උත්තරීතර මාතෘත්වය හා බැඳුණු මව්කිරි කියන්නේ අති උතුම් මවු සෙනෙහසක බැඳීම තිර කරන හා ළදරුවාගේ පෝෂණය සම්පූර්ණයෙන් හිමිකර දෙන ප්‍රබලම සාධකය යි. මේ මගින් වර්ධනය ප්‍රශස්ත කරනවා පමණක් නොව මව් දරු සබඳතාව වගේම සුරක්ෂිතභාවය තුළ මුල් ළමා වියේ සත්කාරය තුළ වූ ප්‍රබලම බලපෑම එල්ල කළ හැකි වූ හැකියාවෙන් යුක්තයි. මේ නිසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන මව්කිරි අලුත උපන් දරුවන් එක්ක ගලපගන්න කොට අම්මලාට ඇතිවන ප්‍රශ්න ගැටලු බොහොමයි. ඒ අතරින් එකක් තමයි මේ කිරි හිරවීම කියන්නේ.
කිරි හිරවීමට විශේෂිත හේතුවක් විදියට දරුවාගේ තල්ලේ පිහිටි අසාමාන්‍යතාවයන් දැක්විය හැකියි. ඒ කියන්නේ තල්ල ඇතුළතින් බෙදී පවතින නිසා දරුවා උරා බොන කිරි උගුර දක්වා ගමන් කරන විට හිර වීමකට ලක් විය හැකිය. මේ තත්ත්වය දැක ගත හැකි වන්නේ දරුවා මුඛය විවෘත කර අඬන විටකදීය. එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එවිට වෛදයවරයා විසි දරුවා පරීක්ෂ කර අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කරනු ඇත. වෛද්‍ය උපදෙස් මත එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය ශල්‍යකර්ම සඳහා යොමු විය හැකිය.
මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් හැරුණු කොට කිරි හිරවිම සඳහා විශේෂයෙන් බලපාන්නේ කිරි දීමේදී ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන ගැටලුය.
කිරි දෙන ඉරියව්ව – දරුවාට කිරි උරා බීමට හැකි වුවද ඉතා වැදගත් වන්නේ පියයුරට දරුවා ස්ථාපිත වන ක්‍රමයයි. වැරදි ඉරියව්වේ පිහිට කිරි බොන විට දරුවාට හොඳින් කිරි ලැබෙන්නේ නැහැ. එසේ වන්නේ නිෂ්පාදනය වූ කිරි ගබඩා වී ඇති ඇරියෝලාව කොටස දරුවාගේ මුඛයට ඇතුළු නොවීම නිසා කිරි පිටතට එ්ම හොඳින් සිදු වන්නේ නැහැ. මෙසේ හෙයින් දරුවා පියයුර පුඩුව පමණක් ඉරීම නිසා දරුවාට කිරි පෙවෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. වැඩි වශයෙන් දරුවාට පෙවෙන්නේ වාතය නිසා උදරය පිපී වාතය පිටවන විට ඒ සමග කිරි පිටවීම නිසාත් කිරි හිර වීම සිදු විය හැකිය. මෙහි ඇති භායානක තත්ත්වය වන්නේ කිරි ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා හුස්ම ගැනීම අපහසු වී ජීවිත අවදානමකට වුවද ලක්විය හැකි වීමයි. ඒ නිසා මව්කිරි දෙන සෑම මවක්ම දරුවා නිවැරදි ස්ථාපිතයේ පිහිටිව මව්කිරි ලබාදීම ගැන අවධානය යොමු කළ යුතුය.
දරුවා හඬද්දි කිරි දීම – බොහෝ දරුවන් හඬන විට මව්වරුන් සෑම විටම සිතන්නේ කුසගින්නේ දරුවා සිටින බවයි. ඒ සිතුවිල්ල නිසා හඬන සෑම විටම කිරිදීමට මව්වරුන් පෙළඹෙනවා. මෙවන් අවස්ථාවක දරුවා හඬමින් සිටිය දී කිරි දීමේදී කිරි ස්වසන මාර්ගයේ ගමන් කිරීමට ඉඩ තියෙනවා. එසේ හෙයින් එවන් අවස්ථාවක දරුවා සන්සුන් කර ගැනීමෙන් තොරව කිරි දීමට යාමෙන් දරුවාට කිරි හිරවීමට හැකි හෙයින් දරුවා නොසන්සුන්ව සිටින සෑම විටදී කිරි දීමට පෙර දරුවා සංසුන් කර ගැනීම වැදගත් වෙනවා. කෙසේ වුවද දරුවා බඩගින්න නිසා හඬන අවස්ථා හඳුනා ගැනීමට මවුවරුන් සමත් විය යුතුය. දරුවා කිරි ඉල්ලන වාර ගණන, වේලාවන් මෙන්ම කිරි අවශ්‍යතාවලදී දරුවාගේ හැසිරීම යන කරුණු අධ්‍යයනය කර තිබීමෙන් හඩන සෑම අවස්තාවකදීම දරුවාට කිරි ලබා දිමට සිදු නොවන නිසාත් මේ තත්ත්වය වළක්වා ගත හැකිය.
සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවිම – සෑම කිරිවැල් අවසානයේදීම දරුවාට පෙවුණු වාතය නිවැරදි ස්ථාපිතයක තබා ඉවත් කළ යුතුය. එසේ නොවන විට දරුවා කිරි බොමින් සිටි අතර ගුඩුස් යාමක් සිදු වීම නිසාත් කිරි බොමින් සිටි දරුවාට කිරි හිරවීමට ඉඩ ඇත. ඒ නිසා සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවීම නිවැරදිව කරමින් පෙවුනු වාතය ඉවත් කළ යුතුය. එසේ නොමැති නම් ඊට අමතරව නින්දේදී වුවද පෙවුණු වාතය පිටතට පැමිණීමේදී ඒ සමග කිරිත් පිටතට පැමිණිය හැකියි. එවිට නින්දෙන් දරුවාට කිරි හිර වීමට අවධානමක් ඇත.
ආහාර මාර්ග පද්ධතියේ ඇති අසාමාන්‍යතා – sඇතැම් අවස්ථවල කිරි වමනය ඇති වීමට හේතු විය හැකි තත්ත්වයකි. එහිදී කිරි වමනය වන විට කටින් බේරී ඉවත් නොවී යම් පීඩනයකින් විඳින ආකාරයට කිරි වමනය ඇති වේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමය. මෙවන් තත්ත්වයකදී දරුවා පැත්තට හරවා තැබීම උචිතය. එවිට ස්වසන මාර්ගය තුළට කිරි ගමන් කිරීම පාලනය වීමට ඉඩකඩ ඇත.
මව අවිවේකී වීම – ප්‍රසූතියෙන් පසු මවක් ගත කරන්නේ අවිවේකී වගේම අපහසුතාවලින් පිරිණු කාලයකි. ඒ නිසාම මව නිදන ඉරියව්වේ සිට දරුවාට කිරි ලබාදීමට පෙළඹිය හැකිය. එසේ හෙයින් ප්‍රසූතියෙන් පසු මවකට සුවපහසු බව මෙන්ම විවේකය උපරිමයෙන්ම සලසා දිය යුතුය. එවිට මවට තම නින්ද පාලනය කරගනිමින් ආරක්ෂාකාරී නිවැරදි ඉරියව්වල හිදිමින් දරුවාට කිරි ලබාදිය හැකිය. එහෙයින් මව ගේ කටයුතු සඳහා මවට උදව් කිරීමත් මවට විවේකය ලබා ගැනීමට හැකි ආකාරයෙන් උදව් කිරීමත් මවට අවිවේකය මහන්සිය මගින් ඇතිවන නින්ද පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙසේ හෙයින් දරුවෙකු ප්‍රසූත කළ මවක් සම්බන්ධයෙන් අප සලකා බැලීමේදී ඇයට මව හා දරුවා අතර කාර්යභාරයට එහා ගොස් කිරීමට සිදුව ඇති නිවසේ අනෙකුත් වැඩ කටයුතු කෙරෙහිද අපගේ අවධානය යොමුවිය යුතුය. එසේ හෙයින් ගර්භනී කාලයේ සිටම ප්‍රසූතිය සැලසුම් කිරීමත් ප්‍රසූතියෙන් පසු මවගේ දරුවාගේ මෙන්ම පවුලේ කටයුතු වලදී මවට සහනයක් සලසන අයුරින් කටයුතු කිරීමට නිතැතින්ම නෑදෑ හිතමිතුරන් උනන්දු විය යුතුය.
වේගයෙන් කිරි ගලා ඒම – දරුවන් පමණට වඩා කිරි උරා බීම හෝ මවගේ කිරි ගලා ඒමේ වේගය වැඩි නිසා මුවට ගත් කිරි ගිල ගන්නට නොහැකි වීම නිසා කිරි හිරවීමට ලක්වෙන ආකාරය ඇතැම් අවස්ථාවලදී දැක ගත හැකියි. එවැනි අවස්ථාවකදී කිරි ගලා ඒමේ වේගය පාලනය කර ගැනීමට පියුර මත යම් පීඩනයක් යෙදිය හැකිය.
පමණට වඩා කිරි උරා බීම – පමණට වඩා කිරි උරා බීම නිසා පමණට වඩා බර පිරී කිරි වමනය සේ පිටවන අවස්ථාවේදී වුවද එම වමනය නිසා කිරි හිරවීම සිදුවෙනවා.
මෙසේ සලකා බැලීමේ දී කිරි හිරවීමට හේතු වන සියලු කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ පූර්ව ප්‍රසව සමය තුළ දී සිටයි.
- කිරි දීමේ ඉරියව් හා ස්ථාපිත වල වැදගත්කම
- කිරි දෙන කාලය තුළ මවගේ ඉවසීම
- කිරි දීමට ගත කරන කාලය
- කිරි වේල් අතර පරතරය
- අවශ්‍ය පමණට කිරි බීමට අවස්ථා සැලසීම
- කිරි බීමේදී ඇති වන අඩුපාඩු නිසා ඇතිවන තත්ත්වයන් වළක්වා ගැනීම
- දරුවාගේ මුඛය තුළ හෝ ආහාර මාර්ග පද්ධතිය තුළ ඇතිවිය හැකි අසාමාන්‍යතා
- කිරි නිෂ්පාදනය හා කිරි ගලා ඒම
යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වගේම අවශ්‍ය සියලු අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එසේම ඒ පිළිබඳ පුහුණු සෞඛ්‍ය නිලධාරියෙකුගේ මගපෙන්වීම යටතේ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. තවද ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ ද සහය ලබාගැනීම මගින් නිරතුරුවම ඔබට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හිමි වන අතර එයද මහත් පිටිවහලක් වනු ඇත.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල