- Advertisement -

ස්වයං පියයුරු පරීක්ෂාව ගැන ඔබ දැනුවත්ද?

රටක පැවැත්ම උදෙසා පවුලේ කාර්යභාරය උසුලන්නී රටේ ජීවනාලීය කාන්තාවයි. බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙසින් මහඟු වූ කාර්යයක් ඉටු කරමින් පවුලේ අවශ්‍යතා සොයා බලමින් සියලු කාර්යයන් මනාව කළමණාකරණය කරමින් පවුලක අභිවෘද්ධිය සලසාලන අතරම සමාජය හා ගැටෙමින් සියලු කරදර බාධක ජයගැනීමට පවුල මෙහෙයවීමේ කටයුත්ත ඉටු කරනු ලබන්නේ කාන්තාවක විසිනි. 

එවැනි වූ කාර්යභාරයක් උසුලන කාන්තාව වයසින් මුහුකුරා යත්ම විවිධ වූ ලෙඩ රෝග වලට ලක්වීමේ නැඹුරුතාවයක් දක්වයි. එසේ වීමට බොහෝවිට හේතු පාදක වන්නේ කාන්තා ශරීරයේ සමතුලිතභාවයට නිරෝගී සෞඛ්‍යයට බලපෑම් එල්ල කරනු ලබන හෝමෝන යාන්ත්‍රණය අඩුවීමයි. මෙසේ හෙයින් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අධික ස්ථූලතාව මෙන්ම පිළිකා තත්ත්වයන් කරා ලඟාවීම වයසින් මුහුකුරා යත්ම දක්නට ලැබේ. එසේම පිළිකා රෝග සම්බන්ධව සලකා බැලීමේදී කාන්තාවන් අතර බහුලතම පිළිකා රෝග වන්නේ පියයුරු පිළිකා හා ගැබ් ගෙල පිළිකාවයි. එසේම කල්තියා හඳුනාගැනීම මඟින් රෝගී තත්ත්වය වැඩි දියුණු වීම වළක්වා ගත හැකි හෙයින් මෙම රෝගී තත්ත්වය පාලනය කරගැනීමට අවස්ථාව ලැබේ. එසේ හෙයින් කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති වුවද රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේද භාවිත කිරීමෙන් වෙනත් පිළිකා තත්ත්වයනට වඩා පහසුවෙන් මෙම පිළිකා වළක්වා ගත හැකි වේ. 

- Advertisement -

ගැබ් ගෙල පිළිකාව සඳහා ප්‍රථම ලිංගික එක්වීමට පෙර හියුමන් පැපිලෝමා වෛරසය සඳහා එන්නත් ලබාදීමට හා ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කළ සෑම කාන්තාවක්ම ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කල පසු සෑම වසර 5 කට වරක් පැප් පරීක්‍ෂණය සිදු කරවා ගැනීම මඟින් පිළිකා සෛල ඇති වීම කල්තියා හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාර සඳහා මුල් අවස්ථාවේදීම යොමු වීමට හැකි වීම තුලින් ගැබ් ගෙල පිළිකා අවධානමින් මිදිය හැකි වේ. ගැබ්ගෙල පිළිකා සඳහා ඇති එකම හා හොඳම පරීක්‍ෂණය පැප් පරීක්‍ෂණය වේ. 

එමෙන්ම පියයුරු පිළිකා සඳහාද ඊස්ට්‍රජන් හෝමෝනය බලපෑමක් සිදුවන බවට වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇති හෙයින් සෑම කාන්තාවක්ම තම වයස අවුරුදු 20 සිටම පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුතු වේ. 

ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුත්තේ කවුරුන්ද?

  • මෙය වසය අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම
  • ලිංගික හෝමෝන සක්‍රීයව පවතින සමයේ පසුවන එනම් මාසික ඔසප් වීම සිදුවන කාන්තාවන් මාසික ඔසප් වීම සිදුවී දින 7 – 10 ත් අතරදී
  • ආර්තවාහරණයට (Menopause) එනම් ඔසප් වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නියමිත දිනයකදී 

පියයුරු පරීක්‍ෂාව කළ යුත්තේ කෙසේද?

  • පියයුර නිරීක්‍ෂණය කිරීම (කණ්ණාඩියක් ඉදිරිපිටදී)
  • පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම (ඝර්ෂණය මඟින්)

පියයුර නිරීක්‍ෂණය කිරීම

  • මේ සඳහා සුදුසු ස්ථානයක් (නාන කාමරය හෝ කාමරයේ කණ්ණාඩිය ඉදිරිපස වඩාත් සුදුසු වේ) තෝරා ගන්න.
  • උඩුකය ඇඳුම් ඉවත් කරගෙන කණ්ණාඩියක් ඉදිරියේ සිට ගන්න. එසේ සිට,
  • දෑත් දෙපසට සිටින සේ සෘජුව තබාගන්න
  • අත් දෙකම ඉහළට ඔසවන්න
  • අත් දෙක ඉණ මත තබාගෙන මඳක් ඉදිරියට නැමෙන්න

මේ ඉරියව් වලදී පියයුරු වල මීට පෙර නොදුටු වෙනස්කමක් ඇත්දැයි නිරීක්‍ෂණය කරන්න. එහිදී,

  • පියයුරු වල ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනස්කමක් හෝ අසමමිතික බවක් (ලඟදී ඇති වූ) ඇත්ද? 
  • පියයුරු වල සමේ වර්ණයේ වෙනසක්, ගැටිත්තක්, ගෙඩියක් හෝ ඉදිමුමක් ඇත්ද ඒවා වේදනා රහිතද?
  • පියයුරේ මතුපිට සම දොඩම් ලෙල්ලක් මෙන් ඝන ස්වභාවයක් වේද?
  • ලඟකදී ඇති වූ පියයුරේ වල කැසීමක් වේද?
  • මෑතකදී තන පුඩුව ඇතුලට ගිලී යාමක් සිදුව ඇත්ද?

මේ ලෙසින් දෑසට දැකිය හැකි වෙනස්කම් කලින් නුදුටු ලඟකදී ඇති වූ ඒවා තිබේදැයි නිරීක්‍ෂණය කරමින් එම නිරීක්‍ෂණය තුලින් දැකිය හැකි වෙනස්කම් හඳුනා ගන්න. 

පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම 

මෙය ඇඳක නිදා සිටින අයුරින්/වැතිරී සිටින ලෙසින් හෝ නාන කාමරය තුල ස්නානය කරන විට හෝ සිදු කළ හැකිය.

ඇඳක වැතිරී පියයුරු පරීක්‍ෂාව කරන අයුරු

  • ඇඳ මත උඩු අතට දිගාවෙන්න
  • පරීක්‍ෂා කරන පැත්තේ උරහිසට යටින් පැතිලි කොට්ටයක් හෝ ඝනකම් ලෙස නවාගත් බෙඩ් ෂීට් එකක් තබන්න. 
  • පරීක්‍ෂා කරන පැත්තේ අත්ල මත හිස තබා විරුද්ධ අතින් පියයුර පරීක්‍ෂා කරන්න. මෙවිට වම් අතින් දකුණු පියයුර ද දකුණු අතින් වම් පියයුර ද පරීක්‍ෂා කරන්න. 
  • අතේ ඇඟිලි එක්කොට ඇඟිලි වල ඇතුල් පැත්තේන් පියයුර මත පැතලි ලෙස තෙරපීම් පපු කුහරයට තද වන සේ කරමින් පරීක්‍ෂා කරන්න. එවිට 
  • පියයුරෙහි ගැටිති
  • සමට යටින් තද ගතියක්
  • වේදනාවක්

ඇත්දැයි බලන්න. එසේම පියයුරේ සෑම කොටසක්ම පරීක්‍ෂාවට හසුවන සේ එක් තැනකින් පටන් ගෙන ඔරලෝසු මුහුණතක කටු දිවෙන ආකාරයට රවුමෙන් රවුමට පියයුරේ පිටත සිට තන පුඩව දක්වා හොඳින් පරීක්‍ෂා කරන්න. කිසිදු විට ඇඟිලි එක්කර මිරිකමින් පරීක්‍ෂා නොකරන්න. මෙම පරීක්‍ෂාවේදී සැහැල්ලු බවෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් තද කරමින් පියයුර උරස් බිත්තිය දක්වා වඩාත් තද කරමින් පරීක්‍ෂා කරන්න. 

අනතුරුව මහපටඟිල්ල හා දබරඟිල්ල මඟින් පියයුරේ කළු කොටස එනම් ඇරියෝලාව මිරිකා බලන්න. අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවේ දැයි බලන්න. පසුව වම් අතින් දකුණු කිහිල්ලත් දකුණු අතින් වම් කිහිල්ලත් හොඳින් පරීක්‍ෂා කරන්න. ගැටිති ඇති දැයි විමසිලිමත් වන්න. 

මෙසේ පියයුරු තමන් විසින් පරීක්‍ෂා කරගැනීම එනම් ස්වයං පියයුරු පරීක්‍ෂාව කර ගැනීමෙන් තමන්ටම පියයුරු වල අසාමාන්‍යතාවයක් ඇත්නම් හඳුනා ගත හැකියි. 

එසේම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල පැවැත්වෙන සුවනාරී සායනයේදී, ප්‍රසව හා නාරී වේදීය විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලක නාරිවේදීය සායනයේදී හෝ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ලවා හෝ සැකයක් ඇති ඕනෑම අවස්ථාවක ඕනෑම කාන්තාවකට පියයුරු පරීක්‍ෂාවක් සිදු කරවා ගත හැකිවා මෙන්ම පුද්ගලික වෛද්‍ය ආයතන හෝ පුද්ගලික රෝහල් මඟින් ද රජයේ ඕනෑම රෝහලක බාහිර රෝගී අංශයේදී වුවද සැකයක් ඇති වූ ඕනෑම අවස්ථාවක ඔබට වෛද්‍ය උපදෙස් පැතිය හැකියි. එමෙන්ම අවශ්‍යතාව අනුව අදාල සායන වෙතට එනම් ලඟම රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමු කර ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගනු ලබනවා. 

මෙසේ හෙයින් පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ උදව් ලබාගැනීම මඟින් ඔබට ඔබගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගත හැකි සෞඛ්‍ය පද්ධතියක් පැවතීම අපේ වාසනාවයි. මේ නිසා ඔබටත්, ඔබගේ දෙමාපියන්, දරුවන් වෙනුවෙන් මේ සියළු සෞඛ්‍ය පහසුකම් සලසා ගනිමින් නිරෝගීතාවය අත්විඳීමට කාන්තාවකට ලැබෙන අවස්ථාව සමස්ත පවුලේ අභිවෘද්ධියට හේතු වනු නොඅනුමානයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article