ළමා වියේදී දරුවෙකුට කිසිසේත්ම හිමි නොවිය යුතු අත්දැකීම් 10ක්

තිත්ත බෙහෙතක් දරුවෙකුට පොවන්න වුණොත් අම්මා කෙනෙක් ඒක රසවත්ව ලබා දෙන්න නොයෙක් ක්‍රම උපයෝගී කරගන්නවා. සීනි/මී පැණි තවරනවා. චොක්ලට් ගෙනත් දෙනවා. මේක බිව්වම මම ඔයාට ආසම දෙයක් අරන් දෙන්නම් කියලා කොහොම හරි දරුවා කැමති කරවගෙන බෙහෙත් ටික ‍පොවා ගන්න අම්මා දක්ෂයි. ඒත් දරුවෙකුට යමක් පැහැදිලි කරද්දී, උපදෙසක් දෙද්දී විතරක් නෙවෙයි ගෙදර දොරේ පරිසරයේදී ඒ පරිසරය රසවත් කරන්න සුන්දර කරන්න මව්පියන් වෙහෙසෙනවාද කියන ගැටලුව අද වෙන විට බොහෝ දරුවන්ගේ මානසික තත්ත්ව ගැන අහන්න දකින්න ලැබෙද්දී ඇතිවෙන ගැටලුවක්. ආහාර පාන ඇුම් පැලදුම්බෙහෙත් හේත් මේ හැමදේම දරුවන්ට උපරිමයෙන් ලබා දෙන්න අපේ රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම වෙහෙසෙනවා. ඒ වගේම ඒ දෙවල් හැකි උපරිමයෙන් ලබා දෙනවා. එක දෙයක අඩුපාඩුවක් උනොත් ඒක ඉටු කරලා දෙන තුරු මවට/පියාට ඉවසිල්ලක් නැහැ. ඒ අතින් අපේ රටේ දරුවෝ හරිම වාසනවන්තයි. නමුත් අපේ දරුවෝ අවාසනාවන්ත වන එක් තැනක් තියෙනවා. ඒ දරුවන්ගේ හැඟීම්වලට නිසි තැන නොදීමත් ඔවුන්ගේ මානසිකත්වය හරිහැටි වටහා නොගැනීමත්ය‍. 

මව්පියන් තුළ ඇති ඒ අනවබෝධය නිසාම ඇතැම් අවස්ථාවල ඇතැම් දරුවන් මුහුණ දෙන අත්දැකීම් ගැන අසද්දී සිතට එන හැඟීම ඉතා දුක්ඛිතය. මන්ද මේ අත්දැකීම් දරුනවකුට දරා ගත හැකිද යන්න සිතෙන නිසාමය. කිසිසේත්ම දරුවෙකුට අත්දැකීමක් නොවිය යුතු ව්‍යසන අත්දැකීම් පිළිබඳව අපි දැනුවත් විය යුතු වන්නේ ඒ නිසයි. එහිදී සාකච්ඡාවට ලක් කළ හැකි අත්දැකීම් ගණනාවක් තිබුණත් මෙතැනදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ අතරිනුත් සුවිශේෂ වන කරුණු 10ක් සම්බන්ධව කතා කිරීමටයි. මේ අත්දැකීම් දහයෙන් තුනක් තිහෝ යම් දරුවෙකු ලබනවා නම් දරුවෙකුගේ පෞර්ෂයේ ගති ලක්ෂණ විකෘති විය හැක. 

1.වාචික අපයෝජනය

හිතන්න ඔබේ දරුවා රූපවාහිනය නරඹනවා. එවිට ඔබ පුතා ඕක නවත්තලා පාඩම් කරන්න.. දවසේම ටීවී බලලා බෑනේ යනුවෙන් දරුවාට බැන වදිනවා. 

එසේ අමිහිරි ලෙස දරුවාට ලැබුණු උපදෙස නිසා මොලේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වීමෙන් දරුවා කෝප ගැන්වෙනවා පමණක් නොව ආවේගය, කල කිරීම, එපා වීම වැනි හැඟීම් සමුදායක් දරුවෙකුගේ මනසේ ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හරහා දරුවෙකුගේ අභිමානයට, ගෞරවයට යම් හානියක් සිදු වෙනවා. අභිමානය, ගෞරව බිඳ දමා හොඳ මිනිසෙකු තැනිය නොහැකි බව ඔබ අසා ඇත. දරුවන්ටද එය එසේමය. නමුත් අදාල උපදෙස පණිවිඩය දරුවාට ලබාදෙන්නට පෙර එය මිහිරි හැඟීමක දවටන්න ඔබට හැකි නම් මොළයේ බලය, නිර්මාණශීලීත්වය, ධාරිතාවය ඉහළ යනවා. ඒ තුළින් දරුවෙකුට ස්වයං අවබෝධය වැඩි වෙනවා. තම වරද නිවුරදි කර ගැනීමට ඇති කැමැත්ත වැඩි වෙනවා. 

උදාහරණයක් විදියට බත් කා අවසන දරුවා පිඟාන සෝදන්නේ නැතිනම් කෑවා නම් පිගාන හෝදන්න මෙහේ වැඩට අය නෑ ‍කියනවාට වඩා මගේ පුතා අද මොකද මේ .. හැමදාම පිඟාන හෝදන ළමයට මොකද අද වුණේ.. අමතක වෙලාවත්ද? හෝදලා තියන්න මැණික ඔයාගේ පිඟාන  ලෙස කියා දරුවාගේ වෙනස ඔබ බලන්න. ඔබේ උපදෙස, තරහා තුළින් දරුවෙකු වාචිකව අපයෝජනය විය හැකි අවස්ථා මගහරවා ගන්න. 

2.කායික අපයෝජනය

නොගහා හදන ළමයා හැඳි නොගා හදන කිරි හොද්ද වගේ කියලා කතාවටත් කියනවා ඔබ අසා ඇති. අම්මෙක් තාත්තෙක් දරුවෙක්ට ගහන්නේ අනාදරයක් නිසා නම් නොවෙයි. හරියට හදා ගන්න. මේ ලෝකේ කිසිම අම්මෙක් තාත්තෙක් තරහෙන් දරුවන්ට ගහන්නේ නම් නැහැ. ඒත් දරුවෙකුට අතක් උස්සන්න කලින් අපි හිතන්න ඕනේ ඒ දරුවාගේ අභිමානයට ගෞරවයට සිදු වෙන හානිය ගැනත්. ගැහීම පමණක් නෙවෙයි, කන් මිරිකීම, ටොකු ඇනීම මේ දේවල් අයත් වෙන්නේ කායික අපයෝජන කොටසටයි.  දරුවෙකුට පහරක් ගැහුවම ඒ පීඩනය හේතුවෙන් මොළයේ රසායන ද්‍රව්‍ය වෙනසකට භාජනය වෙනවා. විශේෂයෙන්ම අධික ලෙස කොටිසෝල් ස්‍රාවය වෙනවා. මොලයේ නලල කොටසේ සියුම් ස්නායු මේ රසායනික වෙනස්කම් හේතුවෙන් හානියට ලක් වී ඒ පරිපත විනාශ වෙනවා. අතීතයේදී ඒ කියන්නේ අපේ කුඩා කාලයේදී අපි බොහෝ සෙයින් පරිසරය සමග ජීවත් වුණා. අපි ලබපු අත්දැකීම් එක්ක අපේ මොළයේ සවිමත් බව වැඩියි. දරා ගැනීමේ හැකියාව ඉහළයි. නමුත් අද දරුවන් බොහොම ‍කුඩා ලෝකයකට සීමා වී සිටින නිසාම ඔවුන් එතරම් සවිමත් නැහැ. අද අපි ළමයි හදන්නේ යාන්ත්‍රික විදියට. ළමයින්ගේ මොලේ සවිමත් නැති නිසා පහර දීම ඔවුන්ට දරා ගත නොහැකි දරුණු ක්‍රියාවක් බව විද්‍යාත්මකව පවා පිළිගන්නා කරුණක්. සිරකරුවන්ට පවා  පහර දීම සම්බන්ධව නීති රීති තියෙනවා. ඒ් විතරක් නෙවෙයි, නේපාලය වැනි රටවල දරුවන්ට පහර දීම තහනම් කළා. ඇත්තටම අපි මානව වාදී සමාජයකට ප්‍රගමනය විය යුතුයි‍.

පහර දීම හැර දරුවෙක්ගේ වැරදි ක්‍රියාවන් නතර කරන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. දරුවෙක් නරක වැඩක් කරද්දි අම්මාට පුළුවන්  අවධානය යොමු නොකර ඉන්න, මෙතෙක් දුන් දේවල් කපා හරින්න, වැරදි කරොත් ටීවී බලන වේලාව අඩු කරන්න වගේ පුංචි උපක්‍රම මගින් දරුවෙක් පහසුවෙන්ම පාලනය කරන්න අපිට පුළුවන්. බටහිර රටවල පාසැලේ දඟ කළ දරුවන්ට දඩුවම ලෙස ඔවුන් ලබා දෙන්නේ ප්‍රින්සිපල් ගේ කාමරය ආසන්නයේ ඇති පුස්තකාලයේ පොත් කියවන්න යොමු කිරීම වැනි දේයි. 

3.පවුල තුළ අර්බුද

දරුවෙක්ට සතුට ප්‍රබෝධය ආස්වාදය ඇති එකම නැත තමන්ගේ නිවස. පවුල. දරුවන්ට වටිනම දේ වෙන්නේ අම්මා තාත්තාගේ සුහද බව, ආදරය, සතුට. එවන් පරිසරයක දරුවන් ඉතා සතුටෙන් කාලය ගත කරනවා.

අඩදබර කරගනිමින් එකිනෙකා විවේචනය කරගනිමින් එකිනෙකාට පහත් ලෙස ආමන්ත්‍රණය කරගනිමින් ගහ ගනිමින් කොන්ඩ වලින් ඇද ගනිමින් රණ්ඩු මැද ගෙවෙන පවුල් ජීවිතයක් තුළ ජීවත් වෙන දරුවෝ පත්වෙන්නේ ඉතා අසරණ තත්තවයකටයි. නිවසේ පවතින මේ කලහකාරී වටපිටාව දරුවන්ගේ මොළය සංවර්ධනයට ඉතා ප්‍රභල ලෙස බලපානවා. අම්මා තාත්තා සුහදව විනෝදයෙන් සතුටින් කාලය ගත කරන නිවසක දරුවන්ගේ මනස ඉතා නිරවුල්. ඔවුන් ජීවිතය දකින්නේ සතුට පිරුණු ලොවක් තුළින්. ඒ වටපිටාව තම දරුවන්ට ලබාදීමේ වගකීම මව්පියන් සතුයි. 

4.මවට පහර දීම

සාමාන්‍යයෙන් තමන්ගේ මවට යම් පීඩාවක් ඇති වෙන එක දරුවෙකුට දරාගන්න අපහසුම කරුණක්. දරුවෙක් මව වටා තමන්ගේ ජීවිතය දකිනවා. ඔවුන් තම මවට දුකක් කරදරයක් වනු දැකීමට අපහසු පිරිසක්. අන්න ඒ නිසාම නිවසේ මව සැමවිටම සතුටින් සිටීම ලස්සන ළමා මනසකට බොහොම වැදගත් කරුණක්. ඒ වගකීම පියා සතු වෙනවා. මව සතුටින් තැබීමමේ වගකීම පියා විසින් ඉටු කරද්දී සතුටින් සිටින දරුවන් වෙනුවෙන් පියාගේ යුතුකම ඉබේම ඉටු වෙනවා. 

5.දික්කසාදය

පවු‍ලේ සුරක්ෂිත බව කැඩී බිඳී වෙන්වෙද්දී ඒ වෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනෙන මනෝවිද්‍යාත්මක ක්‍රියිවලියක් පවතිනවා. එතැනදී තියෙනවා. එතැනද සතුටින් සිටීම, ප්‍රතිරූපය කඩා වැටීම, ගැටුම් ඇති වීම, වරද අවබෝධ වීම, ගැටුම උග්‍ර වීමට වටපිටාවෙන් ලැබෙන කරුණු සහ වෙන්වීඹ කියන අවධි හතක් සමග දික්කසාදය බැඳී පවතිනවා. දෙන්නා වෙන්වීමත් සමග දරුවන්ගේ අයිතිය පිළිබඳ ගැටලු ඇති වෙනවා. දරුවා බෙදාගන්න බැරිව ගැටුම් ඇති වෙනවා. ඇතැම් අවස්ථාවල අම්මා/තාත්තා ඒ දෙදෙනාගෙන් පලිගැනීමට දරුවා යොදාගන්නවා. මේ හේතු මත දරුවෙක් විශාල ලෙස පීඩාවට පත්වෙනවා. 

පවුලේ යම් ගැටුමක් පවතිනවා නම් ඒවා සාකච්ඡා කොට ඒත් නොහැකි නම් උපදේශන සේවාවකට යොමු වී හෝ විසඳා ගත යුතුයි. උපදේශන සේවාවලදී කිසි ලෙසකින්වත් යුවළක් වෙන් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. හැමවිටම උත්සාහ දරන්නේ ගැටුම් නිරකරණය කර දී එක් කිරීමටයි. මව්පියන්ගේ වෙන්වීම දරුවන්ට දරාගත නොහැකි අසරණ තත්ත්වයක්. ඒ නිසා තමන්ගේ ආගම දහමට අනුව හෝ සිතා බලා ඒ ගැටුම් නිරාකරණය කරගනිමින් සතුටින් සිටීම දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ යුතුකමක්. 

6.දරුවන් නොසලකා හැරීම

මේ හේතුවෙන් දරුවන්ගේ මොළයේ බොහෝ වෙනස්කම් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ළමා නිවාස වල ජීවත්වන දරුවන්ගේ මොළයේ පරිමාව අවම මට්ටමක පවතින බවත් ඊට හේතුව දරුවාගේ මොළයට ලැබෙන උත්තේජනය අඩු වීමත්ය. සාමාන්‍යයෙන් මව්පියන් ළඟ හැදෙන දරුවන්ට එවන් තත්ත්වයක් නැහැ. අපේ රටේ මව්පියන් සාමාන්‍යයෙන් ඔවුන් දරුවාගේ අවශ්‍යතා අකුරටම ඉටු කරනවා. උපරිම ආරක්ෂාව දාරුවාට ලබා දෙනවා. ලෙඩකදී ඕනෑවටත් වඩා බලාගන්නවා. නමුත් මව්පියන් අතින් සිදු වෙන එක අඩුපාඩුවක් තියෙනවා. කායිකව දරුවා වෙනුවෙන් හැම යිතුකමක ඉටු කළත් බොහෝ අවස්ථාවලදී මව්පියන් දරුවාගේ චිත්තවේගික පීඩාවන් ගැන තැකීමක් නැහැ. මනෝවිද්‍යාඥයින් පවසන්නේ දරුවෙකුට කියන්න කෙනෙක් සිටියදීත් කියාගන්න ඕනේ දේ කියා ගන්න බැරිව ඒ තැනැත්තා එක්කම ජීවත් වීමට සිදුවීම තරම් දුකක් නොමැති බවයි. අන්න ඒ නිසාම දරුවාගේ චිත්තවේග වටහා ගනිමින් දරුවාට කතා කරන්නට අවස්ථාව දෙමින් දරුවාට ඇහුම් කන් දෙමින් සහය විය යුතුමයි. පාසැල්වල මේ තත්ත්වය ඉතාම ඛේදනීයයි. දරුවන් වටහා ගැනීම අවමයි. වැඩිහිටියන් ලෙස අප වටහා ගත යුත් වන්නේ ධනාත්මක චිත්තවේග මොළයේ සටහන් වෙනවා වගේම ධනාත්මක චිත්තවේග ඇති දරුවන්ගේ මොළය ඉතා සුන්දරව වර්ධනය වන බවත්ය. 

7.ලිංගික අපයෝජනය

මෙය ඉතාම නරක, ඉතාම දුර්දාන්ත ක්‍රියාවලියකි. දරුවන් අතපත ගෑම, සිප වැළඳ ගැනීම (දරුවන් තුළ ලිංගික උත්තේජනයක් ඇති කරන විදිහේ) කිසිසේත්ම ඉඩ නොදිය යුතු තත්ත්වයකි. මෙතැනදී පවුල් ව්‍යූහය ඉතාම වැදගත්‍. කැඩී බිඳුණු, ගැටුම් ඇති, මත් පැන් සුරා සූදුවට යොමුවුණු වැඩිහිටියන් සිටින පවුල්වල දරුවන් අපයෝජනය වීමට ඇති සම්භාවිතාව වැඩියි. මොකද දරුවන්ගේ ආරක්ෂාව ළ පවතින නිසා. දරුවන් රැක ගැනීමේ වගකිම මව්පිය වැඩිහිටියන්ට මග හැරිය නොහැකි වගකීමක්. 

8.මත්දියර භාවිතය

විශාල කලහකාරී ලෙස හැසිරෙන ඇඳුම් නැතුව මත්පැන පානය කොට පාරේ වැටිලා ඉන්න තාත්තෙක් ගෙදර ඉන්නවා නම් දරුවෙක්ගේ ගෞරවයට ආරක්ෂාවට ඒක විශාල බාධාවක්. එසේත් නැතිනම් මත්දියර භාවිත කොට වෙනදාටත් වඩා දරුවන්ට ආදරෙන් කතා බහ කරන හුරතල් කරන පියෙක් නම් එයත් දරුවෙකුට හානියක්.

9.මානසික රෝග ඇතත් ප්‍රතිකාර නොගැනීම

සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා වූ මානසික රෝග තුන්සිය ගණනක් පමණ තිබෙනවා. සැකය මේ අතරින් ගොඩක් පවුල් තුළ ගැටුම් ඇති කරන මානසික තත්ත්වයක්. සැකය කියන්නේ එක්තරා ආකාරයක මානසික රෝගයක්. අපි සාමාන්‍යයෙන් මානසික ආබාධ කියන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් මිදී අමුතු හැසිරීමක් පෙන්නුම් කිරීමේදීයි. ඒ පිටතට පෙනෙන මානසික රෝග තත්ත්ව. නමුත් පිටතින් හඳුනා ගත නොහැකි මානසික රෝග තත්ත්ව බොහොමයක් තිබෙනවා. මිනිස්සුත් එක්ක ගණුදෙනු කරද්දී, තීරණ ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. කායික රෝගයකට පුතිකාර වෙත යොමු වුවත් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්න මිනිස්සු කැමති නැහැ. නමුත් තමන්ගේ සිතුම් පැතුම් හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙද්දී එය පවුලට දරුවන්ට අනිසි ලෙස බලපානවා. දරුවන්ගේ මොළය සංවර්ධනයට ඒ මවගේ හෝ පියාගේ හැසිරීම බොහෝ සෙයින් බලපෑම් කරනවා. 

10.බන්ධනාගාර ගත වූ අයෙන් නිවසේ සාමාජිකයෙකු වීම

ධනාත්මක උත්තේජයක් ඇතිව හැදුණු දරුවෙක්ගේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුවත් මෙවැනි ව්‍යසන තත්ත්වයකදී  ඒවාගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සුදු නොවෙන බව මනෝ විද්‍යාඥයින් පවසනවා. එය දරුවාගේ වර්ධනයට බොහෝ සෙයින් බලපෑම් කරන තත්ත්වයකි. 

කෙසේ වුවත් ඔබේ දරුවා මේ කරුණු වලින් ආරක්ෂා කර නොගතහොත් දරුවාට විකෘති මොළයක් හිමි වන අතරම එවැනි විකෘති මොළයක් සහිත දරුවෙක් සමාජයට ව්‍යසනයක් වන බවත් කිසිසේත්ම අමතක නොකළ යුතුය.. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here