- Advertisement -

සතිමත් බව වැඩීමේ ප්‍රයෝජන මොනවාද?

-

සතිමත් බවේ අරමුණ වන්නේ පුද්ගලයාගේ ඇතුළාන්තයේ ඇති ශාරීරික, මානසික සහ භාවාත්මක ශක්තිය අවධි කිරීමයි. ඒ අවදි කිරීම තුළින් ප්‍රතිලාභ රැසක් පුද්ගලයාට හිමි වනු ඇත. වර්තමානයේ පවතින ප්‍රීතිමත් බව අපි අපේ ශරීරයට දැනෙන්නට හැරිය යුතුයි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අපේ සිත අපේ සිහිය මේ වර්තමාන මොහොතේ පවතින වාර ගණන, කාලය දීර්ඝ වන විට සතුට අපේ සිත තුළ ප්‍රීතිය පවතින කාලය ද  වැඩි වේ. සතිමත් බව මගින් සමස්ත වශයෙන්ම යහපත් බවක් පුද්ගලයාට හිමි වනු ඇත. 

සතිමත් බව වැඩීම මගින් කායිකව අපිට හිමිවන ප්‍රතිලාභ

- Advertisement -

පර්යේෂන මගින් සනාථ වූ ආකාරයට සතිමත් බව වැඩීම මගින් පුද්ගලයෙකුට කායිකව හිමිවන ප්‍රයෝජන පහත පරිදි වේ.

  • හෘද රෝගවලට ඇති අවදානම සහ හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු වේ
  • අධිරුධිර පීඩනය ඇති වීම අවම කරයි
  • නින්දට ඇතිවෙන බාධා නැති කරයි
  • ආම්ලිකතාවය (ගැස්ට්‍රයිටීස්) නිසා ශරීරයට ඇතිවන වේදනාවන් පහ කරයි‍
  • දිගුකල් පවත්නා වේදනා ඇති පුද්ගලයන් (පිළිකා රෝගීන් වැනි) වෙත සහනය සලසයි
  • ඇබ්බැහි වීම් වලින් ගලවා ගනී
  • ආහාර රටා වල ඇති අක්‍රමිකතා හැඩගස්වා ගැනීමට සහය වේ
  • මානසික ආතතිය/ සාංකාව හේතුවෙන් ඇතිවන සංකූලතාවලට සහනය සලසයි 

සතිමත් බව වැඩීම මගින් සමාජමය වශයෙන් අපට හිමිවන ප්‍රතිලාභ 

ශාරීරිකව හා මානසිකව ලැබෙන ප්‍රතිලාභ තනි තනි පුද්ගලයාට පමණක් හිමි වන අතර අප ලොව පුරා පතුරවන්නේ සමාජ ප්‍රතිලාභයි. සතිමත් බව තමන්ට තමන් ගැන ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහය වේ. උදාහරණ ලෙස පංචේන්ද්‍රියන් තුළින් අපිට දැනෙන ආකාරය, යමක් දැනුනේ කොහොමද, ඒ සිතුවිල්ල තමා යටපත් කරගත්තේ කොහොමද කියන දේ අපිට අවබෝධ වෙන අතරම ඒ හරහා තමාට තමා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ දේ පුරුදු පුහුණු වීමේදී තමන් ගැන දැනගන්නා අතරම එය අනික් පුද්ගලයා පිළිබඳව දැනීමටත් ප්‍රයෝජනවත් වනු ඇත. එවිිට තමා තමා දෙස බලන අයුරින්ම අනෙක් පුද්ගලයා දෙස බලන්නටත් පුරුදු පුහුණු වනු ඇත. 

ඔබ මට දැනෙනවා, මටත් මාව දැනෙනවා. එහෙමනම් වචනයක් පාවිච්චි කිරීමේදී පවා සැලකිලිමත් වනු ඇත. අපි මේ සමාජය තුළ කටයුතු කරන විට ගනුදෙනු කරන විට හොඳ මගපෙන්වීමක් සතිමත් බව තුළින් හිමි වෙනවා.

සතිමත් බව පිළිබඳව අපි සිදු කරන ප්‍රායෝගික අභ්‍යාස තුළින් එක අරමුණක සිත රඳවා ගැනීමට පුරුදු පුහුණු විය හැකියි. සතිමත් බව ඉගෙනීමේ යෙදෙන දරුවන්ට අවධානය රඳවා ගැනීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. දරුවෙක් විභාගයකට මුහුණ දෙනවා නම් ඔහුගේ/ඇයගේ සිත කැළඹිලා නම්  සිත එක තැනකට ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. 

සතිමත් බව ජීවිතයට ළං කරගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් 

මේ සඳහා වන සරල ක්‍රියාකාරකම් කිහිපයක් පහතින් දක්වා ඇත.

Mind full Jar

මෙය කුඩා බෝතලයක් වන අතරම එයට දිලිසෙන කුඩු වර්ගයක් දමා ඇත. මෙය අපෙ සිත එගඟ කර ගැනීමට සිදුකරන සරලම ක්‍රියාකරකමකි. මේ බෝතලය හොඳින් සොලවන්න. එවිට එය ඔබේ සිත මෙන් කැලඹී නැවත සන්සුන් වනු ඇත. මෙය ඉතා සරල ක්‍රියාරකමක් වුවත් මෙහි ඇති ප්‍රයෝජන ඉතා වැදගත් වනු ඇත. සෙලවීමෙන් කැළඹුණු මේ දිලිසෙන කොටස් දෙස බලා සිටීමෙන් වර්තමාන මොහොතේ තත්ත්පර ගණනකට හෝ සිත පවත්වා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එය තප්පර ගානක්/ විනාඩි ගානක් දක්වා වැඩි විය හැකියි. මෙය ඉකා සරල ක්‍රියාකාරකමක් වුවත් මෙමගින් තත්පර ගානකට හෝ සිත එක් තැනක රඳවා ගැනීමට මූලික පුහුණුවක් ලබා දෙනවා. එය ප්‍රීතිමත් ජීවිතයකට බොහෝ‍ සෙයින් වැදගත් වනු ඇත. ඔබේ හිත යම් කැළඹීමකට පත් වූ අවස්ථාවක එය ඔබට පාලනය කර ගත නොහැකි අවස්ථාවක එසේත් නොමැති නම් විනාශකාරී හැඟීමක් ඇති වූ විට මේ දෙස බලා සිටීමෙන් විනාශකාරී හැඟීම් ඔබේ මනසෙන් ඉවත් වන තුරුම එසේ ඉවත් වී ඔබට මානසිකව සුවයක් දැානන තුරුම නැවත නැවත එය සිදු කිරීමට ඔබට හැකියි‍. 

සතිමත්ව සවන්දීම

මෙය ඉතාම සරලව ඔබ ඉන්න ඕනම තැනක ප්‍රායෝගිකව සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. ඔබ පහසුවෙන් හිඳ ගනිමින් දෑස් පියා ඔබේ වටපිටාවට අවධානය යොමු කරන්න‍. ඔබ ඉන්නේ එළිමහනක නම් සුළඟට ගස් සෙලවෙන හඬ, යමක් වැටෙන හඬ, යන එන වාහන  ශබ්ද වෙත අවධානය යොමු කරන්න. ඔබ මේ ශබ්ද පෙර අසා තිබුණත් සිතා මතා අවධානය යොමු කොට අසා නොමැති විය හැකියි. මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී වර්තමාන මොහොතේ මේ ශබ්දවලට ඔබ සවන් දිය යුත්තේ විනිශ්චයකින් තොරවයි. උදාහරණයක් ලෙස ඒ ඇහුණේ කාගේ වාහනයේ හඬද වැනි ලෙස විනිශ්චය කිරීම සුදුසු නැත. එවිට ඒ ඔස්සේ ඔබේ සිත දිගින් දිගටම ගමන් කරන අතරම වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීමට ඔබට අපහසු වනු ඇත. වර්තමාන මොහොතෙන් ඔබේ සිත ගිලිහෙන වාරයක් ගානේ ඔබ නැවත පැමිණ ක්‍රියාකාරකම ආරම්භ කරන්න. විනාඩි පහකින් පමණ ආරම්භ කොට ක්‍රමක්‍රමයෙන් දිනකට වරක් විනාඩි දහයක/පහලොවක සිට විනාඩි තිහක් දක්වා කාලය වැඩි කිරීමට ඔබට හැකියි. මේ ක්‍රියාකාරකම වෙනුවෙන් විශේෂ සූදානමක් අවශ්‍ය නොව අතර කෑම පිසීමේදී, ස්නානය කිරීමේදී වුවද සිදු කළ හැකිය.

සතිමත්ව ආහාර ගැනීම

යමක් වටහා ගැනීමට අපේ පංචේන්ද්‍රියන් උදව් වේ. අපි කරන ඕනම දෙයකට පංචෙන්ද්‍රිය එක්තැන් කළොත් එය අපිට හොඳින් දැනෙනවා. අනෙක් අවස්ථාවලදී පංචේන්ද්‍රිය ගත් විට රස දැනීම එකතු කළ නොහැකි වුවත් ආහාර ගැනීමේදී එයද එක් කළ හැකි වීම නිසා එය සතිය වැඩීමට ඉතා හොඳ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. උදාහරණයක් ලෙස ටොෆියක් ගත්තොත් එහිදී පංච ඉන්ද්‍රිය භාවිත කරන්නේ කෙසේද ?ටොෆිය ඔතා ඇති කොළය දෙස බැලූ විට එහි සඳහන් දේ අපිට පෙනේ. අපේ ඇස ක්‍රියාත්මකයි. එය පොඩි කළ විට එහි හඬ ඇසේ. අපේ කන ක්‍රියාත්මකයි. ටොෆිය ස්පර්ශ කිරීමේදී එහි සුමුදු බව, හැඩය අපට දැනෙනවා. එහි සුවඳ බැලීම නිසා රැචිය ඇති වෙනවා. මේ ක්‍රියාකාරකමේදී පංච ඉන්ද්‍රියන් භාවිත වන බව පැහැදිලි වනු ඇත. මොළයට පණිවිඩයක් දෙන කොට මේ පංචේන්ද්‍රියන් සියල්ලම හරියට අරගෙන මොළයට පණිවිඩයක් දුන්නම තමයි මේකේ රසය කියන දේ හරියටම අපි ගන්නෙ. 

සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීමේ පුරුද්ද (Over Eating Habits) පාලනය සඳහා යොදා ගැනෙන්නේත් මේ ක්‍රමයයි. ආහාර වැඩිපුර ලබාගන්න පුද්ගලයන් බොහෝ විට ආහාර ගන්නේ එක්කෝ රූපවාහිනිය නරඹමින්. නැතිනම් වෙන කල්පනාවක. ඒ නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් කොයිතරම් ප්‍රමාණයක් ආහාර ගත්තාද යන බව. ‍ඇතැම් විට තමා ආහාරඑයට ගත්තේ මොනවාද කියාත් නොදන්නවා විය හැකියි. නමුත් ඉහත ක්‍රමය අනුගමනය කොට ආහාර වේල සඳහා සකසා ඇති දේ බලා ආහාර බෙදාගෙන,  සුවඳ විඳ හොඳින් අනා ටිකෙන් ටික රස විඳින්න. එවිට අපේ මොළයට පණිවිඩය ලැබෙනවා කුස පිරුණු බවට,  එය මානසික කාරණයක්. පිඟන් දෙකක් ආහාරයට ගෙන ඔබේ කුස නොපිරුණත් මේ ක්‍රමයට ආහාර ගැනීමේදී ඉතා ඉක්මනින් පිරෙනවා. එය සිදුවන්නේ ඔබේ මොළයට නිවැරදිව මෙන්ම පැහැදිලිව පණිවිඩය ගමන් කළ නිසයි. අන්න ඒ නිසාම මොළය සමග සිදුකරන ගනුදෙනුව ඉතා පැහැදිලිව සිදුකළ යුතුයි. ඒ සඳහා අපිට පංච ඉන්ද්‍රියයන් බොහෝ සෙයින් වැදගත් වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article