- Advertisement -

දරුවාගේ හැකියාවන් දෙස උපේක්ෂාවෙන් බලන්න

-

දරුවන්ගේ හැකියාවන් මව්පියන්ට උපන් ගෙදරින්ම මරා දමන්න පුළුවනි. දරුවන් මල් වගේම මුදුයි. සුමුදුයි. මව්පියන්ගේ එක වචනයකින් පවා දරුවන්ගේ සිත්වලට ඇතුළු වෙන සෘණාත්මක සිතුවිලි නිසා ඔවුන්ගේ හැකියාවන් මුලුමනින්ම වැලලී යන්න ඉඩ තිබෙනවා.

වැඩක් නෑ තාත්තේ මේ අට හරියන්නේ නැහැ….මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙන වීඩියෝවක් මේ වෙන විටත් ඔබ දැක ඇති. පුංචි දියණිය අටේ ඉලක්කම ලියන විට අම්මා මේ විදිහට ඇයට කියා තිබෙනවා.මොකක්ද ඔය අටේ ඉලක්කමක්ද…? ඔය අටෙන් වැඩැක් නෑ…

- Advertisement -

මව එසේ කියන්නට ඇත්තේ දියණිය විසින් ලියන අටේ ඉලක්කම නිවරැදි කිරීමට බව ඇත්ත. එහෙත් මේ දියණිය පුන පුනා කියන්නේ අම්මා කිව්වා මේ අට හරියන්නේ නෑ..නෑ තාත්තේ මේ අට හරියන්නේම නැහැ. දැන් දියණියගේ හිතේ තදින්ම මුල් බැස ගෙන තිබෙන්නේ ඇයට නිවරැදි ලෙසින් අටේ ඉලක්කම ලිවීමට හැකියාවක් නැති බවයි.

පුංචි දරුවන් බොහොම ඉක්මනට යම් යම් දේ ග්‍රහණය කර ගන්නවා.

පුංචි පැටවුන්ගේ සමාජය ඉතාම සිමිත බව ඇත්ත. ඔවුන්ගේ ලෝකය සීමිත නිසාම දකින, ඇසෙන හැම දෙයක්ම තදින්ම ග්‍රහණය කර ගන්නවා. එය දරුවන්ගේ සැබෑම ස්වභාවයක්. නමුත් මෙතැන අපෙන් සිදු වෙන වරදක් තිබෙනවා. අපේ කාර්ය බහුල ජීවිතය වගේම සමහර විට දරුවන් බාල කාලයේ පටන්ම පොතට පතට හුරු කරන්නට දරණ උත්සාහය නිසාම වැඩිහිටියන්ගේ ආවේග පමණක් නොව ඇතැම් සෘණාත්මක වචන කිසිදු අන්දමකින් ඔප මටට්ම් නොවී දරුවන්ට එල්ල කරනවා. මෙතැනදී දරුවන්ගේ ලෝකයේ සිටින එකම මාර්ගෝපදේශකයා මව්පියන් නිසාම ඔවුන්ද තමා මුල් කර ගෙන ගොඩ නැගෙන හැසිරීම් රටාවෙන් යම් යම් දේවල් තදින්ම ග්‍රහණය කර ගන්නවා.

ළමා මනසේ පැල වෙන දේවල් ඔවුන් සමගම වැඩෙනවා…

පුංචි පැලය ගස වෙන බව ඔබ දන්නවා. ඒ වගේම පුංචි පැලයට වතුර පොහොර ලැබී වැඩෙන සේම නිවස තුලින් ඇසෙන දකින දේවල් ඔවුන්ගේ හිතේ තදින්ම තැන්පත් වෙනවා. ඕනෑම පුද්ගලයෙකුගේ චරිත වර්ධනයට යටි සිත ප්‍රබල බලපෑමක් ඇති කරනවා.

ඔයාට බැහැ… මේ අන්දමින් මව්පියන් විසින් දරුවාට ලබා දෙන ආකල්පය තදින්ම යටි හිතේ තැන්පත් වෙනවා. එතැන් පටන්ම ඔහු සිතන්නේ ඇතත්ටම මට බැහැ…කවුරු කොහොම කිව්වත් අපේ අම්මා ..තාත්තා මට කියල තියෙන විදිහට මේක මට කරන්න බැහැ. මෙවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කරන තැන පටන් දරුවාගේ ජීවිතයේ බොහෝ හැකියාවන් ගැන ඔවුන් කිසිම උනන්දුවක් ඇති කර ගන්නේ නැහැ.

දරුවන්ට නොහැකියාවන් බොහෝ තිබෙනවා…

වැඩිහිටියන් විදිහට අප අතරත් බොහෝ අඩුපාඩු තිනෙ විට දරුවන් මුල් කර ගෙන සර්ව සම්පූර්ණ දරුවන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් අතරත් විවිධ නොහැකියාවන් තිබෙනවා. නමුත් ඒ ගැන කනස්සල්ලට පත් වෙන්න එපා. හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙනවා කිව්වත් සමහර විට පෙති දෙපෙති එන විට දුර්වලව තිබෙන පැල කාලයත් සමග හොදින් ලියලා මල් ඵල දරන අවස්තා තිබෙනවා. ඒ නිසා යාන්තමින් හිට වැටෙන වයසේ සිටින දරුවන් වෙතින් විශාල පරාසයක කටයුතු බලාපොරොත්තු වෙන්නත් එපා.

නොහැකි වුනත් ඒ බව ඔවුන්ට කියන්න එපා.

අද මනෝවිද්‍යාව විසින් දරුවන්ගේ සිත් ගැන දෙමව්පියන් දැනුවත් කිරීම නිරන්තරව සිදු වෙනවා. ඒ ගැන දැණුවත් වීමට බොහෝ මාධ්‍ය තිබෙනවා. ඒ වුනත් දරුවන් මානසික අපයෝජනයට පත් වෙන අවස්ථාවන්ද සුලබයි. නමුත් තෝමස් අල්වා එඩිසන් බාල කාලයේදී ඉගෙනීමට පසුගාමී දරුවෙක්. ඒ නිසා කෝපයට පත් පංතියේ ගුරුවරයා මවට ලිපියක් ලියා තෝමස් අත යවා තිබුණා.මේ දරුවා පාසල් එවන්න එපා. ගෙදර තියා ගන්න. ඔහුට ඉගෙන ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා තෝමස් පංතියේ අනිත් දරුවන්ටත් බාධාවක්. 

කිසිවක් නොදත් තෝමස් මේ ලිපිය අම්මාට ගිහිං දුන්නා. අම්මා ලිපිය බැලුවා.

සර් මොකක්ද ලියලා තියෙන්නේ..

මගේ පුතා හරිම දක්ෂයි. ඒ හින්දා පංතියේ අනිත් ළමයින්ට වඩා ඉදිරියෙන්. පුතා පංතියට දක්ෂ වැඩි නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා. හෙට ඉඳන් පුතා ගෙදර ඉන්න.

මව එතැනින් නතර වුනේ නැහැ. ගුරුවරයෙක් නිවසට ගෙන්වා ගෙන තෝමස්ට ඉගැන්වුවා. පසුකාලයක විදුලි බල්බය නිපදවීමට ඔහුට හැකියාව ලැබුනේ එදා තෝමස්ගේ මව විසින් ලබා ගත් නිවරැදි තීරණය නිසයි.

දෙමව්පියන්ටත් අනාවැකි වරදිනවා…

බාලකාලයේදී දරුවන්ගේ හැසිරීම මුල් කර ගෙන මව්පියන් අනාවැකි පළ කරනවා. නමුත් මේ අනාවැකි සියල්ලම සියයට සියයක් නිවරැදි නොවෙනවා වගේම ඒවා ඒ අන්දමින්ම ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒ නිසා අනාවැකි පළ කිරීම එතරම් සුබදායක නැහැ. පුංචි දියනිය දැන් මනසින් දකින්නේ මට අට ලියන්න බැහැ. අම්මා කියනවා මගේ අට වැඩැක් නැහැ. මවගේ වැරදි සහගත අනාවැකිය නිසා දරුවා තමන් ගැන ස්ථාවරයක් ගොඩ නගා ගන්නවා.

දරුවන්ගේ නොහැකියාවන් ගැන වගේම හැකියාවන් ගැනත් අනවශ්‍ය අන්දමින් ඔවුන් ඔසවා තබන්න එපා. ඔබ දරුවාගේ හැකියාවන් තේරුම් ගන්න. ඒ ඔස්සේ කටයුතු කිරීමට උදව් කරන්න. නිරන්තරව දරුවාගේ හැකියාවන් ගැනත් වර්ණනා කිරීම නිසා දරුවා තමා ගැන අධිතක්සේරුවක් ගොඩ නගා ගනු ඇත. එවිට දරුවාගේ උනන්දුව සහ කාර්යක්ෂමතාවය බිඳ වැටෙන පසුබිමක් ගොඩ නැගෙන නිසා ඔබ දරුවා දෙස උපේක්ෂාවෙන් බලන්න. හැකියාවන් තේරුම් ගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමට හැකි වන සේ ශක්තිය සහ ධෛර්ය ගොඩ නැගීම ඉතාම වැදගත්.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article