- Advertisement -

අම්මලාට ප්‍රශ්න ගොඩයි. ඩොක්ටර්ගෙන්ම අහමු

-

අප වෙබ් අඩවිය පරිශීලනය ඔබට ඇති ගැටලු ඉන්බොකස් හරහා හෝ කමෙන්ට් හරහා හෝ අප වෙත යොමු කරන්නේ අප කෙරේ තැබූ විශ්වාසය නිසාම බව දන්නා බැවින් එක් එක් මව්වරුන්ට දරුවන් ගැන ඇති ගැටලුවලට විස්තරාත්මකව පිළිතුරු ලබාදීමට අපි අදහස් කළෙමු. අන්න ඒ නිසාම මේ ලිපිය තුළින් මව්වරුන් විසන් අප වෙත එවා තිබූ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමට සැරසෙමු.

වෛද්‍යතුමනි, මගේ බබා ගොඩක් වෙලා කිරි බොනවා. ඒත් පියයුරෙන් ඉවත් කළ විගස කිරි වමනය කරනවා. මෙය රෝගී තතත්වයක්ද?

- Advertisement -

දරුවාට කිරි බොන අතර වාරයේ හුළං පෙවීම නිසා බොහෝ විට මේ තත්ත්වය ඇති වීමට හේතු විය හැකියි. ඒත් කිරි වමනය කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. වැදගත් වෙන්නේ දරුවා කිරි වමනය කරන අවස්ථාවේ ඔබ ක්‍රියාත්මක වන ආකාරයයි. ඒ කියන්නේ කිරි වමනය කරන දරුවෙක් කිසි විටෙක උඩට ඔසවන්න එපා. මොකද ඒ කිරි ටික නැවත පහළට ගියොත් ස්වසන මාර්ගය හරහා පෙනහලුවලට ගමන් කළ හැකියි. එය අවදානම් තත්ත්වයක් නිසා මෙවැනි අවස්ථාවකදී කලබලයට පත් නොවි දරුවා පැත්තට හරවා කිරි ටික ඉවත් වන්නට ඉඩ සලස්වන්න. කිරි වමනෙ සාමාන්‍ය තත්ත්වයක්. දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ කරගනිමින් නිවැරදි ස්ථාපිතයේ පවත්වා ගැනීම මගින් දරුවාට හුළං ඇතුළු විම අවම කරගැනීමෙන් මේ තත්ත්වය අවම කරගත හැකියි. ඔබට හැකි නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ බබාගේ වෛද්‍යවරයාගෙන් දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන දැනුවත් වෙන්න. 

වෛද්‍යතුමනි, මගේ බබාට මේ වන විට මාස හතර සම්පූර්ණ වී අවසන්. බබා දිනපතා මලපහ කරන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල දින දහයක් වනතුරුත් මලපහ කරන්නේ නැතිව ඉන්නවා. සමහර වෙලාවට දින හතරක් පහක් වගේ ඇතුලත මලපහ කරනවා. මේ සඳහා දරුවාට ප්‍රතිකාර ලබා දිය යුතුද?

දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දී මලපහ කරන වාර ගණන වෙනස් වෙන්න පුළුවන්. දරුවා දින හතරක් පහක් ඇතුළත මලපහ පිටකරනවා නම් ගැටලුවක් නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්.  ඒත් දින 10 ක් වන තුරුත් දරුවා මලපහ පිටකරන්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ පුතාට දැන් වයස අවුරුදු තුන අවසන් වී ගෙනයි යන්නේ. මේ වන විට දරුවා පෙර පාසැලක ප්ලේ ගෲප් එකකටත් දැම්මා. ඒත් පුතා අදටත් මගෙන් කිරි බොනවා. මේකට මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් දරුවෙකුට වසර දෙකක් යන තුරු මව්කිරි ලබාදීම හොඳයි කියලා තමයි අපි කියන්නේ. අවුරුදු දෙකෙන් පස්සෙත් දරුවා කිරි බොනවා කියලා ඒකෙන් හානියක් වෙන්නෙත් නැහැ. දරුවා විසින්ම කිරි අත්හරින තුරු ඔබට එය ලබා දෙන්න පුළුවන්. නමුත් මව්කිරි ප්‍රධාන ආහාර වේලට බාධාවක් කර නොගත යුතුයි.  ප්‍රධාන ආහාර වේලත් මව්කිරි වේලත් අතර පැයකවත් පරතරයක් නැති වුණොත් දරුවා ආහාර ප්‍රතික්ෂේප කළ හැකියි. 

ඒ වගේම මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් විදියට දරුවාගේ දත් ගැන කිව යුතුමයි. මේ වයසේ දරුවන්ගේ දත් තියෙන නිසා රාත්‍රී කාලය පුරා කිරි බොන්න පුරුදු වීම නම් සුදුසු නැහැ. එහෙම වුණොත් ඔබ අසා ඇති පූර්ව ළමා විය දන්ත ව්‍යසන තත්ත්වයට දරුවා පත් විය හැකියි. අන්න ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය දරුවාගේ ස්ථිර දත් වලටත් බලපෑම් ඇති කරන නිසා රාත්‍රී කාලය පුරා දරුවාට කිරි ඉරීමට නොදී සිටීම වැදගත්. එය වළක්වා ගැනීමට දරුවාට කුස පිරෙන්න රස, ගුණ පිරි රාත්‍රී ආහාර වේලක් ලබා දෙන්න හුරු කරන්න. 

වෛද්‍යතුමනි, මගේ දුවට දැන් මාස නවයක් වෙනවා. ඇය සෑම ආහාර වේලකටම පසුව කිරි බොනවා. රාත්‍රියට ආහාර ගත්තත් මව්කිරිත් බීලා තමයි නින්දට යන්නේ. මේක ගැටලුවක්ද? එමගින් යම් යම් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිද?

මෙය කිසිම ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. මේ වයසේ දරුවෙක් අමතර ආහාරයට පසු මව්කිරි බීම, නින්දට පෙර මව්කිරි බිම බොහොම සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ තමන්ගේ ආහාර වේලට පසු වතුර බොනවා වගේ මේ පුංචි පැටව්න්ට මුල ඉදලම අමතර ආහාර වේලට පසුව ලබා දෙන්නේ මව්කිරි. දරුවන් ඒ ක්‍රමයට හුරු වෙලා. හැබැයි කෑම කෑවට පස්සෙ කිරි බොනවා කියන්නෙ හොද ලක්ෂණයක් වුණත් කෑමට පෙර කිරි බොන එක නම් ගැටලුවක්. මොකද දරුවා කෑමට පෙර මව්කිරි ලබා ගත්තොත් එයින් කුස පිරීම නිසා අමතර ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ වැඩියි. ඒ කෙසේ වෙතත් වසර දෙකක් යනතුරු ඔබට දරුවාට මව්කිරි ලබා දීම කල හැකියි. නමුත් දරුවාගේ කිරි දත් මෝදු වී ඇත්නම් ඒ ගැන සැලකිමත් වීම නම් අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ බබා දැන් අමතර ආහාර පටන්ගත්තා. ඒත් දෙන්න ඕනේ ආහාර වර්ග ගැන මට අදහසක් නෑ. බත් තලපය විතරක් බබාට මදි කියලා මට හිතෙනවා. මොකද එයා කිරි බොන කාලෙත් ගොඩක් කිරි බිව්වා. දවසක් තුළ දරුවෙක්ට අනිවාර්යෙන් දිය යුතු ආහාර වර්ග තියෙනවද? 

එහෙම අවශ්‍ය නැහැ. ඔතන තමයි අපේ බොහොමයක් මව්වරුන් වරද්දා ගන්නා තැන. මොකද අම්මා හිතනවා බිත්තර, මස්/මාළු, පලතුරු, චිස්, යෝගට් වැනි ආහාර වර්ග සියල්ලම එකම දවසේ ලබා දිය යුතුයි කියලා. ඒත් ඒ විදියට අපි දීර්ඝ කාලීනව දරුවාට දේවල් ලබා දෙද්දි කාලයත් සමග දරුවා ඒ ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. මොකද හැමදාම එකම රස. අද මස් දෙනවා නම් ඔබට පුළුවන් හෙට බිත්තර හෝ මාළු වගේම අද යෝගට් දෙනවා නම් හෙට චීස් දෙන්න. ඒ ආකාරයට අවශ්‍ය පෝෂණය දිනපතා ලැබෙන ආකාරයට විවිධත්වයක් ඇතිව ආහාර වේල සකස් කරගැනීමෙන් ආහාරය ප්‍රතික්ෂෙප වෙන්නේ නැහැ. නැතිනම් ඒකාකරී රසය රටාව දරුවාට එපා වෙනවා. වැඩිහිටි අපිට වුණත් එකම දේ හැමදාම කන්න ලැබුණොත් එපා වෙනවා වගේ දරුවටත් එපා වෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් දිය යුතුයි කියා හිතන ආහාර වට්ටෝරුවෙන් මිදී විවිධත්වයක් ඇතිව ආහාර ලබාදීම අනිවාර්ය කරගත යුතුයි. එහෙම නැතිව යම් ආහාරයක් හදුන්වා දුන් මුල් දවසෙ දරුවා ඉතා ආසාවෙන් ආහරය ගත්ත නිසා ඊලඟ දවසේත් ඒ ආහාරයම ලබා දිමත් එදිනත් හොඳින් ආහාරයට ගත් නිසා තුන් වෙනි දිනයේත් එයම ලබා දීමත් කරන්න එපා. අනිවාර්යෙන්ම ආහාරයේ රසයේ පැහැයේ විවිධත්වයක් ඇති කළ යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම දරුවා‍ට දිය හැකි ආහාර පමණක් නොවෙයි ආහාර සකස් කරන ආකාරය ගැනත් සවිස්තරාත්මකව දරුවාගේ වර්ධන සටහන් පොතේ ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ පවුල් සේඛ්‍ය සේවා නිලධාරිනියගෙන් හෝ දරුවාගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන හොඳින් දැනුවත් වෙන්න.

වෛද්‍යතුමනි, දැන් මගේ බබාට වයස මාස 10 සම්පූර්ණයි. එයා දැන් ටික ටික කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මට හිතෙනවා බබාගේ කෑම එකට ලුණු/සීනි ස්වල්ප වශයෙන් හෝ එකතු කළොත් රසය වැඩි වෙන නිසා බබා ආසාවෙන් ආහාර ගනී කියලා. එ්කට කමක් නැද්ද?

එය කිසිසේත්ම නොකළ යුත්තක් බව තරයේ මතක තබාගන්න. දරුවාට ලුණු/සීනි වසරක්වත් පමා කල යුතුයි. ඇතැම් විට ඔබට හිතෙයි ලුනු නොදිම නිසා දරුවාට අයඩින් ඌනතාවයක් ඇති විය හැකියි කියා. නමුත් මව්කිරිවල වගේම එළවළු, පලතුරු, මාළු වැනි දේ හරහා ස්වභාවිකවම දරුවාට අයඩීන් ලැබෙනවා. ඒ වගේම දරුවෙක් ලුණු/සීනි රසයන්ට හුරු වුවොත් එයින් මුදවා ගැනීමටත් අපහසුයි. එවිට දරුවාගේ නිරෝගී බවට බලපෑම් ඇති වෙනවා. අනාගතයේ අපේ දරුවන් බෝ නොවන රෝගවලින් රැක ගැනීමට නම් අද සිටම අපි අපේ දරුවන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් විය යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දරුවාට ආහාර වේල ලබා දීමට පැයක සිටවත් මව්කිරි හෝ වෙනත් දේ ලබා දෙන්න එපා. මව්කිරි වලින් කුස පිරුණම දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක මහතා 

මහරගම අපේක්ෂා රෝහල


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article