- Advertisement -

විශ්‍රාම ජීවිතය සතුටින් ගෙවන්න

-

උපත සමග මරණය ගැනත් සහතිකය තිබෙනවා වගේම අපි යම් වෘත්තියක් වෙනුවෙන් පත්වීම් ලිපියක් ලබන විට ඒ සමගම විශ්‍රාම ලැබීමේ කාලවකවානුවත් තීරණය වෙනවා. නමුත්…බොහෝ වැඩිහිටියන් තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමටත් පෙරාතුව රෝගී තත්වයට පත් වීම හෝ මරණයට පත් වෙන අවස්ථාවන් ගැනත් වාර්තා වෙනවා.නමුත් අපි විශ්‍රාම ජීවිතය ප්‍රිතිමත් අත්දැකීමක් බවට පත් කර ගන්නේ කොහොමද…?

ප්‍රිතිය ඇත්තේ අපි සමග…

- Advertisement -

යම් පුද්ගලයෙකුගේ ප්‍රිතිමත්බව රඳා පවතින්නේ පුද්ගලයාගේ සෞඛ්‍යය, ආකල්ප, චර්යාව සහ පරිසරය මතයි.සෞඛ්‍යය යනුවෙන් අර්ථවත් වෙන්නේ  හුදෙක් රෝගවලින් මිදීම පමණක් නොව, ශාරීරික, මානසික , සමාජයීය සහ ආධ්‍යාත්මික ගුණ වගාවයි.

 ශාරිරික සෞඛ්‍යය ගැන කථා කලොත්…

ශාරිරික සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් නිසි පෝෂණය අවශ්‍ය වෙනවා. සමතුලිත ආහාර සමග එළවලු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීම, අවශ්‍ය පරිදි ව්‍යායාමවල යෙදීම වැදගත්.

දැන් අපි නිදහස් මිනිස්සු යැයි සිතමින් ඔබේ ජීවිතය රූපවාහිනියට බිළිදෙන්න එපා. අඩුම වශයෙන් ගෙවත්තේ හෝ ඇවිදින්න. මිදුල අමදින්න. මල්පැලවලට සාත්තු සප්පායම් කරන්න. මේ වගේ පුංචි ක්‍රියාකාරකම්වලින් ඔබට යම් අන්දමකින් ව්‍යායාමක් ලැබෙනවා.ඔබ ශාරිරික ලෙසින් ක්‍රියාකාරී පුද්ගලයෙක් වීම නිසා සුව නින්දක් ලබා ගැනීමටත් පුලුවනි. යම් ලෙසකින් වයසත් සමග නින්ද නොයන ගැටලු ඇත්නම් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය ඇයි…?

විශ්‍රාම යන වයසත් සමග බොහෝ විට යම් යම් රෝගාබාධයනුත් ඇති වෙනවා. බෝනොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමත් ඉහලයි. ඒ නිසා ඔබ නිදන්ගත රෝග තත්වයන්ට ප්‍රතිකාර ලබනවා නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න. හිතුමතයේ බෙහෙත් ගැනීම වගේම හිතුමතයේ බෙහෙතේ නොගෙන සිටීමත් සුදුසු නැහැ.

මනස ප්‍රිතිමත්ව තබා ගන්න…

කායික නිරෝගිතාවය වගේම මනසේ නිරෝගිතාවයත් ඉතාම වැදගත්. ප්‍රිතිමත් ජීවිතයක් වෙනුවෙන් ප්‍රිතිමත් මනසක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ නිසා අනුන් මත දොස් පවරනවා වෙනුවට ඔබේ කටයුතුවල වගකීම ඔබ බාර ගන්න.

කාලය කළමනාකරණය කරන්න..

ප්‍රිතිමත් මනසක් ගොඩ නගා ගැනීමට නම් කාලය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්.බොහෝ විට කාලය කළමනාකරණය කර ගැනීමට අපහසුවීම  නිසා ගොඩ නැගෙන කලබල මානසිකත්වය නිසා මානසිකව වෙහෙසකර තත්වයට පත් වීමේ අවදානම ඉතාම ඉහලයි. ඒ නිසාම වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම ඔබ නොදැනීම යම් යම් රෝග තත්වයන්ට හේතුවක් වෙනවා.

හැකියාවන් සහ නොහැකියාවන් හඳුනා ගැනීම…

නිරෝගි මානසිකත්වයක් පවත්වා ගැනීමට නම් කාලය අනුව තමන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් හඳුනා ගැනීම ඉතාම වැදගත්. වියපත් වීම සමග හැම පුද්ගලයෙකුටම යම් යම් දේවල් කිරීමට නොහැකි වුනත් එම නොහැකියාව ගැන කම්පා විය යුතු නැත. ඒ අන්දමින් කම්පා වීම යනු ඉතාම ඉක්මනින් ආතතියට පත් වීමට ඇති අවස්ථාව ඉහළ යෑමක් වේ.

හුදෙකලා නොවන්න

විශ්‍රාම ගන්නා වයසත් සමග බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගෙන් දුරස් වීමේ ස්වභාවයක් ඇති වේ. එය අපේ ජීවන රටාවේ සාමාන්‍ය තත්වයක් බැව් ඇත්ත වුනත් වියපත් දෙමව්පියන් තනියම සිටීමත් යම් ආකාරයකින් ඔවුන් මානසිකව පීඩනයට පත් වෙන අවස්ථාවක් විය හැක.ආර්ථික වශයෙන්ද බොහෝ මව්පියන් දුර්වල තත්වයන්ට පත් වෙන නිසා විශ්‍රාම ජීවිතය සැලසුම් කර ගැනීම වෙනුවෙන් ඔබ ආදායම් ලබන කාලයේදී යම් වැඩපිලිවෙලක් සූදානම් කර ගැනීමත් වැදගත් බව සිතන්න.

සිතට අසහනය ගෙන දේ අමතක කරන්න…

දෙමව්පියන් ලෙසින් ඔබ අතීතයේදී සැලසුම් කළ සුන්දර ජීවිතය අද ඔබට ඒ අන්දමින්ම නොලැබී ඇති. දරුවන් මුල් කර ගෙන ඔබ ගොඩ නගා ගත් බලාපොරොත්තු බොහෝ සෙයින් ගිලිහී ඇති. එහෙත් කම්පා නොවන්න.අහිමිවීම් ගැන ළතැවෙනවා වෙනුවට ලද අවස්ථාවට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. අහිමිවීම් ගැන කම්පා වෙන සෑම මොහොතකම අහිතකර හෝර්මෝන නිදහස් වීම නිසා ඔබේ මානසික නිරෝගිතාවය පවත්වා ගැනීම අපහසු වෙන බව තරයේම මතක තබා ගන්න.

ධනාත්මක වන්න…

මේ වෙන විට ඔබ ජීවිතයේ සෑහෙන දුරක් ගමන්ගත් ගෞරණීය පුරවැසියෙක් බැව් ඇත්ත. තව ජීවත්වීමට ඇත්තේ ටික කාලයක් යැයි සිතමින් ජීවිතය දෙස සෘණාත්මකව බලනවා වෙනුවට සෑම දවසක්ම අලුත් බලාපොරොත්තුවලින් පුරවා ගන්න.

විනෝදාංශයක්…

වැඩිහිටිවියේ පසුවෙන ඔබට හිතට සතුටක් ලබා දෙන කුමන හෝ කාර්යක් ඇති. සමහර විට මල් වැවීම, ඇඳුම් මැසීම, පොත් පත් බැලීම වැනි ඔබටම අනන්‍ය වූ යම් විනෝදාංශයක් ඇත්නම් එය දිගින් දිගටම පවත්වා ගන්න. මේ අතරවාරයේ තව තවත් අලුත් විනෝදාංශ වෙනුවෙන් ඔබේ හිත යොමු වෙනවා නම් ඒවා ප්‍රතික්ෂෙප කරන්න එපා. විනෝදාංශයක් වෙනුවෙන් ගැලපෙන වයසක් නැත. ඔබට විනෝදය ලබා දෙන කුමන හෝ කාර්යක් යනු ඔබේ ජීවිතයට සතුට උදාහරන අවස්ථාවක් වේ.

සමාජ සම්බන්ධතා අවශ්‍යයි…

කිසිම විටෙක දැන් අපි අවලංගු කාසි යැයි හිතන්න එපා. ඔබ මේ වෙන විට ජීවිතයේ බොහෝ දුරක් පැමිණ සිටී. ඔබ වෙනුවෙන් දරුවන්, මුනුපුරන් ඇති. දරුවන්ගේ පවුල්වලින් සම්බන්ධ වුන ඥාති පරම්පරාවක් වගේම අසල්වැසියන් අතරත් ඔබ ගෞරණීය චරිතයක් විය හැකියි. ඒ නිසා නිතරම සමිති සමාගම් සහ සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට මැලි වෙන්න එපා. එය ඔබේ ජීවිතය ජීවත් කරවන කලාවක් වෙන බවත් තරයේම හිතට ගන්න.

අලුත් දෙයක් ඉගෙන ගන්න..

ජීවිතයේ අපි බොහෝ දේ දිනෙන් දින උගත ගත යුතු පැව් ඔබ දන්නවා. දැන් ජීවිතයේ බොහෝ දුරක් පැමිණි ඇති ඔබ අලුත් යමක් ඉගෙනීමට ඇති අවස්ථාවන් මග හරින්න එපා.අලුත් යමක් ඉගෙනීම නිසා ඔබේ ස්නායු දුර්වල වීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. පර්යේෂකයන් පවා වියපත් පුද්ගලයන් වෙනුවෙන් ප්‍රහෙලිකා පිරවීම මොළයට හොඳ ව්‍යායාමයක් ලෙසින් හඳාුනා ගෙන තිබෙනවා.

මත්වතුර සහ දුම්වැටි…

අපේ පිරිමි වැඩිහිටියන් විශ්‍රාම කාලයේදී ලද නිදහස නිසා මත්වතුර සහ දුම්වැටි වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් දැක්වූවත් එයින් සිදුවන්නේ ඔබ අකාලයේ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමක් පමණි. මතකය දුර්වල වීම, ස්නායු පිලිබඳ ගැටලු ඇති වීමට මෙම වැරදි ජීවන පුරුදු හේතු විය හැකි නිසා හැකි තරම් මත්වතුර සහ දුම්පානයෙන් ඈත් වෙන්න.

මේ අන්දමට විශ්‍රාම ජීවිතය තුළ කායික සහ මානසික නිරෝගිතාවය සමබල ලෙසින් පවත්වා ගැනීම නිසා ඔබ ප්‍රිතිමත් වැඩිහිටියෙක් ලෙසින් සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දීමේ හැකියාව ලබා ගැනීම අපහසුවක් නොවේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝ වෛද්‍ය විශේෂඥ එස්. සී. ඒ අරඹේපොල මහත්මිය

මහනුවර ජාතික රෝහල

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article