- Advertisement -

උපත් පාලන හෝමෝන කරල් තැන්පත් කිරීම ඔසප් චක්‍රයට බලපාන්නේ කෙසේද?

-

සෑම ගර්භණී බාවයක්ම අත්‍යවශ්‍ය දරු උපතක් නැතහොත් පවුලට අවශ්‍ය ගර්භණී බාවයක් විය යුතුය යන සංකල්පය මත පිහිටා ක්‍රියාත්මක වීම අප සැමගේ වගකීමක්. එසේ හෙයින් පවුල් සංවිධානය යන්න දරුවන් ලබාගැනීමට මගපෙන්වන ක්‍රමවේදයයි. මෙහිදී මෙම ක්‍රමවේදය තුල සැළසුම් සහගත ගර්භණීබාවයක් මෙන්ම අවශ්‍ය පරිදි දරුවන් අතර පරතරයක් තබා ගනිමින් තම පවුලේ සංවිධානයක් ඇතිකර ගැනීම තුලින් සුරක්ෂිත මාතෘත්වයක් දරුවනට සුන්දර වූ අත්දැකීම් සපිරි මුල් ළමාවියක් මෙන්ම ළමා කාලයේ කෙලිදෙලෙන් ඉගෙනුම් අවස්ථා හිමිකර ගැනීමටත් ඉඩහසර ලැබේ.

මෙවන් වූ සාර්ථකත්වයට මගපෙන්වන පවුල් සංවිධාන ක්‍රම අතර තම දරුපවුල සම්පූර්ණ කරගත් අය සදහා ස්ථීර පවුල් සංවිධාන ක්‍රම ඇති අතර පළමු දරුවා පමා කිරීම හෝ දරුවන් අතර පරතරය තබාගනිමින් කටයුතු කිරීමට හැකිවන සේ භාවිත කලහැකි තාවකාලික පවුල් සංවිධාන ක්‍රමද වේ. මෙම තාවකාලික පවුල් සංවිධාන ක්‍රම ලෙස අන්තර් ගර්භාෂික උපකරණ එනම්  ලූපය, ඩිප්‍රොවේරා එන්නත, ගිලින පෙති, හෝර්මෝන තැන්පතුව හා කොන්ඩම් භාවිත කල හැකි වේ. මෙම තාවකාලික ක්‍රම අතර හෝමෝන ක්‍රම හා හෝමෝන නොවන ක්‍රම අන්තර්ගත වේ. ඉන් හෝමෝන ක්‍රම අතරට ගැනෙනුයේ ඩිප්‍රොවේරා එන්නත, ගිලින පෙති හා හෝමෝන කරල් තැන්පතුව යන ක්‍රමයි.

- Advertisement -

මෙම ක්‍රම තුනම තුළ අඩංගු වන්නෙ ස්ත්‍රියකගේ ශරීරය තුළ ඇති ප්‍රජනන ඉන්ද්‍රියන්හි ක්‍රියාකාරීත්වය හා සබැදුණු  හෝමෝනයි. එනම් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන දෙවර්ගයයි. ඉන් බොහෝ ගිලින පෙතිවල ඊස්ට්‍රජන් සමාන හෝමෝනයක් අඩංගු අතරම හෝමෝන තැන්පතුව හා ඩිප්‍රොවේරා එන්නත තුල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් අඩංගු වේ. එසේම ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝන අඩංගු ගිලින පෙතිද තිබුනත් සුලබව ඇත්තෙ ඊස්ට්‍රජන් වලට සමාන හෝමෝන අඩංගු ගිලින පෙතිය.

හෝමෝන තැන්පතුව හා ඩිප්‍රොවේරා එන්නත තුල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් අඩංගු අතරම ඩිප්‍රොවේරා එන්නත මාස තුනකට වරක් ලබාගත යුතු වේ. හෝමෝන තැන්පතු වර්ග දෙකක් පවතී. එනම් ඉම්ප්ලනෝන් හා ජඩෙල් නමිනි. මෙම ඉම්ප්ලනෝන් වසර තුනක් සදහා වන අතර ජඩෙල් වසර පහක් සඳහා භාවිත කරනු ලබයි.

මෙම හෝමෝන කරල් තුළ අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් හෙයින් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල කරන එනම් වසර 3, 5ක කාලයකට බල පැවැත්වේ. මෙම හෝර්මෝන කරල් අතේ උඩ බාහුවේ ඇඟ පැත්තට වන්නට සමට යටින් තැන්පත් කරනු ලබයි. වෛද්‍යවරයකු විසින් මෙය සිදුකරනු ලබන අතර ස්ථානීය හිරිවැටීමක් සිදු කොට මෙම ක්‍රියාවලිය වන්ද්‍ය කෘත බව ආරක්ෂා කරමින් සිදුකරනු ලබයි. අඟල් 0.5 සෙන්ටිමීටර 1ක පමණ කුඩා කැපුමක් සිදුකර ඒ හරහා මෙම කරල් සම යට තැන්පත් කරනු ලබයි. මෙම කරල් ගිනිකූරක හැඩය මෙන්ම සමේ ඝනකමට සමාන හැඩයකින් යුක්ත වේ. ස්ථානීය හිරිවැටීමක් සිදුකර ඇතිහෙයින් මෙම දැමීමේදී දැනීමක් පමණක් ඇති අතර වේදනා රහිත වේ. මෙය තැන්පත් කිරීමෙන් පසු ප්ලාස්ටික් කවරයක් මගින් ආවරණය කරන අතරම පසුව හිරිවැටීම ඉවත් වීමෙන් පසු ඇතිවිය හැකි වේදනාව හා විෂබීජ ඇති වී පැසවීමට ලක්විය හැකි හෙයින් ඒ සදහා ප්‍රතිජීවක ඖෂධද ලබාදෙයි.

මෙම ක්‍රමය ලබාගත් අයගේ හෝමෝන ශරීරයට මුදා හරිනු ලබන මුල් අවස්ථාවේදී කැරකිල්ල, හිසරදය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතරම පසුව එය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. එයට හුරුවූ පසුව එය ක්‍රමයෙන් පහව යයි. සම යට හා ඇඟ පැත්තට වන්නට තැන්පත් කර ඇති නිසා එය එළියට නොපෙනෙන ස්පර්ශ කළ බැලීමේදී අතට දැනේ.

මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මෙහි සාර්ථකත්වය 99%ක් පමණ වේ. මේ මගින් ක්‍රමයෙන් හෝමෝන පිටකරන හෙයින් ශරීරයේ එනම් ලේ වල හෝමෝන මට්ටම පවත්වා ගැනීම මගින් ඩිම්බ මේරීමක් හෝ ඩිම්බ පිටවීමක් සිදුනොවන හෙයින් සංසේචනය සදහා ඇති අවස්ථාව අහිමි වේ. එම නිසා ගර්භණී භාවයක් ඇතිවීම වැලකේ. මෙම ක්‍රියාකාරිත්වය නිසා ගර්භණී බාවයක් ඇතිවීම  99% පමණ ඉහළ ප්‍රතිශතයකින් වැලකේ. එසේ හෙයින් අනවශ්‍ය ගර්භණී භාවයන් වළක්වා ගැනීමට මෙය මහත් සේ උපකාර වේ.

මෙය තැම්පත් කිරීමට ප්‍රථම අනෙක් ක්‍රමවලදී මෙන්ම ගැබ් ගෙන නොමැති බවට ස්ථිිරව දැන ගෙන හෝ මාසික ශුද්ධ වීම එනම් ඔසප් සිදුවී මුල් දින කිහිපය තුලදී සිදු කළ හැකියි. වසර 3ක් හා වසර 5ක් වැනි කලයකට මෙය බලපැවෙත්වෙන හෙයින් එවන් කාලයක් දරුවන් බලාපොරොත්තු නොවන යුවල් සදහා මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. අන් ක්‍රම හා සසදන කල මෙය තරමක් මිල අධික ක්‍රමයකි. එහෙත් රෝහල්, වෛද්‍ය නිළදාරිනී කොට්ඨාස සායන මගින් මෙන්ම පවුල් සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන ලියාපදිංචි පුද්ගලික රෝහල් හෝ බෙහෙත් ශාලා මගින්ද මෙම ක්‍රමය ලබාගත හැකිවේ. රජයේ රොහල් තුල නාරිවේද සායනයෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාල තුළ ක්‍රියාත්මකවන පවුල් සංවිධාන සායන තුලින් නොමිලේ මෙම ක්‍රමය ලබාගත හැකිවේ.

මෙම ක්‍රමය යොදා ගත් කාන්තාවක් දරුවෙකු බලාපොරොත්තු වනවිට මෙය ඉවත් කරවා ගැනීමෙන් නැවත දරුවෙකු ලබාගත හැකිවේ. මෙම ක්‍රමයේදී ක්‍රියාත්මකවන හෝමෝනය නිසා ඩිම්බ මේරීමක හෝ ඩිම්බ පිටවීමක් සිදුනොවන හෙයින් බොහෝ දෙනාට ඔසප් වීමක් සිදුනොවේ. ඔසප් සිදුවීමේදී ඩිම්බ මේරීමක්, මේරූ ඩිම්බ පිටවීමක් සිදුවී එය සංසේචනය නොවීම නිසා යෝනි මාර්ගය හරහා ඒවා ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට සුදුසු ලෙස වර්ධනය වූ සෛල ස්ථර බිදී පිටවීම යන සිද්ධිය ඔසප්වීම නමින් හදුන්වන හෙයින් මේ සදහා ඩිම්බ මේරීම හෝ ඩිම්බ පිටවීම බලපානු ලබනවා. එසේ හෙයින් මෙම ක්‍රමය භාවිත කරන කාලය පුරාවට ඔසප් සිදුනොවී තිබීමටත් ක්‍රමය නවතා මාසකීපයක් යන තෙක්ම එසේ සිදුවීමටත් එම හේතුවම බලපැවැත්විය හැකියි. මෙය කෘතිමව ලබාදෙන හෝමෝනය මගින් ශරීරය තුල සිදුකරන ක්‍රියාවලිය හෙයින් ඒ පිලිබදව අනවශ්‍ය බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවේ. හෝමෝනයේ ක්‍රියාත්මක වීම  සමාන්‍යව සිදුවන හෙයින් ඒ පිළිබදව අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අනවශ්‍යයි.

එසේ වුවද සමහර දෙනෙකුට මෙම ක්‍රමය හෝ ඩිප්‍රොවේරා එන්නත ලබාගන්නා විටද

  • ඔසප් ඇති වීම නරත වීම
  • මාස තුනකට වරක් හෝ බලාපොරොත්තු නොවන මොහොතක හෝ ඔසප් සිදුවීම
  • දිනපතා ඉතා සුලු වශයෙන් රුධිර වහනයක් සිදු වීම
  • දීර්ඝ ලෙස අක්‍රමවත්ව රුධිරය වහනය වීම (සුලු/වැඩි ලෙස සිදුවිය හැකිය. සුලුව සිදුවන රුධිර වහනය පිළිබදව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නොවුවද  දිගටම එසේ සිදුවන්නෙ නම් ක්‍රමය දිගටම භාවිතා කරන අතරතුර පිටවන රුධිර ප්‍රමාණය නැවත නිශ්පාදනයට පහසුවන සේ යකඩ පෙති අතිරේක ලෙස ගත යුතුය) වැනි තත්ත්ව ඇති විය හැක.

බොහෝ විට එක දිගට වසර 3/ 5ක් තබා ගැනීමේ අවශ්‍යතාවය  හා ඒ සදහා වැයකරන මුදලද  සැලකිල්ලට ගෙන එසේම දරුවන් අතර පරතරය වසර දෙක තුනකට සීමා විය යුතු හෙයින් මෙම ක්‍රමය වඩාත් භාවිත කරනු ලබන්නෙ අඩුවයස් විවාහ වලට එලබෙන තරුණියන් සදහාය. බාල වයස් විවාහ වලදි නොදැනුවත්කම නොතේරුම්කම මත ඔවුන් විසින් ගන්නා තීරණවලදී, ඔවුනට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට හා ගර්භනී වීමට සුදුසු කාලය වනතෙක් කායික වර්ධනයට අවස්ථාව සැලසීම මූලික අරමුණ කරගෙන සිදුකරන අවස්ථාවලදී භාවිත කරනුයේ හෝමෝන තැන්පතු ක්‍රමයයි. නව යෞවනයන් සදහා මෙම ක්‍රමය තෝරාගනු ලබන්නෙ ඔවුන්ගෙ වයස් සීමාවන් සුදුසු පරිදි වනතෙක් මෙම ක්‍රමය භාවිතා කරමින් ගර්භණී භාවයට පත්නොවී බලාපොරොත්තු වන අධ්‍යාපනික හෝ සමාජීය තත්ත්වයන් වෙත ලගාවීමට අවස්ථාව පසුබිම සකස්කර ගැනීමට ලබාදෙන උදව්වක් ලෙසිනි.

ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට පෙර,

  • අදාල ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක්
  • එය සිදුවන අන්දම
  • වාසි අවාසි පැහැදිලි කර දීම 
  • අතුරු ආබාධ
  • සාර්ථකත්වය

යන කරුණු පිළිබඳව උපදේශනයක් ලබාදී ඒ තුලින් තම කැමැත්ත පරිදි ක්‍රමයක් තෝරාගැනීමට උදව් කිරීම සෞඛ්‍ය සේවක සියලු දෙනාගේම වගකීමයි.

අමතරව හෝමෝනමය පවුල් සංවිධාන ක්‍රම වලදී ශරීරයට හෝමෝනය බලපාන අන්දම අනුව ඇතිවිය හැකි අතුරු ආබාධ ලෙස කෑම රුචිය වැඩි වීම එනම් නිතර නිතර කුසගිනි ඇති වීම ඇති වෙනවා නම් බර කිරා බැලීම මගින් එය හදුනාගෙන ආහාර ගන්නා ක්‍රමවේදය විමර්ශනාත්මකව සිදුකල යුතුයි. එසේ නොවුනහොත් පවුල් සංවිධාන ක්‍රමය නිසා තරබාරු වූ බව ඔබට සිතෙයි. එවන් තත්ත්වයකදී ආහාරයෙන් ලබාගන්නා අධික තෙල් හෝ පිටි සහිත තරබාරුවට හේතුවන ආහාර සුදුසු පරිදි සීමා කිරීම කල හැකි අතරම එහි අඩුව සදහා ප්‍රෝටීන, විටමින හා ඛණිජ ලවණ අඩංගු ආහාර මගින් සම්පූර්ණ කරගැනීම මගින් සන්තෘප්ත විය හැකියි.

එසේම සෑම පවුල් සංවිධාන ක්‍රමයකදීම

  • මවගේ හා දරුවන්ගෙ වයස
  • දරුවන් අතර පරතරය
  • මවගේ රෝගී තත්ත්ව යන කරුණු කාරණාද සැලකිල්ලට ගැනීම කලයුතු වනවා.

මේ සියල්ල පිලිබදව දැනුවත්ව පැහැදිලි අවබෝධයකින් තමන්ට තමන්ගෙ සිරුරට ගැලපෙන පරිදි ක්‍රමයක් තෝරාගැනීම තුලින් අතුරු අබාධ අවම කර ගනිමින් පැහැදිලි හා පසුතැවීමක් ඇති නොවන ලෙසින් සුදුසු පරිදි පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කිරීමට හැකිවනවා. එසේම පවුල තුල සතුට සමාදානය එකමුතුව රජයන පසුබිමක් සදහා පවුල් සංවිධානය වැදගත් වන්නෙ තමනට දරාගත හැකි ප්‍රමාණය තුල සීමා මායිම් සාදා පවුල තුල ප්‍රමුඛ වූ ලිංගික ජීවිතයේ සාර්ථකභාවය සමගින් අනෙක් සියලු අවශ්‍යතා එක්තැන් වන හෙයිනි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article