- Advertisement -

දෙමව්පියන් දරුවන්ට ආකර්ශනය වෙන රීති

-

දරුවන්ගේ ජීවිතයේදී අම්මා, තාත්තා තරම් සමීප චරිතයක් දරුවන්ට තවත් නැහැ. ඒ වගේම දෙමව්පියන් මුල් කර ගත් ආදරය, විහ්වාසය දරුවන්ගේ හදවතේ ගොඩ නැගෙන්න නම් මව්පියන්ගේ ගති පැවැතුම් ගැනත් දරුවන් බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබ මුල් කර ගෙන පූර්වාදර්ශ චරිත දරුවන්ගේ හිතේ ගොඩ නැගුනේ නැත්නම් සැබැවින්ම ඔබ දරුවන්ට ආකර්ශනයක් ලබා දෙන මව්පියන් ලෙස සලකන්න බැහැ. ඉතිං දරුවන්ගේ ආකර්ශනය ලබන දෙමව්පියන් විදිහට ඔබේ ජීවිතය හැඩ ගසා ගන්නේ කොහොමද…?

සරල වෙන්න…

- Advertisement -

අපේ ජීවිතයේදී සරල බව අපට ආභරණයක්. සරල ජීවිතයට පැවැත්මක් තිබෙනවා. කොටින්ම අපේ තරමට අපි වැඩ කරන, අනුන් අනුකරණය නොවන සරල පැවැත්මක්  තිබුනොත් අපේ ජීවිතයේ ස්ථාවරත්වය රදවා ගන්න පුලුවනි. සමහ මව්පියන් දරුවන් පවා තරඟකාරීත්වයට යොමු කරමින් ඔවුන්ටත් පිඩාකාරී වෙන අන්දම අපේ අත්දැකීම් තුළත් තිබෙනවා. ඒ නිසා නිතරම සරල වෙන්න. එවිට ඔබේ දරුවන්ද එය අනුගමනය කරනු ඇති. සරල දෙමව්පියන් දරුවන්ට නොදැනීම ආකර්ශනයක් වෙනවා. ඊට හේතුව අනවශ්‍ය අන්දමින් සමාජය හඹා යෑමේ ගති පැවැතුම් මේ දෙමව්පියන් තුළ නොමැති නිසා දරුවන්ටත් එයින් ලැබෙන සහනශීලී බවක් ගොඩ නැගෙනවා.

බුද්ධිමත් වෙන්න..

දෙමව්පියන්ගේ බුද්ධිමත්බව මනින්නේ ඔවුන් ලබා ඇති උපාධි සහතිකවලින් නොවේ. අපි දරුවන් සමග කටයුතු කරන විට බුද්ධිමත්ව හැසිරීම ඉතාම වැදගත්.ජීවිත අත්දැකීම් ලබා දරුවන් පෝෂණය කිරීමට සූදානම්ව සිටින මව්පියන් තුළ බුද්ධිමත් හැසිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. දරුවන්ගේ රටාව, ඔවුන්ගේ මානසික තත්වය, ඔවුන්ගේ ඕනෑ එපාකම් දැන හදුනා ගැනීමේ ඉවක් තිබීම ඉතාම වැදගත්.

දරුවන් කියන්නේ සමාජ අත්දැකීම් නැති පිරිසක්. ඔවුන්ගේ ජීවිතයට මුල්ම අත්දැකීම් ලැබෙන්නේ දෙමව්පියන්ගෙන්. ඒ නිසා දරුවන් සමග ගණුදෙනු කරන විට දෙමව්පියන්ගේ බුද්ධිමත් හැසිරීම ඉතාම වැදගත්.

සකසුරුවම…

අද ජීවන තත්වය අනුව ජීවත්විමත් සෑහෙන ගැටුමක්. එය විටෙක ආර්ථික වශයෙන් පමණක් නොව මානසික ලෙසින්ද ගැටුමක් බවට පත් වී අවසානයි. සමහර දෙමව්පියන් දරුවන්ටත් වස පොවා ඔවුන්ද සිය දිවි හානි කර ගන්නා තත්වයක් අපි දැක තිබෙනවා නමුත් ඒ බුද්ධිමත් මව්පියන්ගේ ගති ලක්ෂන නොවෙයි. ජීවත් වීමේ අයිතිය දරුවන්ට..ඔවුන් ජීවත් කිරීමේ වගකීම මව්පියන්ට ඇති නිසා නිතරම සකසුරුවමින් වැඩ කරන්න. එවිට හෙට දවස වෙනුවෙන් දරුවන්ට ලතැවෙන්න අවශ්‍ය නැහැ. දෙමව්පියන්ගේ සකසුරුවම නිසාම දරුවන්ට මේ අසීරු කාලයේදී වුනත් දෙමව්පියන් විසින් ඔවුන්ගේ  මූලික අවශ්‍යතාවයන් ඉටු කරන නිසා සැබැවින්ම  ඔබ දරුවන්ගේ ආකර්ශනයට යොමු වෙනු ඇති.

කරුණාව

අපි මව්පියන් බව ඇත්ත. දරුවන්ට අපේ අණසක පතුරුවන්නත් පුළුවනි. ඒකත් ඇත්ත. නමුත් අනවශ්‍ය අන්දමින් ආධිපත්‍ය ගොඩ නගා ගැනීමට වඩා දරුවන්ට නිතරම කාරුණික වෙන්න.දරුවන්ට කාරුණික වීම නිසා ඔවුන් ඔබට දක්වන ගරුත්වයට කිසිම ලෙසකින් හානියක් සිදු වෙන්නේ නැහැ. දරුවන්ට ඕනෑම ප්‍රශ්නයක් කථා කරන්න..හිත නිදහස් කර ගැනීමට ඔබ සමග සමීප සම්බන්ධතාවයක් තිබීම වැදගත්. දරුවන්ට කටක් අරින්නට ඉඩ නොදෙන අන්දමින් අමානුෂික වීම ඔබේ පෞරෂය ගොඩ නගා ගැනීමක් නොවේ. ඒ අන්දමින් අනවශ්‍ය ලෙසින් මවා ගත් ආඩම්බරයක් සහිත මව්පියන්ගේ දරුවන් පවුල තුළම විතැන් වෙනවා. ඒ පමණක් නොවෙයි, ඔවුන්ගේ ප්‍රශ්න කථා කිරීමට කිසිවෙකුත් නැහැ. එයින්ද මානසික ලෙසින් දරුවන් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් දෙදෙනාම නිවසේ බුදුවරුන් විදිහට අපි සලකනවා නම් ඔවුන්ගේ කාරුණික ගති පැවැතුම් දරුවන්ට මහත් වූ ශක්තියක්. දයාබරව ආමන්ත්‍රණය, වරදක් දුටු තැන කාරුනිකව පැහැදිලි කර දීම, නොමගට යන මාවත් ගැන දරුවාට කරුනු කාරනාවන් වටහා දීම දෙමව්පියන්ගේ යුතුකමක්. මව්පියන් දරුණු අන්දමින් දරුවාට ප්‍රතිචාර දක්වනවා නම්  එවැනි දෙමව්පියන් සමග දරුවන්ට ඉතාම පහසුවෙන් ගනුදෙණු කරන්න පුලුවනි. 

සෑම ආගමික ශාස්තෘවරයෙක්ම සමාජයේ ආකර්ශනයට පාත්‍ර වූයේ කාරුණිකත්වය වැනි මෘදු ගුණාංඟ නිසා බැව් අපි හොදින්ම දන්නවා. ඒ නිසා දෙමව්පියන්ගේ කාරුණිකත්වය දරුවන්ගේ ආකර්ශයට හේතු වෙනවා. ඒ නිසා ඔබ නිතරම දරුවන්ට කාරුනික වෙන්න. දරුවන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න. එවිට අපේ අම්මා..තාත්තා අපට කරුණාවන්තව සලකන නිසා අපේ ජීවිතයේ සෑම දුකක් හෝ පසුබැස්මක් ඔවුන් සමග සාකච්චා කරන්න හැකියාව තිබෙනවා යන සහනය හිතේ ගොඩ නැගෙනවා.

ආත්ම විශ්වාසය..

දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය දරුවන්ගේ පෞරෂ වර්ධනයට විශාල ශක්තියක්.දරුවන්ගේ අනාගතයේ අත්තිවාරම ලෙසින් සඳහන් කළත් ඒ තරමටම නිවරැදියි. දෙමව්පියන්ගේ ආත්ම විශ්වාසය වගේම දරුවන් මුල් කර ගෙන දෙමව්පියන් තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසයද ඉතාම වැදගත්.දරුවන්ට මග නොමග කියා දීමේදී ඔයාට ඔය දේ කරන්න පුළුවනි….බය නැතුව පටන් ගන්න… මේ අන්දමින් දරුවන්ට අනාගතයට පාර කියා දීමට මව්පියන්ගේ ආත්ම විශ්වාසය ඉතාම වැදගත්.එවැනි දෙමව්පියන් නිරන්තරවම දරුවන්ගේ අනාගතයට බියක් නැතුව පාර කියන්න සූදානම්. ඒ නිසාම තමන්ගේ ජීවිතයට ශක්තිය ලබා දෙන දෙමව්පියන් දරුවන්ගේ ආකර්ශනය පත් වීම අරුමයක් නොවෙයි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article