- Advertisement -

දරුවන්ගේ දෙබිඩි චරිත

-

ඔබේ දරුවා සමහර විට නිවසේදී මුරණ්ඩු, අකීකරු සහ පවුලේ උදවිය සමග සහජීවනයෙන් කාලය ගෙවීමට සූදානමක් නොමැති දරුවෙක් විය හැකියි. ඒ වුනත් එවැනි දරුවෙකු සමාජයේදී ඉතාම යහපත් දරුවෙක් ලෙසින් සමාජානුයෝජනය වී සිටින්න පුලුවනි. ඒ වුනත් නිවසට යහපත් නොවන දරුවා බාහිර ලෝකයට බොහොම යහපත් චරිතයක් ලෙසින් කටයුතු කරන්නේ ඇයි…? අනේ ඔයාගේ පුතා හරිම හොඳ දරුවෙක්. අපේ වැඩට හරියට උදව් කලා… මේ විදිහට කියන විට ඔබේ හිතට සතුටක් දැනෙනු ඇත. නමුත් මේ කථා කරන ඔබේ දරුවා පිඟානක් කෝප්පයක් සෝදන තරම්වත් උදව්වක් ඔබට නොකරන්න පුලුවනි.

නිවස තුළ තමා ආරක්ෂිතයි..

- Advertisement -

ඔබේ දරුවා නිවසේදී ජීවත් වෙන්නේ ඔවුන්ට ඇවැසි අන්දමට විය හැකියි.දරුවාට නිවසේ මොන අන්දමින් හැසිරුනත් තමාට ආරක්ෂාව ලැබෙන බැව් දරුවා දන්නවා. ඒ නිසා අමුතුවෙන් ‘‘ හොඳ “ යන සංකල්පයක් ඔවුන් මුල් කර ගෙන ගොඩ නගා ගැනීමට දරුවන් තුළ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම දරුවා නිවසේදී තමන්ට ඇති ආරක්ෂාව ගැන තිබෙන සහතිකය නිසාම පවුල තුළ සාමකාමී චරිතයක් බවට පත් නොවන්නට ඉඩ තිබෙනවා.

තමාට අවශ්‍ය දේ ලබා ගත හැකි බැව් දන සිටීම.

නිවස තුළ දරුවාගේ හැසිරීම කෙසේ වුනත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලැබෙන බැව් දරුවා දන්නවා. වරදින්නේ නැති බත් පත අම්මාගෙන් නොවරැදීම ලැබුනත් සමාජයේදී එවැනි සංග්‍රහයක් ලැබීමට නම් දරුවා මුල් කර ගෙන සමාජයේ පිලිගැනීමක් අවශ්‍ය බැව් ඔවුන් තේරුම් ගන්නවා. ඒ නිසාම නිවසට වඩා පිටස්තරයන් ඇසුරු කිරීමේදී යම් හික්මීමක් අවශ්‍ය බැව් දන්නා නිසාම දරුවා  සමාජයට අවනත චරිතයක් ලෙසින් ජීවත් වෙනවා.

සමාජයෙන් නිවස තුලින් ලැබෙන තැන නොලැබීම.

සමහර විට දෙමව්පියන් වෙතින් සිදු වෙන අඩු පාඩු නිසාත් දරුවා නිවසට නොමැති හොඳ ගති පැවැතුම් සමාජයේදී ප්‍රදර්ශනය කිරීමට යොමු වෙනවා. එක් අතකින් සමාජයේදී පුංචි හෝ දෙයක් කිරිමෙන් ලැබෙන ප්‍රශංසාව නිවසේදී විශාල රාජකාරියක් කළත් නොලැබෙන්න පුලුවනි.ඒ නිසාම බොහෝ දරුවන් සමාජයට ඉතා යහපත් චරිත ලෙසින්  ප්‍රසිද්ධියට පත්ව සිටීමත් අමුතු තත්වයක් නොවෙයි.

දරුවන් සමාජයේදී යම් ආකාරයකින් කැප කිරීමක් සිදු කරනවා.

දරුවා නිවසේදී යම් කාර්යක් කළත් නොකලත් එය කා වෙතින් හෝ ඉටු වෙනවා. ඒ නිසා අමුතුවෙන් වෙහෙසීමක් අවශ්‍ය නැහැ. ඒ වුනත් සමාජයේදී හොදක් ලැබීමට නම් යම් කටයුත්තක් කිරීමේදී කැපවීම ඉතාම වැදගත්. තමා කැප වී මේ කාර්යය ඉටු නොකලොත් සමාජයේදී නින්දාවට පත් වෙන බැව් දරුවා හොදින් දන්නවා.

අපි මේ විදිහට උදාහරණයක් ගනිමු. නිවසේදී වෙසක් කුඩුවක් නිර්මානය කිරීමට දෙමව්පියන් විසින් අවශ්‍ය සියලු දේ ගෙනත් දුන්නත් , දරුවා එයින් අඩක් නිම කොට නිශ්ශබ්දව සිටින්නට පුලුවනි. මව්පියන් විසින් වෙසක් කූඩුව අවසාන කරන්නැයි ඉල්ලා සිටියත් දරුවා ඒ ගැන නොසලකා සිටින්න ඉඩ තිබෙනවා. ඒ වුනත් ගමේ හෝ පංතියේදී වෙසක් කුඩුවක් නිර්මානය කිරීමට දරුවාට බාර දුනහොත් එය වගකීමක් ලෙසින් සලකා කැපවීමන් අදාල කාර්යන් ඉටු කිරීමට දරුවා දැඩි උත්සාහයක යෙදනු ඇත.

නිවසට වඩා ඇගයුමක් ලැබීමමේ අන්දමින් තමාගේ කාර්යය අවසාන කිරීම නිසා දරුවාට සමාජයෙන් ඇගයුම් සහ ප්‍රශංසාවන් ලැබෙනු ඇත. නමුත් නිවසේදී කොතරම් අලංකාර ලෙසින් නිර්මාණයක් අවසාන කළත් ඒ ගැන කිසිදු ලෙසකින් ඇගයීමක් නොලැබෙන නිසාම දරුවාගේ උනන්දුව පෙහෙවින් මන්දගාමී වීමටත් ඉඩ තිබේ.

මව්පියන්ගේ පීඩනය

අද දවසේ දෙමව්පියන් ගෙවන පීඩාකාරි පරිසරය නිසාම දරුවන්ට සමීප වීමේ ගති පැවැතුම් බොහෝ දුරට දුරස් වි තිබෙනවා.අපි සියළු දුක් ගන්නේ දරුවන් නිසා කිව්වත් දරුවන්ට හදවතින් සමීප වීම ඉතාම වැදගත්. ඔබ දරුවන්ගේ හදවතින් දුරස් වීම නිසා ඔවුන් ඒ හිස් තැන සමාජයේ හොඳ නම දිනා ගනිමින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. නමුත් සෑම දරුවෙකුම එසේ නැහැ. ඔවුන් සමාජයේ හොද නම දිනා ගැනීමට වඩා සමාජ විරෝධී කටයුතු වෙනුවෙනුත් යොමු වීමට ඉඩ තිබෙනවා.එය ඇසිල්ලකින් සිදු විය හැකි අවදාම් සහිත තත්වයක්. ඒ නිසා නිතරම දරුවාගේ හදවතට සමීප වෙන්න.

හොඳ චරිතයක් වෙන්නේ කොහොමද..?

දරුවන්ගේ මේ දෙබිඩි හැසිරීම ගැන දෙමව්පියන් ලෙසින් ඔබ සිතන්නේ මොනවාද..? දෙව්දත් මවට මැනවි කියන්නා සේ අනේ ගෙදරට නරක් වුනත් කමක් නෑ සමාජයට හොඳින් සිටිනවා නම් ඒ ඇති කියා සිත සනසා ගන්නවාද..? ඔබේ දරුවා සමාජයේදී යහපත් චරිතයක් නම් ඒ තරම් අස්වැසිල්ලක් තවත් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අනේ හොඳ දරුවෙක්..කියන වචනයේ පරිසමාප්තාර්තයෙන්ම හොඳ දරුවෙකු වීමට නම් ඔහු නිවසටත් හොඳ දරුවෙකු වීම වැදගත්. එසේ නොමැති නම් ඔහු ද්විත්ව රංගනයක යෙදෙන චරිතයක්. සැබෑ හොඳ දරුවෙකු නම් චරිත දෙකක් රගපෑමට අවශ්‍ය නැහැ. ඔහු සමාජයේදී පළදාගෙන සිටිනුයේ වෙස් මුහුණක් විය හැක.

වෙස් මුහුණ ගැලවෙන්න පුළුවනි..

සමාජයට පමණක් හොඳ නම දිනාගෙන සිටින දරුවාගේ මේ වෙස්මුහුණ ගැලවී යෑමේ අවදානමක් තිබෙනවා. සැබෑම යහපත් දරුවෙකු තුළින් මේ අන්දමින් දෙබිඩි ජීවිතයක් අපේක්ෂා කිරීමට බැහැ. එබේ දරුවා මේ අන්දමින් නිවසට එක ලෙසකින් හා සමාජයට තවත් ලෙසකින් වූ චරිත දෙකක් තුළ රංඟනයේ යෙදෙනවා නම් එය අනුමත කරන්න බැහැ. ඒ නිසා නිතරම දරුවා පවුලට, පාසලට, ගමට, රටට එක සේ යහපත් චරිතයක් ලෙසින් කිර්තිනාමය ගෙඩ නගා ගැනීම වැදගත්.දෙමව්පියන් ලෙසින් ඔබත් දරුවාට සමීප වෙන්න. ඔවුන් ආදරය වගේම ඇගයීමට, ප්‍රශංසාවට බෙහෙවින් ආදරය කරනු ඇති. ඒ ආදරය ඔවුන්ට ලබා දෙන්න.දෙමව්පියන් වෙතින් ලැබෙන ඇගයුම නිසාම ඔවුන් තමාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනු ඇත.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article