- Advertisement -

අලුත් මවගේ තනපුඩු පැලූණොත් මොකද කරන්නේ?

-

මවකගේ කිරි සිහිනය සැබෑවී දෝතට සිඟිත්තා රැකබලා ගැනීමේ භාරදූර කාර්යයේදී මුහුණ දෙන ගැටළු අතරේ මව් කිරි සම්බන්ධ ගැටළු මවට ගෙන දෙන්නේ කනස්සල්ලක් වගේම මන්දෝත්සාහයක්. මේ තත්ත්වය නැති කරගන්න වඩාත්ම සුදුසු වන්නේ ගර්භනීභාවයේ සිටම අධිෂ්ඨානශීලිව උනන්දුවකින් දැනුම ලබාගන්නට උත්සහ දැරීමයි. මේ වේලාවේදී මවක විසින් ලබාගන්නා දැනුම ඇගේ සංකීර්ණ ගැටළු ජය ගන්නටත්, දරුවා සමග ගත කරන කාලය සුවෙන් සතුටින් සිටින්නටත් හේතුවක් වෙනවා. ඒ දැනුම අතරට මව්කිරි ගැන දැනුවත් වීමට අවශ්‍ය කරුණු කාරණාද අනිවාර්යයෙන් ඇතුළත් විය යුතුමයි. මව්කිරි සම්බන්ධව දැනුවත් වීමේදී එහි වඩාත් වැදගත් එක් කොටසක් ලෙස පියයුරු වල ඇති විය හැකි ගැටළු බව දැක්විය හැකියි. 

සෑම මවකටම දරු උපතක් සමගම හෝමෝනමය ක‍්‍රියාවලි උත්තේජනයේ ප‍්‍රතිඵලය ලෙස මව්කිරි නිෂ්පාදනය සිදු වන අතරම මේ මව්කිරි පියයුර තුල නිෂ්පාදනය වී අවශ්‍ය අවස්ථාවේදී ප‍්‍රයෝජනයට ගැනීමට පියයුරේ ගර්තවල ගබඩා වී තිබෙනවා. දරුවා කිරි ඉරීම ආරම්භ කළ විට මවගේ මොළයට ලැබෙන පණිවුඩයක් නිසා පේශී සෛල  සංකෝචනය වී ඒවායේ කිරි ගලා විත් ඇරියෝලාව (පියයුරේ කළු කොටස/තනමඩල) තුල ඇති විශාල ප‍්‍රණාල තුල රැස් වෙන අතරම එසේ රැස් වෙන කිරි දරුවාට නිසියාකාරව ලැබීමට නම් මවගේ පියයුරේ කලු පැහැ කොටස එනම් ඇරියෝලාව කොටසම දරුවාගේ ඔහුගේ මුඛය තුලට ඇතුළු කළ යුතුයි. මෙය යම්කරමකින් අලුත් මවකට නුහුරු අපහසු කාර්යයක් වීම සාමාන්‍ය වුවත් එය නිවැරදිව සිදු කිරීමට සැලකිලිමත් වීමට මව වගබලා ගත යුතුය. දරුවා ලැබුණු විගස කිරි ලබාදීමේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් මේ පිළිබඳව මව දැනුවත් කොට සහයෝගය ලබා දෙනු ඇත. 

- Advertisement -

මෙය යම්තාක් දුරට අපහසු වුවත් දරුවා හොඳින් මුඛය විවෘත කළ විගස තන පුඩුව පමණක් නොව ඇරියෝලාවද මුඛය තුළට ඇතුළු කළ යුතුය. මෙහිදී මව විසින් දරුවා පියයුරට ස්ථාපිත කරන ඉරියව්වද බලපාන අතරම මේ කරුණු සාර්ථකව ඉටු නොවුණහොත් දරුවාගේ මුඛයට ඇතුළුවන්නේ තන පුඩුව පමණක් වන අතරම දිගින් දිගටම දරුවා තනපුඩුව පමණක් ඉරීම නිසා දරුවාගේ කුසගින්න නිවීමක් නොවනවා පමණක් නොව තන පුඩුවේ සම පිපිරීම නිසා මවගේ තන පුඩු පිපිරීම සිදු වේ. එය මවට ඉතා වේදනාකාරී අත්දැකීමක් වන අතරම දරුවාට කිරි නිසි අයුරින් පෙවීමක් සිදු නොවන නිසා දරුවාද අපහසුතාවයට පත් වේ. 

මවකගේ තන පුඩු පිපිරීමට බලපෑ හැකි වෙනත් හේතු 

  • නිතර සබන් යොදමින් පියයුරු සේදීම නිසා පියයුරු අධික ලෙස වියලීම
  • නිවැරදිව දරුවාගේ මුඛයට පියයුර සම්බන්ධ නොවී වැඩි වේලාවක් කිරි උරමින් සිටීම හෝ අත්හරිමින් අල්ලා ගනිමින් දිගටම කිරි උරා බීම නිසා තන පුඩුවට ලැබෙන අනවශ්‍ය පීඩනය 

තන පුඩු පැලුනොත් කළ යුත්තේ කුමක්ද?

තනපුඩු පිපිරීම නිසා වේදනාවට පත්ව සිටින මවකට ලබා දිය හැකි සරල ප්‍රතිකාරයක් ලෙස දොවාගත් මව්කිරි ස්වල්පයක් තන පුඩුවේ ආලේප කිරීම සිදු කළ හැකියි. 

කිරි දෙන මවකට අවශ්‍ය මානසික සහනයන් ලබාදීම ඉතාම වැදගත්. ඒවගේම ප‍්‍රසූතියෙන් පස්සේ අම්ම ඉන්නේ තරමක් තෙහෙට්ටුවෙන්. ඒ වගේම ලබාගත් අත්දැකීම මත ඇති වූ හැඟීම් ඇගේ සිත තුළ ඇතැම් විට නොසන්සුන් බවක් වුවද ඇති කළ හැකියි. මේ වගේ වෙලාවට අම්මගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට සහය වීම ඉතා වැදගත්. අළුත උපන් දරුවට වගේම අම්මටත් උදව් ලබාදෙමින් අවධානයෙන් පසුවීම ඇයට සහනයක් ගෙනේවී. මේ නිසා ඇයට ඇගේ කටයුතු වලට යොමු වීමට ලැබෙන ශක්තිය මහත් උදව්වක්. 

එසේ සහය වීම තුළින් මවට ඇගේ දරුවා සමග ගත කරන ජීවිතය උද්යෝගයෙන් ගත කල හැකි වනවා සේම නිවැරදි ලෙසින් දරුවාට මව්කිරි ලබා දීමට හැකියාව ලැබෙනවා. මව්කිරි හෝමෝන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වුවත් මව විසින් අත්පත් කරගන්නා දැනුම මත මේ ක‍්‍රියාවලිය සාර්ථක හෝ අසාර්ථක විය හැකියි. අන්න ඒ නිසාම දරුවා මව්කිරි සඳහා යොමු කළ යුතු නිවැරදි ක‍්‍රමය ඉගෙන ගත යුතුයි. 

දරුවාට පහසුවෙන් සිට කිරි උරාගන්නට අවස්ථාව නොලැබෙනවා නම් දරුවා හා මව අතර සම්බන්ධතාවය දුර්වල විය හැකියි. ඉරියව් පහසු වෙන්න හා හිස කඳ එකම තලයක පිහිටා තබාගත යුතුවා මෙන්ම දරුවා මව දෙසට හැරී සිටින ලෙසට තබාගත යුතු වෙනවා. එසේම දරුවාට පියුයර ලබාදිය යුත්තේ හොඳින් කට ”ඇ” ස්වරයට ඇරුණු විටයි. එවිට පියයුරේ ඇරියෝලාවෙන් වැඩි කොටසක් මුඛය තුලට ගැටෙන නිසා කිරි උරා ගන්නට දරුවාට පහසු වෙනවා. එහෙත් ”ආ” ස්වරයට නැතුව ”උ” ස්වරයට ඇරුණු විට පියයුරේ පුඩුව පමණයි දරුවාගේ මුඛය තුලට යන්නේ. එවිට තන පුඩුවේ කිරි එක් රැස් වී නොමැති නිසා දරුවාට ලැබෙන්නේ කිරි ස්වල්පයයි. ඒත් දරුවා දරුවා එසේ දිගින් දිගටම ඉරීම නිසා තනපුඩු  පුපුරනවා. එයින් මවට අධික වේදනාවක් ඇති වෙනවා වගේම දරුවාට ලැබෙන කිරි ප‍්‍රමාණයක් අඩු වෙනවා. මෙය නිවැරදි නොවුනහොත් සිදුවන්නේ දරුවා කිරි අතහැරීමයි. එවිට දරුවාගේ පෝෂණ අවශ්‍යතා සැපරීමක් සිදු නොවන නිසා වර්ධනය අඩාල වෙනවා. එසේම මෙවන් අවස්ථාවක මවට සහයෝගය ලැබී මේ ක‍්‍රියාවලියන් සාර්ථක කරගැනීමට හැකියාව ලදොත් සියළු ප‍්‍රශ්න නිරාකරණය වෙනවා. 

ඒත් මවට හරි දැනුමක් සහයෝගයක් නොලැබුණහොත් ඊලඟ පියවර වන්නේ කෘතිම කිරි සඳහා දරුවා හුරු කිරීමයි. මෙය දරුවාට සිදුවන බලවත්ම අසාධාරණයක්. තමන්ගේ වර්ධනයට අවැසි සියුළු පෝෂක අවශ්‍ය ප‍්‍රමාණ වලින් අඩංගු මව්කිරි නොමැතිව කෘතිම කිරි ලබාදීම නිසා ඒවායේ අඩංගු ප්‍රෝටීන දිරවා ගත නොහැකිව ආසාත්මිකතා ඇති වීමටත් අනවශ්‍ය ප‍්‍රමාණ වලින් ලැබෙන පෝෂක කොටස් නිසා අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන් වලට හානි සිදු වීමටත් සිදු විය හැකියි. 

මේ නිසා වර්ධනයේ දුර්වලතා ඇති වන්නේ කායිකව පමණක් නොවෙයි. එසේ හෙයින් දරුවාගේ පෝෂණය රැකවරණයේ මූලික අංගය වන මව්කිරි ලබාදීම අවැසි දැනුමින් සන්නද්ධ වීමටත් ප‍්‍රයෝගිකව ලබාදිය හැකි උදව් උපකාර ලබාදීමත් සෑම විටම පූර්ව ප‍්‍රසව සමයේ මෙන්ම පසු ප‍්‍රසව සමය තුලත් පුහුණු සෞඛ්‍ය සේවක සහාය ලබා ගැනීමටත් උනන්දු වීම මගින් මව්කිරි පිළිබඳ ගැටළු අවම කරගැනීමට හැකිවනවා. 

මෙසේ සෑම දරුවෙකුගේම මවකගේම ජීවිතයට බලපෑම් එල්ල කල හැකි තත්ත්වයක් හෙයිින් තනපුඩුව පිපිරීමට හේතු විය හැකි කරුණු ප‍්‍රසූතියට පෙර සිටම දැන සිටීම මතින් ගැටළු අවම කරගැනීමට හැකි වනවා.

මේ තත්ත්වය නිවැරදි නොවී දිගටම පැවතිය හොත් පිපිරුනු තනපුඩු හරහා විෂබීජ ඇතුළු වීමෙන් තත්ත්වය නරක අතට හැරීමට ඉඩ ඇති අතරම කිරි දීමට දරුවා අල්ලා ගැනීමේ නිවැරදි ක්‍රමය පිළිබඳව පූර්ව ගර්භ සමයේ සිටම මවක් අවශ්‍ය දැනුවත් බව ලබාගත යුතුය. අන්න ඒ නිසාම සායනවල ගැබිනි මව්වරුන් වෙනුවෙන්ම සංවිධානය වන ප‍්‍රායෝගික සැසිවලට සහභාගී වෙමින් පුහුණුව ලබා ගැනීමද වැදගත් වේ.  

එසේම ප‍්‍රසූතියෙන් පසු රෝහලේදීත්, නිවසට පැමිණි පසුත් පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ සහාය ලබාගැනීම තුලින් මේ තත්ත්වයට පත්වීම වළක්වා ගන්නටත් එවැනි තත්ත්වයට පත් වූ මවක් වේ නම් ගැටලුව නිරාකරණය කරගැනීමටත් මවට අවස්ථාව උදා වනු නොඅනුමානයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article