වර්තමානය වනවිට පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි වීම යන කාරණාව නිසා බොහෝ දෙමව්පියන් සිටින්නේ බියෙන්. දරුවන් එවැන්නකට ඇබ්බැහි වීද නැතිද යන්න නිශ්චිතව හඳුනා ගන්න තරම් ඔවුන් සතුව ඇති දැනුම ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම සමාජයේ විවිධ නම්වලින් ව්‍යාප්ත වී තිබෙන මේ මත්ද්‍රව්‍ය දරුවන් බිලිගනී යැයි සැකයෙන් සෑම මවක් මෙන්ම පියෙක්ම පීඩාවෙන් සිටින බව කිව යුතුමය.
පසුගිය දිනවල කතා බහට ලක් වූ අයිස් කියන්නේ මොනවද?
අයිස් කියන්නේ සත්‍ය නාමය නොවෙයි. එය වීදි නාමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහි තාක්ෂණික නාමය Methamphetamine යන්නයි. එය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ අයිස් යන නමින්.
අයිස්, එය ලබාගන්නා පුද්ගලයාගේ සිරුරට බලපෑම් කරන්නේ කොහොමද ?
ඕනෑම මත්ද්‍රව්‍යක් අපේ ශරීරයට බලපාන විදියක් තියනවා. අනිවාර්යෙන්ම පුද්ගලයාගේ කායික, මානසික සහ ජෛව රසායන ක්‍රියාවලියට බලපෑමක් කිරීමේ හැකියාවක් එහි තිබෙනවා. අයිස් දුර්භාවිත කළහොත් එය සෘජුව බලපාන්නෙ අපේ මධ්‍ය ස්නායු පද්ධතියට. මේ අයිස් එහෙමත් නැත්නම් Methamphetamine කියන්නෙ උත්තේජකයක්. එමගින් අපේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනයට ලක්කරනවා. එහෙත් එහි ක්‍රියාකාරීත්වය සෘජු ලෙස ශරීරයට බලපෑම් කරනවා.
අද වෙද්දී බොහොමයක් දෙමාපියන් තම පාසැල් යන දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේවි යන සැකයෙන් පසුවෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන් ඉලක්ක කරගන්නේ ඇයි?
වර්තමානය වන විට මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන්ගේ ප්‍රධානතම ඉලක්කය වෙන්නේ පාසල් දරුවන්. මොකද මේ දරුවන් කියන්නෙම අලුත් සද්වල් අතහදා බලන්න කැමති දැඩි කුතුහලයකින් සිටින කොටසක්. සාමාන්‍යයෙන් දරුවෙක් පොඩි කාලෙ ඉදලම විශේෂයෙන්ම නවයොවුන් වියට පා තැබූ ගමන්ම අපි හැමෝම උත්සහ කරන්නෙ අලුත් දෙයක් අත්හදා බලන්න. අලුත් දෙයක් කුතුහලය දනවන දෙයක් විදින්න, ලබන්න ඒ වයසෙ දරුවෝ ගොඩක් කැමතියි. ඉතින් ඒකත් එක්ක මේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් උත්සහ කරනවා දවසින් දවස මේ කණ්ඩායම ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය භාවිතය එක දවසකට එක පුද්ගයලයෙක්ගෙන් හරි වැඩිකරගන්න.
සාමාන්‍යයෙන් වර්ෂයකට දුම්කොල හා මද්‍යසාර භාවිතය නිසා පුද්ගලයින් 4,0000 ක් පමණ මිය යන බව දැනට සොයාගෙන තිබෙනවා. වර්ෂයකට ඒ අඩුව පිරවීමට නව කණ්ඩායමක් ඇතුළත් කර ගැනීම තමයි අලෙවිකරුවන්ගේ ඉලක්කය වී තිබෙන්නේ. ඒ නිසා එහි දී පාසල් දරුවන් ඔඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක කණ්ඩායමක් බවට පත් වෙනවා.
ඒ කියන්නේ සමාජය තුළ අපේ දරුවෝ අනාරක්ෂිතයි කියන එක නේද?
ඔව් වර්තමානය වනවිට දරුවන් සමාජය තුළ විවිධ හේතූන් මත අනාරක්ෂිත වෙලා තිබෙනවා. රටේ මාධ්‍ය තුලත් සමාජය තුලත් සමාජ මාධ්‍ය තුළත් මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා වෙනවා. සමාජය තුළ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ගොඩනගා තිබෙන්නේ මිථ්‍යා මතයක්. ඒ කියන්නේ එහි එහි සත්‍ය නම්
කුමන මත්ද්‍රව්‍යයක් ගත්තත් ඕනෑම අයෙක් ඉන්නේ අමාරුවෙන් සහ වේදනාවෙන් සහ අපහසුවෙන්.
නමුත් සමාජයේ මේ මතයට වෙනස් වූ ආකර්ෂණීය මතයක් ගොඩනඟා තිබෙනවා. එම රැවටීම්වලට දරුවන් හසු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි දරුවන්ගෙ පාසල් පරිසරය විශේෂයෙන්ම පාසලෙන් පිටත පරිසරය. පාසල් අවට පුංචි පුංචි කඩ තියනවා. මේ දරුවෝ බොහෝවිට මේ ආශ්‍රිතව ගැවසෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් වඩාත් සූක්ෂ්ම ලෙස දරුවන් ඒ සඳහා යොමු කරවා ගන්නට කටයුතු කරනු ලබනවා. බොහෝ වෙලාවට මුල් දවස් දෙක තුනෙ මේවා නොමිලේ ලබාදෙන්නත් පුළුවන්. දරුවන් ඒ ආකාරයෙන් මෙයට පොළඹවා ක්‍රමක්‍රමයෙන් අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒක තමයි ඔවුන්ගේ උපාය මාර්ගය. අන්න ඒ නිසා වයස අවුරුදු 12 සිට 19 දක්වා වයස් කාණ්ඩය මෙයට යොමුවීමේ වැඩි අවදානමක් වර්තමානයේ තියනවා.
මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ගැහැනු දරුවන්ව විශේෂයෙන් ඉලක්ක කරනවා කියන කතාවේ සත්‍යයක් තිබෙනවාද?
නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ. අපේ රටේ සංස්කෘතිය සමාජ වාතාවරණය එක්ක කාන්තාවන්/පාසල් දැරියන් මත්ද්‍රව්‍ය වලට යොමුවෙනවා හරිම අඩුයි. හරිම සුළු ප්‍රමාණයක් සිටිය හැකියි. නමුත් සමාජය තුළ ගැහැණු දරුවන් නැතිනම් කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ද සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළත් එම තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි අර කලින් කතා කළා වගේම ගැහැනු හෝ පිරිමි හෝ දරුවෙක් මේ සඳහා යොමු වෙන්නේ ඔවුන් පසු කරන වයස් සීමාව නිසයි.
තමන්ගේ දුව/පුතා මත්ද්‍රව්‍ය භාවිත කරන බව මව්පියන්ට හඳුනාගත නොහැකිද?
දරුවාගේ ශරීර ලක්ෂණ, හැසිරීම හෝ වෙනයම් වෙනසක් මත සැක ඇති කරගෙන සොයා බලන්න මව්පියන්ට පුළුවන්. අපේ දරුවෝ ඉන්නේ අපි හෝ අපිට විශ්වාසවන්ත අයෙක් ළඟ පමණයි.
දරුවෙක් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වෙලා නම්,
- ක්‍රමක්‍රමයෙන් මාපිය ග්‍රහණයෙන් මිදී ඈත්වන්නට උත්සාහ කරනවා
අද වෙද්දී බෝහෝ නිවෙස්වල දරුවන්ට වෙනම කාමර තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒත් දරුවො මොකද කරන්නෙ, මොන වගේ තත්ත්වෙකද ඉන්නෙ කියන එක නිතර හොයලා බලන එක දෙමව්පියන් විදියට ඔබේ වගකීමක්
- උපාංග සමග රැදෙමින් මව්පියන්ගෙන් ඈත් වීමට උත්සාහ කරනවා
කොවිඩ් වසංගතයත් එක්ක online අධ්‍යාපනයට යොමු වෙන්න දරුවන්ට සිදු වුණා. ඒ නිසා දරුවන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් වගේම උපාංග සැපයීමට මව්පියන්ට සිදුවුණා. සමහර වෙලාවට ස්මාර්ට් ජංගම දුරකතනවල වැඩකටයුතු ගැන මව්පියන් දැනුවත් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයන් එක්ක දරුව දෙමාපියන් එක්ක සම්බන්දතාව අඩු කරන්න උත්සාහ කරනවා විය හැකියි.
- අධ්‍යාපන කටයුතු අඩපණ වෙනවා
- පාසල් යාමට වෙනදා මෙන් අකැමැත්තක් දක්වනවා
- සුවබර නින්ද අහිමි වෙනවා
බොහෝමයක් මත්ද්‍රව්‍ය බලපෑම් කරන්නෙ අපේ මද්‍ය ස්නායු පද්ධතියට. මේ මත්ද්‍රව්‍ය වල තියන රසායන මගින් නින්ද මහන්සිය මගහරිනවා. එය අපේ ශරීරයට දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් සිදුකරනවා.
අයිස්වලට ඇබ්බැහි වුණු අයෙක්ගේ ජීවිත කාලය අවුරුදු දෙකකට පමණක් සීමා වෙන බව සත්‍යයක්ද?
අපිට කිසිසේත්ම කියන්න බැහැ මෙච්චර කාලෙකින් ජීවිතක්ෂයට පත්වෙනවා කියලා. ඒක තීරණය වෙන්න පුද්ගලයා මත. සමහර කෙනෙක් භාවිතයට අරන් විනාඩි කීපයකින් උනත් ජීවිතක්ෂයට පත්වෙන්න පුලුවන්. අනික් මත්ද්‍රව්‍ය වලට සාපෙක්ක්ශව අයිස් නැමති මත්ද්‍රවයයේ ප්‍රතිඵලයක් තමා එය. අනිත් අතට ඒ ඒ පුද්ගලයා ගන්න ප්‍රමාණය වෙනස්. ඒ ගන්න ප්‍රමාණය මත ශරීරය ඇතුලෙ සිදුවන ජෛව්‍ය රසායනික ප්‍රතික්‍රියා ප්‍රමාණය වැඩිවෙනවා. ඒක නිසා භාවිතයට අරන් පැය කීපයකින් හෝ කෙටි කාලෙකින් මරණයට පත් විය හැකියි. කෑම අරුචිය, කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට මිය යා හැකියි.
තමන්ගේ දරුවා මතට ඇබ්බැහි වී ඇති බව දැනගත්තොත් මව්පියන් කළ යුත්තේ මොනවාද?
දරුවන්ගේ මව/පියා/සහෝදරයෙක් මත්ද්‍රව්‍ය හෝ දුම්කොළ ආශ්‍රිත දෙයකට හුරුවෙලා ඉන්නවනම් තමයි දරුවනුත් ඒකට ගොඩක් දුරට යොමු වෙන්නේ. පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට අලුතින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙලබෙන කෙනෙක්/දරුවෙක් මුලින්ම බොහොම දෘඩ මත්ද්‍රව්‍යයකට (heavy drug) යොමුවන්නේ නැහැ. ඔවුන් ආරම්භය ගන්නේ දුම්කොළ වගේ (gateway drug) එකකින්. ඉතින් ඒ වගේ දුම්කොළ ආශ්‍රිත දෙයක් නිවෙස තුල කව්රු හරි භාවිත කරනවා නම් දරුවනුත් ඒ දෙයින් මේකට ආරම්භයක් ගන්න පෙළබෙනවා. ඒ වගේම තමයි මේකෙන් මුදවා ගන්න එකත් ඒ ඒ පවුල් වල තත්ත්වය, පසුබිම අනුව තමා තීරණය වෙන්නෙ.
තරවටු කිරීම මගින් සමහර දරුවෝ මෙවැනි දෙයකින් මුදවා ගත්තත් සමහර දරුවන් එසේ මුදවා ගත නොහැකියි. ඒ නිසා තරවටු කිරීමකට යන්න කලින් දෙමව්පියන් ආදර්ශමත් වෙලා දරුවන් ගැන හොයලා බලලා දරුවන්ට නිසි ආදරේ දෙනවා නම් දරුවො මේ වගේ මත්ද්‍රව්‍යයකට පෙලබෙන්නෙ නැහැ.
දරුවාට අවශ්‍ය සමාජ කුසලතාවය පවුල තුලින් වර්ධනය කරන්න ඕනෙ. පවුල තුල සෙනහසින් ආදරයෙන් ඉද්දි දරුව මේවට පෙලෙබෙන අවස්තා ඉතාම විරලයි. ඒ වගේම තමයි පාසල තුලිනුත් දරුවගේ සමාජ කුසලතා වර්ධනය කරන්න ඕනෙ. ගුරුවරයගේ දෙමව්පියන්ලේ ඉදලා සියලු දෙනාම මේකට දායක වෙන්න ඕන.
දරුවන්ට තරවටු කිරීමට පෙර ඔවුන්ව දැනුවත් කර තිබීම ඉතාම වැදගත්. එක එක පාටින් එක එක වර්ණ වලින් ලොසින්ජර්, ලොලිපොප් තියනවා. මේවා සමහර විට ළමයි ගන්නවා. ඒ නිසා ඊට කලින්ම අපි පවුල තුලින් හා පාසල තුලින් දරුවා දැනුවත් කළ යුතුයි. පුතේ මේවා ගන්න එපා… සමහර මාමලා අයියලා අක්කලා නොදන්න අය දෙන ඒවා ගන්න එපා… කියලා අපි අපේ දරුවන්ව දැනුවත් කළ යුතුයි.
දරුවන් මත් උවදුරින් මුදවා ගැනීමට අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයේ වැඩසටහන්ද?
නිවාරන අධ්‍යාපන අංශය මගින් ලංකාව පුරාම විසිර සිටිමන් පාසල් වල හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වලා දරුවන්ගෙ සමාජ කුසලතා වර්ධනය සඳහා දායක වෙනවා වගේම දැනුවත් කිරීම වැඩසටහන් පවත්වනවා. මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද ඒවා ගත්තම මොකද වෙන්නේ කියලා අපි ඒ දරුවන් එක්ක කතා කරන්නේ නැහැ. මොකද එතනින් වෙන්නෙ තවත් පෙලඹවීමක්. ඒ නිසා දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය කරමින් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි නොවන මට්ටමට දරුවාගේ ආකල්ප, මානසිකත්වය සංවර්ධනය කරනවා.
අනෙක් අතට මත්ද්‍රව්‍ය කියන්නෙම භාවිතයට යොමු වුවොත් එය මෝඩ පාඩු වේදනාකාරී දෙයක් කියන අදහස දරුවාට ඇති කරන්න ඕනි.
දරුවන් මත්ද්‍රව්‍ය වෙත පෙළඹීමට පවුලෙ දෙමව්පියෝ,සාමාජිකයෝ යම් මත්ද්‍රව්‍ය ගැනීම හේතුවක් වන නිසාම දෙමාපියන් දැනුවත් කිරීමෙ වැඩසටහනුත් පවත්වනවා. දෙමව්පියන්ගෙ කුසලතා වර්දනය කරන්න වගේම දරුවන්ව මේකට යොමුනොවෙන තැනට වැඩකරන්න කළ යුතු දේවල් ගැන දෙමව්පියන්ව දැනුවත් කරන්න අප ආයතනයේ නිළදාරීන් කටයුතු කරනවා.
දරුවන් කියන්නෙ දෙමාපියන්ගෙ වටිනාම සම්පත වගේම රටේ අනාගතය. අද වන විට මත් රකුසා අපේ සම්පත එහෙමත් නැතිනම් අපේ අනාගතය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. අපි තනි තනිව මෙන්ම සාමූහිකවත් අපේ සම්පත රැකගන්නට ඇප කැප විය යුතුමයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
නිලානි අලුත්ගේ මහත්මිය
පර්යේෂණ නිලධාරිනී
අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය