නිර්මාණාත්මක මනෝ චිකිත්සාව ඔබේ ආවේග සමබරතාව රැකුමටත් හොඳ විසදුමක් බව දැන සිටියාද?
සංගීතය, රංගනය, චලන, නර්තනය, චිත්‍ර කලාව වැනි සෞන්දර්යාත්මක විෂයන් ඖෂධීය අරමුණක් නැත්නම් ප්‍රතිකාරාත්මක අරමුණක් තුළ භාවිත කිරීම නිර්මාණාත්මක මනෝචිකිත්සාවයි. නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේ සංගීතය හෝ නර්තන හෝ රංග චිකිත්සාව හෝ භාවිත කරන්නට නිසි ක්‍රමවේදයක් පවතින අතරම මනෝ විද්‍යාව සහ සෞන්දර්ය යන මාධ්‍යයන් දෙක එක තැනකට හමුවන තැන නිර්මාණාත්මක මනෝචිකිත්සාව ගොඩ නැගේ.
සෞන්දර්යය විෂයයන් හරහා මනෝ චිකිත්සාවක් ලැබෙනවාද?
ඕනෑම සෞන්දර්ය විෂයක් තුළ චිකිත්සාමය ගුණයක් පවතිනවා. ඒ නිසා ගොඩක් දෙනෙක්ට හිනේනට පුළුවන් සෞන්දර්ය විෂයන් ඔස්සේ මනසේ විෂමතා, සංකූලතා නැති කළ හැකියි කියා. නමුත් මනෝ චිකිත්සාවේදී එය සිදු කරන්නේ නිසි ක්‍රමවේදයකට අනුවයි. එහිදී මනෝ විද්‍යාත්මක පදනමක් තුළ නිශ්චිත මානසික ගැටලුවක් හෝ රෝගයක් පදනම් කරගනිමින් ප්‍රතිකාර සිදු කෙරෙනවා. එම නිර්මාණ සිද්ධවෙන්නේ යම් ක්‍රමවේදයක් තුළයි. එහිදී අපි සාමාන්‍යයෙන් සංගීතයකට සවන් දීම, නර්තනයේ යෙදීම, වාදනයේ යෙදීම වැනි ක්‍රියාකාරකම් මගින් සැහැල්ලු වුවත් මනෝ විද්‍යාත්මක පදනමක් තුළ දී එය සිදු වන්නේ ප්‍රතිකාරාත්මක අරමුණක් නිශ්චිත රෝගයක් නිශ්චිත මානසික ගැටලුවක් හෝ මානසික රෝගයක් පදනම් කරගෙනයි. මෙම ප්‍රතිකාර කුමය රෝගියාගේ මානසික මට්ටම අනුව සැකසෙන නිසා සෞන්දර්ය භාවිත කරන ආකාරයේ කුඩා වෙනසක් දැකිය හැකියි. සාමාන්‍යයෙන් සෞන්දර්ය භාවිත කිරීම සහ රෝගියෙකු වෙනුවෙන් අපේ සැසියක් තුළ නිර්මාණාත්මකව සෞන්දර්ය භාවිත කරන ආකාරය අතර වෙනසක් පවතිනවා.
අදාල රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාරාත්මක රාමුවක සතියක්, සති දෙකක්, මාසයක් ,මාස දෙකක්, මාස තුනක් සමහරවිට මාස හයක් තෙක් කාලයක් පුරා එක දිගට අදාල අභ්‍යාස වල යෙදීමට ඇතැමෙකුට සිදු විය හැකියි. මෑත කාලයේදී සංගීත චිකිත්සාව, රංග චිකිත්සාව, චිත්‍ර චිකිත්සාව මනෝවිද්‍යා උපදේශන තුළ ප්‍රසිද්ධ විෂය දාරාවක් බවට පත් වී තිබෙනවා. මෙය යම්කිසි ක්‍රමවේදයක් යම් පදනමක් තුළ සිදු වෙන අතරම මේ සඳහා නිසි පුහුණුවක්, කුසලතා වර්ධනය කරගත් අයෙක් සිටිය යුතුමයි. එසේ නොමැතිව සංගීතයක් නර්තනයක් යොදාගත්තා කියා මානසික රෝගයකට පිළියම් ලබාගත නොහැකියි. එය අරමුණු සහගතව සිදු කිරීම ඉතාම වැදගත් වේ.
වයස් සීමාවන්ට වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව රුචිකත්වය වෙනස්. එවිට එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම සමබර කරගන්නේ කොහොමද?
අපි සමබර කර ගත යුතු වන්නේ අපේ හැඟීම්, ආවේග, චිත්තවේග යන ඒවායි. නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේදී මේවා සමබර කර ගැනීම සඳහා කලාව යොදා ගන්නවා. කලා නිර්මාණයක් කියන්නේම සිතුවිලි, හැඟීම්, ආවේගවල එකතුවක්. තම අත්දැකීම් ඔස්සේ කෙනෙක් ලබා ගත්තා වූ සිතුවිලි, හැඟීම්, ආවේග, ආකල්ප, විශ්වාස යන මේ හැම දෙයක්ම නිර්මාණය හරහා ප්‍රකාශයට පත්වෙනවා. අද ඊයේ නොවෙයි, මනසේ සමබරතාවය පවත්වා ගැනීමට සෞන්දර්යය යොදා ගැනීම සිදු කෙරුණේ අනාදිමත් කාලයක සිටයි. එය ප්‍රාග් ඓහාසික යුගයේ සිට පැවත එන්නක්. නිර්මාණාත්මක මනෝ චිකිත්සාව නමින් අද අපි මනෝ විද්‍යාත්මක පදනමක් දී කතා කරන මේ දේ නිතැතින් එදා මිනිසුන් තුළ පැවතුණා. ඔවුන් කලාව හරහා තම ආවේග සමබර කර ගත්තා. උදාහරණ විදියට ඕනෑම ජන ගීතයක, පැල් කවියක, ගැල් කවියක ආවේග සමබර කරගැනීමට හැකියාව ලැබෙන ඒ ගුණය මුසු වූවා.
බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනි වට වූ මිදුලේ කෙළ සිටියා
නපුරු සතෙක් ඇවිදින් වූ අරන් ගියා
නිවන් හුරේ පලයන් තලගොයි පැටියා
මේ එක් උදාහරණයක් පමණයි. වෛරය, පළිගැනීම යන හැඟීම්වලින් තොරව තම වේදනාව ආවේගය ගැමියා පාලනය කරගත් ආකාරයට මෙය මනා නිදසුනක්. අද වෙද්දි නව යොවුන් දරුවෝ පවා යමක් අහිමි වූ විට පළිගැනීම, අතපය කපා ගැනීම්, සිය දිවි නසා ගැනීම් වෙත ිපෙළඹෙන සමාජයක එදා ඒ ගැමියා තම වේදනාව අහිමි වීම ඉතා සංයමයෙන් කළමනාකරණය කර ගැනීමට මේ වචන යොදා ගෙන තිබුණා. බොහොම අව්‍යාජව ඒ හැඟීම් ප්‍රකාශ කරමින් ආවේග කළමනාකරණයට අතීතයේදී මිනිසුන් පුරුදුව සිටියේ සෞන්දර්යය තම ජීවිතයට සමීප කරගනිමිනි. හැම ගැමි ජන ගීතයකම නාට්‍යයකම හැඟීම් කළමනාකරණය කොට, ගොනු කර, කලතා ඉදිරිපත් කරයි. මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් මෙය උත්කර්ෂය ලෙස හඳුන්වනවා. උත්කර්ෂණය කියන්නේ අපේ මනස සමබර කිරීම සඳහා අපේ යටිහිත විසින් ලබා දෙන ඖෂධ ක්‍රමවේදයක්. එය සංරක්ෂණ ප්‍රයෝගයක්. මෙවැනි ප්‍රයෝග නැතිනම් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වෙනවා. මේ ප්‍රයෝග හරහා අපි අපිව ආරක්ෂා කරගන්නවා. ආවේග පිට කිරීම අපි හැමෝටම තියෙන ආවේණික ක්‍රමයක් වුවත් මානසිකව අසමබර වන විට ඒ ආවේග අමු අමුවේ ප්‍රකාශ වීම ගැටලු ඇති කරවයි. එවිට තමාට හානියක් කරන්නට හෝ නැතිනම් සමාජයට හානියක් කරන්නට පෙළඹෙන්නේ එම ආවේගවල ඇති අසමබර බව නිසයි. නිර්මාණාත්මක මනෝචිකිත්සාවේදී මෙම ආවේග නිසි ක්‍රමවේදයක් යටතේ මුදාහරින්න පුහුණුවක් ලබා දීම සිදු වෙනවා. එය නිර්මාණාත්මක මනෝ විකිත්සාවේ එක් ක්‍රමයක් පමණයි.
අපි චිකිත්සාවට අවශ්‍ය පුද්ගලයාට හිතුමතේ ආවේග පිට කිරීමට ඉඩ නොදී තමාව දැකගන්නට සැලැස්විය යුතුයි. එනම් ආවේග මුදාහරින්නට නිසි ක්‍රමවේද හඳුන්වා දිය යුතුයි. ඔවුන් තමාට කුමක් වී ඇතිද යන්න වටහා ගත යුතුයි. ඒ සඳහා නිර්මාණාත්මක රංග චිකිත්සාවේ හඳුන්වා දෙන දර්පන අභ්‍යාස යොදාගන්නවා. එමගින් තමාට තමා දැකගත හැකියි.
හැම නිර්මාණය තුළම තම සිතේ තිබූ ලස්සන කතාවක් ගොනු වී ඇති අතරම ආවේග කළමනාකරණය කිරීමේ ආකාරය සම්බන්ධව මේ නිර්මාණවල අන්තර්ගත වෙනවා. ආවේග සමබර කරගෙන තමාගේ ජීවන බලාපොරොත්තු, අලුත් බලාපොරොත්තු ඇති කරගෙන ඒවා ඉෂ්ට කරගන්නනේ කොහොමද කියන එක ගැන නිර්මාණාත්මක මනෝචිකිත්සක සැසි හරහා රෝගීන් අපි පුහුණුවක් ලබා දෙනවා. නිසි පුහුණුව සහිතව ආවේග සමබර කිරීමට, ආවේග පිටකිරීමට (අපිට භාව විශෝධනය) අවස්ථාව ලබාදීම මගින් තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සැලසුම් කිරීමට සහය ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ පුහුණුවයි. පුහුණුවකින් තොරව කිසිවක් සාර්ථක නොවන බව කිව යුතුමය.
ආවේග හිතේ හිරවීම නිසා මානසික රෝග දක්වාම ඒ තත්ත්වය දුරදිග යා හැකියි. අපි අපේ ආගමට අනුව අනිත්‍යය ගැන අසා තිබුණත් එය ජීවිතයේ අත්දැකීමක් බවට පත්වන විට එය පිළිගන්න අපි අකමැතියි. අද වෙද්දී අපේ දරුවන්ට වෙනස් වීම දරාගන්න අපහසුයි. මෙවැනි තත්ත්ව ගැන සිත් තුළට කාවැද්දිය හැකි නිර්මාණ අපි අතර බිහිවෙලා තිබෙනවාද?
අනිවාර්යෙන්ම ඔව්. උදාහරණ විදියට එදිරිවීර සරත්චන්ද්‍ර මහතා නිර්මාණය කළ මනමේ, සිංහබාහු වැනි වේදිකා නිර්මාණ හරහා ඉතාම සුන්දර දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේ එක් ස්වරූපයක්. අද අපේ දරුවන්ට ඒ අත්දැකීම් බොහොම විරලයි. ඒ නිර්මාණ විචාරශීලීව නැරඹුවහොත් ඒ චරිතවල සහ සිදුවීම්වලින් ලබා දෙන දේ වෙන්වීම, දරාගැනීමට කියාදෙන ආකාරය වචනයෙන් විස්තර කරන්නට බැරි තරමටම විශිෂ්ටයි.
මනමේ නාටකයේ මනමේ කුමරා සහ කුමරිය ජීවිතය ඉතාමත් සතුටින් අරඹා, තමා ආදරය මුදුන් පත් වී බොහොම ආදරයෙන් දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන අනාගතය පිළිබඳ සිහින දකිමින් වනය මැදින් යන ගමන ඔබට මතක ඇති.
බරණැස්පුර පිරි යසිසුරු – ඉවසිලි නැත නරඹන තුරු
ඇය ගයන්නේ තම කුමරු සමග ඔහුගේ නුවරට යනතුරු ඇයට ඉස්පාසුවක් නොමැති බවයි. නමුත් ඒ සියල්ල ක්ෂණයකින් වෙනස් වෙනවා. වන මැද දී කඩා වැදෙන වැදි කණ්ඩායමක් නිසා ඔවුන් නොසිතූ ගැටලුවකට මුහුණ පනාවා. බරණැස්පුර පිරි යසඉසුරු – ඉවසිලි නැත නරඹන තුරු යන පද පෙළ ගැයූ මුවින්ම
දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇති විය ආලේ
යනුවෙන් වැදි රජ සනසන්නටත් ඇයට සිදු වෙනවා. මහාචාර්ය සරත්චන්ද්‍රයන් හොඳින් කලතා ප්‍රේක්ෂකයා වෙත ලබා දෙන්නේ වෙනස් වීම යන ජීවිත යථාර්ථයයි. එයට අනුව අපි අනුවර්තනය විය යුතුයි. අපිට ජීවිතයෙන් පලා යා නොහැකියි. ජීවිතයට හානි කරගත නොහැකියි. තවකෙක් මරා දැමිය නොහැකියි. වේදනාවකදී හිත කැළඹෙනවා. එය අපි පිළිගත යුතුයි. අපේ ජන කවියා එය මනාව දරාගනිමින් මුහුණ දුන් අවස්ථා බොහොමයක් අතීත කතාවල සඳහන් වේ.
ඉරට උඩිඅන් ඉර මුදුනින් ගිරව් කියා
සඳට උඩින් සඳ මුදුනින් සාවො ගියා
මල උඩින් මල මුදුනින් බඹරු ගියා
මට නොකියා රන් මැණිකා දීග ගියා
එය ස්වභාවදහමේ නීතියයි. කිසිවක් නොදන්නා අධ්‍යාපනයක් නැති ගැමියා වෙනස්වීම නම් වූ සොබාදහමේ නීතිය පිළිගත්තා. සියල්ල අපිට අවශ්‍ය විදියටම හිමිවන්නේ නැහැ. සතුටින් හැමදේම කෙළවර වෙන්නෙත් නැහැ. අපිට විශ්වයේ යථාර්ථය පිළිගන්න සිදුවෙනවා. හැඟීම්, ආවේග, වේදනාව කළමනාකරණය කර ගැනීම සඳහා කලාව භාවිත කිරීම තෙකරම් අගනේද යන්න ඔබට වැටහෙනු ඇති. එය උසස් නිර්මාණ හරහා ඔබ ඔබේ දරුවාටත් ලබා දෙන්නට උත්සාහ කරන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ආචාර්යය කුමුදු ඒකනායක
නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක
Dr. Kumudu Ekanayaka
Creative Psychotherapist and Psychological Counselor