- Advertisement -

සහෝදරයන්, සැබෑම සෙනහසින් ජීවත්විය යුතු පිරිසක්……

-

සහෝදරයන් යනු නයි පොළොගුන් ලෙසින් නොව සැබෑම සෙනහසින් එකට එක්ව ජීවත්විය යුතු පිරිසක්

එක පවුලේ එකට හැදෙන වැඩෙන , පුංචි පැටවුන් අතර නිරන්තරව ඇති වෙන සිගිති සණ්ඩු සරුවල් ඔබට අමුතු කථාවක් නොවෙයි. දරුවන් අතර මේ අන්දමින් පුංචි පුංචි රණ්ඩු ඇති වීම සාමාන්‍ය දෙයක් වගේම ඔවුන්ගේ රන්ඩු සරුවල් බේරන එකම ගැලවුම්කාරයාා දෙමව්පියන් බැව් ඔවුන්ගේ විශ්වාසයයි.ඒ නිසාම ඔවුන් සණ්ඩු කරන අතරවාරයේ ඔබ විනිශ්චයකරුවාගේ භුමිකාවේ සිටීම අපේ පවුලක් තුළ සාමාන්‍ය සිදුවීමක්. නමුත් දහසකුත් එකක් වැඩ රාජකාරි සමග ගැටෙන මව්පියන්ටත් පුංචි පැටවුන්ගේ වුනත් මේ ගැටුම් යම් අන්දමකින් පීඩනයක් ඇති කරන බවත් බොරුවක් නොවෙයි. ඒ නිසා සිගිති සණ්ඩුවලදී දෙමව්පියන්ගේ ප්‍රතිචාර ගැන ටිකක් දැන ගැනීමක් හොඳයි කියල හිතෙනවා නේද..?

- Advertisement -

සමවයස් දරුවන් අතර…

සම වයසේ දරුවන් අතර නිතරම සිගිති සණ්ඩු ඇති වෙනවා. ඒවාට වෙලාවක් කලාවක් නැහැ. අයියා අත ඇති තියෙන දෙයම නංගිටත් අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලදී වැඩිමහල් ගැහැණු දරුවා අඳින ගවුම මල්ලියාටත්  අවශ්‍ය වෙනවා. මේ ගැන අදහස් දක්වමින් මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය එස්. සී. ඒ අරඹේපොල මහත්මිය සඳහන් කරන්නේ වැඩිහිටියන්ගේ කැමැත්තට හෝ මේ අන්දමින් පිරිමි දරුවා ගැහැණු දරුවෙකු ලෙසින් හැඩ ගැන්වීම නුසුදුසු බවයි.ඒ නිසා සම වයසේ දරුවන් අතර ඇති වෙන ගැටුම්වල නිමිති ඔබට කල් තබාම බේරුම් කර ගන්න පුලුවනි.

මල්ලිලා , අයියලා ගවුම් අඳින්නේ නෑ…ඔයා කොතැනක හරි දැකල තියෙනවාද..ගවුම් අඳින අයියා කෙනෙක් නැත්නම් අක්කා කෙනෙක් නෑ නේද ? අක්කලා , නංගිලා තමයි ගවුම් අදින්නේ…යැයි කියා දෙන්න පුළුවනි.සෙල්ලම්බඩු වල වුනත් අයිතියට සටන් කරන අවස්ථා ඇති වෙන නිසා ඒවායේ වර්ණයෙන් හෝ වෙනත් සලකුණකින් අයිතිය පවරා දෙන්න. ඔන්චිල්ලාවක් හෝ වෙනත් එකවර පාවිච්චි කළ නොහැකි ක්‍රිඩා උපකරණයක් නම් ඒ වෙනුවෙන් වාර ගණනක් හෝ වේලාවක් ලබා දෙන්න. එවිට සමවයසේ දරුවන් අතර අනවශ්‍ය ලෙසින් ඇති වෙන සිඟිති සණ්ඩු බොහෝ දුරට කල් තබාම වලක්වා ගන්න පුළුවනි.

වයස් පරතරය වැඩි වුනාමත්…

සමහර විට දරුවන් අතර වයස් පරතය වැඩි වූ විට නිතරම වැඩිමහල් දරුවාගෙන් පැමිණිලි ලැබෙනවා. එය සාමාන්‍ය සිදුවීමක්. ඔවුන්ගේ පොත් පත්, සෙල්ලම්  බඩු බාල දරුවාගෙන් හානියට පත් වෙන්න ඉඩ තිබෙනවා. සමහර දරුවන් නිතරම බාල දරුවා ගැන අප්‍රසාදයෙන් සිටින අවස්ථාවනුත් නැතුවාම නොවේ. ඒ නිසා නංගි, මල්ලී සමග රණ්ඩුවකට මාන බලන ඔවුන්ට මෙවැනි සිදුවීමක් අඩන්න සිටි අයෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාට සමාන විය හැකියි.ඒ නිසා දෙමව්පියන් ලෙසින් ඔබ නිතරම වැඩිමිහල් දරුවාගේ පොත් පත්, පාසල් උපකරණ බාල දරුවාගෙන් ආරක්ෂා වෙන අන්දමින් උසකින් තබා ගැනීම හෝ අගුළු ලා තබා ගැනීමට උපදෙස් ලබා දෙන්න.

නඩු කියා දෙන එන විට…

පුංචි පැටවුන් අතරත් පුංචිවට වුනත් කපටි ගති පැවැතුම් නැත්තේම නැහැ. සමහර විට නංගියාගේ සෙල්ලම්  බඩුවක් කඩා බිඳ දමා නඩුව අරගෙන අයියා මුලින්ම පැමිණෙන්න පුළුවනි.නඩුව මුලින් රැගෙන ආ විට විනිශ්චය තමාගේ පැත්තට සාධාරණ විය හැකි බැව් ඔහු සිතනු ඇති. නමුත් සමහර විට මුලින්ම නංඟී අත තිබුන සෙල්ලම් බඩුව අයියා විසින් උදුරන විට කැඩී බිඳී යන්නට ඉඩ තිබෙනවා.

මෙවැනි අවස්ථාවක ඔබ කාර්ය බහුල නම් සමහර විට නඩු කියා දෙන පැමිණි අයියාට අතින් වුනත් වැරෙන් පහරක් දෙන්නටත් ඉඩ තිබෙනවා. කිසි විටෙකත් එසේ කරන්න එපා. සාමාන්‍ය සිදු විමක් නම් විනිශ්චයක් අවශ්‍ය වන්නේ නැහැ.

ඔයා වෙන සෙල්ලම් බඩුවක් ගන්න…නංඟීත් පව් නේ…යනුවෙන් දරුවා අස්වසන්න. මෙය නිමිත්තේ බරපතල තත්වය අනුව ඔබ විසින් අවස්ථාවෝචිතව ගත යුතු ක්‍රියාමාර්ගයක් බවත් අමතක කරන්න එපා.

නංගිට මල්ලිට වගේම අයියට අක්කට ගහන්න, හපන්න, සූරන්න අවසරයක් නැති බැව් කියා දෙන්න 

දරුවන් කියන්නේ එක වහලක් යට එකට ජීවත්වෙන පිරිසක්. ඒ වගේම එක අම්මාගේ තාත්තාගේ ලෙයින් මසින් එක කුසයේ උපන් පිරිසක්. ඒ නිසා කිසිම දිනක බාල හෝ වැඩිහිටි සහෝදරයන්ට වෙනස් විදිහට සැලකීම සුදුසු නැති බව දරුවාට කියා දෙන්න. නංගිට මල්ලිට වගේම අයියට අක්කට ගහන්න, හපන්න, සූරන්න අවසරයක් නැති බැව් කියා දෙන්න

නංඟියාට ගැහුවොත් අම්මා ඔයාටත් ගහනවා. නංගියාට වගේම එතකොට ඔයාටත් රිදෙනවා..

ඒ වගේම සමහර බාල දරුවන් විසින් වැඩිහිටි දරුවන්ට හිංසා කරන අවස්ථාවනුත් නැතුවා නොවේ. එවැනි අවස්ථාවලදී ඇතැම් වැඩිහිටි දරුවන් ඒවා ඉවසා ගෙන සිටියත් සමහර දරුවන්ගේ ඉවසීමේ සීමාව අවසාන වෙන්නත් පුළුවනි. ඒ නිසා අපේ ගෙදර එක්ව හැදෙන වැඩෙන අයියලා , නංගිලා , අක්කලා, මල්ලිලාට ශාරිරික හිසංවන් වෙන විදිහට හැසිරීමට අවසර නැති බවත් අවධාරනයෙන්ම කියා දෙන්න. එසේ සිදුවුනොත්  එය අම්මා, තාත්තාගෙන් දඬුවම් ලැබෙන වරදක් බවත් අමතක කරන්න එපා යන පුර්ව දැණුම්දීමත් ලබා දෙන්න.

දරුවන් අතර රණ්ඩු සිදු වෙන විට…

දරුවන් අතර රණ්ඩු සිදු වීම සාමාන්‍ය දෙයක්. රණ්ඩුවක් නැති නිවසක් නැති තරම්. දරුවන් රණ්ඩු කරන විට ඔබ මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. නමුත්  ඇහුම්කන් දෙන්න. බොහෝ විට මව්පියන්ගේ ආවේගයට මරාගනිල්ලා.. එක්කෙනෙක් මැරුනාව සතුටු ඇති යැයි කියමින් නිහඬ වෙන්න එපා. මීට වසර ගණනාවකට පෙරාතුව බුන්දි මල්ල බෙදා ගැනීමට නොහැකිව නංගිට පිහියෙන් ඇන මරා දැමීමේ පුවත ඔබටත් මතක ඇති. ඒ නිසා දරුවන්ගේ ආවේග ගැන අපි නොදන්නා නිසා රණ්ඩුව දුර යන්නට නොදී…

දැන් වෙලාව හරි නේද ටී. වී බලන්න… එහෙම නැත්නම් තේ ලෑස්තියි එන්න..යැයි දරුවන්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න.

පාලනය අවශ්‍යයි…

දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් මග නොමග කියා දෙන ආචාර්යවරුන් වන්නේ දෙමව්පියන් ය. ඒ නිසා දරුවන් අතර සහජීවනය ගොඩ නැගීමත් මව්පිය කාර්ය භාරයක්.මව් පිය විධානයන්ට අවනත වන දරුවන් නිර්මානය කිරීමේ පෞරෂය දෙමව්පියන් සතු ගුණාංඟයක් වීම වැදගත්. ඔබේ අණටඅකීකරු දරුවාගේ ගති පැවැතුම් නිසා අනාගතයේදී දරුවා සමාජය සමග පවා සහජීවනයෙන් කටයුතු කළ නොහැකි චරිතයක් ලෙසින් ගොඩ නැගෙනු ඇත.සැබැවින්ම දරුවාගේ සහජීවනය ගොඩ නගන මූලික පාසල නිවසයි. ඒ නිසා සහෝදරයන් යනු නයි පොළොගුන් ලෙසින් නොව සැබෑම සෙනහසින් එකට එක්ව ජීවත්විය යුතු පිරිසක් යන සංකල්පය ගොඩ නැගෙන පරිදි ඔබගේ ප්‍රතිචාර දරුවා වෙත ලබා දෙන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article