කැළඹිලා එහෙම නැත්තම් විසිරිලා එහෙමත් නැත්තං අරමුණක් නැතුව පාවෙන ජීවිතයකට ඇති හොඳම ඔසුව සතිමත් බවයි. සතිමත් බව ඉංග්‍රීසි භාෂාවෙන් mindfulness ලෙස හඳුන්වනවා. මේ සතිමත් බව දුර්ලභ මාතෘකාවක් හෝ ඔබ අසා නොමැති දෙයකුත් නොවුණත් එහි අරුත නිවැරදිවම දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මන්ද සතිමත් බව ප්‍රායෝගිකව අපේ ජීවිතයට ළඟා කරගැනීමට අපට හැකියාව ලැබෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව අවබෝධයක් අපි තුළ තිබුණොත් පමණයි.
මෙහි ප්‍රායෝගික සත්‍යයක් හෝ වටිනාකමක් නැති බවක් යමෙකුට දැනුනත් සතිමත් බව කියන්නේ සාර්ථක ජීවිතයකට ඉතාම වටින සංකල්පයක්. ඒ වගේම ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි තරමේ ප්‍රබල දෙයක්. ගැටලුව වී ඇත්තේ මේ දෙය ගැන අපි නිවැරදිව දැනුවත් වී ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති වීමයි. එතැනදී අපි මේ පිළිබඳව න්‍යායාත්මක කරුණ පිළිබඳවද දැනුවත් වීම අත්‍යවශ්‍යයි.
සතිය කියන්නේ පාලි වචනයක්. සතිය යනු මේ ගෙවෙන මොහොතේ එනම් වර්තමාන අවස්ථාවේ සිත පවත්වා ගැනීමයි. සතිමත් බව පිළිබඳව හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සිදු කළ පර්යේෂණයක මනුෂ්‍ය ජීවිතයේ ආයු කාලයෙන් 47% අසිහියෙන් එහෙමත් නැත්තං අසතියෙන් අපි ගත කරන බව කියවෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු අසූවක් ජීවත් වුනොත් අවුරුදු හතළිහකට ආසන්න ප්‍රමාණයක් අසිහියෙන් ජීවත් ජීවත් වෙනවා.
සතිය සරල ලෙස විග්‍රහ කළ හැකි වුණත් එය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම එතරම්ම සරල කාරණයක් නොවේ. වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම සතිය ලෙස විග්‍රහ කළත් එතැනින් ඉදිරියට ගොස් පරිපූර්ණ අර්ථයෙන් සතිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ තුළ සම්පූර්ණ විය යුතු ඉතා වැදගත් කරුණු හතරක් තිබෙනවා.
වර්තමානයේ ජීවත් වෙමින් අපි කරන දෙයට සිතාමතා අවධානය යොමු කිරීමෙන් ලබන විනිශ්චයකින් තොර දැනුවත් වීම සතිමත් බවයි.
විනිශ්චයකින් තොරව සැබෑවටම යමක් වෙත අවධානය යොමු කිරීමයි. ඔබ යමක් විනිශ්චය කිරීමට යොමු වුවහොත් අනිවාර්යෙන්ම ඔබ මේ පවතින මොහොත එනම් වර්තමාන මොහොතෙන් ඉවත් වෙනවා. සතිමත් බව වඩන කෙනෙක් විනිශ්චයකට යොමු වෙන්නේ නැහැ. බොහොම අවස්ථාවලදී අපි අන්‍යයන්ගේ විනිශ්චයන් තුළින් තමාගේ සතුට, මානසික තෘප්තිය විනාශ කරගන්නවා.
සතිය එහෙම නැත්නම් සතිමත් බව ගැන කතා කරද්දී වර්තමාන මොහොතේ හිත පවත්වා ගැනීම සරල කාරණයක් ලෙස හැඟුණත් ඇත්ත වශයෙන්ම අපි අපේ සිතුවිලි සමග එක්කෝ අපේ අතීතයට හෝ ඉදිරි අනාගතයට සිත ගමන් කරවනවා. අපිට ආතතිය, සාංකාව වැනි තත්ත්වවලට මුහුණ දීමට සිදුවන්නේ මෙන්න මේ තත්ත්වය නිසායි. ඒ තත්ත්ව දෙකේදීම සිදුවන්නේත් අපේ මේ වර්තමාන මොහොතේ සතුට විනාශ වීමයි.
සාමාන්‍යයෙන් මනුෂ්‍ය ස්වභාවය වන්නේ සෘණාත්මක අදහස් වල එහෙම නැත්තං අතීතයේ දී විඳි දුක්ඛ දෝමනස්ස කටුක අත්දැකීමක් නැවත නැවත මතක් කිරීමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි කටුගාලක පැටලිලා එයින් ලැබුණු තුවාලය සුව වෙන්න නොදි නැවත නැවත කටුවකින් පාර ගන්නවා හා සමාන දෙයක් තමයි අතීතය සමග සිත පැටලීම නිසා මානසිකව නිදහසක් ලැබීමට නොහැකි වීම. එයින් ඇති වන වේදනාවෙන් කිසිදු අවස්ථාවක ගැලවිය නොහැකියි. ඒ වගේම වර්තමාන මොහොතේ සිට අපි ඉදිරි අනාගතය ගැන සිතමින් එහිදී සිත් පෑරීම් කටුක අත්දැකීම් ඇතිවේද යන බියෙන් කාලය ගතකරනවා. එය කිසිසේත්ම සුදුසු නැහැ. අතීතයේ සිදු වූ කටක අත්දැකීම අනාගතයේ සිදු වේය යන ස්ථිර සිතුවිල්ලක සිටීම වැරදියි. අන්න ඒ සිතිවිලි ඔස්සේ අපි අපේ වර්තමානයත් අහිමි කරගන්නවා.
සතිය, සතිමත් බව කියන සංකල්පයෙන් අපේ ජීවිතයට ගත හැකි ප්‍රධානතම ප්‍රායෝගික සත්‍යය සහ ප්‍රධානතම ආකල්පය වන්නේ වර්තමාන මොහොතේ සතුට භුක්ති විඳීමට පහුගිය අතීතයත් එළඹෙන අනාගතයත් අත්හැරීමයි.
සතිමත් බවේ ඉතිහාසය
සතිමත් බව අසල්වැසි ඉන්දියාවෙන් ඇරඹූවක්. සතිමත් බවෙහි ආරම්භය හින්දු ආගම හා බැඳී ඇත. අවුරුදු දහස් ගණනක් ඈත අතීතයේ සිට පැමිණි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සංකල්පයක් ලෙස සතිමත් බව හැඳින්විය හැකියි. මේ සංකල්පය භගවත් ගීතාවේ සඳහන් වේ. හින්දු ආගම තුළ භගවත්ගීතාව වගේම යෝග වැනි ක්‍රියාකාරකම් තුළ වර්තමාන මොහොතේ සිහිය මනාකොට පවත්වා ගැනීම යන සංකල්පය වෙනුවෙන් මූලික ක්‍රියාකාරකම් ඇති අතරම උදාහරණයක් ලෙස භාවනාව දැක්විය හැකියි. එහිදී අපි භාවනාවෙන් ඉවත් වී ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකමක යෙදෙනවා උනත් වර්තමාන මොහොතේදී හුස්ම ඉහලට පහල දැමීමේ ශරීරික ක්‍රියාවලියේ සිත රඳවා සිටිනවා.
මෙම සතිමත් බව ඉතා ප්‍රබල ලෙස බුදු දහම තුළ සාකච්ඡා වන අතරම ඒ බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ බුද්ධත්වයට පත්වීමට මේ සතිමත් බව කියන සංකල්පය විශාල වශයෙන් උපකාර කොටගත් නිසයි. බුද්ධත්වය යනු මනුෂ්‍ය සිතක ඉහළම අවධියයි. වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම තුළින් උසස් ස්ථානයකට පිවිසෙන්නට සිත දියුණු කළ හැකියි යන සිතුවිල්ලෙන්ම බාධාවන් බාධාවක් කර නොගනිමින් ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න වටහා ගත හැකියි. බුද්ධාගම, හින්දු ආගම පමණක් නොව අනෙකුත් සෑම ආගමකත් සිත වර්තමාන මොහොතේ පවත්වා ගැනීමට, සිතාමතාව සිත එක අරමුණක පවත්වා ගැනීමට ගීතිකා, පූජනීය වස්තු, පිළිම වන්දනා වැනි ක්‍රියාකාරකම් දැකිය හැකියි. එසේ සෑම ආගමකින්ම පුද්ගලයාගේ සිත එකග කොටගෙන වර්තමානයේ පිහිටවා ගැනීම යන සංකල්පයට ඉඩ වෙන්වන්නේ මනුෂ්‍ය සිතට බාධාවක් ඇති වුවහොත් මනුෂ්‍යයා කැළඹීමට පත් වන නිසයි.
සතිමත් බව ලොව පුරා ව්‍යාප්ත වෙන්නේ පෙරදිගින් අපරදිගට ගමන් කිරීමෙන් පසුවයි. සතිමත් බව අපරදිගට ගමන් කරන්නේ විද්‍යාත්මක පදනමක් සමගයි. ඕනම ආගමකම විද්‍යාත්මක පදනමක් (දර්ශනය) සහ සහ සාහිත්‍යයක් ඇති අතර ආගමක සාහිත්‍යය කොටස හේතුවෙන් මිනිස්සුන් අතර බෙදීම් ඇති විය හැකියි. නමුත් ආගමක දර්ශනය පදනම් කරගත් පුද්ගලයා සෑම ආගමකම දර්ශනය එක සමාන බව වටහා ගන්නවා.
හින්දු ධර්මයෙන් ඇරඹී බුද්ධ ධර්මයට පැමිණි සහ වෙනත් ආගම් වල ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක සතිමත් බව කියන සංකල්පයේ ඇති ඒ දර්ශනයේ ඇති විද්‍යාත්මක බව අවබෝධ කරගත්ත ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙකු වන ජෝන් කබාඩ් සිං, සතිය යන සංකල්පයේ විද්‍යාත්මක පදනම ලෝකයට රැගෙන යන්න විශාල මෙහෙවරක් ඉටු කළා. එතුමා තම විශ්ව විද්‍යාලයේ Mind Full Based Stress Reduction Clinic (සතිමත් බව පදනම් කරගත් ක්‍රියාකාරකම් මගින් මානසික ආතතිය වැළැක්වීම පිළිබඳ සායනය) ලෙස සායනයක් පවා ආරම්භ කළ අතරම එතුමා සිදු කළ පර්යේෂණ මගින් කායිකව මානසිකව සහ සමාජයීය වශයෙන් එදා ඉන්දියාවේ උපත ලද මේ සතිමත්බව විද්‍යාත්මකව ගත් කළද පුද්ගලයකුගේ ජීවිතය වෙනස් කීරීමට, ජීවිතයේ සුබ ඵල ගෙන දීමට කොයිතරම් සහය වෙනවාද යන්න පෙන්වා දෙනවා.
සතිමත් බව යන සංකල්පය විද්‍යාවට අවතීර්ණ වන්නේ ආගම තුළින් වුවත් එය ලෝකය පුරා ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මක පදනම තුළිනුයි. විද්‍යාව යනු තර්කයකින් තොරව පිළිගත හැකි දෙයක් වුවත් ආගම නම් වූ සංකල්පය තුළින් අපි අපිට අදාල නොවන දේ මෙන්ම පුද්ගලයන්ද ඉවත් කරනු ඇති. ඒ නිසා මෙවැනි වටිනා යහපත් ප්‍රායෝගික සංකල්පයක් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ.
මුහුදේ හුළං හමන එක වෙනස් කරන්න අපිට බෑ….. නමුත් රුවල් සීරුමාරු කරන්න අපිට පුළුවන්. තමන්ගේ ආලෝකය තමන්ම දල්වා ගන්න. ඒ අාලෝකය ලෝකයටත් බෙදන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
රේණුකා තෙන්නකෝන් මහත්මිය
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය