ඉස්සර අපි පංචි කාලේ රොබින් හුඩ් බලද්දී මතකද ඔළුවේ ඉඳන් වහගනිපු මිනිස්සු අතේ පුංචි සීනුවකුත් අරගෙන එක පෙලට යනවා. එයාලගේ ඒ සීනුවේ හඬත් එක්ක ඈත තියාම මිනිස්සු ඒ පාරෙන් අයින් වෙනවා. ඒ මිනිස්සු ඉන්නේ එයාලටම වෙන් කරපු වෙනම තැනක. ඒ කාලේ මේ රෝගය ගැන අපිට අවබෝධයක් දැනුමක් තිබුණේ නැතත් ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ ලාදුරු රෝගය බවත් එය බෝ වෙන නිසාත් ප්‍රතිකාර නොමැති කම නිසාත් එවැනි රෝගීන් වෙන් කර තබන බව දැනගන්න ලැබුණා. ලාදුරු රෝගීන් ලංකාවෙනුත් වාර්තා වුණු ඒ කාලේ ඔවුන් වෙනුවෙන් වෙනම රෝහල් වෙන් වුණා. තවත් කාලයක් ගත වෙද්දී ලාදුරු ලංකාවෙන් තුරන් කළා කියලා දැන ගන්න ලැබුණා. අන්න ඒ මතකයත් එක්ක වෙන්න ඕනේ අපේ රටේ වැඩි පිරිසක් හිතා ගෙන ඉන්නේ ලාදුරු රෝගීන් දැන් අපේ රටේ නැහැ කියලා. පහුගිය කාලෙක ලාදුරු හැදුණු පාසැල් දරුවනුත් ඉන්නවා කියලා කතා වුණු අවස්ථාවලදී ලාදුරු දැන් නෑ නේද කියලා හැමෝම කතා වුණා. තවත් පිරිසක් ලාදුරු හැදුණු දරුවෝ ඉන්නවා කිව්වම පුදුම උනා. තමන්ගේ දරුවා පාසැල් යවන්නත් බය වුණා.
වෛද්‍යතුමනි, දන්න නොදන්න කාටත් දැනගන්න අපි ලාදුරු රෝගයේ ඉතිහාසය ගැන ටිකක් කතා කරමුද?
ලාදුරු කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපෑ රෝගයක්. පුද්ගලයන් දහදාහකට වාර්තා වෙන්නේ එකට අඩු රෝගීන් සංඛාවක් නම් ලාදුරු ඒ රටෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කළා. 1995 වසර වෙද්දී අපිට ඒ සහතිකය හිමි වුණා. නමුත් අද වෙද්දී ඒ නිර්නායක වෙනස් වෙලා. අද වෙද්දී ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික වීමට නම් අපි පෙන්විය යුතුයි ළමා ලාදුරු රෝගීන් වසර පහක් පුරා වාර්තා වී නොමැති බව. අද වෙද්දී අපේ ඉලක්කය එයයි.
ඒත් අද වෙද්දී ලාදුරු රෝගය ලංකාව තුළ ව්‍යාප්ත වෙනවා නේද?
ඔව්.. 2000 සිට මේ වන තුරු වසරකට දළ වශයෙන් රෝගීන් 1500 – 2000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ අතරින් 10% ක් ළමා රෝගීන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 14ට අඩු දරුවන්. සාමාන්‍යයෙන් මේ රෝගීන් අතරින් 40% වගේ වාර්තා වෙන්නේ බස්නාහිර පලාතෙන්. අනෙක් රෝගීන් මඩකලපුව, කල්මුණේ, පුත්තලම, යාපනය, අනුරාධපුරය ඇතුළු පැති වලින් වාර්තා වෙනවා.
අතීතයේදී මේ ලාදුරු රෝගීන් වෙනම රෝහල්වලට ඇතුළත් කළා. අද වෙද්දි එතරම්ම භයානක තත්ත්වයක් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. එ් ඇයි?
ලාදුරු කිව්වම අතීතයේදී මිනිසුන් බොහොම බය වුණා. අත් පා විරූපී වීම්, ඇඟිලි ගැලවී යාම් වැනි දේ සිදු වෙනවාට මිනිසුන් බියට පත් වුණා. මොකද ඒ වෙද්දී ලාදුරු රෝගයට ඖෂධ ප්‍රතිකාර තිබුණේ නැහැ. අද වන විට ලාදුරු නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තියෙනවා. අවශ්‍ය වෙන්නේ කල් තියා හඳුනා වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමයි.
වෛද්‍යතුමනි, මේ ලාදුරු රෝගය ඇති වෙන්නේ කොහොමද?
ලාදුරු කියන්නේ බැක්ටීරියා ආසාදන තත්ත්වයක්. මයිකොබැක්ටීරියම් ලෙප්රේ කියන බැක්ටීරියාව නිසා ඇති වෙන මේ ලාදුරු රෝගයත් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ ආසාදිත පුද්ගයෙකුගේ බිඳිති සහ ශ්ලේෂමල හරහා. මේ ආකාරයෙන්ම බෝ වෙන කොවිඩ් රෝගයේදී අපි මුව ආවරණ පැලදලා, මීටරයේ දුර පවත්වාගෙන, දෑත් පිරිසිදු කරගනිමින් රෝගය බෝ වීම පාලනය කළා. නමුත් ලාදුරු ඒ ආකාරයෙන් බෝ වීම වලක්වන්න බෑ. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මත තමයි මේ රෝගය බෝවීම සහ නොවීම සිදු වෙන්නේ. ඒ කියන්නේ රෝගියෙක් ආශ්‍රය කළා කියලා හැම කෙනෙකුටම ලාදුරු බෝ වෙන්නේ නැහැ. 10%කට වගේ තමයි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන්නත් අවුරුදු 3 – 5 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ කාලය අවුරුදු 20ක් දක්වා වුවත් දීර්ඝ වෙන්න පුළුවන්.
ලාදුරු රෝගියෙකු ස්පර්ෂ කිරීමෙනුත් බෝ වෙනවද?
නැහැ. ස්පර්ෂයෙන් ලාදුරු බෝ වෙන්නේ නැහැ. ලාදුරු බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා පිටවන බිඳිති සහ ශ්ලේෂ්මල මගින් පමණයි. ලාදුරු රෝගියෙකු ළඟ හිටියා කියලා බෝ වෙන්නේ නැහැ
ලාදුරු රෝගයේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවාද?
මේ රෝගයේ මුල් අවස්ථාවේදී පෙන්වන රෝග ලක්ෂණ පීඩාවකින් තොරයි. අන්න ඒ නිසාම ඇතැම් අය ගණන් ගන්නේ නැහැ. පීඩාකාරී නැහැ කියලා කිව්වේ මේ රෝගයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සමේ හා පර්යන්ත ස්නායු පද්ධතියේ පමණයි. මොකද බැක්ටීරියාවකට සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක ඉන්න බැහැ. ශරීර අභ්‍යන්තරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 වගේ වුණාට සම මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 වගේ. ඉතිං මේ බැක්ටීරියාව ශරීරයේ ඇතුලත ඉන්නේ නැති නිසා අභ්‍යන්තරයට හානි වෙන්නේ නැහැ. ඒ වගේම අපේ හිසට රුධිර සැපයුම වැඩි නිසා උෂ්ණත්වය වැඩියි. ඒ නිසා හිසේත් මේ ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ.
මූලිකව ශරීරයේ සම මතුපිට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
- සමේ පැහැයට වඩා අඩු පැහැ ලප (අලුහම් වැනි)
මේ ලප කිසිදු පීඩාවකින් තොරයි. යම් කාලයක් තුළ වැලමිටේ පිටුපස, බඩේ, පිටේ මෙන්ම අත් පාවලද දැකිය හැකියි. වැඩිහිටියෙකුගේ හෝ දරුවෙකුගේ ලපයක් ඇත්නම් ඒ ලපයේ පිටත සිට ඇතුළට බෝල්ට් පොයින් පෑන් තුඩකින් ක්‍රමයෙන් ස්පර්ෂ කරන්න. එවිට දැනීම ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නම් වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සැක හැර දැන ගත හැකියි.
- ලප ඇති ස්ථානවල සන්වේදනය අඩු වී යාම
කාලයත් සමග ලප ඇති ස්ථානවල සංවේදනය අඩු වීම අවදානම් සහගතයි. මොකද සංවේදනය අඩු වෙද්දී අනතුරක් සිදු වුණත් දැනීමක් නෑ. උදාහරණයක් විදියට උණු දෙයක් ඇල්ලීමේදී නොදැනීම නිසා සමට වගේම ස්නායුවලට හානි සිදු විය හැකියි. එවිට සම මත තුවාල ඇති වීම වගේම ඒ ස්නායු මගින් ක්‍රියාත්මක වන පේශී අක්‍රිය වීම සිදු වෙනවා.
- හිරි වැටීම
සාමාන්‍යයෙන් අත පය හිරි වැටීම වැඩිහිටියන්ගේ දුර්වල වීම් සමග ඇති වුවත් දරුවෙක් හිරිය ගැන පැමිණිලි කරනවා නම් නොසලකා හැරීම කිසිසේත්ම සුදුසු නැහැ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට උනන්දු වන්න.
ලාදුරු හැදෙන්න වයස් භේදයක් නැද්ද?
බාල මහලු වැඩිහිටි භේදයකින් තොරව ලාදුරු රෝගීන් අපට හමුවෙනවා. රෝගීන් අතර අවුරුදු පහට අඩු දරුවන් කුඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම වයස අවුරුදු 14ට අඩු දරුවන් 14% ක් පමණ ද ඉතිරි කොටස වැඩිහිටි පිරිස. රෝගය හොඳින් පාලනය කළ රටක් ගත්තත් 4% – 5% ක ප්‍රමාණයක් ළමා රෝගීන් සිටිනවා.
පාසැල් දරුවන් අතරත් ලාදුරු තියෙනවා නම් අම්මලා බය නැතිව දරුවෙක් පාසැලට යවන්නේ කොහොමද?
වාර්තා වී ඇති තොරතුරු වලට අනුව මේ රෝගයට දරුවෝ ගොදුරු වෙලා තියෙන්නේ පවුලේ සමීපතමයන් හරහා. පාසැල් හරහා දරුවන්ට මේ රෝගය පැතිරීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා පාසැල් එවන්න මව්වරු බිය විය යුතු නැහැ.
ලාදුරු රෝගීන් වෙනුවෙන් අපේ සෞඛ්‍ය පද්ධතිය මගින් ගෙන ඇති පියවර මොනවද?
- නොමිලේ සායන
ඕනෑම රජයේ රෝහලක සමේ රෝග සායනය හෝ ජාතික රෝහලේ කාමර අංක 12 (සතියේ දිනවල උදේ 8 – සවස 4 දක්වා හතර දක්වාත් සෙනසුරාදා දින උදේ වරුවේ) වෙත ගොස් වෛද්‍යවරු හමුවිය හැකියි.
- නොමිලේ ඖෂධ
ලාදුරු රෝගය සඳහා අවශ්‍ය ඖෂධ ලබාගත හැක්කේ රජයේ රෝහල්වලින්ම පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අප වෙත ලබා දෙන මේ ඖෂධ පෞද්ගලික අංශවලින් ලබාගැනීමට හැකියාවක් නැහැ.
- නව රෝගීන් හදුනා ගැනීම
වාර්තා වුණු රෝගීන්ගේ සමීපතමයන් පරීක්ෂා කරමින් ඒ හරහා නව ආසාදිතයන් හඳුනා ගැනීම. ඇතැම් පළාත් වල ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කර ඒ කණ්ඩායම් හරහා රෝගීන් සොයා ගන්න උත්සාහ කරනවා.
- රෝගීන්ගේ මානසික සුවතාවය ගැන සැලකිමත් වීම
සාමාන්‍යයෙන් තමාට ලාදුරු කියලා දැන ගත්තම කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසාම පරීක්ෂා කිරීමේදී වුවත් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදියට ගමක එක් රෝගියෙක් වාර්තා වුණොත් මුළු ගමම පරීක්ෂාවට ලක් කරනවා. රෝගියාගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරකින්න අපි බැදී සිටිනවා. ඒ වගේම පාසැලක රෝගී දරුවෙක් හමු වුණොත් ඒ ශ්‍රේණියම පරීක්ෂා කිරීම සිදු වෙනවා. දරුවා පිළිබඳ ප්‍රසිද්ධ කිරීමක් සිදු වන්නේ නැහැ.
ළමා ලාදුරු තත්ත්වය ව්‍යාප්ත වෙනවා නම් දෙමව්පියන් ඒ ගැන සැලකිලිමත් විය යුතුතේ කෙසේද?
ඇත්තටම කළ යුත්තේ බිය වීම නම් නොවෙයි. දරුවාගේ ලප කැලැල් තියෙනවා නම්, හොඳට අකුරු ලියපු දරුවා ලියද්දි අත හිරි වැටෙනවා කියනවා නම්, හොඳට සෙල්ලම් කරපු දරුවා කකුල අද්දමින් දුවනවා නම් ඒ ලාදුරු වල මුල් අවස්ථාව වෙන්න පුළුවන්. අවධානයෙන් ඉන්න, සඟවන්න එපා. දරුවා ළඟම රෝහලේ සමයේ රෝග සායනයට රැගෙන යන්න. කල්තිය හඳුනාගෙන නිට්ටාවටම සුව කරගන්න.
වාඩිහිටියෙක් වුණත් දරුවෙක් වුණත් තමා ලාදුරු රෝගියෙක් බව තහවුරු වුණොත් මානසිකව ඇද වැටෙනවා. එවැනි අයෙක් ජීවිතය යථා තත්ත්වයට පත්කර ගන්නේ කොහොමද?
ඇත්තටම කිව්වොත් ලාදුරු ගැන කතා කරන සමාජයක් අපිට අවශ්‍යයි. ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් අපි සමාජය දැනුවත් කිරීම සිදුකරනවා. කිසිසේත්ම මේ ලාදුරු රෝගීන් කොන් නොකළ යුතුයි. ලාදුරු රෝගීන් මානසිකව වැටෙන එක නතර කරන්න අපි අලුතින් උපදේශන සේවාවක් සඳහා පිරිස පුහුණු කිරීම මේ වන විටත් ආරම්භ කර අවසන්. ඒ වගේම තමයි ඉස්සර ලාදුරු රෝගියෙක් බව තහවුරු වූ විට ලැබුණු වසර දෙකක නිවාඩුව අද වෙද්දී මාසයක් දක්වා කෙටි කර තිබෙනවා. ඒ මාසය ලබා දෙන්නේත් මානසිකව සමබර වෙන්න අවශ්‍ය නිසා. නැතිනම් මේ රෝගය සති දෙකක නිවාඩුවක් ප්‍රමාණවත්. මොකද සතියක් ඖෂධ ලබා ගත් විට රෝගය තවත් කෙනෙකුට බෝ කිරීමේ හැකියාවක් නැහැ.
වෛද්‍යතුමනි, ලාදුරු රෝගය සම්බන්ධයෙන් ඔබ සමාජයට ලබා දෙන උපදෙස් මොනවාද?
ඇත්තටම මම අපේ ජනතාවට කියන්න කැමතියි පෙර සඳහන් කළ ලක්ෂණ තිබෙනවා නම් කල් නොදා වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න කියලා. මොකද කල්තියා හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් නොසැලකිලිමත් වීම නිසා අත් පා ඇඟිලි අහිමි වන තත්ත්වය තෙක් ගෙන යාම අපි අපටම සිදු කරගන්නා අපරාධයක්. ඒ වගේම තමයි ලාදුරු රෝගීන් කොන් කරන්න එපා. ඔවුන්ටත් මේ සමාජයතුළ සම අයිතිවාසිකම් ලබා දිය යුතුමයි
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
විශේෂඥ වෛද ප්‍රසාද් රණවීර මහතා
ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ