දරුවන් කියන්නේ මව්පියන්ට සිටින වටිනාම සම්පතක්. නමුත් දරුවන් හදා වඩා ගැනීමත් අප සිතන තරම් පහසු නැහැ. දරුවෙක් කායික වශයෙන් පෝෂනය කිරීම වගේම මානසික සුවතාවයකින් යුක්තව හදා වඩා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් කුස පිලිසිඳ ගත් පමණින්ම ඔවුන් බිහි කිරීමෙන් පමණක් ඔබ සැබෑ දෙමව්පියෙක් යැයි සිතන්න බැහැ.. එහෙම නම් අපි දරුවෙකුට සැලකිය යුත්තේ කෙසේද….?
හැම පවුලක්ම එක වගේ නැහැ…
අපි හිතන විදිහට හැම පවුලක්ම සුන්දර නැහැ. ඒ වගේම හැම දෙමව්පියෙක්ම දරුවා කියන්නේ තමන්ට ලැබුන ඉහළම තෑග්ග විදිහට සලකන්නෙත් නැහැ. සමහර විට දරුවෙක් ලැබුනත් එය මව්පියන්ට අනවශ්ය වේලාවක වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අනාරාධිත හෙවත් යම් යම් අපයෝජනයක ප්රතිඵලයක් විය හැකියි. තවත් ලෙසකින් කිව්වොත් දරුවා ලැබීමෙන් පසු පියා පවුල හැර දමා ගොස් සිටින හුදෙකලා මවක් වීමට පුළුවනි. මෙවැනි මානසික පසුබිමක සිටින මව්පියන් ඇසුරේ හැදෙන වැඩෙන දරුවන් මුල් කර ගත් විවිධ ගැටලු සහ ගැටුම් ඇති වෙන්න පුලුවනි.
දෙමව්පියන්ගේ මානසික ගැටලු සහ ගැටුම් දරුවන්ටත් බලපානවා…
සමහර විට දරුවාගේ උපතෙන් පසුව පියා පවුල හැර දමා යෑම එසේත් නැත්නම් මරනයට පත් වීම වැනි අනපේක්ෂිත සිදු වීම් සිදු වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවකදී අම්මා කියන ගැහැණු චරිතය දැඩි මානසික පීඩනකකට පත් වෙනවා. ඇය දරුවා මුල් කර ගෙන ජීවත් විය යුතු වුනත් සමාජයෙන් ලැබෙන අපවාද වගේම අනුකම්පාව නිසා මානසිකව දැඩි පිඩනයකින් ජීවත් වීමට පුලුවනි. ඒ නිසාම සමහර විට මේ පීඩනය දරුවා වෙතින් මුදා හැරෙන අවස්ථා තිබෙනවා. ඒ විදිහට මානසික ගැටුම දරුවා වෙතින් මුදා හැරෙන විට අනාගතයේදී දරුවන් තුළ විවිධ මානසික අසහනකාරී තත්වයන් ගොඩ නැගෙනවා.
සමාජයේදී හැසිරෙන ආකාරය…
දරුවා හැමදාම තොටිලි වැටේ සිටින්නේ නැහැ. ඔවුන් කවදා හෝ දිනක අත පය අලු ගසා නැගිටිනවා. ළදරු පාසල එහෙම නැත්නම් දිනපතා පාසලට ඇතුලු වීමෙන් පසුව දරුවාට සම වයස් කණ්ඩායම් තුළ මව්පිය සෙනෙහස විඳින දරුවන් දකින්න ලැබෙනවා. ඒ සමගම මේ දරුවා තුළ තමා ගැනම ඇති වෙන්නේ ආත්මානුකම්පාවක්. නමුත් ඔවුන් එය පිට කරන්නේ නැහැ. තනියම දරා ගෙන සිටියත් එහි පිපිරීම අතිශයින්ම දරුණුයි.
දෙමව්පියන්ට වෛර කිරීම…
හැම දෙමව්පියෙකුටම දරුවන් මුල් කර ගෙන ආර්ථික සැප සම්පත් ලබා දීමට නොහැකි බව ඇත්ත. නමුත් දරුවාට සෙනෙහස දැක්වීමට මිළ මුදල් අවශ්ය නැහැ. එහෙත් පවුල් ගැටුම් තුළ ඇති අසහනකාරී පසුබිම නිසා දමව්පියන් විසින් දරුවන්ට ආදරය, කරුණාව දැක්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවා යටි සිතින් තම දෙමව්පියන්ට දෝෂාරෝපණය කිරීමට පටන් ගන්නවා. ඔවුන් ගැන වරදකාරී සිතුවිලි දරුවාගේ සිතේ ගොඩ නැගෙනවා.
ඒ වගේම මෙවැනි ආදරය නොලද දරුවන් විසින් පංතියේ හෝ අසල්වැසි නිවෙස්වල නිවසන දෙමව්පියන්ගේ ආදරය ලබන දරුවන්ට වෛර කිරීමට පටන් ගන්නවා. එය දරුවා නොදැන ඔහුගේ මානසිකත්වය වෙතින් ඇති වෙන පසුබිමක්. එවැනි අවස්ථාවක ඔවුන්ට දොස් නැගීම හෝ දඬුවම් කිරීම කිසිසේත් කළ යුතු නැහැ.
ඔවුන් මුරන්ඩුයි…
බාල කාලයේ මෙවැනි මානසික ගැටුම්කාරී පරිසර තත්වයන් තුළ හැදුන වැඩුන දරුවන් සැබැවින්ම මුරණ්ඩු ගති පැවැතුම්වලින් යුක්තයි.ඒ නිසා පංතියක මුරණ්ඩු හැසිරීම් ඇති දරුවෙක් ඇත්නම් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ කොතැනක හෝ වරදක් සිදු වි තිබෙන්න පුළුවනි. ඒ නිසා නිතරම දරුවෙක් මුරණ්ඩු ගති පැවැතුම් ඇත්නම් දඩුවම් කිරීමට වඩා දරුවා මුරණ්ඩු ඇයි යන්න ගැන සිතන්න.
අවධානයක් නැති වීම…
බාලකාලයේ පටන් විවිධ මානසික ගැටුම් මත ජීවත් වුන දරුවෙක් පාසල් අධ්යාපනය තුළ අවධානයක් නැති දරුවෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. එවැනි දරුවන් තුළ ඇති ඌන අවධානය නිසා ඉගෙනුම් කටයුතුවලදී පවා ඉතාම පසුගාමී දරුවෙක් වෙන්න පුලුවනි. ඊට බලපාන ප්රධාන හේතුව වන්නේ තොටිල්ලේ සිටින කාලයේ පවා නිවස මුල් කර ගත් ගැටුම්කාරී පරිසරයෙන් උකහා ගත් අමිහිරි අත්දැකීම්වල ප්රතිඵල බැව් මතුපිටින් අප නොදකින හේතුවක්.
මානසික ගැටලුවලින් හෙම්බත්…
ඔබ නොදැන බාල කාලයේ පටන් මව්පිය ගැටුම් නිසා ආදරය , සෙනහස අහිමි වුන දරුවන් පසුකාලයේදී විවිධ මානසික ගැටලු වලින් හෙම්බත් චරිත ලෙසින් සමාජගත වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ප්රාථමික පංතිවලදී මුරණ්ඩු සහ කලහකාරී චරිත වුනත් යම් වයසකට පැමිණෙන විට මෙම දරුවන් සමාජයේ හුදෙකලා චරිත ලෙසින් හෝ ආත්මානුකම්පාවට පත්ව මානසිකව විවිධ හැල හැප්පීම් වලට යොමු වීමට ඉඩ තිබෙනවා. සමාජයේදී තමා අවතැන්ය යන සිතුවිල්ල ඔවුන් විසින්ම ගොඩ නගා ගන්නවා.
මේ අන්දමට බලන විට දරුවෙක් බිහි වූ පමනින්ම ඔවුන් අනාගතයේදී යහපත් පෞරෂයකින් සමාජගත වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මව්පියන්ගේ ආදරය, අවධානය වගේම පවුලක් යනු සෙනහසේ නවාතැනක් යන සංකල්පය මුල් කර ගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත්. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබට විවිධ ආර්ථික , සමාජයීය සහ වෙනත් විවිධ ගැටලු තිබුනත් ඒවායේ පීඩනය දරුවන් මතින් පිට කිරීම කිසිසේත්ම සුදුසු නැති බව අමතක කරන්න එපා.