තොර ලෝකයක් නැහැ…මං ගැන කිසිම තැකීමක් නැහැ..මේ එක් ආකාරයක චෝදනාවක්..සමහර විටෙක දරුවා ගැන කිසිම සැලකීමක් නැහැ. මට හිතාගන්න බැහැ ඔයා අම්මා කෙනක්ද…? යැයි චෝදනා නැගීම කිසිම දිනක නොකල යුතුයි. මෙවැනි චෝදනා නිසා ඇති වෙන මානසික පසුතැවිල්ල පසු ප්‍රසව මානසිකත්වයට ගොදුරක් බවට පත් වීම ඉතාම පහසුවෙන් සිදු වෙන්න පුලුවනි.

අනිත් අය සමග සසඳන්න එපා.

මවක් , බිරිඳක් විදිහට ඔබේ බිරිඳ වෙතින් ඔබට වගේම දරුවාට නොදැනීම යම් යම් අතපසුවීම් සිදු වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවන්හිදී වෙනත් කාන්තාවන් සමග සංසන්දනාත්මකව ඇගයීම් නොකරන්න. ඔබේ බිරිඳ යනු එක් චරිතයක් මිස ඇය සෙසු කාන්තාවන්ට ආදේශකයක් නොවෙන නිසා කිසිම විටෙක සංසන්දනය නොකළ යුතු බැව් ඔබ තරයේම සිතට ගන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article