පැටියා බඩ රිදෙනවා කිව්වාම නොසලකා ඉන්න එපා

ඔබේ පුංචි පැටියා නිතරම වගේ බඩ රිදෙනවා කියන පැමිණිල්ල ඉදිරිපත් කරනවා ඇති. සමහර අවස්ථාවලදී ඔබ ඒ ගැන ගණනකට නොගෙන සිටින්නත් පුලුවනි. ඒ වුනත් දරුවා බඩ රිදෙන බවට පැමිණිලි කිරීම  සරල සිදුවීමක සිට  සංකීර්ණ රෝග තත්වයක් දක්වාම පවතින ක්‍රියාවලියක් වෙන්නත් පුලුවනි. ඒ වගේම දරුවා තුළ පවතින වෙනත් දරුණු රෝග තත්වයක ලක්ෂණයක් බඩ රිදීම හෝ උදරාබාධ ඇති වෙන්න පුළුවනි.

දරුවා බඩ රිදෙනවා කිව්වාම දෙමව්පියන් විදිහට ඒ ගැන සැලකිය යුතු කරුණු 

දරුවා බඩ රිදෙන බැව් කී විට දෙමව්පියන් විදිහට ඔබේ අවධානය ලක් විය යුතු කරුණු කීපයක් තිබෙනවා. හදිසියේ ඇති වුන උදර වේදනාවක්ද?…. එහෙම නැතුව පැය කීපයක් හෝ දින ,සති, මාස ගණනක් පුරා පවතින උදරයේ වේදනාවක්ද…?

ඒ වගේම උදරයේ වේදනාව සමග දරුවාගේ ක්‍රියාකාරීත්වය ගැනත් අවධානය දැක්වීම වැදගත්. බොහෝ සෙයින් ක්‍රියාශීලීව සිටින දරුවාගේ හැසිරීමේ රටාවේ වෙනසක් උදරයේ වේදනාව සමග ඇති වෙනවාදැයි සලකා බැලීමත් වැදගත්. දරුවා මළානික හෝ සුදුමැලි වීම වගේම බඩේ කැක්කුම දරා ගැනීමට අපහසු විදිහට හැසිරෙනවාදැයි නිරීක්ෂනය කිරීමත් වැදගත්. උදරයේ වේදනාව පිලිබඳව හඳුනා ගැනීමට උදර වේදනාව ඇති වෙන ප්‍රදේශය අනුව කොටස් නවයක් ගැන වෛද්‍යවරුන් අවධානය යොමු කරනවා. උදරයේ වේදනාව ඇති වෙන ප්‍රදේශය අනුව ශරීරයේ පිහිටි අවයව අනුව රෝග තත්වය පිලිබඳව පූර්ව විනිශ්චයක්  ලබා ගැනීමේ පහසුව වෛද්‍යවරයාට ලැබෙනවා.

උදරයේ රිදුම් දෙන ප්‍රදේශ මේ විදිහට බෙදා දක්වන්න පුළුවනි.

  • දකුණු පස උඩ ප්‍රදේශය- අක්මාව, පිත්තාශය
  • උදරයේ වම් පස උඩ ප්‍රදේශය- ප්ලීහාව
  • උදරයේ මැද ප්‍රදේශය-ආමාශය ගැස්ට්‍රයිටිස් ,බැක්ටීරියා හෝ වෛරස ආසාදන
  • උදරයේ දෙපස-වකුගඩු සහ මුත්‍රා නාල
  • උදරයේ  දකුණු පස යට ප්‍රදේශය- ඇපෙන්ටිසයිටිස්
  • උදරයේ වම් පස යට ප්‍රදේශය-මල බද්ධය , බඩ වියලීම
  • උදරයේ යටින් ප්‍රජනන පද්ධතිය සහ මුත්‍රා ආශ්‍රිත ආබාධ

දරුවන්ට බොහෝ විට ඇති වෙන උදරාබාධවලදි උදරයේ මැද රිදුමක් ඇති වෙන්න පුළුවනි. එය බොහොම සුළු රෝග තත්වයක් වගේම සමහර විට  විවිධ රෝග තත්වයන්හි පෙර නිමිත්තක් විදිහටත් දැනෙන හැකියාව තිබෙනවා.

දරුවන්ගේ උදරාබාධ හඳුනා  ගැනීම

දරුවන්ගේ උදරාබාධ හඳුනා ගැනීමේදී ඒ හා සම්බන්ධව පවතින වෙනත් රෝග තත්වයන් ගැනත් සලකා බැලීම වැදගත්. සමහර විට දරුවා පැමිණිලි කරන්නේ උදරයේ වේදනාව වුනත් ඒ පිටුපසින් වෙනත් රෝග තත්වයන් තිබෙන්න පුළුවනි.

බඩේ කැක්කුම සමග මෙවැනි රෝග ලක්ෂණ තත්වයන්ද දරුවා තුළ පවතින්න පුළුවනි.

  • වෛරස ආසාදන සහිත උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව
  • උදරයේ වේදනාව සමග වමනය. පාචනය
  • මුත්‍රා ආසාදනවලදී මුත්‍රාදැවිල්ල , මුත්‍රා සමග රුධිරය පිටවීම
  • බඩ වියලීම , මලපහ සමග රුධිරය පිටවීම
  • සමේ දද කුෂ්ට තිබීම
  • උදරය ඉදිමීම

දරුවන්ගේ බඩේ කැක්කුම ඇති වෙන විවධ වයස් සීමාවන් සමග රෝග තත්වයන් හඳුනා ගැනීම.

දරුවන්ට විවිධ වයස්වලදී උදරාබාධ ඇති වෙනවා. ඒ අනුව දරුවාගේ රෝග තත්වයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

අලුත උපන් දරුවෙකු මුල් මාස කීපයේදී  නිතරම අඬනවා නම් වමනය, මල පිට නොවීම  සහ උදරයේ පිපුමක් ඇත්නම් එය බඩවැල් අවහිර වීමක් විදිහට සලකන්න පුලුවනි.

මාස දෙක තුනක් වයසැති දරුවෙක්  නිතරම හවස් වරුවට අඬනවා නම් දරුවාගේ බඩවැලේ වාතය  පිරීමක් (Infant  colic ) විදිහට සලකන්න පුලුවනි.මෙයට විශේෂ හේතුවක් තවම නැහැ.

අවුරුදු එකට අඩු දරුවෙක් ගේ උදරයේ වේදනාව මලබද්ධය, පාචනය, වෛරස්, හෝ බැක්ටිරියා  ආසාදන , වෛරස් උණ රෝග නිසා ඇති වෙන්න පුළුවනි.

අවුරුදු දෙකට වැඩි දරුවෙකු නම් ඇපෙන්ටිසයිටිස් ආසාදන තත්වය නිසා සහ වෙනත් රෝගවලට ලබා ගන්නා ඖෂධ නිසා බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවනි.

අවුරුදු පහට වැඩි දරුවෙකුගේ කිසිම හේතුවක් නැතුව කාලයක්  (^functional abdomen pain )& නිරන්තරව ඇති වෙන උදරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. මෙහිදී පරීක්ෂණ සිදු කළත් පැහැදිළි රෝගයක් හදුනා ගැනීම අපහසුයි.

ගැහැණු දරුවෙකුගේ නම් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් නිසා උදරයේ යටි ප්‍රදේශයේ වේදනාවන් ඇති වෙන්න පුලුවනි.

නිවසේදීත් ලබා දිය හැකි ප්‍රතිකාර තිබෙනවා.

දරුවෙකු උදරයේ වේදනාව ගැන පැමිණිලි කරනවා නම් ඒ සැනින් වෛද්‍යවරයකු වෙත යොමු වීම අවශ්‍ය නැහැ. දරුණු ප්‍රශ්නයක් නැත්නම් දෙමව්පියන්ට ඒ වෙනුවෙන් ලබා දිය හැකි සරල ප්‍රතිකාර තිබෙනවා.

දරුවා නිරාහරව සිටින කාලය තුළ උදරයේ වේදනාවක් ඇති වුනොත් ගැස්ට්‍රයිටිස් තත්වය නිසා විය හැකියි. ඒ නිසා දරුවාට ආහාර ලබා දෙන්න පුලුවනි.

කිසිම හේතුවක් නොමැතිව බඩේ කැක්කුම ගැන පැමිණිලි කරන දරුවන්ට ඔබේ අවධානය ලබා දෙන්න. ඔවුන් ආදරයෙන් ස්පර්ශ කරන්න. බොහෝ දරුවන් තමන් වෙත අවධානය ලබා ගැනීමට මේ විදිහට ”හොර ලෙඩ ”ගැනත් කියනවා.

දරුවා ඝන ආහාර ගැනීමට අප්‍රියතාවයක් දක්වනවා නම් සරල දියර ලබා දෙන්න. නමුත් හිතුමතයේ විවිධ පාන වර්ග ලබා දීම සුදුසු නැහැ.

වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම

දරුවාගේ  හදිසි බඩේ කැක්කුම පැය විසිහතරකටත් වඩා පවතිනවා නම් හෝ දරුවාගේ හැසිරීම තුළ යම් අපහසුතාවයක් පෙන්වනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්.

 පහත දැක්වෙන රෝග සංකුලතාවයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරන්න එපා.

  • අධික පාචනය,වමනය සමග කිසිම දියර වර්ගයක් පානය කිරීමට නොහැකිවීම.
  • තද බඩේ කැක්කුම ( අදාල ප්‍රදේශයට අතවත් තියන්න නොදෙන තරම් )
  • දරුවා මලානිකව සුදුමැළි ගතියෙන් සිටීම හෝ නිදිමත
  • මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම.
  • මල පහ සමග රුධිරය පිටවීම.
  • බඩේ කැක්කුම සමග සමේ දද වර්ග
  • උණ ,කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග සමේ දද හෝ කුෂ්ට ගතිය
  • වරින්වර එන තද කැක්කුම
  • උදරයේ ඉදිමුම
  • බඩ කැක්කුම සමග සන්ධි වේදනාව

දරුවා උදරාබාධවලින් ආරක්ෂා කර ගැනීමට නම්..

  • දරුවා උදරාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නම් දරුවාගේ ආහාර ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්. ඒ නිසා
  • දරුවෙකුට සරල , සමබර ආහාර ලබා දීම
  • දරුවාගේ ආහාර පිරිසිදුව සකස් කර දීම වගේම ආහාර වේල් මග හැරීමට ඉඩ දීම සුදුසු නැහැ. අපිරිසිදු ආහාර නිසා දරුවාට අජීර්ණ තත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා.
  • වැඩි වේලාවක් කුසගින්නේ සිටීම නිසා ඇති වෙන ගැස්ට්‍රයිටිස් තත්වයන් වලක්වා ගැනීමට නම් දරුවාගේ ආාහර වේල් ගැන සැලකීම වැදගත්.
  • කෘතිම ආහාර වගේම රස සහ වර්ණ කාරක ආහාර ලබා නොදෙන්න.
  • වීදි ආහාර නිසා දරුවාට ආහාර ආසාත්මිකතාවයන් වගේම උදරාබාධයන් ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා.
  • තන්තු බහුල ආහාර වගේම දරුවාට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න. මල බද්ධයෙන් වලක්වා ගැනීමට එය ඉතා පහසුවක්.
  • දරුවාට අවුරුද්දක් වුන තැන පටන් වැසිකිළි පුරුදු පුහුණු කරන්න. මලබද්ධයෙන් දරුවා පීඩා විඳින්නට පෙරාතුව වැසිකිලි යෑම හුරු කිරීම වැදගත්.

දරුවන්ට ව්‍යායාම වැදගත්. 

ඒ වගේම ඩෙංගු සහ කොවිඩ් රෝග තත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත්. කොවිඩ් සමග ඩෙංගු රෝග තත්වය අමතක වුනත් දරුවන් ඉතාම පහසුවෙන් ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම තිබෙනවා.

කොවිඩ් වෙනුවෙන් තවමත් දරුවන් පූර්ණ එන්නත්කරණයට පත් වී නැහැ. ඒ නිසා දරුවන් ගැන දෙමව්පියන්ගේ වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. දරුවන් සමාජයෙන් දුරස්ථව තැබීම වගේම මුව ආවරණ භාවිතය සහ අත් සේදීම වැනි සනීපාරක්ෂක  පුරුදු හුරු කරන්න.

දරුවන් සමාජයෙන් දුරස් කළත් දෙමව්පියන්ගේ සමාජ සංචරනයන් සීමා කිරීම අපහසුයි. නමුත් දෙමව්පියන් විදිහට ඔබ හැකිතරම් සමාජ දුරස්ථබව සහ සංචරණයන් සීමා කරන්න. ඒ වගේම නිවසට පැමිණි පසුවත් අත් හොඳින් සෝදා ගැනීමට පෙරාතුව දරුවන් ස්පර්ශ කරන්න එපා. කොවිඩ් වසංගතයක් සමග ජීවත්වෙන අද දවසේදී ඔබේ දරුවාගේ නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමව්පියන්ට තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරෝධිකා දයාරත්න මහත්මියගේ සාකච්ඡාවක් ඇසුරිනි.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here