- Advertisement -

පවුල් සැලසුම් වෙනුවෙන් උපත්පාලන ක්‍රම

-

පුද්ගලයෙකුගේ ජීවිතය පිලිබඳ සැලසුමක් ගොඩ නගා ගැනීමේදී විවාහය තීරණාත්මක සාධකයක්. විවාහයෙන් පසුව අඹු සැමියන්ගේ ලිංගික එක්වීම සමග දරුවන් ලැබීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. දරුවන් ලැබීම මුල් කර ගෙන ඇති කර ගන්නා කතිකාවකට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • අඹු සැමියන්ගේ වයස
  • අවශ්‍ය දරුවන් සංඛ්‍යාව
  • දරුවන් අතර පරතරය
  • දරුවන් ලැබීමේදී වයස තීරණාත්මක සාධකයක් වීම

ශ්‍රි ලංකාවේ නීතිය අනුව ලිංගික හැසිරීමක් සඳහා වූ නීත්‍යානුකූල අවසරය වයස අවුරුදු 16 ලෙසත් විවාහ වීමේ නිත්‍යානුකූල වයස අවුරුදු 18 ලෙසක් දක්වා තිබෙනවා.  අඹු සැමියන් ලෙසින් කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ විවාහය කායික හා මානසික සූදානම මත බලපානවා. ලිංගිකව පරිණත වුවත් අඹුසැමියන් විසින් දරුවෙක් ලැබීමට මානසිකවත් සූදානම් වීම අවශ්‍යයි.කාන්තාවක් දරුවෙකු ලැබීමට සුදුසු වයස ලෙසින් අවුරුදු 25 පමණ  වුනත් අද කාලයේදී විවිධ හේතුන් නිසා බොහෝ දෙනෙකුගේ විවාහය ප්‍රමාද වීමට පුළුවන්.

- Advertisement -
  • වැඩිදුර අධ්‍යාපනය
  • රැකියාව
  • ආර්ථික ස්ථාවර බව

ගැහැණු දරුවෙක් ඩිම්බ මිලියන ගණක් සමග උපත ලැබුවත් වැඩිවිය පත් විමෙන් පසු  ඩිම්බ පිටවීම ආරම්භ වෙනවා. . ඒ නිසා වයස අවුරුදු 35 පමණ පසු කාන්තාවන්ගේ ඩිම්බවල ගුණාත්මක බවත් අඩු වීමේ ප්‍රවනතාවයක් ඇති වෙනවා. ඒ වගේම වයසත් සමග මවට බිහිවෙන  දරුවා  විවිධ සංකුලතාවයන්ට මුහුණ දෙන්න පුලුවනි. කාන්තාවගේ  වයස අවුරුදු 45 පමන වන විට ආර්තවහරණය හෙවත් මාසික ඔසප්වීම නවතිනවා.

පිරිමි පුද්ගලයෙකු විසින් ජීවිතය පුරාම අලුතින් ශුක්‍රාණු නිෂ්පාදනය කළත් වියපත් වීම සමග සමග ශුක්‍රාණුවල ජානමය වෙනස්කම් ඇති වෙනවා.

ඒ නිසා වයස අඩු අඹු සැමියන් විදිහට දරුවන් ලැබීම කල් දැමීමට කැමැත්තක් දක්වනවා වගේම වයස වැඩි අඹු සැමියන් නම් විවාහයෙන් පසුව ඉක්මනින් දරුවන් ලැබීමට කැමැත්තක් දක්වනවා. ඒ නිසා බොහෝ විට දරුවන් අතර පරතරයක් තබා ගැනීම අවශ්‍යනම් පවුල්  සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. විද්‍යාත්මක පිළිගැනීමට අනුව පළමු දරුවා සහ දෙවැනි දරුවා අතර අවුරුදු 3- 5 කාල පරතරයක් තබා ගැනීම අවශ්‍ය්‍යි.

දරුවන් අතර පරතරයක් තබා ගැනීම අවශ්‍ය ඇයි…?

පළමු දරු ප්‍රසුතියෙන් පසුව දෙවැනි දරුවෙකු වෙනුවෙන් මවගේ කායික සූදානම වගේම ඇය ඊළඟ දරු ප්‍රසුතිය වෙනුවෙන් මානසික ලෙසින්ද සූදානම් වීම වැදගත්. අද කාලයේ රැකියාව, දරුවන් රැකබලා ගැනීමේ ගැටළු වගේම පළමු දරුවාගේ ශාරිරික සහ මානසික සංවර්ධනය නිසාම දෙවැනි දරුවා ලැබෙන කාලපරතරය පිළිබඳව දෙමව්පියන් විසින් සීමාවන් පනවා ගන්නවා. මේ අන්දමින් පවුලේ දරුවන් වෙනුවෙන් ඇති කර ගන්නා සීමාවන් සඳහා අඹු සැමියන් විසින් “ පවුල් සැලසුම් ක්‍රම භාවිතා කිරීම අපේ ජනසමාජයේ අතීතයේ පටන්ම සිදු වී තිබෙනවා.

අපේ පවුල් සැලසුම් ක්‍රම මොනවාද…?

  • සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම
  • නවීන විද්‍යාත්මක පවුල් සැලසුම් ක්‍රම

සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම

  • අතීතයේදී දරු ගැබට හත් මාසයක් සම්පූර්ණ වූ පසුව බිරිඳ දරු ප්‍රසුතිය සඳහා මව්පියන්ගේ නිවසට යන අතර නැවත සැමියාගේ නිවසට පැමිණෙන්නේ දරු ප්‍රසුතියෙන් මාස තුනකට පසුවයි. මේ කාලසීමාව තුළ අඹු සැමියන් දෙතැනක ජීවත් වෙන නිසා ලිංගිකව එක් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම දරුවෙක් නැවත පිළිසිඳ ගැනීම ස්වභාවික ලෙසින්ම පාලනය වෙනවා.
  • දින බලන ක්‍රමය හෙවත්  ඩිම්බ පිටවෙන ( දින 28 ක මාසිකව ක්‍රමවත්ව ඔසප් චක්‍රයක් ඇති ) කාලය දින 10  සිට 18 දක්වා වුනත් එක් එක් කාන්තාවන්ගේ ආර්තවචක්‍රයේ අක්‍රමවත් බව  අනුව ඩිම්බ පිට වෙන  දිනය  පිළිබඳව නිශ්චය කර ගැනීමට බැහැ.
  • විවිධ සංසර්ග ක්‍රම භාවිතා කිරීම මගින් නැවත දරුවෙකු පිලිසිඳ ගැනීමේ ක්‍රියාවලිය පාලනය කරනවා.

නවීන විද්‍යාත්මක පවුල් සැලසුම් ක්‍රම

  • තාවකාලික පවුල් සැලසුම් ක්‍රම
  • ස්ථිර පවුල් සැලසුම් ක්‍රම

තාවකාලික පවුල් සැලසුම් ක්‍රම

  1. ගිලින පෙති (contraceptive pill)

මෙම ඖෂධ ලබා ගන්නා කාලසීමාවේදී ඇති වෙන අපහසුතාවයන්…

  • ආහාර අරුචිය
  • හිසරදය
  • කැරකරවිල්ල වැනි සුළු පඅහසුතාවයන් ඇති වෙන්න පුළුවනි.
  • සුළු වශයෙන් ශරීර බර වැඩිවීම

ගිලින පෙති ලබා ගැනීමේදී ඇති වෙන වාසි මොනවාද…?

බොහෝ කාන්තාවන් මාසික ඔසප්වීමේදී දැඩි වේදනාකාරී පීඩාවක් ලබනවා. නමුත් මෙම උපත් පාලන ගිලින පෙති පාවිච්චි කරන විට ඔසප් වේදනාව අඩු වීම වගේම වහනය වන රුධිර ධාරිතාවය අඩු වීමක් සිදු වෙනවා. ගැබ්ගෙල සහ ඩිම්බ කෝෂ පිළිකාවන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා.

උපත් පාලන ගිලින පෙති ලබා ගැනීම නුසුදුසු කාන්තාවන් සිටිනවාද…?

මෙතැනදී ඔබේ දැඩි අවදානය යොමු විය යුතු හේතුවක් තිබෙනවා. උපත් පාලන ගිලින පෙති නිසා පියයුරු හෝ වෙනත් පිළිකා සහ හදවත් රෝග ඇති වීමක් සිදු වෙන්නේ නැහැ. පියයුරු පිළිකා ඇති රෝගී කාන්තාවන්ට මෙම ගිලින පෙති සුදුසු නැහැ. ඒ වගේම දරුණු හෘද රෝග සංකුලතාවයන් , දරුණු අක්මා රෝග සහ මිග්රේන් හිසරදය සහිත කාන්තාවන්ටත් සුදුසු නැහැ.

දිගුකාලීනව ඇති වෙන අපහසුතාවයන් තිබෙනවාද..?

උපත්පාලන ගිලින පෙති නිසා දිගුකාලීනව කිසිදු අතුරු සංකුලතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔසප් චක්‍රයට බලපෑමක් ඇත්තේම නැහැ. නමුත් මේවා දිනපතා ලබා ගැනීමේදී සිදු වෙන අපහසුතාවය හැර වෙනත් බරපතල ප්‍රශ්නයක් නැහැ.

උපත්පාලන ක්‍රමවලදී භාවිතා කරන ඖෂධ නිසා තරබාරු වීම හෝ බර වැඩිවීමක් සිදු විය හැකිද..?

උපත් පාලන පෙති භාවිතය නිසා තරබාරු වීම අතර කිසිදු විද්‍යාත්මක සම්බන්ධතාවයක් නැහැ.

2.ඖෂධ නික්ෂේපනය (Injection & DMPA (Depot Medroxyprogesterone Acetate)

මාස තුනකට වරක් ලබා දෙන මෙම එන්නතේ අන්තර්ගත වන්නේ ප්‍රොජෙස්ට්‍රෝන හෝර්මෝනයයි. ඊස්ට්‍රජන් නුසුදුසු කාන්තාවන්ට මෙම එන්නත සුදුසුයි. මෙම එන්නත ලබා ගැනීමේදී බොහෝ කාන්තාවන්ට මාසික ඔසප් වීම සිදු වෙන්නේ නැහැ.

3.සම යට තැන්පත් කිරීම (Contraceptive Implant)

කාන්තාවන්ගේ අතේ ඉහළ බාහුවේ ඇතුල් පැත්තට සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කරල් ( ජඩෙල් , නෝ ප්ලාන්ට් ) විශේෂයකි.තැන්පත් කරන ඖෂධවලත් ප්‍රොජස්ට්‍රෝන පමණක් අන්තර්ගත වෙනවා. සුළු ශල්‍ය කර්මයකින් මෙම තැන්පත් කිරීම සිදු කරන අතර අදාල ප්‍රදේශය පමණක් නිර්විනදනය කිරීම සිදු කෙරේ.මෙම ශල්‍ය කර්මයට ගත වෙන්නේ විනාඩි කීපයක් පමණි.

4.කොන්ඩම් පාවිච්චි කිරීම…

ලිංගික සංසර්ගයේදී කොන්ඩම් පාවිච්චි කිරීම නිසා පුරුෂ ශුක්‍රාණු යෝනි මාර්ගයට එක් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් පිළිසිඳ ගැනීමට තිබෙන අවස්ථාව වැලකෙනවා

5.ලූප්  (Loop- intra uterine device) දැමීම..

ගර්භාෂය තුළ  තැන්පත් කරන ඔ හැඩැති කුඩා ප්ලාස්ටික් උපකරණයක් හෙවත් ලූපය නිසා පුරුෂ ශුක්‍රාණු වල ගමන අවහිර කරනවා. ඇතැම් ලූපවල හෝර්මෝන අඩංගු කර තිබෙනවා. තවත් ලූප තඹ සංයෝගවලින් යුක්තයි. මෙහිදී ශුක්‍රාණු සංසේචනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඔසප් වීමේදී වැඩි වේදනාවක් ඇති වේ

උපත් පාලන ක්‍රම භාවිතයේදී දිගුකාලීන වාසි මොනවාද…?

උපත් පාලන ක්‍රම භාවිතා  අතරින් කාන්තාවන් වෙනුවෙන් වූ LRT (Laparoscopic tubal ligation) සහ පිරිමින් වෙනුවෙන් වූ වාසෙක්කමි වඳ සැත්කම් නිසා ස්ථිර වශයෙන්ම දරුවන් ලැබීමේ ඇති ස්වභාවික හැකියාව නවතා ගැනීමට පුළුවනි.

ඒ නිසා නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතය මගින් ඔබගේ පවුලට අවශ්‍ය ලෙසින් දරුවන්ගේ සංඛ්‍යාව සහ පරතරයපිළිබඳව සීමාවන් පනවා ගැනීමේ හැකියාව ඔබටම තිබෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ ගාමිනී පෙරේරා මහතා

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article