- Advertisement -

ඔබත් දරුවනුත් ජීවිතය විඳිනවාද? විඳවනවාද?

-

විඳීම, විඳවීම ගැන අපි දන්නේ මොනවද? අපි කාටත් උරුම වෙලා තියෙන්නේ ලස්සන ජීවිතයක්. ඒ ජීවිතය අපි විඳිනවාද? විඳවනවාද ? අපි කොහොමද අපේ ජීවිතේ විඳින්නෙ ? කොහොමද විඳින ජීවිතයත් විඳවන තැනට පත් වෙන්නේ කොහොමද? විඳවන ජීවිතයක් විඳීමකට රැගෙන යන්නේ කොහොමද? මේ සෑම අවස්ථාවකදීම වගකීම රැ‍‍දෙන්නේ අප සතුවමයි.

එක් එක් පුද්ගලයා ජීවිතය එක එක විදියට විඳනවා. කෙනෙකුට පුළුවන් පොත්පත් කියවලා ජීවිතේ වින්දනය කරන්න. තව කෙනෙක්ට පුළුවන් මේ රට වටේම ඇවිදලා මේ ලෝකෙ වටේම ඇවිදලා ලස්සන තැන් බලලා ජීවිතය විඳින්න. තව සමහරු හොඳට කාල බීලා විනෝද වෙලා ජීවිතේ විඳිනවා. තවත් සමහරු පැත්තටකට වෙලා බොහොම පාඩුවේ ජීවිතේ විඳනවා. තව කෙනෙක් කෙනෙක්ටඋදව් කරලා ඒකෙන් සතුටු වෙලා ජීවිතේ විඳිනවා. 

- Advertisement -

මෙන්න මේ කොයි විදියට අපි ජීවිතය වින්දනය කළත් අපි හැම කෙනෙක්ම හරි ආසයි කලාව කියන දේට. කලාවෙන් ජීවිතය විඳිනවා කියලා කියන්නේ වෙනම කෝණයක්. සමහර වෙලාවට අපිට පුළුවන් ෆිල්ම් එකක් බලන්න යන්න, වේදිකා නාට්‍ය බලන්න යන්න, එහෙම නැත්තං තමන්ගේම ගෙදර රූපවාහිනී තිරයේ අපි කැමතිම ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන්. මේ කලා නිර්මාණ අතරින් ගීතය කියන්නේ අපේ ජීවිතේට තදින්ම දැනෙන නිර්මාණයක්. ගීත රස විඳින ඔබ සමහර විට විරහ ගීත, ආදර ගීත අහන්න පුළුවන්. ඒ වගේම ඒ ගීතයේ ඇති සංගීත රසය නිසා ඔබ එය විිනවා විය හැකියි. ඒකකෝ එහි පද මාලාව, එසේත් නැතිනම් ගායකයාගේ හෝ ගායිකාවගේ හඬ නිසා ඔබ එය විඳිනවා විය හැකියි.  මෙන්ම මේ වගේ කලා නිර්මණ ජීවිතයට සමීප කර ගනිමින් කලාවෙන් ජීවිතය වින්දනය කරන්නේන අපිට පුළුවන්. අපි කවුරු වුණත් අපි හැමෝටම තියෙනවා ආවේණික වින්දන ශෛලියක්. අපි ගීතයට විතරක් මූලික තැන දීලා කතා කරොත් විඳීම, විඳවීම කියන දෙකම මේ ගීතය තුළ තියෙනවා. ගීතයේ රසය අපි රස විඳිනවා.

රසය අපේ මනසට බලපාන්නේ කොහොමද?

රසය සැමවිටම මනසට සුවයක් කියලා අපි හිතනවා. ගීතයක්, නාට්‍යය නිර්මාණයක්, චිත්‍රයක් හෝ වේවා මේ හැම දෙයකම රස වින්දනය මනසට සුවය ගෙන දෙනවා. 

රස වින්දනය කියලා කියන්නේ මොකද්ද?

අතීතයට ගියොත් භරත මුනි පඬිවරයා ක්‍රිස්තු පූර්ව පළවෙනි දෙවැනි සියවසේදී නාඨ්‍ය ශාස්ත්‍රය පොතෙන් රස නමයක් ගැන කතා කරනවා මේක මූලික කරගන්නේ මෙරට නාට්‍ය හා රංග කලාව කියන විෂය තුළින්. නාට්‍ය කලාව අරභයා එතුමා හඳුන්වා දෙන රස පසුකාලීනව පොදුවේ සාහිත්‍යය, සංගීතය පොදු ධර්මතාවයක් බවට පත්වෙනවා. 

සදානන්ද කරවූ ඔබේ මධුර රාවේ – පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ – ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ

උදා වූ සුපෙම් දම් නුසුන් වී රැදේවා – මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා

මේ ගීත කණ්ඩවල පද, සංගීතය, සංගීත සුසංයෝගය, හඩ  එක්ක අපේ සමවැදීම සිද්ධ වෙන්නේ රසවින්දනයට අදාලව සියලු කරුණු ඒක රාශී වී ඇති නිසයි. අපි ගීත රස විඳින කොට අපේ මොළයේ සුවිශේෂ කලාපයක් මේකත් එක්ක බද්ධ වෙනවා. මේකට සම වැදුණොත් අතීතයේ විඳපු අවස්ථා මතක් වෙනවා. විප්‍රලංග ශෘගාරය කියලා අපි කියනකවා. අතීත ස්මරණය ඉතා වේගයෙන් උත්තේජනය කරලා උඩු හිතට ගෙන ඒමේ සුවිශේෂ ගුණයක් ගීතයේ තියෙනවා. ඒ ස්මර්ණ එක්ක තමා අපි ගීතය රසවිඳීම පටන්ගන්නේ. සංගීතය ඇතුළු අනෙක් කරුණු මගින් එයින් අප ලබන වින්දනය ඉහළ යනවා. මේක අපි හැමෝටම පොදුයි. මෙවැනි ගීත අහද්දී ඔබ ප්‍රේමාන්විත හැඟීමක් ඒ ඔස්සේ විදිනවා. එය අපි ඍජුවම අපේ අත්දැකීමක් සමග බද්ධ කරනවා. කිසිම නිර්මාණයක් අත්දැකීමකින් තොරව බිහිවෙන්නේ නැහැ. ඉහත දැක් වූ ගීතයට රැයක සවන් දෙන විට අපේ සිත් පිනා යනවා. ප්‍රේමය තව තවත් උද්දීපනය වෙනවා. එය අපට සතුටක්. 

ඒ වගේම අපි තව උදාහරණයක් ගනිමු.

කඳුළු හලා නෑඹිලියට සහල් ගරන අම්මා

මේ ගීතයට සමවැදුණම අම්මාගේ ආදරය දැනෙනාවා. අම්මා ජීවතුන් අතර නැතිනම් වේදනවා දරා ගන්න අමාරුයි. එවිට එහි රසය ශෝකී රසයයි. හෝකය වේදනාවත් අපි හැමෝටම පොදුයි. ඒත් ඒක අපි නිතරම මතු කරන්නේ නැහැ. මෙතැනදී සංගීතය වචන, නාද මාලාව හරහා අපේ දුක උත්තේජනය කරනවා. එතැනදී අපේ දුක රසයක් බවට පත් වෙලා. මෙතැනදී නිර්මාණකරුවා තම අතුදැකීම සිතුවිල්ල වචන බවට පත් කරලා පිටකරනවා. ඔහු ඒ පීඩාව මුදාහැර තම මානසිකත්වය සමබර කරගන්නවා. අතීතයෙන් ඉවත් වෙනවා. නිර්මාණය රස විඳින්නා නිතර නිතර එය අසමින් පසුතැවිලි වුණොත් එතැනදී විඳීමකට වඩා සිදුවන්නේ විඳවීමක්. විඳවීමකදී මොළයේ නියුරෝන සම්ප්‍රේෂණය වේගවත්ව අසමබර වෙනවා. වේදනාව දුක නිතර සිහිකරමින් හඩා වැටෙන විට අපේ හෝමෝන පද්ධතියත් මොළයේ රසායනික ස්වරෑපයත් අසමතුලිත වීම නිසා විෂාදය දක්වා වුවත් එය සංකීර්ණ විය හැකියි. කලාව, ගීතය වැනි නිර්මාණ සමබර වෙන්නෙත් අසමබර වෙන්නෙත් අන්න ඒ ආකාරයටයි.

ඒ කියන්නේ අපේ දරුවන් කලා නිර්මාණ හරහා යහමගට ගන්න පුළුවන් නේද?

ආගම දහමත් එක්ක බැඳී සිටීම මගින් දරුවන් තුළ ශාන්ත රසය ඇති කරන්න ඕනේ. භක්ති ගීත ඕනෑම ආගමක තියෙනවා. සරල ගීත නිර්මාණ තියෙනවා ඕනෑම ආගමකට සම්බන්ධව. එවැනි නිර්මාණ දරුවන්ට අසන්නට සැලැස්විය යුතුයි. දරුවාගේ ආවේග කළමනාකරණය පුරුදු කරන්න. දෙමාපියන් හෝ පාසැල විසින් මේවා දරුවන්ට හුරු නොකළොත් දරුවන්ට ඒවා හුරු වෙන්නට වෙන තැනක් නැහැ. දරුවෝ නිර්මාණය වෙන්නේ පරිසරය තුළින්.

මව්පියන් රසවත් හොඳ ගීත රස විදිනවා නම් දරුවා එයට පුරුදු වෙනවා. ඒක හොඳ ගුණයක්. යහපත් චර්යාවක් ඇති කිරීමට හේතුවක්. ඒ ව‍ගේම වීර රසය දරුවන් තුළ ඇති කරන්න නිර්මාණ හරහා හැකියාව ලැබෙනවා.

උඩඟු ලියන් ගොතා බඳින

නීල වරල සරසන්නට

මා පිපුණේ නැත මේ දෙරණේ

මේ ගීතවලින් ඇති වෙන්නේ වීරත්වය. ඒ හරහා දරුවන් තුළ තියෙන හැඟීමක් උත්තේජනය කොට ඒ ඔස්සේ හැසිරීමක් සඳහා දරුවා යොමු කරනවා. මනසට, කයට ලොකු බලපෑමක් වෙනවා. මනසට මූලිකව බලපෑම් කරන මෙවැනි හැඟීම් මගින් ශාරීරික උත්තේජනයක් හරහා හෝමෝන පද්ධතිය කළඹනවා. 

අද වෙද්දි ඉස්සරට වඩා බොහෝ යොවුන් දරුවෝ සියදිවි නසා ගන්න පෙළඹිලා. මේ රස වින්දනය හරහා දරුවෝ වෙනස් වීමක් වෙන්නේ නැද්ද? 

ඒකට මූලික හේතුව අවස්ථා අහිමි වීම‍. අද වෙද්දී දරුවන්ට පංචි කාලේ ඉඳලම ජීවිතයේ සංකීර්ණ තරගකාරී මානසිකත්වය ලබා දෙනවා. පුහුණු කරනවා‍. රස වින්දනය මොට වෙලා. ඒ ගැන මව්පියන් හෝ අදාල පරිසරනේ පුහුණ කරන්නේ නෑ. ඉතිං මේ දරුවන්ගේ රස වින්දනය වෙනත් පැත්තකට යොමු වෙනවා. මෙතැනදී දරුවන්ගේ වරදක් නැහැ. 

අද කාලේ සංකීර්ණ තරගකාරීත්වය තුළ ජීවින රටාවත් සංකීර්ණයි. දකින ලෝකය පුළුල් වෙන්න වෙන්න අවශ්‍යතා වැඩි වෙනවා වගේම ඒවා පසුපස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. රස විඳීමට කාලය, අවස්ථාව, පුහුණව නැති වෙලා යනවා. විශේෂයෙන්ම යොවුන් වියේ දරුවන්ගෙන් මේ අවස්ථා ගිලිහෙනවා. අද තියෙන විවිධාකර විද්‍යුත් උපකරණ මගින් අපේ යෞවනයාගේ රස වින්දනය වගේම ඒ සඳහා හිමි අවස්ථා අහිමි කරනවා. දෙමව්පියෝ ඒ අවස්ථා හදලා දෙන්න උත්සාහ කරන්නේ නෑ. පාසලෙනුත් ඒ අවස්ථා මගහැරෙනවා. පුහුණුවට අවස්ථා නැහැ. හොඳ නිර්මාණයක් රස විදින්න අවස්ථාවක් පුහුණුවක් අද වෙද්දී දරුවන්ට නෑ. එතකොට මේ අපේ දරුවෝ එයාලට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට ඇබ්බැහි වෙනවා. සමහර දරුවන්ගේ ඇති වෙන ‍ප්‍රචන්ඩකාරී හැසිරීම් වලට මේ තත්ත්වය හේතු වෙනවා. මොකද දරුවා ඇබ්බාහි වෙලා ඉන්නේ නුසුදුසු දේකට නම් ඒ මගින් අපේ නියුරෝන සම්ප්‍රේෂණය අසමබර කරලා හැසිරීම අසමබර කරනවා.

අද වෙද්දි බොහෝ දරුවෝ පිටරට වේග රිද්ම සංගීත ශෛලීන් වෙත නැඹුරුවක් දක්වනවා. ඒවා අපේ දරුවන්ට බලපෑම් කරනවාද?

කිසිසේත්ම වේග රිද්ම සංගීතයෙන් මානසික රෝග ඇති වෙන්නේ නැහැ. ලෝකේ කොයි රටක වේවා අහන සංගීත ශෛලියට දරුවා ඇබ්බැහි වෙනවා නම් එතැන තියෙන ගැටලුව ඇත්තේ ඒ ගීතය හරහා කෙරෙන යෝජනා තුලයි. ඒ කියන්නේ වචන වල. බොහෝ යෞවනයන් අසමබර වෙන්නේ සංගීතය තුළ නිතර දෙන වචන වලින්. රිද්මය, සංගීතය හොදයි. උත්තේජනය, කඩිසර බව ඇති වෙනවා. ඒත් මේ වේග රිද්ම ගීත ඇතුළේ ස්වයං යෝජනා බොහොමයක් ගැබ්ව තිබෙනවා. රැප් සංගීතයේ රිද්මයට යටින් එන වචන වල තියෙන්නේ අයහපත, අකාරුණික බව නම් වෙනත් චර්යා සඳහා මෙහෙයවන ඒවා නම් (මරන්න, කපන්න, ගහන්න) එ ය අහිතකර විදියට යෞවනයාගේ යටි හිත සහ මොළය අසමබර වීමට බලපානවා. එවිට දරුවා එවැනි චර්යා පෙන්වීමට ඉඩ වැඩියි.

දෙමාපියන් දරුවන්ගේ මානසික සමතුලිත බව ඇති කරන්නේ යොහොමද?

මානසික සමතුලික කාව අපේ හෘද ස්පන්දන වේගය එකත් එක්ක බැදිලා තියෙනවා.  එහි රිද්මයක් තියෙනවා. එය සමබර වෙන්නේ විලම්භ ලය එනම්, අඩු වේගයෙන්. විලම්භ ල, මධ්‍ය ලය ගීත, සංගීතය අපේ හෘද ස්පන්දන වේගය සමග සමතුලිත වෙනවා. සමාන වෙනවා. ඒකෙන් යටි හිත සමබර වෙනවා. හොඳ යෝජනා, පරිකල්පන ගොඩ නගාගන්න අපි දරුවාට සහය විය යුතුයි. වේදනාව, දුක, ඍණාත්මක සිතුවිලිවලින් දරුවා ඈත් කළ යුතුයි‍.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article