අපට හදවතින් සමීපව සිටින අය වුනත් සර්ව සම්පූර්ණ නැහැ

පවුලක් තුළ පුංචි පුංචි අඬ දබර සිදුවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒවායින් හෙම්බත් වෙන්නේ දරුවන් බව අපි දන්නවා සමහර දෙමව්පියන්ට හොස්ස ළගින් මැස්සා යන්න බැරි තරම් කේන්තිකාරයෝ. හොද්දට ලුණු ටිකක් වැඩි වුනොත් , එහෙම නැත්නම් තේ කහට එකට සීනි ටිකක් අඩු පාඩු වුනොත් ඉවසුම් නොදෙන පවුල් තිබෙනවා.

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ආචාර්ය අබ්දුල් කලාම් කියන මේ පුංචි කථාව ඇහුවොත් ඔබටත් මේ ගැන යම් අදහසක් ඇති වේවි.

අබ්දුල් කලාම්ගේ අම්මා එදා රාත්‍රි ආහාරයට රොටී සහ ” සබ්සි ” ( ඉන්දියාවේ ව්‍යංජනයක් ) ව්‍යාංජනයක් සකස් කර තිබුණා. හැබැයි රොටී ටිකක් කර වෙලා.රාත්‍රි ආහාර මේසයේදී අබ්දුල් කලාම්ගේ පියා දවසේ ආ ගිය තොරතුරු විමස ගමන්ම කර වුන රොටී කිසිම වෙනසක් නැතුවම ආහාරයට ගත්තා.

  • අද මගේ අතින් රොටී කරවුණා ( පමණට වඩා පිලිස්සී ) අම්මා බොහොම බැගෑපත්ව කිව්වා….
  • මං කැමැති කර වුන රොටී කන්න….අබ්දුල් කලාම්ගේ පියා කිව්වා…පුංචි අබ්දුල්ට මේ ගැන පුදුම හිතුනා. කර වුන රොටී පුංචි අබ්දුල් වුනත් ආහාරයට ගත්තේ කැමැත්තෙන් නොවෙයි.
  • රාත්‍රි නින්දට පෙරාතුව තාත්තාට සුබ පතන්න කලාම් තාත්තාගේ ඇඳ ළඟට ගියා.
  • තාත්තේ…ඇත්තටම ඔයා කර වෙච්ච රොටි කන්න කැමැතිද…?

පුතේ…අම්මා බොහොම මහන්සි වෙලා රොටී හැදුවේ. ඒක පිලිස්සුනාට ඇයට කරන්න දෙයක් නැහැ. මම ඒ ගැන තරහෙන් කතා කලා නම් රොටියට රිදෙන්නේ නැහැ. ඒත් අම්මාගේ හිත රිදෙනවා.

පුතා දන්නවාද…? ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැහැ…ඒ වගේම තමයි අපට හදවතින් සමීපව සිටින අය වුනත් සර්ව සම්පූර්ණ නැහැ…අබ්දුල් කලාමේගේ පියා ඔහුට එසේ පිලිතුරු දුන්නා.

ඇත්තටම  පවුලක් වුනාම එකිනෙකා වෙතින් අඩුපාඩු සිදු නොවෙනවාම නොවෙයි. නමුත් අපි ඒවා ඉවසා ගෙන සිටීම ඉතාම වැදගත්.

අනවශ්‍ය පෞරෂයක් අවශ්‍ය නැහැ…

පවුලක් තුළ අපි හැම දෙනෙක්ම සහජීවනයෙන් ජීවත් වීම ඉතාම වැදගත්.තාත්තා විදිහට පවුලක් තුළ ලැබෙන ගරුත්වයක් තිබෙනවා. ඒ වගේම අම්මා කියන ආදරණීය චරිතයටත් යහපත් වූ පිළිගැනීමක් තිබෙනවා. නමුත්…තාත්තා තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට යැයි සිතා නිතරම පමණ ඉක්මවා ගිය සැර පරුෂ චරිතයක් වීම අවශ්‍ය නැහැ.

සැර පරුෂ වුන පමණින් පිළිගැනීමක් ඇති වෙන්නෙත් නැහැ…

දරුවන් ගේ ළමා කාලය පවතින්නේ ඉතාම කෙටි කාලයක්. එය අසුරු සැනින් ඉගිලෙනවා. නමුත් බාල කාලයේදී ඔවුන් ලබන රසවත් අත්දැකීම් දරුවන් සමගම ජීවත් වෙනවා. ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ පවුල තුළ නිතරම සුන්දර මතක ඉතිරි කිරීම ඉතාම වැදගත්.

කටුක අත්දැකීම් දරුවන්ගේ අනාගතයට බලපානවා…

බාල කාලයේ නිවස තුළ ලබන අම්හිරි අත්දැකීම් සමග ජීවත්වෙන දරුවන් අනාගතයේදී වැඩිහිටියන් වුනත් ඔවුන්ගේ මානසිකත්වය බෙහෙවින්ම වෙනස් වෙන්න පුලුවනි. අප අතර වුනත් සිටින ඇතැම් වැඩිහිටියන් පවා විවිධ චර්යා රටාවන්ගෙන් යුක්ත බැව් වැඩිහිටියන් විදිහට ඔබ දන්නවා. ඒ වෙනුවෙන් බොහෝ විට ඔවුන් ළමා කාලයේදී ලත් කටුක අත්දැකීම් පාදක වෙන්න පුළුවනි.

ආර්ථික දුෂ්කරතාවයන් තිබෙන්න පුළුවනි…

කටුක අත්දැකීම් කී විට ආර්ථික දුෂ්කරතාවයන් දරුවන්ගේ පෞරෂයට බලපෑම් ඇති කරන්නේ නැහැ.වේලක් ඇර වේලක් කෑවත් දරුවන්ට මානසික සතුට අවශ්‍යයි. අධි සුඛෝපබෝගී නිවසක වුනත් දරුවන්ට දරුවෙකු ලෙසින් ජීවිතයේ සතුට , සැනසිල්ල සහ ප්‍රිතිමත් අත්දැකීම් නොමැති වුනොත් ඒ නිවස සැබැවින්ම දරුවාට අපායක් විය හැකියි.

ළමා විය උදුරා ගත් වේදනාව…

දරුවන් පිලිබදව සිතන විට හැම දරුවෙක්ම එක හා සමානව ජීවිතයට මුහුණ  දීමේ හැකියාවෙන් යුක්ත නැහැ. ඇතැම් අවස්ථාවලදී පවුලේ මව්පියන් නිසා ඇති වුන ගැටුම් මැද ජීවත් වුනත් පසුකාලයේදී දෙමව්පියන් සමග සහජීවනයෙන් ජීවත් වෙන දරුවන් සිටිනවා. ඒ අතරම ඇතැම් දරුවන්ට තමන්ගේ සුන්දර ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට නොමැති වීම හෙවත් ළමා විය අහිමි වීමේ වේදනාව නිසා මව්පියන් සමග දුරස් බවක් ඇති වෙනවා.ඒ නිසා කිසිම විටෙක දරුවන්ට ඔවුන්ගේ නිවස තුළ මව්පියන්ගේ අඩ දබර නිසා බියෙන් ජීවත් වීමට ඉඩ තැබිය යුතු නැහැ.

පවුලක් වුනොත් ගැටුම් නැතුවාම නොවෙයි…

එක වහලක් යට ජීවත් වෙන විට යම් යම් ගැටුම් සහ බහින්බස් වීම් ඇති වෙනවා. ඒවා සාමාන්‍යයි. නමුත් හැකි තරම් දුරට දෙමව්පියන්ගේ මතවාද සහ බහින්බස් විම් දරුවන් ඉදිරියේ සිදු නොවෙනවා නම් වඩාත් යෝග්‍යයි. වචනයෙන් වුනත් එල්ල කරන ප්‍රහාර පවා දරුවන්ගේ මානසික සතුටට දැඩි සේ බලාපන්න පුලුවනි. උණුසුම් වාග් ප්‍රහාර වුනත් දරුවන් බියෙන් ත්‍රස්ත කිරීමට සමත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ අතර ඇති වෙන ගැටුම් දරුවන් ඉදිරියේදී සිදු නොවන තරමට දරුවා පවුල තුළ ප්‍රිතිමත් සාමාජිකයෙක් ලෙසින් ජීවත් වේවි.

එකිනෙකා විවේචනය කරන්න එපා…

සැමියා බිරිඳ වහයෙන් පමණක් නොව පවුලේ තවත් සාමාජිකයන් අතරත් අදහස් හුවමාරු වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවන්හිදී ඔබේ ආවේගය නිසා සිතට නැගෙන අදහස් කිසිදු පාලනයකින් තොරව මුදා හරින්න පුලුවනි. ඒ සෑම අවස්ථාවකදීම පවුලේ කුඩා සාමාජිකයන් වුනත් දුව , පුතා ඉදිරියේදී නිර්දය ලෙසින් විවේචන මුදා හරින්න එපා. බිරිද ලෙසින් ඔබ සැමියාත් ඔහුගේ මව , පියා…සැමියා ලෙසින් ඔබ බිරිඳ ඇගේ මව / පියා විවේචනය කරන විට දරුවන් තුළත් ඔවුන් මුල් කර ගෙන ඇති ගරුත්වය හීන වීමට ඉඩ තිබෙනවා.

පවුල් ගහට නගින්න එපා…

අඹු සැමියන් අතර ඇති වෙන පුංචිම පුංචි සිදුවීමේදී පවා අනවශ්‍ය ලෙසින් පවුල් ගස සම්බන්ධ කර ගන්නා අවස්ථාවන් තිබෙනවා. උදාහරණයක් ලෙසින් ඔබේ ව්‍යංජනයේ යම් අඩුපාඩුවක් කී සැනින් ” මම කොච්චර රසට ඉව්වත් වැඩැක් නැහැ. අම්මා ඇල්වතුරෙන් උයලා දුන්නත් ඒවා දිව්‍ය භෝජන වගේ… යැයි  ආවේශ වෙන්න එපා.

අතීතයට යන්නත් එපා…

පවුල තුළ පුංචි ගැටුමක් වුනොත් එය ඒ අවස්ථාවට පමණක් සීමා කර ගන්න. මීට පෙරාතුව සිදුවුන තවත් සිදුවීම් අද සිදුවීමට ගලපා ගන්න එපා. ඒවා සියල්ල දැන් සිදුවී අවසානය බැවින් අනවශ්‍ය ලෙසින් ගැටුම දුර දිග ගෙනියන්න අවශ්‍ය නැහැ.පවුගේ ගැටුම් නිසා පුංචි හිත් බොහෝ සෙයින් රිදෙන බව දෙමව්පියන් විදිහට ඔබ මතක තබා ගන්න.

 

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here