- Advertisement -

අහන අහන හැමෝටම උණ, කැස්ස, හෙබිරිස්සාව… මේ මොකද මේ

-

වෙනස් වන කාලගුණික තත්ත්වයන් සේම පරිසරය හා බද්ධව විවිධ රෝග හිස ඔසවන බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ වගේම ඒ ඒ කාලවලදී එම රෝග නිසා අපි හැමෝටම පීඩා විදින්නට සිදුවීමත්, ඒ හේතූන් නිසා කරණ කියන දේවල් වෙනස් කරන්නටත් ඒ සදහා අවශ්‍ය ලෙස හැඩගැහෙන්නත් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ දිනවල මුහුණ දෙන්න සිද්ධ වෙලා තියන උණ රෝගයත් ඒ වගේමයි.

උණ කියන්නෙ රෝගයක රෝග ලක්ශණයක් එහෙමත් නැත්තම් වෛරසයක් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා මතුවන රෝග ලක්ෂණයක්. ඒක නිසා උනක් හැදුනම හිතාගන්න බැහැ මොකක් නිසාද උණ ඇතිවුනෙ කියලා. බොහෝ වෛරස් ආසදන වලදී උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හතිය වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඒ වගේ ලක්ෂණ ඇතුව හෝ නැතුවත් උණ ඇති වෙන්න පුලුවන්. බැක්ටීරියා ආසාදනයකදී සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස නැතිව ඇඟපත රිදීම, ඇඟ ශීතල කිරීම ආදී ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම තුවාල පැසවීමකදී මීට අමතරව තුවලය වටා ඇති වසා ගැටිති ප්‍රදාහයට පත්වීම නිසා කුද්දෙටි ඉදිමීම දකින්න පුලුවන්. ඒ වගේම වෙනත් ඕනෑම තැනකදී සිදුවන විශබීජ ශරීර ගතවීම නිසා ඒවා පැසවීමට ලක්වීම මගින් උණ ඇතුවෙන්න පුලුවන්. ඒ බොහෝවිට අනතුරු නිසා ඇතිවන තුවාල, මුත්‍රා ආසාදන, ශල්‍ය කර්ම තුවාල ආදී ලෙසින් සිදුවිය හැකියි.

- Advertisement -

එහෙත් මෑතකදී ඇතිවූ උණ රෝගය සීඝ්‍රව පැතිර යන්නට වුණා. එය වෛරස් ආසාදනයක් එනම් ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක්. පරිසරයේ ඇති වු තද උණුසුම්, ශීත දේශගුණයත් මෙම රෝගී තත්ත්වය පැතිරෙන්නට හේතුවක්. පසුගිය වසර වලදී තදබල ලෙස පැතිර ගිය වෛරස් ආසාදනය එනම් කොවිඩ් ආසාදනට සඳහාත් පාරිසරික හා දේශගුණිකව තිබුණු ලක්ශණ බලපෑමක් වූ බව අපි දන්නවා. ඒ ශීත දේශගුණික රටවල එය සීඝ්‍රව පැතිර ගියා සේම ඒ වනවිට අපෙ රටේ පැවති වියළි දේශගුණික තත්ත්වය එය පැතිරීම සෙමෙන් සිදුවීමට හේතුවක් වූ බවයි.

වර්තමානයේ පැතිර යන මේ වෛරස් ආසාදනයද ආසාදනයක මූලික ලක්ශණ පෙන්වමින් පැතිරෙන උණ තාවයක් බවද පැහැදිලිය. මෙය  ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන ආසාධන තත්ත්වයකි.

රෝගයේ අනෙකුත් ලක්ෂණ 

  • නාසයෙන් සොටු දියර ගැලීම/සෙම්ප්‍රතිශ්‍යාව
  • උගුරු කැසීම/වේදනා දීම
  • කැස්ස
  • ශ්වසනය අපහසුතාවය/ හතිය 
  • හිසේ බරගතිය/වේදනවා
  • ඇස් දැවිල්ල/කැසීම
  • මස්පිඩු වේදනාව සමගින් ඇති වන හන්දි වේදනාව
  • කෑම අරුචිය
  • වමනය/පාචනය 
  • අවසානයේදී විජලනයට පත් වීමට ද ඉඩ ඇත.

සාමාන්‍ය උණ තත්ත්වයකදී පැරසිටමෝල් ලබාදීම පමණක් කලහැකි වුවද දින තුනකට වඩා උණ පවතින විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වෙනවා.

  • නාසයෙන් හොටු දියර ගැලීම, කිවිසුම් යාම වැනි තත්ත්වයන් වලදී සෙම තත්ත්වය වැඩිවන හෙයින් සැලකිලිමත් විය යුතුයි. දිගින් දිගටම පැවතීම නිසා ශ්වසන මාර්ගය අවහිර වීම මගින් හතිය ඇතිවනවා. එවන් විටකදි හතිය සදහා ඉන්හේලර් ලබාගැනිම හෝ වෛද්‍ය ප්‍රතිකාර පරිදි නෙබියුලයිස් කිරීම කලයුතු වෙනවා.
  • උගුරු කැසීම හා රිදීම පවතින විට ගිලීමෙ අපහසුව උගුරේ වේදනාව හෝ දැවිල්ල ඇති වීම නිසා උගුරේ ආසාදන තත්ත්වයන් සදහා මද උණුසුම් ලුණු මිශ්‍ර වතුරෙන් උගුර සේදීම වඩාත් සුදුසුයි.
  • උණුසුම් දියර සහිත ආහාර ලබාගැනීමද වැදගත් වනවා.
  • සෑම විටම ශීතල සුලගින් ආරක්ශා වීමත් වැදගත් වනවා.
  • තද හිරු රශ්මිය නිසාද හතිය වැඩිවිය හැකි බැවින් එලිමහනට යනවිට ඇග හොදින් ආවරණය වන සේ ඇදුම් ඇදීමද,වැදගත් වන සේම ශීතල හෝ වැසිසහිත පරිසරයට නිරාවරණය නොවීමටද වගබලාගත යුතුවනවා.
  • ආහාර රුචිය අඩුවන හෙයින් රුචිකත්වය පරිදි සුදුසු ආහාර ලබාගැනීම, ලබාගන්නා ආහාර උණුසුම් විටද ලවණ හොදින් ලැබෙන සේ සකස් කරගත් කැද, පලතුරු යුශ වැනි දියර ආහාර ලබාගැනීම තුලින් ශරීරයෙන් පිටවන ලවණ මෙන්ම ජලය ප්‍රමාණයද පාලනය කර ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය.
  • ආහාර රුචියට අනුව සකස් කරනවා මෙන්ම පහසුවෙන් දිරවිය හැකි සේ හුමාලයෙන් තැම්බීම වැනි ක්‍රම වලින් සකසන ලද ආහාර ලබාදීම වඩාත් පහසුවක් වනවා. ආහාරයේ පෝශණීය අගයද සැලකිල්ලට ගැනීම වැදගත් වන්නෙ රෝගී වූ අවස්ථාවේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවන නිසයි.
  • පාචනය,වමනය වැනි තත්ත්වයන් ඇතිවේ නම් ශරීරයෙන් පිටවන තරල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පිටතින් ලබාදීම වැදගත් වෙන හෙයින් ඒ සදහා බැදි හාල් කැද, සුප් වැනි ආහාර ලබාදීමත් ඒවා ලබාදීමට අපහසුනම් රෝහල් ගතකර සේලයින් මගින් ඖෂධ හා ශරීරය සජලනය කිරීම සදහා අවශ්‍ය තරල ප්‍රමාණය ලබාදිය යුතුවනවා.
  • වෛරස් උණ බිදිති ආසාදනයක් හෙයින් නාසයෙන් හෝ මුඛයෙන්  පිටවන බිදිති මගින් මෙම රෝගය වැලදීම බොහෝවිට සිදුවන හෙයින් රෝග ලක්ශණ සහිත රෝගීන්ගෙන් ඈත්ව සිටීම/මුඛ ආවරණ පැලදීම/අත් ලේන්සු භාවිතය වැදගත් වෙනවා.
  • නිවෙස් තුල හෝ කණ්ඩායම් ලෙස හැසිරෙන අවස්ථාවලදී  එකට ආහාර පාන ගන්නා විටදී වෛරස් ආසාදන ඉක්මනින් සිදුවනවා. එසේ හෙයින් Covid ආසාදන වලදී මෙන්ම නිරතුරු දෑත් සේදීමට නිරතුර mask පැලදීමෙන්, රංචු ගැසී ආහාර ගැනීම හෝ එක්ව කටයුතු කරන අවස්ථාවලදී දුරස්ථභාවය පවත්වා ගැනීම වැදගත් වනවා. 
  • විශේෂයෙන්ම පෙර පාසල් ගා ප්‍රාථමික පන්තිවල දරුවන් නිරතුරුව සෑම දෙයක්ම අතපත ගෑමට හා බැලීමෙ පුරුද්දක් ඇති හෙයින් මෙවන් රෝගවලට නිරන්තරයෙන් ගොදුරු වීමට හේතුවක් වනවා. එසේ හෙයින් පන්ති කාමර තුල රෝග ලක්ශණ පෙන්වන දරුවන් සිටී නම් ගුරුවරුන් දෙමව්පියන් දැනුවත් කර එම දරුවන් හොදින් සුවවන තුරු පෙර පාසලට හෝ පාසලට කැදවා ගෙන ඒම වළක්වන ලෙසින්  උපදෙස් ලබාදීම කළ යුතු වනවා. එසේම දෙමව්පියන්ගේද යුතුකම වන්නෙ අසනීප තත්ත්වයන් පෙන්වන මුල් අවස්ථාවේදී දරුවා පෙර පාසලට හෝ පාසලට රැගෙන යාමෙන් වැලකී සිටීමයි. එය දරුවාගෙ රෝගී තත්ත්වය වැඩිවීමට මෙන්ම අන්දරුවන්ටද එය වැළදීමට හේතුවක් වන නිසයි.
  • රෝගී වූ විට ශරීරයේ දුර්වලතාවයන් පවතින හෙයින් රෝගය සුව වීම සදහා ඖෂධ, පෝෂ්‍යදායී ආහාර මෙන්ම ශරීරයට විවේකයද අවශ්‍ය වනවා. එසේ හෙයින් ඇඟ වෙහෙසෙන ක්‍රීඩාවල නොයෙදී විවේකීව සිටීමට අවශ්‍ය පසුබිම සකසා දීමද රෝගය ඉක්මනින් සුවවීමට හේතුව වනවා.
  • බොහෝ විට මෙම රෝගී තත්ත්වයන් ඉක්මනින් ඇතිවිය හැකි කණ්ඩායම් වන්නේ
  • ගර්භනී මව්වරු
  • කුඩා දරුවන්
  • වැඩිහිටියන්
  • නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්.
  • එසේ හෙයින් මෙවන් රෝග බෝවන කාලවලදී සෙනග එක්රොක්වන ස්ථාන උත්සව අවස්ථාවන් සදහා බෝවිය හැකි කාණ්ඩයේ අය සහභාගී නොවීම වැදගත් වනවා.
  • බෝවීම වළක්වාගැනීමට උත්සහ ගැනීම වැදගත්වනවා මෙන්ම යම් හෙයකින් මෙම වෛරස් ආසාදනයට ගොදුරු වුවහොත් හිතුමතේ ප්‍රතිකාර නොකර තම පවුලෙ වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වෙනවා. 
  • හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමද නොකළ යුතුවනවා සේම වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඖෂධ නිසි පරිදි  නිසි ප්‍රමාණයට ලබාගැනීමද වැදගත් වෙනවා.
  • ඖෂධ මෙන්ම විවේකීව සිටීම පෝෂ්‍යදායී ලෙස රුචිකත්වය ඇති කරන ආහාර ලබාගැනීමද අන් අයට බෝනොවන සේ සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමද වැදගත් වෙනවා.

සමහර අවස්ථාවලදී පවතින දේශගුණික තත්ත්වයන් නිසා ශාරීරික ලක්ශණ වලට අමතරව සමේ දද  ඇතිවීම, කැසීම, තුවාල වීම් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වනවා. එසේ වන්නෙ බොහෝ විට වියළි කාළගුණය ඇති වීම, සුළං මගින් විසිරෙන් දූවිලි අංශු සම මත රැදීම නිසායි. මේ නිසා සම මත දුවිලි අංශු රැදී නොසිටින ලෙසට ඇදුම් ඇදීම මෙන්ම දූවිලි පිරිසිදු කර ගැනීමද වැදගත් වෙනවා.

එමෙන්ම මෙම දූවිලි අංශු පරිසරය තුල මෙන්ම නිවස තුලද පැවතිය හැකි නිසා සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන ගමන්ම ඇඳ රෙදි හා කොට්ට උර ආදිය සෝදා පිරිසිදු කර ගැනීමත් කොට්ට ද පිරිසදුව තබා ගැනීමත් වැදගත්. එසේම දොර ජනේල් රෙදි නිතර පිරිසිදු කිරීම මගින් දූවිලි රැදීම වළක්වාගත හැකියි.

නිදන් ගත රෝගවලින් පෙලෙන අය සදහා ලබාගන්න ඖෂධද නිවැරදි ලෙස පාවිච්චි කිරීම තුලින් ඔවුන්ගේ ප්‍රතිශක්තිය හොදින් පවත්වාගත හැකිවනවා.

එසේම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා නියුමෝනිය තත්ත්වයට පත්විය හැකි හෙයින් හැකිතරම් රෝගය බෝවීමෙන් වැළකී සිටීමට අවශ්‍ය පිලිවෙත් හදුනා ගෙන හොදින් ප්‍රගුණ කිරීමත්, යම් හෙයකින් බෝවූයෙ නම් ශරීරයට විවේකයක් ලබාදීමත්, වෛද්‍ය උපදෙස් පරිදි නිවැරදි ඖශධ ප්‍රතිකාර ලබාගැනීමත් කලයුතු වනවා. එසේම රෝගී වූ විට අන් අයට බෝවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමත් රෝගියෙක්ගේම වගකීම වනවා.

කොවිඩ් රෝගය සඳහා බියවූයේ යම්සේද, සූදානම් වූයේ කෙසේද සිදුකරන ලද පිළිවෙත් මොනවාද  නිරන්තරයෙන් සිහියට ලබාගැනීම  වෛරස් උනෙන් වැලකීමටත් හේතුවක් වනවා. කොවිඩ් රෝගය සදහා වූ රෝග ලක්ෂණම මේ වෛරස් උණේදීත් ඇතිවන අතර එම රෝගය ව්‍යාප්ත වන ආකාරයෙන්ම ව්‍යාප්ත වීමද සිදු වේ. එසේම යම් රෝගියෙක් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වුවද ඒ අයුරින්ම සිදුවිය හැකිය. කොවිඩ් සමයේ අනුගමනය කල ක්‍රියාපිලිවෙත මේ  සඳහා ද වලංගු වනවා. 

තවදමේ දිනවල පවතින අධික රස්නයද බොහෝ ලෙඩ රෝග වලට හේතුවිය හැකිවනවා. අධික රස්නය නිසා ඇඟ වේලීම හේතුවෙන් ශරීරයේ ජල ප්‍රමාණය මෙන්ම ලවන ප්‍රමාණය අඩුවීම මගින් ස්නායු ක්‍රියාකාරිත්වයට කරනු ලබන බලපෑම හේතුවෙන් රෝගී වීම සිදුවෙනවා සේම සම මත හිරු රශ්මිය මගින් ඇතිකරන බලපෑම හේතුවෙන් සමේ නිරෝගී භාවයද නැතිව යනවා.

විශේෂයෙන්ම නාගරීකරණයේදී කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි දෙනෙකු සිටීමත් නිවාස තුල අනවශ්‍ය ලෙස බඩු මුට්ටු ගොඩගසා තිබීමත් වාතාශ්‍රය අඩුවීමට මෙන්ම දූවිලි රැදීමට මෙය හේතුවක් වනවා. එවිට නිවාස ඇතුලට උෂ්ණත්වය ඉහළ යනවා. එමෙන්ම නාගරීකරණයේදී සියලු මං මාවත් මෙන්ම නිවාස තුල මිදුල් පවා කොන්ක්‍රීට් නිමවුම් යෙදී තිබීම මෙන්ම පරිසරයේ තිබෙන ගස් කොලන් ප්‍රමාණය අඩුවීමද පරිසර උශ්ණත්වය බොහෝ සෙයින් ඉහළ යාමට හේතුවී තිබෙනවා.

මෙසේ පවතින තත්ත්වය තේරුම්ගෙන රෝග බෝ වීමට ඇති ඉඩ ප්‍රස්ථා හදුනාගෙන ඒවායින් වැළකීමට අවශ්‍ය මූලික පියවර ගැනීම තුළින් රෝගය බෝවීම තුලින් ශාරීරිකව මානසිකව හා සමාජයීයව  ඇතිවන දුර්වලතා මෙන්ම ආර්ථිකමය වශයෙන් සිදුවන දුර්වලතාවයන්ද තේරුම්ගෙන කටයුතු කිරීම තුලින් ඔබට යහපත් හෙටක් නිර්මාණය වනු නොඅනුමානය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article