- Advertisement -

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගනිමු

-

මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කරනවිට එහි ප්‍රවණතාවන් කලින් කලට වෙනස් වෙමින් පවතින අතර මෑතකදී සමාජය තුළ කතිකාවතකට ලක් වී තිබෙන මත්ද්‍රව්‍යයක් ලෙස අයිස් හෙවත් මෙතැම්පිටමින් හඳුන්වා දෙන්න පුළුවන්. එය අපේ රට තුළ ව්‍යාප්තිය ආරම්භ කර ඇත්තේ 2020 පමණ සිටය. 2017 දී හෙරොයින් භාවිතයට අමතරව වන ප්‍රවණතාවක් ලෙස වෙවද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක් ද හඳුනාගත හැකිවිය. හෙරොයින් මිදලී ගැනීමට නොමැතිවීම හෙරොයින් සඳහා ආදේශකයන් ලෙස මෙම ඖෂධ අවභාවිත කිරීම සිදු කරන ලදි. විශේෂයෙන්ම මානසික රෝගවලට ලබාදෙන ඖෂධ අවභාවිතය එකළ විශාල වශයෙන් සිදු වූවක්. අයිස් නමින් හඳුන්වන මතුද්‍රව්‍යය 2020 වසරේ සිට භාවිතය කෙමෙන් වැඩිවෙමින් එය තව තවත් සීග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. මේ වන විට පාසැල් දරුවන් සඳහා ද අභියෝගයක් වී තිබෙන මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කරමු. 

පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ යොමුවන්නේ කෙසේද?

- Advertisement -

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු දරුවන් සමග කතා කරද්දී ඔවුන් බොහෝ දෙනෙක් සදහන් කරන කාරණාව තමා මත්ද්‍රව්‍ය භාවිතයට තමා යොමුවුනේ යහලුවන්ගේ/සමකාලීනයන්ගේ බලපෑම මත යන්නයි. ඒ වගේම අපි පර්යේෂණ තුළින් තහවුරු කරගෙන තියනවා ගොඩාක් තරුණ පිරිස් පාසල් යන වයසෙ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙන්නෙ යාලුවන්ගෙ බලපෑම මත කියලා. හැබැයි කුතුහලයට වින්දනයක් ගන්න වගෙත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවුණු දරුවනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේම ලංකාවේ විතරක් නෙමේ ජ්‍යත්‍යන්තර පර්යේෂණ විමසා බැලීමේ දීත්  අපිට පේනවා ප්‍රධානම හේතුව මිතුරන්ගේ බලපෑම කියලා. ඒ වගේම සමාජ විද්‍යාත්මකව සාධක කීපයක් වගේම මනෝවිද්‍යාත්මක සාධකත් මේ මත්ද්‍රව්‍ය මුල්වරට භාවිතයට පෙලබීමට හේතුවෙලා තියනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන අය සමග කතා කරද්දි ඔවුන් තුළින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද?

එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගේ ජීවනරටාව අනුව වෙනස් වෙන්නත් පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා එහෙම අසාමාන්‍ය ලක්ෂණ ඔවුන් පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට එවැනි අය තුළ ඉතාම හොඳ ගති ලක්ෂණ තියෙනවා. එයාලගෙ තියන එකම ගැටලුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම පමණයි. ඇතැම් අයගේ කතා හරිම දුක්ඛිතයි. ඔවුන් මේ ඇබ්බැහියට යොමුවෙන්නත් ජීවිතයේ යම් යම් හේතු තියෙනවා. බොහෝදෙනෙක් පසුතැවෙනවා ඔවුන් මේ දෙයට යොමු වීම සම්බන්ධව. ඔවුන් එයින් මිදෙන්න උත්සාහ කරනවා.

යම් හෙයකින් පාසැල් දරුවෙකු සතුව මත්ද්‍රව්‍ය තිබී සොයා ගතහොත් ඒ සදහා ක්‍රියාත්මක වන නීතිමය  ක්‍රියාමාර්ග මොනවාද?

පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් විය යුතුයි.‍ පාසලේ විදුහල්පති තුමාට මෙතනදි ලොකු කාර්යයක් පැවරෙනවා. අපි එක් පන්තියක් ගත්තොත් ඒ ඉන්න හැම දරුවෙක්ම මෙයට යොමු වෙන්නේ නැහැ. මෙතනදි මුරණ්ඩු, ප්‍රශ්නකාරී (problem behavior) දරුවා හෝ කණ්ඩායම ගැන අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතුයි.‍ ඒ වගේම ගුරුවරයා විසින් පන්තිය කලමනාකරණය කර ගත යුතුයි. මේ කණ්ඩායම හදුනගන්න ඕනෙ. 

මේ වන විට ලංකාව පුරා ඉන්න ගුරු උපදේශකවරු පුහුණු කරගෙන යනවා..ඉතින් ඒ කළමනාකරණය තුලින් ගුරුවරයාට හැකිවෙන්න ඕනෙ මෙන්න මේ ළමයගෙ වෙනසක්/අවදානමක් තියනවා, මෙයා මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමෙ අවස්ථාවක් තියනවා කියලා ඒ වෙනස් හදුනගන්න. ඉතින් ඒ ගුරුවරයාගෙ හදුනා ගැනිම තුලින් යම්කිසි දරුවෙක් විදුහල්පතිවරයා වෙත ආවොත් විදුහල්පති විසින් උපදේශනය සඳහා පුහුණුව ලැබූ ගුරුවරයෙකු වෙත යොමු කළ යුතුයි. ඉතාම වැදගත් අනෙක් කරුන වන්නේ දරුවෙකු සතුව මත්ද්‍රව්‍යක් තිබිලා හමුවුනොතින් මුලු පාසලක් ඉදරියේ දඬුවම් දීම හෝ ලැජ්ජාවට පත්කිරීම හෝ නොකොට රහස්‍ය බව සුරකිමින් අවශ්‍ය ඉදිරි පියවර වෙත යොමු විය යුතුයි. 

සාමාන්‍යයෙන් පාසල් යන වයසේ දරුවෙක් මත්ද්‍රව්‍ය සමග පොලිසියට අසුවුනොතින් ඔහු/ඇය අධිකරණයට යොමුකරනවා. ඇබ්බැහියේ මට්ටම අනුව ඔවුන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය වුවහෝත් අධිකරණය මඟින් 2007 අංක 54 මත්ද්‍රව්‍යට වෙත ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන සම්බන්ධව පනතට අනුව අදාල මහේස්ත්‍රාත්වරයා දරුවා පුනරුත්ථාපනයට යොමුකරනවා. අපේ අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් නුවර මධ්‍යස්ථානයෙන් අවුරුදු 21 ට අඩු දරුවන් නොමිලේ පුනරුත්ථාපනය හා ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. 

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමව්පියන් සම්බන්ධව ඔබට ඇති අත්දැකීම් මොනවාද?

පර්යේෂණ  කටයුතු සිදුකරගෙන යද්දි අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන්ගෙ දෙමව්පියෝ සමගත් කතාබහ කරනවා. ගොඩක් දෙමව්පියෝ මේ පිලිබදව දන්නෙ දරුවා ඇබ්බැහි උනාට පස්සෙ. සමහර දෙමව්පියෝ  දරුවා මේ වගේ දේකට යොමුවෙලා කියලා දැනගත්ත ගමන්ම අන්තරාදායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය යටතේ තියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඔවුන්ට දරුවා මෙයින් ගලවා ගැනීමට අවශ්‍යයි. නැත්තම් අපේ දිස්ත්‍රික් නිළදාරින් හමුවෙලා උපදේශනයට එනවා. සමහර දෙමව්පියෝ ඇවිත් කියනවා මගෙ සේසතම වියදම් උනත් කමක් නෑ මගෙ දරුවව මේකෙන් ගලවලා දෙන්න කියලා. හරි සංවේදීයි. ඒවගේම සමහර දෙමව්පියෝ වැරදියට හැසිරෙන අවස්තාවලුත් තියනවා. තමන්ගෙ දරුවා ඇබ්බැහි වෙලා කියලා දැන දැනත්ම මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඉල්ලද්දි දෙන දෙමව්පියොත් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වෙට එන්න කලින් දරුවට අවශ්‍ය ආදරය ලබා දීලා සෙනහස දීලා දරුව මේ වගේ භයානක තත්ත්වෙකට පත්වෙන එක නවත්තගන්න දෙමව්පියන්ටත් විශාල වගකීමක් තියනවා.

මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වුණු දරුවෙක් පුනරුත්තාපනයට‍ යොමු කරනවා නම් දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

දැන් අපට සෘජුවම කතාකරන්න පුලුවන් 0112868794 අංකය ඔස්සේ. ඒ වගේම 1927 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා ඔබේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුව කතා කරලා කියන්න පුළුවන්. ඒ හරහා ගැටලුව යොමු කළ විට අදාල අංශයට යොමු කිරීම සිදු වෙනවා. එසේත් නැතිනම් රාජගිරිය අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. එසේ පැමිණෙන දරුවා/පුද්ගලයා අනාවරණ පරීක්ෂණයකට යොමුකරනවා. එමගින් භාවිත කරන මත්ද්‍රව්‍ය, අදාල තැනැත්තා සිටින තත්ත්වය වැනි දේ හඳුනා ගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණිය නොහැකි නම් අදාල උපදේශන අදියර කිහිපයක් යටතේ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව අවබෝධය ලබා දෙනවා. 

මෙසේ ඔබ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ රහස්‍යබාවය සුරැකෙනවාද?

අනිවාර්යයෙන්ම. කිසිදු පුද්ගලයෙකුගේ හෝ දරුවෙකුගේ හෝ කිසිදු තොරතුරක් වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ. නමුත් අධිකරණ මාර්ගයෙන් ඉල්ලීමක් කලොත් පමණක් අපිට තොරතුරු ලබාදීමට සිදුවෙනවා.

ඔබ ඇතුළු මේ හා සම්බන්ධව ක්‍රියාත්මක වන සැම සමාජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

ඇත්තටම මේ කාර්යය ජය ගන්න අපිට විතරක් බැහැ. මේ උවදුරෙන් රට ගලවා ගන්න නම් මේ වෙලාවෙ අපි රටක් විදියට එකතු වෙන්න ඕනෙ. තමන්ගේ දරුවාට මෙහෙම ගැටලුවක් නැති නිසා ඇතැම් පිරිස් මේ හා සම්බන්ධව කතා කරන්න පවා අකමැතියි. නමුත් හැම දරුවෙක්ම කාගේ හෝ අම්මෙක්ගේ දරුවෙක්. ඒ අපේ අනාගතය. ඒ නිසා රටේ සෑම දරුවෙක්ම මෙයින් මුදවා ගන්න අපි හැමෝම දායක විය යුතුමයි. ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නවා වගේම රටේ දරුවන් ආරක්ෂා කිරීමටත් ඔබට යුතුකමක් පැවරෙනවා. ඒ නිසාම අපි පවුලක් වශයෙනුත් සමාජයක් වශයෙනුත් රටක් වශයෙනුත් මතට එරෙහිව නැගී සිටිය යුතුමයි. එක ඔබේ වගකීම ඒ වගේම මේ දරුවන් රටේ අනාගතය ඒක නිසා සමාජීය වශයයෙනුත් වගකීමක් තියනවා මත්ද්‍රව්‍ය වලින් දරුවන්ව මුදාගැනීම සම්බන්දව.ඉතින් අපි හැමෝම එකතු උනොතින් මේ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන එකට උත්සහයක් දරන්න පුලුවන් මොකද මේක සුලුපටු කාරනාවක් නෙමේ මෙය රටක් වෙලාගත්ත ජාලයක් ඉතින් විශාල ජාලයකට එරෙහිව සටන් කරන්න ඕනෙ සමාජයක් විදියට එකට ඉතින් එහෙම කලොත් අපිට අපේ දරුවන්ව මෙයින් මුදවාගන්නට පුලුවන් වේවි.

 


නිලානි අලුත්ගේ මහත්මිය

පර්යේෂණ නිලධාරිනී 

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article