- Advertisement -

දොස්තරලා අත්තම්මලා මැද්දේ හිර වෙන අලුත් බබාලගේ අලුත් අම්මලා….

-

අනේ අම්මා එහෙම කරන්න එපා. ඩොක්ටර් කිව්වා ඒක බබාට හොඳ නෑ කියලා.

අනේ දරුවෝ මාත් දරුවෝ හදපු අම්මා කෙනෙක්. මොකෝ දැන් ඔයාලට වරදක් වෙලා තියෙනවද? අපි ඔයාලව බලා ගත්තේ මෙහෙම තමයි. 

- Advertisement -

ඒ තමන්ගේ අම්මා වුණත් නිරාෂාට සාලින්දගේ අම්මාගෙන් ලැ‍බුණේ එහෙම ප්‍රතිචාරයක් නෙවෙයි. 

දැන් ඉන්න දොස්තරලටත් පිස්සු.. ළමයි හමුබුණු ගෑනුන්ටත් පිස්සු 

කියලා ඇය කිව්වම නිරාෂට දැනුනේ ඇගේ තිබුණු අපහසුකමුත් දෙගුණ තෙගුණ වුණා වගේ.  

දුවට/ලේලිට බබා ලැබුනම ඒ සතුට වගේම වැඩිහිටි සියලු දෙනාම පුල පුලා බලා සිටින්නේ පුංචි පැටියා ගෙදර එනකන්. ඔතන ඉදලම තමයි මත ගැටුම් ඇති වෙන්නේ. දරුවාගේ අච්චිලා සීයලා ගේදොර අස්පස් කරලා දරුවා තියන්න නිතර ඇස නොගැසෙන අන් අයගෙන් හුදෙකලා වුණු කාමරයක් සූදානම් කරනවා. මොකද එයාලා හිතවා දරුවට හුලං වදින්න හොඳ නෑ, එක එක්කෙනා ඇස ගැටෙන්න හොද නෑ කියලා. ආලෝකය අඩුවෙන් ලැබෙන කාමර තමයි ඔවුන් තෝරා ගන්නේ. එහෙම කරන්න අහිතකින් නම් නෙමෙයි, මට සිළුටු දරුවාව ආරක්ෂා කරන්න. අත්තම්මලා එයාලගේ කාලේ සිදුවීම් මතකයට නගා ගෙන ඒ අනුව කටයුතු කරන්න සූදානම් වෙන්නෙත් අහිතකින් නෙමෙයි.

ඒත් අද වෙද්දි එදාට වඩා තාක්ෂණය දියුණු වෙලා, නව සොයාගැනීම් වගේම අලුත් අලුත් දැනුම ලෝකෙට එක් වෙලා. අපේ රටෙත් සියලුම ප්‍රතිකාර සේවාවන් ඒ අනුව හැඩ ගැහිලා. අපේ වෛද්‍යවරු නිරන්තරයෙන් යාවත් කාලීන වෙමින් නව දැනුම යොදාගෙන කටයුතු සිදුකරනවා. වෛද්‍යවරු සතු මේ බටහිර විද්‍යාත්මක කරුණු ගැන දැනුම සහ පාරම්පරිකව පැවත එන දැනුම අතර මත ගැටුම් ඇරඹෙන්නේ ඔතනින්. මෙන්න මේ නිසා තමයි දොස්තරලා අත්තම්මලාගේ ක්‍රම වලට එතරම්ම ප්‍රසාදයක් නොදක්වන්නේ.

ඉස්සරට වඩා ලංකාවේ මාතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය අඩු වෙලා. එහෙම සිද්ධ වෙලා තියෙන්නෙ මේ බටහිර විද්‍යාත්මකව සොයා ගත් දැනුම යොදා සෞඛ්‍ය පද්ධතිය තුළ පුහුණු සෞඛ්‍ය සේවකයින් ගොඩනගලා ඒ දැනුම ප්‍රජාව අතරට ගෙනිහින් තියෙන නිසා. ඒ වගේම ඒවායේ සාර්ථකත්වයක් අත් දකින නිසා. ඒ නිසා වෛද්‍යවරු බහුතරයක් විශ්වාස කරනවා මේ තාක්ෂණිකව ගොඩනැගුණු ලෝකෙ ඇති වෛද්‍ය විද්‍යාත්මක දැනුම නිවැරදියි කියලා. ඒකේ වරදක් නැහැ. ඒත් මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අත්තම්මලාගේ මේ විශ්වාස, අදහස් මේ දැනුමත් එක්ක ගැලපෙන්න කොහොමද කියන එකයි. 

අතීතයේ මව්වරුන් බොහෝ ලෙස රෝගවලට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ තත්ත්වයන් නිසා මව්වරු මිය යාමත් වැඩියි. ඒත් අද මුල් කාලයේ ඉඳන්ම මව්වරුන්ට ලැබෙන දැනුම, සංරක්ෂණය නිසා ඒ රෝග තත්ත්ව පාලනය කර නීරෝගීව දරුවන් සමාජයට දායාද කරන්න හැකිවෙලා තියෙනවා. මෙන්න ඒ වගේම මේ රෝග වළක්වා ගැනීමේ හැකියාව තුලින් සුරක්ෂිත මාතෘත්වයක් ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සුරක්ෂිත මාතෘත්වයට අවශ්‍ය පසුබිම සකසා ගෙන යන්නේ නව තාක්ෂණය වගේම ඒවායේ සොයාගැනීම් මගින් වැඩි දියුණු කල බටහිර වෛද්‍ය ක්‍රමය, ඒ එක්කම අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආදී වූ දේශීය වෛද්‍ය ක්‍රමය මගිනුත් මේ සඳහා සුදුසු පසුබිම් සකස් කරනවා. ඒවායේ පවතින ක්‍රමවේද ජීවිතයට ගළපා ගැනීමේදීත් වැඩිහිටියන් හිස දරා සිටින පුරාණයේ පැවති යම්කිසි මිත්‍යා විශ්වාසයන් සමග වෛද්‍ය ක්‍රමවල ඇති පරස්පරතා නිසා මෙසේ මත ගැටුම් ඇතිවෙනවා. 

එසේම මේ වැඩිහිටියන් තදබල ලෙස මේ විශ්වාස අදහනවා. එසේ හෙයින් ඔවුන් විසින් අත්දැකීම් රහිත ඔවුනගේ බාල පරම්පරාවට මේ උපදෙස් දෙනු ලබනවා. එසේම ශ්‍රී ලාංකික සමාජ රටාව තුළ තදබල ලෙස වැඩිහිටියන් ඔවුන්ගේ මතිමතාන්තර බාල පරම්පරාවට එල්ල කරන්නේ අපේ කාලේ ඔය වගේ නෙවෙයි ලෙසයි. මෙසේ හෙයින් මේ පරම්පරා දෙක අතර ඇතිවෙන මත ගැටුම් හේතුවෙන් අලුත් බබා ලැබූ මව පියා අසරණ වෙනවා.

අම්මලාගේ අවවාද අහන්නත් ඕන… දොස්තර කියන දෙය අහන්නත් ඕන…

ඉතින් දුෂ්කර අවස්ථාවකට මුහුණ දීලා ඉන්න වෙලාවක මේ අලුත් අම්මා මානසිකව වැටෙන්න පුළුවන්. මේ හින්ද අම්මගෙ තත්ත්වය ගැන මේ දෙගොල්ලොම හිතන්න ඕන. සෑම විටම වෛද්‍යවරු උගත් දේ හා වෛද්‍ය විද්‍යාත්මක දැනුම මත පදනම්ව ගන්න තීරණ නිසා මෙසේ පරස්පර මත ගැටුම් ඇති වෙනවා. 

පූර්ව ප්‍රසව සමයේ පවත්වන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සඳහා මව හා පියා මෙන්ම රැකවරණය සලසන්නන් ද සහභාගී වීමට අවස්ථාව සැලසීම උචිත ය. අත්තම්මලා තමන්ගෙ ක්‍රම ගැන හිතන්නෙ එයාලගේ කාලයේ තිබුණු සෞඛ්‍ය පහසුකම් සමග ඔවුන් මුහුණ දුන් ආකාරයට අනුවයි. එසේ බැලූ කළ ඔවුන්ට වරදක් පැවසිය නොහැකියි. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් අනුව ඒ වෙනකොට පැවති සිරිත් විරිත් අනුව ඔවුන්ගේ උපදෙස් දෙන්නේ මෙතැනදී මවට හෝ දරුවාට හානියක් අඩුපාඩුවක් වෙයි කියන බිය නිසායි. ඒ වගේම නව දැනුම සමග පැරණි ක්‍රමවල ඇති අඩුපාඩු හේතුවෙන් දරුවන්ට යම් අයහපතක් වේ යැයි සිතන වෛද්‍යවරු අත්තම්මලාගේ පැරණි ක්‍රම අනුමත කරන්නේ නැහැ. මේ දෙපාර්ශවයම උත්සාහ කරන්නේ අම්මාටත් දරුවාටත් ගැටලු ඇති නොවී සුවපත් බවක් ලබා දීමයි. 

කෙසේ වුවද අද වන විට නවීන විද්‍යාත්මක ක්‍රමවේද මගින් අපි බොහෝ සෙයින් ඉදිරියට ඇවිත් ඇති නිසාම වෛද්‍යවරයාට ඇහුම්කන් දීම වඩාත් සුදුසු වන අතර ඒ දැනුම වැඩිහිටි යන් සමගද බෙදා හදා ගැනීම වටී. ඒ සඳහා වෛද්‍යවරු සහ වැඩිහිටියන් අතර සම්බන්ධීකරණයක් ගොඩ නැංවීමට හැකි නම් අලුත් බාබා සහ අලුත් අම්මා මෙන්ම අත්තම්මාද සතුටෙනි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article