- Advertisement -

මොළේ ගැන ‍නොදැන මොළේ ඇති කිසි වැඩක් කරන්න බැරි බව දන්නවද?

-

මොළය කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද කියලා අපි කවුරුත් දන්නවා. අපි හිතන් ඉන්නේ අපිට මොළය තියෙනවා කියලා වුණත් ඇතැම් විට වෛද්‍ය විද්‍යාත්මකව ඒ ගැන අවබෝධයක් අපිට නැහැ. ඒ නිසා රැකියාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපේ පවුල, අපේ දරුවෝ  සම්බන්ධ වැඩ කටයුතු වලදී හරි විදියට මොළය පාවිච්චිය පාවිච්චි කළ යුතුමයි. මොකද මොළය පිළිබඳව මූලික අවබෝධය නැතිව දරුවන්ගේ ජීවිත ‍නිවැරදිව ගොඩනගන්න අපිට බැහැ. ඒ විදියට දරුවෝ හදද්දී තමයි දරුවන්ට මානසික රෝග හදන්න මූලික වෙන්නේ දෙමාපියන් සහ ගුරුවරු කියලා කියන්නේ. 

උදාහරණයක් විදියට අපි මව්පියන් විදියට අපේ දරුවන්ගේ ගුරුවරුන්ගෙන් දරුවාගේ අධ්‍යාපන මට්ටම විමසනවා. එතැනදී ගුරුවරයා දරුවා ගැන දෙන අදහසට අනුව අපි එතැන් සිට ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කොහොමද ටීචර් දැන් දුව… දුවට නම් කිසිම උනන්දුවක්, ඕනේ කමක් නැ … හොඳට වැඩකරන්න පුලුවන් දරුවෙක් වුණාට දැන් කරන්නෑ.. එයාට උනන්දු උනොත් කරන්න බැරි දරුවෙක් නෙවෙයි…

- Advertisement -

ඉතිං මෙතැන් පටන් ඕනෙම අම්මා කෙනෙක් දරුවාට ඉගෙන ගන්න උනන්දු කරවන්න බලපෑම් කරනවා කිව්වොත් වැරදිද? නැහැ. අම්මා කෙනෙක් නිතරම හිතන්නේ දරුවා ට හොඳින් උගන්වන්න. ඒකනේ අපේ සමාජයේ කතාවක් තියෙන්නෙත් කවද හරි ඉතිං ‍ඉගෙන ගත්ත දෙයක් තමයි කියලා. ඒක ඇත්ත වුණත් අපි අපේ දරුවන් ඒ දේ වෙත යොමු කරන ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ සැලකිලිමත් වෙන්න නම් මව්පියන්ට වගේම ගුරුවරුන්ටත් මොළය පිළිබඳව විද්‍යාව (Brain science) ගැන යම් දැනුමක් තිබිය යුතුයි. 

එහෙමනම් මොළේ කියන්නෙ මොකක්ද? ඒක ඇතුලෙ වෙන්නෙ මොකක්ද? මොළේ හැදිලා තියෙන්නෙ කොහොමද? ඒක නිවැරදිව සකසන්න අපි කළ/නොකළ යුතු දේ මොනවද? කියන මේ මූලික අඩුතාලම දෙමාපියන් වශයෙන් අප සතු විය යුතුමයි. ඒක හරියට ලැප්ටොප් එකක් ජංගම දුරකතනයක් භාවිතයේදී ඒක ගැන අපි දැනුවත් වෙනවා හා සමාන දෙයක්. 

අපේ මොළය සැකසිලා තියෙන්නේ නියුරෝන සෛලවලින්. දරුවෙක් බිහිවෙන්නේ මේ නියුරෝන සෛල බිලියන 100ක පමණ ප්‍රමාණයක් එක්ක. දරුවා ඉපදුණු දා ඉඳන්ම මේ මොළයේ සංවර්ධනය සිදු වෙනවා. ඒ කියන්නේ දරුවෙක් භාෂාව, සංස්කෘතිය, සාරධර්ම, ආකල්ප, ආවේග පාලන හැකියාව, සංවිධානාත්මක හැකියාව වගේ ගොඩක් කරුණු ඉගෙන ගත යුතුයි. දරුවෙක් උපදින විට මේ කිසිවක් දරුවා තුළ නැහැ. ඉතිං ඒ පරිසරයේ තියෙන හැමදෙයක්ම දරුවා ග්‍රහණය කර ගත යුතුයි. ඒ දේවල් හරි විදියට දරුවා ග්‍රහණය කර නොගත්තොත් අද වන විට අහිමි වුණු පෙම්වතිය මරා දමන තතත්වයේ දරුවන් වගේම තමන්ගේ ජීවිතයට හානි කරගන්නා දරුවන් නිර්මාණය වෙන එක ගැන අමුතුවෙන් සිතිය යුතු නැහැ. මොකද ඒ දරුවන්ගේ ආවේග පාලනය, සංවිධානාත්මක හැකියාව, නම්‍යශීලී චින්තන රටාව කියන කරුණුවල සංවර්ධනයක් සිදුව නැහැ. දරුවා තරුණ වියට එළැඹෙන විට මේ අඩුපාඩුකම් පෙන්නුම් කරනවා. අන්න ඒ හින්දා මුල් අවුරුදු 5 – 12 අතර කාලය දරුවෙකුගේ මොළයේ ස්වර්ණමය අවධියක්. දරුවෙක්ගේ අනාගතය තීරණ්‍ය වෙන්නේ ඒ අවධිය ගත කරන සාර්ථක/අසාර්ථක බව මතයි.

හුරතල් පොඩි දරුවෙක් දැක්කම ‍වඩා ගන්න, තුරුල් කරගන්න, සිපගන්න අපි කවුරුත් ආසයි. මේ සොබාදහම කියන අති විශේෂ නිර්මාණ කරුවා ඒ දේවල් ඒ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ අන්තර්පුද්ගල සබදතාව වැඩි දියුණු කිරීමේ උපක්‍රමයක් විදියටයි. ඒ ‍වගේම දරුවෙක් කියන්නේ අපිට ඕනේ විදියට රඳවගන්න පුළුවන් අයෙකුත් නෙවෙයි. දරුවා හරිම ක්‍රියාශීලීයි. ඒ සොබා දහම දරුවාව සෙල්ලම් කිරීම කියන දේත් එක්ක නිර්මාණය කරලා ඒකෙන් දරුවාට පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරන්න උත්තේජනයක් සපයලා තියෙනවා. 

සොබා දහමෙන් දරුවාට ලැබෙන මේ අවස්ථා වැඩිහිටියෝ විදියට අපි එයාට අහිමි කළොත් දරුවා හිර කළොත් බය කළොත් එය දරුවාගේ ක්‍රියාකාරකම් අතරමග ඇණහිටවීමක්. ඒක දරුවාගේ සංවර්ධනයට ඍණාත්මකව බලපානවා. දරුවාගේ කුසලතා සංවර්ධනය ඇණ හිටිනවා. මව්පියන් මේ විදියට දරුවාගේ චර්යා පාලනය කරන්න ගියොත් දරුවන්ගේ ක්‍රියාකාරකම් මට්ටම පහත වැටෙනවා. අපි මේ වෙනුවෙන් කළ යුතු දේවල් ගැන මූලිකවම දැනුවත් විය යුතුයි.

දරුවාගේ චර්යා පාලනය කිරීම

දරුවාට සෙල්ලම් කරන්න කාලයක් දෙන්න ඕනෙ වගේම පුළුවන් තරම් තනියම එයාගෙ වැඩටික කරගන්න ඉඩදෙන්න. අම්මයි තාත්තයි කියන්නෙ ළමයට පලංචියක්. දරුවාට බැරි කාලේ සහය වූවාට වයස අවුරුදු එකහමාරෙන් පස්සෙ දරුවාට තනිව තමන්ගේ දේ කරගන්න ඉඩ හැරිය යුතුයි. නැතිනම් දරුවාගේ පෞරුෂය පිළිබඳව ගැටලු පැන නගිනවා. අහිංසක, කීකරු, සන්සුන් දරුවෙක් බිහි වුවත් ඉදිරියට එන්න ශක්තිමත් පෞරුෂයක් ඒ දරුවා තුළ ගොඩ නැගෙන්නේ නැහැ.  ඒ නිසා මනෝවිද්‍යාවෙ මූලදර්මය තමයි, දරුවෙක් පොඩි කාලෙ ඉදලා තමන්ගෙ වැඩ කරගැනීමට හුරු වීම අවශ්‍යයි.

වයස අවුරුදු තුනේදීට දරුවෙක් කරන දේ වයස අවුරුදු 15 දී දරුවෙක් කරන්නේ නැහැ. උදාහරනයක් විදියට අවුරුදු තුනේදී පුටු අඩ මේස උඩ නගිනවා. ඒ ඒ වයසට අදාලව ඒ ඒ ක්‍රියාකාරකම් තමයි දරුවන් කරන්නේ. මේ විදියට දරුවෙක්ගේ මොළය සංවර්ධනය වෙනවා.

දරුවාගේ භාෂාව 

ලෝකයේ දැන් පැවතෙන ආකාරයට දරුවෙකුගේ මුල් අවුරුදු 6 හා 7 වන තුරු මව්භාෂාව හොඳින් ඉගැන්විය යුතුය. භාෂාවක් නතුකර ගැනීමෙ උපරිම ධාරිතාව මොළයට තියෙන්නෙ මාස 8 හා 9 කාලයේදීයි. එය සිංහල ද ඉංග්‍රීසි ද දෙමළ ද කියලා වෙනසක් නැහැ. උදාහරණයක් විදියට අපිට දැන් අලුත් භාෂාවක් ඉගෙනීමට අවශ්‍ය වුවත් ඒක එතරම් සාර්ථක නැහැ. නමුත් කුඩා වියේ සිටම එය දරුවෙක්ට ලැබෙනවා නම් ඉතා ඉක්මනින් දරුවා එයට යොමු වෙනවා. 

අපි අපේ දරුවන් මේ රටේ ජීවත් කරමින් ඔවුන්ට මව්භාෂාව ලබා නොදී ඉංග්‍රීසි භාෂාව පමණක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ දරුවන් හැමදේම ග්‍රහණය කරගන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාලව. ඔබ ඔබේ දරුවාවෙනත් රටක තැබීමට බලාපොරොත්තු වෙනවා නම් පමණක් මාස 9 සිටම ඒ අදාල භාෂාව දරුවාට ලබා දෙන්න. ඒත් ඔබ ලංකාවේ ඔබේ දරුවා තියන්න අදහස් කරනවා නම් මව්භාෂාව දරුවාට හොින් උගන්වන්න. 

දරුවෙකුගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇති බව දැනගන්නේ කොහොමද?

ඒකට අපි කියනවා Resilience කියලා. ඒ කියන්නේ ඔරොත්තු දීමේ හැකියාවයි. දරුවෙකුගේ මොළය නිවැරදිව සකස් වූවා නම් ජීවිතේ අභියෝග වලදි, ගැටලු වලදි, ශෝකාන්තයන් වලදි, තර්ජන වලදි දරාගෙන හැඩගැසීමේ විශාල ප්‍රවණතාවක් පෙන්නනවා. ඒ කියන්නෙ ජිවිතයේ බරපතළ ගැටලුවක් ආවම ඒක කොයිතරම් දුරට දරාගෙන ඒකට හැඩගැහිලා තමන්ගේ සාමාන්‍ය මානසික ස්වාභාවය පවත්වා ගන්නවාද කියන එක එයින් අදහස් වෙනවා. 

උදාහරණයක් ලෙස යොවුන් දරුවෙකුගේ ප්‍රේමය බිඳ වැටනම නින්ද යන්නෙ නැහැ, රැවුල් කපන්න හිතෙන්නෙ නෑ, කන්න හිතෙන්නෙ නෑ, කාමරෙන් එලියට එන්න හිතෙන්නෙ නෑ, කතාබහ කරන්නෙ නැහැ. දැන් දරුවාගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇත්නම් ඔරොත්තු දීමේ හැකියාව හොඳ නම් මේ තත්ත්වයන් දරාගෙන දරුවා ජීවිතයට හැඩ ගැහෙනවා. එයට හැඩගැහෙන්න නොහැකි වූ විට දරුවන් ආතතියට පත් වෙලා සියදිවි නසා ගන්නා තත්ත්වයට වුවත් ‍පත් විය හැකියි. අන්න ඒ නිසාම ජීවිතයට යම් ගැටලුවක් තර්ජනයක් ආ විට එය සන්සුන්ව මුහුණ දීමේ හැකියාව අපි දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. 

දරුවෙකු සතු ඔරොත්තු දීමේ හැකියාව resilience අඩු නම් ඒ දරුවාට ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අවම වන බව අමතක කරන්න එපා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article