- Advertisement -

සංස්කෘතිය/සදාචාරය ගැන සිතමින් නිවැරදි ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වෙන්න එපා

-

පාසලක් තුළ ගුරුවරියක් අවුරුදු 14 – 15 වගේ ළමයින්ට ඉතාම නිවැරදි ආකාරයට ලිංගික අධ්‍යාපනය ජීවි විද්‍යාත්මකව පැහැදිලි කරනවා. එහෙම උගන්නන අවස්ථාවක ඒ පන්තියෙ දැරියකට අසනීප තත්ත්වයක් ඇතිවෙලා ඒ දැරිය වැසිකිළියට යනවා. ඒ ගියාම ඒ දැරිය දැනගන්නවා ඒ දැරියට සනීපාරක්ෂක තුවායක අවශ්‍යතාව ඇති වෙලා කියලා. ඇයට දැන් එළියට එන්න බැහැ මේ තත්ත්වය නිසා. ඇය ජනේලයෙන් බලනවා උපකාර ගන්න කව්රුත් ඉන්නවද කියලා. මෙහෙම ටික වෙලාවක් යද්දි අඩි ශබ්දයක් ඇහෙනවා, ඒත් ඒ, ඒ වයසෙම පිරිමි දරුවෙක්. ඇයට උපකාර ඉල්ලන්න බැහැ. පිරිමි දරුවෙක් නිසා ඇය පැකිළෙනවා.

ගැහැනු දරුවා : කරුණාකරලා ගැහැනු ළමයෙක්ට එන්න කියන්න පුළුවන්ද?

- Advertisement -

මද ‍වේලාවකට පසු……

පිරිමි දරුවා :  ආ මෙන්න 

පිරිමි දරුවා දැරියගෙ අවශ්‍යතාවය හදුනා ගෙන පාසලේ ප්‍රතිකාර මධ්‍යස්තානයෙන් ඇයට සනීපාරක්ෂක තුවායක් ගෙනත් දෙනවා.

පිටතට පැමිණෙන ගැහැනු දරුවා ලැජ්ජාවෙන් : ස්තූතියි

පිරිමි දරුවා : ගැහැණු ළමයින්ට පාලනය කරගන්න බැරි අවස්ථා එන බව පිරිමි ළමයි දැනගෙන ඉන්න එක තමයි හොදම. ඔයාගෙ uniform එකේ පිටිපස්සෙ පැල්ලමක් තියනවා මේ මගේ කමිසයෙන් වහගෙන යන්න.

මෙය සම්මානයට පත්‍ර වූ ඉන්දියානු කෙටි චිත්‍රපටයක ඇතුළත් වූ කොටසකි.

ගැහැනු දරුවාගේ ගවුමේ පිටුපස පැල්ලමක් ඇති බව දකින පිරිමි දරුවා ඇයට ඔහුගේ කමිසය ගලවා දෙන මේ පිරිමි දරුවාට ඒ බුද්ධිය, අනෙකා ගැන වටහා ගැනීමේ හැකියාව ලැබුණෙ පාසලෙන් ලබාදුන් නිවැරදි ලිංගික අධ්‍යාපනය නිසයි. මේ පිරිමි දරුවා ගැහැණු දරුවෙක්ගෙ ඔසප් චක්‍රය අතිශයින්ම ජීවිවිද්‍යාත්මක කාරණයක් බව දැන සිටියේ ඒ නිසයි. ඒත් ඒ පිරිමි දරුවා දැනගෙන හිටියා තමන් ඒ අධ්‍යාපනය තුලින් ලැබූ හික්මීම සමාජය තුල නැති බව. ගැහැනු දරුවාගේ ඇඳුමේ පැල්ලම වසා ගැනීමට ඔහුගේ කමිසය ගලවා දුන්නේ ඒ නිසයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ඇයි කියා දැනුවත් වෙන්නට එය ඔබට කදිම උදාහරණයක් බව කිව යුතුය.

ලිංගික අධ්‍යාපන සංකල්පය අවශ්‍යමද?

ඇල්බට් අයින්ස්ටයින් නම් වූ මුළු ලෝකයම දන්න විද්‍යාඥයා ලිංගික අධ්‍යාපනය යන සංකල්පය ගැන කතා කළේ “Regarding sex education no secret” ලෙසයි. එනම් ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේදී හා ඉගෙනීමේදී පැහැදිලි කිරීමට නොහැකි කිසිම අවස්ථාවක් තිබිය නොහැකි බවයි. ඒ සංකල්පය බොහොම විවෘතව ඉගෙන ගැනීමටත් ඉගැන්වීමටත් හැකියාවක් තිබිය යුතුය යන්න ඔහුගේ අදහසයි. 

ඔබ මෙන්ම මාත් මේ ලෝකයට ජනිත වෙන්නේ ලිංගිකත්වය මුල්කරගෙන නම් මේ ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ ඒ තුළ නම් ඉදිරියට බිහිවන එහෙම නැත්තම් අපේ ලෝකය ඉදිරියට ගෙනියන දරුවන් බිහිවන්නේ ඒ තුළින් නම් එහි සැගවිය යුතු කාරණා තිබිය හැකිද?

බොහෝ රටවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මතුපිටින් ඉගැන්වීම, පාසල් අධ්‍යාපනයට අවශ්‍ය  නොවනවා යැයි ඉවත් කිරීමට සූදානම් වන තත්ත්වයන් අද වන විට දැකගන්නට ලැ‍බෙනවා. ඒ වගේම මේ දේවල් උගන්වන එකට ඉගෙනගන්න එකට විරුද්ධ පිරිසක් අපේ සමාජය තුළ සිටියත් ලිංගික අධ්‍යාපනය යනු කුමක්ද යන්න හරිහැටි අවබෝධ කරගතහොත් ඒ පිරිස එයට විරුද්ධ වන්නේ නැති බව විශ්වාසයි. නොඑසේ නම් දරුවෙක්ට එය අවබෝධ කරගැනීමට සිදුවන්නේ කවදා හෝ තම ජීවන අත්දැකීමෙන්ම විය හැකියි.  

ලිංගික අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට පුද්ගලයාට දැනුම ලබාදීමයි. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන්න ඇති බිය, පැකිලීමට මූලික හේතුව වන්නේ මේ ලිංගිකත්වය මැජික් එකක් ලෙස සිතීම නිසයි. එය පරම්පරාවෙන් පරම්පරාවට ඒ ආකාරයෙන්ම ගමන් කරනවා. නමුත් අද වන විට ඒ අදහස ඉවත් කරගැනීමට කාලය එළැමී තිබෙන බව වැඩිහිටියන් ලෙස අපි අවබෝධ කරගත යුතුමයි.

ලිංගික අධ්‍යාපනය තුල උගන්වන කරුණු අතර

  • පුද්ගලයෙකුගේ ලිංගික ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කෙසේද?
  • පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම සිදුවෙන්නේ කෙසේද?
  • සාමාන්‍ය / අසාමාන්‍ය ලිංගික හැසිරීමක් යනු කුමක්ද?
  • ලිංගිකත්වය තුල ඇති ශාරීරික/මානසික සමාජීය ක්‍රියාවලිය
  • ලිංගික අක්‍රමිකතා
  • ලිංගික රෝග
  • ලිංගික අපචාර යනාදී තොරතුරු රැසක් දරුවන්ට අවබෝධ කරවීමට උත්සාහ ගන්නා අතරම ඒ කරුණු අපේ දරුවන් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කාරණා බව අමතක නොකළ යුතුයි.

අපේ ලාංකික සමාජය තුල පවතින සංස්කෘතියෙන් එන මාපිය දූදරු සම්බන්ධය දෙස බැලූ විට ඇතැම් මව්පියන් දරුවන් සමග මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමට පැකිලෙනවා. ඒත් අපි අපේ දරුවන්ව නිවස තුළදීම දැනුවත් කිරීම වැදගත් වන්නේ වැරදි ක්‍රම හරහා දරුවා ඒ පිළිබඳව දැනුවත් වීමට යාමේදී එහි අවදානමක් පවතින නිසයි. එය නිවස තුළදී ඔබට වටහා දීම අපහසු නම් අඩුම තරමේ පාසැල් විෂය නිර්දේශය තුළ මෙය දරුවන්ට ඉගැන්වීමේදී විරෝධය දැක්වීමෙන් වැලකීමට වගබලාගන්න. 

ලිංගික අධ්‍යාපන සංකල්පය පාසැල් විෂය නිර්දේශය තුළ විද්‍යාව හා සෞඛ්‍ය අධ්‍යාපනය යන විෂයන්ට ඇතුළත් කොට තිබෙනවා. එය ධනාත්මක ලක්ෂණයක් වන අතරම බාධක මැද හෝ යම් කිසි සීමාවක් තුළ ඒ අධ්‍යාපනය ලබා දුන්නත් එහි යම් යම් අඩු පාඩු පවතින බව කිව යුතුයි. එම සීමාවන්ට හේතු වන්නේ පෙර සඳහන් කළ සංස්කෘතිය ගැටලු, ඇතැම් ආගමික මතවාද හා විශ්වාසයන්, පාරිසරික හේතු වැනි කරුණු නිසා විය හැකියි.

ඇතැම් විට ඒ කරුණු ඇති වීමට හේතු කාරනා වන්නේ මව්පියන් වන ඔබම විය හැකියි. නමුත් මව්පියන් ලෙස ඔබ සිහිතබා ගත යුතු වන්නේ ඒ අවහිර කිරීම තුළ මතු දිනක එහි විපාක අත්දකින්නේ ඔබේම දරුවා විය හැකි බවයි. අන්න ඒ නිසාම අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කළ යුත්තක් පමණක් නොව එය නිවැරදි  ආකාරයෙන්ම දරුවන්ට ලබාදීමට ඇති බාධා හඳුනා ගැනීමත් ඉතා වැදගත් වනු ඇත. 1999 කයිරෝ නුවර පැවති සාකච්ඡාවකදී ලිංගික අධ්‍යාපනය මිනිසුන්ගේ අයිතියක් ලෙස සලකන්න තීරණය කොට ඇති අතරම එහිදී යහපත් ලිංගික සෞඛ්‍යකයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව අයිතියක් බවට පත්කල යුතු බව සඳහන් වී තිබුණා. අපි ජ්‍යාත්‍යන්තර වශයෙන් අයිතීන් ගැන කතා කරත් ඒවා අපිට ආදේශ කරගන්න උත්සහ කරත් ප්‍රායෝගික තලයේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී පසුබෑමට ලක් වෙනවා. 

පාසැල් සිසුන් වෙනුවෙන් සැකසුණු ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇතුළත් පොත හඳුන්වා දීමේදී විශාල ලෙස විරෝධය දැක්වූවා. අපිට අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට සිදුව ඇත්තේ එවැනි වටපිටාවක් තුළ වීම ඛේදනීයයි.  දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිමට සිදුව ඇත්තේ මෙවැනි විරෝධයන් මධ්‍යයේ සිටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පුද්ගලයෙක් පරිපූර්ණ ලිංගික තෘප්තියකට පැමිණෙන්නෙ යහපත් ලිංගික සම්බන්ධතාවලින් පමණක්ය යන බව වසර ගණනාවක් පුරා  විශාල වශයෙන් සාකච්ඡා කළ කරුණක් වූවා. මනා  ලිංගික තෘප්තියකින් සිටින පුද්ගලයෙක් සමාජයට හොද පෞරුෂයකින් හා තාර්කික හැකියා වලින් යුක්තව පිවිසෙනවා. පෞරුෂය හා තාර්කික හැකියාව 21වන සියවසේ  පුද්ගලයෙකුට තිබිය යුතු එක් කුසලතාවක් පලස හැඳින්විය හැකියි. ලිංගික තෘප්තිමත් පුද්ග‍ලයෙකු වීමට පදනම නිවැරදි ලිංගික අධ්‍යාපනයයි.

ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලිංගික තෘප්තිය ගැන පමණක් නොවෙයි අතෘප්තිමත් පුද්ගලයන් මගින් සමාජයට ඇති වන අහිතකර බලපෑම ගැනත් කතා කරනවා. වද හිංසාව, බාධා කිරීම්, ළමා අපචාර, කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ මේ සියල්ල සිදුවෙන්නෙ ලිංගිකව අතෘප්තිමත් පුද්ගලයන් හරහා බව එහිදි සාකච්ඡා කෙරුණා. එයට හේතු වන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් නොවීම බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා යහපත් ලිංගික සම්බන්ධතා යනු කුමක්ද කියාවත් එවැනි පුද්ගලයන් නොදනී. 

ලිංගික අධ්‍යාපනය තුළින් ඉගැන්වෙන්නේ මොනවාද කියා ඔබ දැනුවත්ද?

බොහෝ අය සිතා සිටින පරිදි ලිංගික අධ්‍යාපනය තුළින් ඉගැන්වෙන්නේ ලිංගික ක්‍රියාවලිය එසේත් නැති නම් අඹුසැමි සබඳතාවය පිළිබඳවයි. නමුත් ලිංගික අධ්‍යාපනය නම් වූ විෂය පතය තුළ ඉතා වැදගත් බොහොමයක් කරුණු ඇතුළත් වෙනවා. එසේ සිතනවා නම් ලිංගික තෘප්තිය කියන කරුණු බොහෝ ඈතින් ඇති බව කිව යුතුමය.  වැඩිහිටි ඔබේ පාසැල් සමයේ ඩෙස් බංකු යටින් එහා මෙහා ගිය මල්පත්තර හරහා ඔබ ලබා ගත් ලිංගික දැනුම ඔබේ දරුවනුත් ඒ ආකාරයෙන්ම ලබා ගනී යැයි ඔබ සිතනවා නම් එය අවසනාවකි. මන්ද ඒ හරහා නිවැරදි ලිංගික අධ්‍යාපනය හිමි නොවන නිසාය. ඔබ එවැනි අධ්‍යාපනයක් ඔබේ දරුවා ලබා ගනී යැයි සිතා සිටින්නේ නම් එය දරුවාට අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රථිපල හා සමාන ප්‍රථිපල ඔබටත් අත්කර දෙන තරමේ බරපතල කාරණාවක් බව කිව යුතුමය. 

සැබෑ ලිංගික අධ්‍යාපනයක් ලැබූ දරුවෙක් නිසි වයසේදී නිසි සබඳතාවලට යොමු වීමට පෙළඹෙන අතරම ගැටලු නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමටත් අනවශ්‍ය දේ නිවැරදි ලෙස ප්‍රතික්ෂේප කිරීමටත් දැනුවත් වෙන අතරම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන වෙනස්කම් වැනි දේ පවා පීඩාවකින් තොරව ඒ සියල්ල පොදු සාමාන්‍ය දේවල් බව හඳුනා කළමනාකරණය කරගැනීමට සමත් වේ. නිවැරදි ලිංගික අධ්‍යාපනය තුළින් ජීවිතයට සමබරව මුහුණ දීමේ හැකියාව දරුවන්ට හිමිවෙනවා. එවැනි දරුවන් සියදිවි නසා ගැනීම් තමාටම හිරිහැර කරගැනීම් වැනි දේට පෙළඹීමක් නැත. 

බොහෝ විට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධව විරෝධයට දැක්වීමට හේතු වන්නේ මව්පියන්ගේ ආකල්ප වෙනස් කිරීමට ඇති අකමැත්තයි. දීර්ඝ කාලයක් පුරා සංස්කෘතිය විසින් තාර්කිකව සිතා යමක් කිරීමේ අවස්ථාව අපිට අහිමි කර තිබෙනවා. කෙටියෙන්ම සඳහන් කළොත් සංස්කෘතියෙ වහලෙක් වෙලා. මව්පියන් ලෙස අපි ඒ මති මතාන්තරවලින් මිදී අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ලිංගික අධ්‍යාපන සංකල්පය දරුවන්ට ලබා දීම සඳහා විරෝධය දැක්වීමෙන් වළකිමු. පිරිපුන් මානසිකත්වයක් හිමි දරුවන් සමාජයට දායාද කරන්නට දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දීමට අපි සහය වෙමු.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article